Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින තරගවල දී ඉන්දියාව අසරණ කළ වමත් කසකරුවා

1996 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ දිල්ලියේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ දී සනත් ජයසූරියගේ වේගවත් ආරම්භය සමග ලකුණු 271ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. වේග පන්දු යවන්නෙකු වුණු මනෝජ් ප්‍රභාකර් දඟපන්දු යවන්නෙකු බවට පත් කළ ජයසූරිය, පන්දු 76කට ලකුණු 79ක් ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි වුණා. එදා මුල්ම වරට ඉන්දියානුවන් අසරණ කළ ජයසූරිය එතැන් සිට ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව එක්දින පිටියේ දී කැපී පෙනෙන දස්කම් දක්වනු ලැබුවා. 

මව්බිමේ දී ලබාගත් මුල්ම එක්දින ශතකය 

1996 වසරේ පැවති සිංගර් ලෝක ශූරතා කුසලාන සිව්කොන් තරගාවලිය යටතේ පැවති ඉන්දු-ලංකා එක්දින තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 110ක් ලබාගනිමින් ක්‍රීඩා කළ නායකත්වයේ ඉනිම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 226ක් ලබාගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබාදුන් සනා-කළූ යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවා. එම අගනා සබඳතාවයට නැවතීමේ තිත තබමින් කළුවිතාරණ ලකුණු 53කට දැවීගියත්, ඉන් නොසැලුණු ජයසූරිය පන්දු 128ක් තුළ නොදැවී ලකුණු 120ක් ලබාගත්තේ සිය කණ්ඩායමට කඩුලු 9ක ජයක් උරුමකර දෙමිනි. එහි දී ආබාධ මැද ධෛර්යමත් පිති හරඹයක නිරත වුණු ජයසූරිය, මෙරට තම පළමු එක්දින ශතකය ලබාගැනීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (Sportstar)

වන්කඩේ පිටිය කැළඹූ සුපිරි ඉනිම 

1997 වසරේ දී ඉන්දියාව නිදහස ලබාගෙන වසර 50ක් සම්පූර්ණ වීම නිසා ‘පෙප්සි ඉන්දීය නිදහස් කුසලාන තරගාවලිය’ නමින් සිව්කොන් එක්දින තරගාවලියක් ක්‍රියාත්මක වුණේ පාකිස්ථානය, නවසීලන්තය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල්වල සහභාගීත්වය ඇතිව යි. එම තරගාවලිය යටතේ පැවති ඉන්දු-ලංකා එක්දින තරගය පැවැත්වුණේ මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී යි. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 225ක් ලබාගත්තා. එහි දී ඉන්දීය ඉනිමේ පළමු සහ අවසන් පන්දුවල දී කඩුලු ලබාගත් වාස් ඉතාමත් විරල ගණයේ දස්කමක් දැක්වීමට සමත් වුණා.

ලකුණු 226ක ඉලක්කයක් හඹා යාම සඳහා රාත්‍රී කාලයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ සනත් ජයසූරිය මුල සිටම ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළා. එදා කිසිදු ඉන්දීය පන්දු යවන්නෙකුට ජයසූරියව නතර කිරීමට හැකි වුණේ නැහැ. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.5ක දී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. මනරම් ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය පන්දු 120කින් නොදැවී ලකුණු 151ක් ලබාගත්තේ හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින්. එදා ජයසූරියගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 151, එම අවධියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එසේම එම තරගය නැරඹීම සඳහා වන්කඩේ පිටියට එක් රැස් වී සිටි ඉන්දියානුවන් ජයසූරියගේ ඉනිමෙන් කුල්මත් වුණු නිසා දිගින් දිගට ම “සූරියා – සූරියා” ලෙසින් ඔහුව දිරි ගැන්වූ බව මෙහි දී සඳහන් කළ යුතු යි. 

ජයසූරියගේ අගනා ඉනිමේ අවස්ථාවක් (Sportstar)

ඉන්දියානුවන් අසරණ කළ එක්දින තරගාවලිය

1997 වසරේ දී තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති තෙවන එක්දින තරගය දෙවරක් පැවැත්වීමට සිදුවුණේ වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළ අවස්ථාවේ දී තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ අර්ධ ශතක 3ක් වාර්තා කළ සනත් ජයසූරිය යි. පහත දැක්වෙන්නේ එදා සනත්, ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු ලබාගත් ආකාරය යි.

