Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අර්ජුණගේ විස්කම්

අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු යුග පුරුෂයෙක්. 1996 වසරේ දී ලෝක ක්‍රිකට් කිරුළ ලංකාවට උරුමකර දීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කළ අර්ජුණ රණතුංග නම් නායකයා එදා ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් පිටිය තුළ ඉහළටම ඔසවා තැබුවා. 19 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු ලෙසින් මුල්ම වරට 1983 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු අර්ජුණ 1999 වසරේ දී සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළා. එම කාල සමය තුළ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී අර්ජුණ නම් සුපිරි පිතිකරුවා විශිෂ්ට දස්කම් දැක්වූ නිසාම මෙම ලිපිය ලියවෙන්නේ ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන දිවිය පිළිබඳ යම් ඇගයීමක් කිරීමට යි. 

අසාර්ථක වුණු මුල්ම ලෝක කුසලානය

1983 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ එංගලන්තය යි. එවර ලෝක කුසලාන තරගාවලියේ දී A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ එංගලන්තය, පාකිස්ථානය, සහ නවසීලන්තය යන ප්‍රබල කණ්ඩායම් ත්‍රිත්වය සමග යි. එම අවදියේ දී එංගලන්ත තණතීරුවල පන්දුව හොඳින්ම දෝලනය වුණු නිසා වේග පන්දු යවන්නන් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළා. එම නිසාම දක්ෂ වේග පන්දු යවන්නන් රැසක් සිටි එංගලන්තය, පාකිස්ථානය, සහ නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස එසවීමට පහසු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් යොවුන් ක්‍රීඩකයෙකු වුණු අර්ජුණට තරගාවලිය තුළ ක්‍රීඩා කළ ඉනිම් 6 දී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 80ක් පමණ යි. එහි දී අර්ජුණ ඉනිම් 3ක දීම ලකුණු නොලබා දැවීයාම අවාසනාවන්ත සිදුවීමක් වුණා. එසේම පන්දුවෙන් ද දස්කම් පෑමට අසමත් වුණු අර්ජුණ තරගාවලිය තුළ දී දවාගත්තේ ක්‍රිස් ටැවරේගේ කඩුල්ල පමණ යි. පහත දැක්වෙන්නේ අර්ජුණ එක් එක් රට සමග ලකුණු ලබාගත් ආකාරය යි. 

පාකිස්ථානයට එරෙහිව- 31 (42) සහ 0 (1)

එංගලන්තයට එරෙහිව- 34 (45) සහ 0 (6)

නවසීලන්තයට එරෙහිව- 0 (3) සහ 15 (22)

1983 ලෝක කුසලාන තරගාවලියේ දී අර්ජුණ (gettyimages)

1987 ලෝක කුසලානයේ දී අර්ජුණගෙන් සුපිරි දස්කමක් 

1987 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණු කාල සමය වන විට අර්ජුණ අත්දැකීම් රැසක් ලබාගෙන පරිණත පිතිකරුවෙකු බවට පත්ව සිටියා. එම නිසා ඔහු තරගාවලිය තුළ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා. එසේම සහභාගි වුණු තරග 5 තුළ දී 84.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන ලකුණු 252ක් ලබාගත් අර්ජුණ තරගාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් පිතිකරුවා බවට පත් වුණා. එදා අර්ජුණගේ පිත්තෙන් අර්ධ ශතක 3ක් වාර්තා වන විට දෙකක්ම ලබාගත්තේ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ යි. එහි දී කාන්පූර් නුවර ග්‍රීන්පාක් පිටියේ දී අර්ජුණ නොදැවී ලබාගත් ලකුණු 86 එම අවධිය වන විට ඔහු එක්දින ඉනිමක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. පහත දැක්වෙන්නේ අර්ජුණ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක්වූ ආකාරය යි.

පාකිස්ථානයට එරෙහිව- 24 (29) සහ 50 (66)

එංගලන්තයට එරෙහිව- 40 (67) 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව- 52 (93)* සහ 86 (100)*

1987 ලෝක කුසලානය තුළ දී ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් පිතිකරුවන් 5 දෙනා මෙසේ යි.

