වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩාංගණ පහක්

1971 වසරේ දී ආරම්භ වුණු එක්දින තරග රටාව ටික කලක් යන විට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එම නිසාම 80 දශකය ආරම්භ වන විට වසරකට සැලකිය යුතු එක්දින තරග ප්‍රමාණයක් පැවැත්වුණා. එලෙස එක්දින තරග විශාල ප්‍රමාණයක් පැවැත්වෙන විට බොහෝ ක්‍රීඩාංගණ එම තරගවලට වැඩි වශයෙන් සත්කාරකත්වය ලබාදුන්නා. එසේ නම්, මෙම ලිපිය ලියැවෙන්නේ වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩාංගණ පහ පිළිබඳව යි. 

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)- එක්දින තරග 241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් වන සාජා ක්‍රිකට් පිටිය මුල්මවරට එක්දින තරගයක් සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1984 වසරේ දී යි. ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු එම තරගයේ දී ප්‍රබල පාකිස්ථානු කණ්ඩායම පරාජය කරමින් කඩුලු 5ක ජයක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. සාජා පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර තිබෙන්නේ පාකිස්ථානු කණ්ඩායම යි. එහි දී ඔවුන් එක්දින තරග 126කට සහභාගි වුණා. පාකිස්ථානයට පසුව සාජා පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකාව යි. එහි දී ඔවුන් සහභාගි වුණු තරග ප්‍රමාණය 80ක් ලෙසින් සටහන් වනවා. එසේම, සාජා පිටියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය 37 වතාවක් තරග වැදී තිබෙන්නේ මෙම පිටියේ දී වැඩිම වාර ගණනක් එකිනෙකා මුණගැසුණු කණ්ඩායම් දෙක ලෙසින්. එසේ නම් පහත දැක්වෙන්නේ සාජා පිටියේ පවත්වා ඇති එක්දින තරගවල දත්ත යි.

1) වැඩිම එක්දින තරග ප්‍රමාණයක් තරග වැදුණු කණ්ඩායම- පාකිස්ථානය (තරග 126)
2) වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම- පාකිස්ථානය (තරග 83)
3) කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු- පාකිස්ථානය 364/7 නවසීලන්තයට එරෙහිව (2014)
4) කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු- ඉන්දියාව 54/10 ශ්‍රී ලංකාවට එරෙහිව (2000)
5) හොඳම පෞද්ගලික ඉනිම- සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) 189 ඉන්දියාවට එරෙහිව (2000)
6) හොඳම පන්දු යැවීම- මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) 30/7 ඉන්දියාවට එරෙහිව (2000)
7) වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා- ඉන්සාමාම් උල් හක් (පාකිස්ථානය) ලකුණු 2464 (ඉනිම් 59)
8) වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා- වසීම් අක්‍රම් (පාකිස්ථානය) කඩුලු 122 (තරග 77)

ඉන්සාමාම් සාජා පිටියේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඕස්ට්‍රේලියාව)- එක්දින තරග 156

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් වන සිඩ්නි ක්‍රිකට් පිටිය මුල්මවරට එක්දින තරගයක් සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1979 වසරේ දී යි. එලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තරගය අවසන් වුණේ තීරණයක් රහිතව යි. සිඩ්නි ක්‍රිකට් පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ කණ්ඩායම බවට පත්ව සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එහි දී ඔවුන් තරග 131කට සහභාගි වී ඉන් තරග 86ක් ජයග්‍රහණය කර තිබෙනවා. එසේම සිඩ්නි පිටියේ දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් 27 වතාවක් තරග වැදී තිබෙන්නේ මෙම පිටියේ දී වැඩිම වාර ගණනක් එකිනෙකා මුණගැසුණු කණ්ඩායම් දෙක ලෙසින්. එසේ නම් පහත දැක්වෙන්නේ සිඩ්නි පිටියේ පවත්වා ඇති එක්දින තරගවල දත්ත යි.