  • පළමු එක්දින තරගය- 73 (52)
  • දෙවන එක්දින තරගය- 66 (56)
  • තෙවන එක්දින තරගය- 68 (38)
පළමු එක්දින තරගයේ දී ජයසූරිය පන්දුවට පහරදෙමින් (Golden Era of SL Cricket)

ආසියානු කුසලාන තරගවල දී දැක්වූ ඉහළ දස්කම් 

1997-2008 කාල සමය තුළ පැවති ආසියානු කුසලාන තරගවල දී සනත් ජයසූරියගේ පිත්ත ඉන්දියානුවන්ට දැඩි හිසරදයක් වුණා. එහි දී ජයසූරිය 1997 සහ 2008 ආසියානු කුසලාන අවසන් තරගවල දී සුපිරි ඉනිම් 2ක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක්, සහ ශතක 3ක් ලබාගැනීමට සමත් වුණා.

පහත දැක්වෙන්නේ ජයසූරිය ආසියානු කුසලාන තරග ඉතිහාසයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව දස්කම් දැක්වූ ආකාරය යි.

  • 1997 ආසියානු කුසලාන අවසන් තරගය- 63 (52)
  • 2000 ආසියානු කුසලාන පළමු වටය- 105 (116)
  • 2004 ආසියානු කුසලාන පළමු වටය- 130 (132)
  • 2008 ආසියානු කුසලාන අවසන් තරගය- 125 (114)
2008 ආසියානු කුසලාන අවසන් තරගයේ දී ශතකයක් ලබාගත් මොහොත (gettyimages)

අවසන් තරගවල දී ඉන්දියාව අසරණ කළ හැටි 

කණ්ඩායම් දෙකකට වඩා සහභාගී වුණු එක්දින තරගාවලිවල අවසන් තරග කිහිපයක දීම ජයසූරිය හමුවේ ඉන්දියානුවන් අසරණ වී තිබෙනවා. ඔහු 2000 වසරේ සාජා නුවර පැවති කොකාකෝලා තුන්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 189ක් ලබාගන්නට සමත් වුණා. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ යම් පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස තවමත් වාර්තා අතර රැඳී පවතිනවා.

පහත දැක්වෙන්නේ ජයසූරිය එක්දින තරගාවලිවල අවසන් තරග කිහිපයක දී ඉන්දියානු පන්දු යවන්නන් මට්ටු කළ ආකාරය යි.

  • 1997 ආසියානු කුසලානය- 63 (52)
  • 2000 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය- 189 (161)
  • 2001 කොකාකෝලා කුසලාන- 99 (102)
  • 2002 ශූරයන්ගේ කුසලානය- 74 (89)
  • 2005 ඉන්දියන් ඔයිල් කුසලානය- 67 (77)
  • 2008 ආසියානු කුසලානය- 125 (114)
ලකුණු 189ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ක්‍රිකට් දිවියේ අවසන් කාලයේ දීත් ඉන්දියානුවන්ට බැට දුන්නා 

සනත් ජයසූරිය නම් පිතිකරුවා සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් ශතකය ඉන්දියාවට එරෙහිව වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 39ක් ලෙසින් සටහන් වුණා. එහි දී ජයසූරිය එක්දින ශතකයක් ලබාගත් වයස්ගතම පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එදා ජයසූරිය අතින් බිඳ වැටුණේ ජෙෆ් බෝයිකොට් නම් එංගලන්ත පිතිකරුවා 1979 වසරේ දී තබා තිබුණු වාර්තාව යි. පසු කලෙක ජයසූරියට හිමිව තිබුණු එම වාර්තාව බිඳ දැමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම නියෝජනය කළ කුරාම් ඛාන් නම් පිතිකරුවා බිඳ දමනු ලැබුවා.

ජයසූරිය 40 හැවිරිදි වියේ සිටිය දී ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගයක දී පන්දු 79කින් ලකුණු 98ක් වාර්තා කළා. එහි දී ජයසූරියගේ හොඳම මිතුරෙකු වුණු කුමාර් ධර්මසේන විනිසුරුවරයා, ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණු පිතිකරුවෙකු ලෙස සංඥා කළා. 

එක්දින දිවියේ අවසන් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

වර්තමානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගවල දී විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ෂිකාර් ධවාන් පන්දුවට පහරදෙන ආකාරයටම එදා ජයසූරිය ඉන්දීය පන්දු යවන්නන්ට බැට දුන්නා. එම නිසා එදා මනෝජ් ප්‍රභාකර් වැනි පන්දු යවන්නන්ට ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පවා සිදු වුණා. එලෙස යුගයක් වර්ණවත් කළ සනත් ජයසූරිය නම් පිතිකරුවා ඉන්දියානුවන්ට එරෙහිව දැක්වූ විශිෂ්ට දස්කම් තවත් බොහෝ කලක් යනතුරු ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ රැඳී පවතිනු ඇති බව නම්, සැක නැහැ.

කවරයේ ඡායාරූපය- ජයසූරිය 1997 ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ දී (Youtube)

Related Articles