Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත-ඇෆ්ගනිස්ථාන තරගයේ දී අලුත් වුණු ක්‍රිකට් වාර්තා

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ හමුවන ඇතැම් තරග ප්‍රේක්ෂකයන්ට කවදාවත් අමතක වන්නේ නැහැ. එවැනි තරගවල දී සිදුවන සුවිශේෂී සිදුවීම් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ හැමදාමත් රැඳී තිබෙනවා. එලෙස ප්‍රේක්ෂකයන්ට අමතක නොවන තරගයක් මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණා. එහිදී එංගලන්ත නායක ඔයින් මෝගන් මෙන්ම ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ලෝක කුසලාන වාර්තා පොත් අතර ඔවුන්ගේ නම් සටහන් කරගත්තා. එසේනම් මෙම ලිපිය වෙන් වන්නේ එම තරගයේ දී බිඳ වැටුණු වාර්තා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

එක්දින ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ මෝගන්ගේ සුපිරි ඉනිම

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති එක්දින තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායම යි. එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් නිසා පන්දුවාර 29.4ක් අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව 164/1 ලෙසින් දිස් වුණා. නමුත් එම අවස්ථාවේ දී ජොනී බෙයාස්ට්‍රෝ ලකුණු 90කට දැවීගිය නිසා එංගලන්ත නායක ඔයින් මෝගන්ට පිටියට පිවිසීමට අවස්ථාව හිමිවුණා. සාමාන්‍යයෙන් තරමක් සන්සුන් පිතිහරඹය නිරත වන මෝගන් මෙම තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොරව පහර එල්ල කළා. එලෙස ආරම්භ වුණු මෝගන්ගේ ප්‍රචණ්ඩ පිතිහරඹය අවසන් වුණේ එක්දින මෙන්ම ලෝක කුසලාන වාර්තා කිහිපයක් අලුත් කරමින්

එක්දින ඉනිමක එල්ල වුණු වැඩිම හයේ පහර ප්‍රමාණය මෝර්ගන්ගේ පිත්තෙන් වාර්තා වුණා

එක්දින තරගයක දී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණයේ වාර්තාව සඳහා උරුමකරුවන් තිදෙනෙකු සිටියා. ඉන්දියාවේ රෝහිට් ෂර්මා, දකුණු අප්‍රිකාවේ බෙන්ජමින් ද විලියර්ස්, සහ බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රිස් ගේල් එක්දින ඉනිමක් තුළ හයේ පහර 16 බැගින් එල්ල කරමින් එම වාර්තාව ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කරගෙන තිබුණා. නමුත් ඇෆ්ගනිස්ථානය හමුවේ ඔයින් මෝගන් එල්ල කළ හයේ පහර 17ත් සමගින් එම වාර්තාවේ අයිතිය මෝගන් සතු වුණා.

මෝගන්ගේ  ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ලෝක කුසලාන ඉනිමක එල්ල වුණු වැඩිම හයේ පහර ප්‍රමාණයත් මෝගන් සතු වුණා

එක්දින ලෝක කුසලාන ඉනිමක එල්ල වුණු වැඩිම හයේ පහර ප්‍රමාණයේ හිමිකරුවා බවට පත්ව සිටියේ ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් නම් ඒ සුපිරි පිතිකරුවා යි. ඔහු 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී හයේ පහර 16ක් එල්ල කරමින් එම වාර්තාව පිහිටවනු ලැබුවා. නමුත් එදා ගේල් සතුවුණු එම වාර්තාව මෝගන් විසින් තම නම ඉදිරියේ සටහන් කරගනු ලැබුවේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව හයේ පහර 17ක් එල්ල කරමින්.

ගේල් විසින් ලකුණු 215ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

හයේ පහරවලින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් අරුම පුදුම පිතිකරුවා

2015 වසරේ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී දකුණු අප්‍රිකාවේ බෙන්ජමින් ද විලියර්ස් හයේ පහර 16ක් සමගින් ලකුණු 149ක් ලබාගත්තා. එහිදී ඔහු හයේ පහරවලින් ලබාගත් ලකුණු ප්‍රතිශතය 64.42%ක්. නමුත් මෝගන්ගේ ඉනිමේ ඔහු ලකුණු 148ක් ලබාගන්නේ හයේ පහර 17ක් සමගින්. එම නිසා  මෝගන් හයේ පහරවලින් ලබාගත් ලකුණු ප්‍රතිශතය 68.91%ක්

විලියර්ස් විසින් ලකුණු 149 ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මෝගන්ගේ ඉනිමේ හතරේ පහර සහ හයේ පහර අතර පරතරය 13ක්

මෝගන් විසින් දියත් කළ මෙම අපූරු ඉනිමේ දක්නට ලැබෙන අනිකුත් විශේෂත්වය වන්නේ එම ඉනිම සඳහා හයේ පහර 17ක් අන්තර්ගත වන විට එයට ඇතුළත් වුණු හතරේ පහර ප්‍රමාණය 4ක් වීම යි. එහිදී හයේ පහර ප්‍රමාණය සහ හතරේ පහර ප්‍රමාණය අතර පරතරය 13ක්. මීට පෙර එක්දින තරගයක දී දක්නට දක්නට ලැබුණු හයේ සහ හතරේ පහර අතර වැඩිම පරතරය දක්නට ලැබුණේ ක්‍රිස් ගේල් එංගලන්තයට එරෙහිව 2019 වසරේ දී ලබාගත් ලකුණු 135ක ඉනිමේ දී යි. එහිදී හයේ පහර 12ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත වුණු ගේල් ගේ ඉනිමේ හයේ සහ හතරේ පහර අතර පරතරය 9ක් වුණා.