1) වැඩිම එක්දින තරග ප්‍රමාණයක් තරග වැදුණු කණ්ඩායම- ඕස්ට්‍රේලියාව (තරග 131)
2) වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම- ඕස්ට්‍රේලියාව (තරග 86)
3) කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු- දකුණු අප්‍රිකාව 408/5 කොදෙව්වන්ට එරෙහිව (2015)
4) කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු- ඉන්දියාව 63/10 ඕස්ට්‍රේලියාවට එරෙහිව (1981)
5) හොඳම පෞද්ගලික ඉනිම- ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) 164 නවසීලන්තයට එරෙහිව (2016)
6) හොඳම පන්දු යැවීම- ග්‍රේග් චැපල් (ඕස්ට්‍රේලියාව) 15/5 ඉන්දියාවට එරෙහිව (1981)
7) වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා- ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව) ලකුණු 1561 (ඉනිම් 62)
8) වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා- ග්ලේන් මැග්‍රාත් (ඕස්ට්‍රේලියාව) කඩුලු 50 (තරග 27)

ග්ලේන් මැග්‍රාත් සිඩ්නි පිටියේ දී පන්දු යවමින් (gettyimages)

හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණය (සිම්බාබ්වේ)- එක්දින තරග 152

සිම්බාබ්වේ දේශයට අයත් වන හරාරේ ක්‍රිකට් පිටිය මුල්මවරට එක්දින තරගයක් සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1992 වසරේ දී යි. එහි දී ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 30කින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි. මෙම ක්‍රීඩා පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභාගි වුණේ සිම්බාබ්වේ කණ්ඩායම යි. ඔවුන් මෙම පිටියේ දී තරග 138ක් ක්‍රීඩාකර ඉන් ජයග්‍රහණය කළේ තරග 44ක් පමණ යි. පහත දැක්වෙන්නේ හරාරේ පිටියේ පැවති එක්දින තරගවල දත්ත යි.

1) වැඩිම එක්දින තරග ප්‍රමාණයක් තරග වැදුණු කණ්ඩායම- සිම්බාබ්වේ (තරග 138)
2) වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම- සිම්බාබ්වේ (තරග 44)
3) කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු- ඕස්ට්‍රේලියාව 350/6 සිම්බාබ්වේට එරෙහිව (2014)
4) කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු- සිම්බාබ්වේ 35/10 ශ්‍රී ලංකාවට එරෙහිව (2004)
5) හොඳම පෞද්ගලික ඉනිම- හැමිල්ටන් මසකඩ්සා (සිම්බාබ්වේ) 178* කෙන්යාවට එරෙහිව (2009)
6) හොඳම පන්දු යැවීම- ෆිදෙල් එඩ්වඩ්ස් (කොදෙව්) 22/6 සිම්බාබ්වේට එරෙහිව (2003)
7) වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා- බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) ලකුණු 2067 (ඉනිම් 56)
8) වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා- ප්‍රොස්පර් උට්සෙයා (සිම්බාබ්වේ) කඩුලු 52 (තරග 60)

බ්‍රෙන්ඩන් ටේලර් පන්දුවට පහරදෙමින් (gettyimages)

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඕස්ට්‍රේලියාව)- එක්දින තරග 149

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට අයත් වන මෙල්බර්න් ක්‍රිකට් පිටිය එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ පැවති මුල්ම එක්දින තරගය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1971 වසරේ දී යි. එහි දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තරගය අවසන් වුණේ ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක් හිමිකර දෙමින්. මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ කණ්ඩායම බවට පත්ව සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එහි දී ඔවුන් තරග 125කට සහභාගි වී ඉන් තරග 74ක් ජයග්‍රහණය කර තිබෙනවා. එසේම මෙල්බර්න් පිටියේ දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් 28 වතාවක් තරග වැදී තිබෙන්නේ මෙම පිටියේ දී වැඩිම වාර ගණනක් එකිනෙකා මුණගැසුණු කණ්ඩායම් දෙක ලෙසින්. එසේ නම් පහත දැක්වෙන්නේ මෙල්බර්න් පිටියේ පවත්වා ඇති එක්දින තරගවල දත්ත යි.

1) වැඩිම එක්දින තරග ප්‍රමාණයක් තරග වැදුණු කණ්ඩායම- ඕස්ට්‍රේලියාව (තරග 125)
2) වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම- ඕස්ට්‍රේලියාව (තරග 74)
3) කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු- ලෝක කණ්ඩායම 344/8 ආසියානු කණ්ඩායමට එරෙහිව (2005)
4) කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු- එංගලන්තය 94/10 ඕස්ට්‍රේලියාවට එරෙහිව (1979)
5) හොඳම පෞද්ගලික ඉනිම- ජේසන් රෝයි (එංගලන්තය) 164 ඕස්ට්‍රේලියාවට එරෙහිව (2018)
6) හොඳම පන්දු යැවීම- අජිත් අගාකර් (ඉන්දියාව) 42/6 ඕස්ට්‍රේලියාවට එරෙහිව (2004)
                                 යුස්වේන්ද්‍ර චහාල් (ඉන්දියාව) 42/6 ඕස්ට්‍රේලියාවට එරෙහිව (2019)
7) වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා- රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව) ලකුණු 2108 (ඉනිම් 41)
8) වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා- ශේන් වෝන් (ඕස්ට්‍රේලියාව) කඩුලු 46 (තරග 28)

ෂේන් වෝන් මෙල්බර්න් පිටියේ දී පන්දු යවමින් (gettyimages)

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය (ශ්‍රී ලංකාව)- එක්දින තරග 131

ශ්‍රී ලංකාවට අයත් වන ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටිය මුල්මවරට එක්දින තරගයක් සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1986 වසරේ දී යි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති එම තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවීම කණගාටුදායක සිදුවීමක් වුණා. මෙම ක්‍රීඩා පිටියේ දී වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභාගි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. ඔවුන් මෙම පිටියේ දී තරග 117ක් ක්‍රීඩා කර ඉන් තරග 71ක් ජයග්‍රහණය කර තිබෙනවා. එසේම ආර්. ප්‍රේමදාස පිටියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 34 වතාවක් තරග වැදී තිබෙන්නේ මෙම පිටියේ දී වැඩිම වාර ගණනක් එකිනෙකා මුණගැසුණු කණ්ඩායම් දෙක ලෙසින්. එසේ නම්, පහත දැක්වෙන්නේ ආර්. ප්‍රේමදාස පිටියේ පවත්වා ඇති එක්දින තරගවල දත්ත යි.

1) වැඩිම එක්දින තරග ප්‍රමාණයක් තරග වැදුණු කණ්ඩායම- ශ්‍රී ලංකාව (තරග 117)
2) වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම- ශ්‍රී ලංකාව (තරග 71)
3) කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු- ඉන්දියාව 375/5 ශ්‍රී ලංකාවට එරෙහිව (2017)
4) කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු- නෙදර්ලන්තය 86/10 ශ්‍රී ලංකාවට එරෙහිව (2002)
5) හොඳම පෞද්ගලික ඉනිම- කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 169 දකුණු අප්‍රිකාවට එරෙහිව (2013)
6) හොඳම පන්දු යැවීම- ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) 20/6 ඉන්දියාවට එරෙහිව (2009)
7) වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා- සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) ලකුණු 2514 (ඉනිම් 70)
8) වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා- මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) කඩුලු 75 (තරග 57)

මුරලිදරන් ආර්. ප්‍රේමදාස පිටියේ දී පන්දු යවමින් (gettyimages)

මූලාශ්‍රය- Espncricinfo

කවරයේ ඡායාරූපය- ජයසූරිය ආර්. ප්‍රේමදාස පිටියේ දී පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages)

Related Articles