ගේල් එංගලන්තය හමුවේ ලකුණු 135ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

රෂීඩ් ඛාන්ගේ නම ඉදිරියේ සටහන් වුණු අවාසනාවන්ත එක්දින තරග වාර්තා

එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය පන්දුවාර 9 තුළ ලකුණු 110ක් ලබාදුන් රෂීඩ් ඛාන් අවාසනාවන්ත එක්දින ක්‍රිකට් තරග වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගනු ලැබුවා.

රෂීඩ් ඛාන් දරුණු ප්‍රහාරයකට ලක්වුණු අවස්ථාව (gettyimages)

එක්දින ලෝක කුසලාන තරගයක පන්දු යවන්නෙකු  ලබාදුන් ඉහළම ලකුණු ප්‍රමාණය එය යි

එක්දින ලෝක කුසලාන තරගයක දී පන්දු යවන්නෙකු ලබා දී තිබුණු වැඩිම ලකුණු ප්‍රමාණයේ අවාසනාවන්ත වාර්තාව ලියැවී තිබුණේ නවසීලන්තයේ මාටින් ස්නේඩන් ගේ නමින්. 1983 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවති තරගයක දී ස්නේඩන් ක්‍රියාත්මක කළ පන්දුවාර 12 තුළ ලකුණු 105ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා. එදා ස්නේඩන්ගේ නම ඉදිරියේ සටහන් වුණු එම අවාසනාවන්ත වාර්තාව වසර 36කට පසුව රෂීඩ් ඛාන් විසින් බිඳ දැමුවේ සිය පන්දුවාර 9 තුළ ලකුණු 110ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින්.

මාටින් ස්නේඩන් (gettyimages)

එක්දින තරගයක පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම හයේ පහර ප්‍රමාණයත්  රෂීඩ් ගෙන්

එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගයේ දී රෂීඩ් ඛාන් ලබාදුන් හයේ පහර ප්‍රමාණය 11ක්. එය පන්දු යවන්නෙකු එක්දින තරගයක දී ලබාදුන් වැඩිම හයේ පහර ප්‍රමාණය යි. මීට පෙර එම වාර්තාවේ හිමිකරු වුණු ඉන්දියාවේ විනේ කුමාර් 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරගයක දී ලබාදුන් හයේ පහර ප්‍රමාණය 7ක්.

විනේ කුමාර් (gettyimages)

මෝගන් විසින් රෂීඩ්ට එරෙහිව එල්ල කළ හයේ පහර 7ත් නව වාර්තාවක්

එක්දින තරගයක දී පිතිකරුවෙකු එක් පන්දු යවන්නෙකු හමුවේ එල්ල කර තිබුණු වැඩිම හයේ පහර ප්‍රමාණයේ වාර්තාව සටහන් වී තිබුණේ බෙන්ජමින් ද විලියර්ස්ගේ නම ඉදිරියේ යි. 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙකු වුණු ජේසන් හෝල්ඩර් හමුවේ විලියර්ස් හයේ පහර 6ක් එල්ල කළා. එදා විලියර්ස් තබා තිබුණු එම වාර්තාව මෝගන් වීසින් අලුත් කරනු ලැබුවේ රෂීඩ් ඛාන්ට එරෙහිව හයේ පහර 7ක් එල්ල කරමින්.

හෝල්ඩර් දරුණු ප්‍රහාරයකට ලක්වුණු තරගයේ අවස්ථාවක් (gettyimages)

දඟ පන්දු යවන්නෙකු එක්දින තරගයක ලකුණු 100ක් ලබාදුන් මුල්ම අවස්ථාව මෙය යි

දඟ පන්දු යවන්නෙකු එක්දින තරගයක ලබාදුන් වැඩිම ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට ගොස් තිබුණේ 2006 වසරේ දී මුරලිදරන් සිය පන්දුවාර 10 තුළ ඕස්ට්‍රේලියානුවන්ට ලබාදුන් ලකුණු 99 යි. එදා මුරලිගේ නම ඉදිරියේ සටහන් වුණු එම අවාසනාවන්ත වාර්තාවේ නවතම හිමිකරුවා බවට පත්වුණේ රෂීඩ් ඛාන්.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

එංගලන්තය ඔවුන් සතුව තිබුණු වාර්තාවක් අලුත් කරයි

එක්දින තරගයක දී කණ්ඩායමක් රැස් කළ වැඩිම හයේ පහර ප්‍රමාණයේ වාර්තාව එංගලන්තය සතු කරගත්තේ හයේ පහර 25ක් එල්ල කරමින්. මෙම වාර්තාවේ මීට පෙර උරුමකරුවන් වුණු එංගලන්තය 2019 වසරේ දී කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයක දී එල්ල කර තිබුණු හයේ පහර ප්‍රමාණය 24ක්. එහිදී එම හයේ පහර 24න් 12ක් ම එල්ල වී තිබුණේ ජෝස් බට්ලර්ගේ පිත්තෙන්.

බට්ලර්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය-මෝගන් ශතකය ලබාගත් අවස්ථාව (The National)

Related Articles