1) අර්ජුණ රණතුංග (ශ්‍රී ලංකාව)- 84.00

2) විවියන් රිචඩ්ස් (බටහිර ඉන්දීය කොදෙව්)- 65.17

3) මොහොමඩ් අසාරුඩීන් (ඉන්දියාව)- 63.33

4) ජෙෆ් මාෂ් (ඕස්ට්‍රේලියාව)- 61.14

5) ඇලන් ලෑම්බ් (එංගලන්තය)- 59.80

අර්ජුණ රණතුංග (gettyimages)

නායකත්වය අහිමි වුණත් යුතුකම් ඉටු කළ තරගාවලිය

1991 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා සංචාරය කළේ අර්ජුණ රණතුංගගේ නායකත්වය යටතේ යි. එම තරගාවලිය තුළ දී අර්ජුණ සහ කළමනාකරු ස්ටැන්ලි ජයසිංහ අතර මතගැටුමක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් 1991 එංගලන්ත සංචාරයේ දී අර්ජුණට නායකත්වය සහ කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. එදා අර්ජුණ කණ්ඩායමෙන් ඉවත් වීමත් සමගම ඇති වුණු මහජන විරෝධය නිසා 1991 වසරේ අග භාගයේ දී ක්‍රියාත්මක වුණු පාකිස්ථානු සංචාරයේ දී යළි අර්ජුණ කණ්ඩායමට එක් වුණා. නමුත් නායකත්වය යළි හිමි වුණේ නැහැ. එම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම 1992 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණේ අරවින්ද ද සිල්වාගේ නායකත්වය යටතේ යි. 

1992 ලෝක කුසලානයට සහභාගි වුණු නායකයන් (gettyimages)

එදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදු වුණා. එම අභියෝගය සාර්ථකව භාරගත් රොෂාන් මහානාම සහ අතුල සමරසේකර ලකුණු 128ක වේගවත් ආරම්භයක් ලබාගත්තා. නමුත් පන්දු 61කින් ලකුණු 75ක් ලබා සිටි අතුලගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167/4 බවට පත් වුණා. එම අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කළ අර්ජුණ පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබාගත්තේ අවසන් පන්දුවාරයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. එදා ලංකා කණ්ඩායම ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළේ එක්දින තරගයක දී ලකුණු 300ක ඉලක්කයක් හඹා ගිය මුල්ම කණ්ඩායම බවට ඉතිහාසගත වෙමින්. 

අර්ජුණගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී යළි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුණ නොදැවී ලකුණු 64ක් ලබාගත්තේ අවසන් පන්දු වාරයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමින්. එම තරගයේ දී පන්දුවෙන් ද දස්කම් දැක්වූ අර්ජුණ 26/2 ලෙසින් කඩුලු දවාගත්තේ සිය ලෝක කුසලාන දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. එවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය තරග 2 දීම ජයග්‍රහණයේ නියමුවා වුණු අර්ජුණ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් වුණා. පහත දැක්වෙන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේ දී අර්ජුණගේ පිත්ත ක්‍රියාත්මක වුණු ආකාරය යි.

සිම්බාබ්වේට එරෙහිව- 88 (61)*

නවසීලන්තයට එරෙහිව- 20 (26)

ඉන්දියාවට එරෙහිව- පන්දුවට පහරදුන්නේ නැහැ 

දකුණු අප්‍රිකාවට එරෙහිව- 64 (73)*

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 23 (52)

එංගලන්තයට එරෙහිව- 36 (51)

කොදෙව්වන්ට එරෙහිව- 24 (40)

පාකිස්ථානයට එරෙහිව- 7 (19)

ලාංකිකයන්ගේ සිහින සැබෑ කළ ලෝක කුසලානය 

1996 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ටික දිනකට පෙර කොළඹ මහ බැංකුව අසල බෝම්බයක් පුපුරා ගියා. එම නිසා ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ලංකාවේ දී තරග වැදීමට ප්‍රතිකේෂ්ප කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මූලික වටයේ දී තරග වැදීමට සිදු වුණේ සිම්බාබ්වේ, ඉන්දියාව, සහ කෙන්යාව යන කණ්ඩායම් සමග යි. එදා ඉන්දියාවට එරෙහිව දිල්ලියේ පැවති තරගයේ දී ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 129ක් ලබා සිටියා. නමුත් එම අවස්ථාවේ දී ගුරුසිංහ දුවද්දී දැවීයාමෙන් පසුව ක්‍රියාත්මක වුණු කුම්බ්ලේ ඉක්මනින්ම ලබාගත් කඩුලු 2ක නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 141/4 ලෙසින් දිස් වුණා. එදා සිය කණ්ඩායම අවදානම් අඩියකට වැටී තිබුණු අවස්ථාවක ක්‍රියාත්මක වුණු අර්ජුණ සහ හෂාන් නොබිඳුණු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනගමින් ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එහි දී හෂාන් ලකුණු 70ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබා දුන් අර්ජුණ ලකුණු 46ක් වාර්තා කළා. 

අර්ජුණ සහ හෂාන් තරගය නිමාවීමෙන් පසුව (රංජන් පරණවිතාන- විජයග්‍රහණය)

ඉන් පසුව කෙන්යාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 40කින් නොදැවී ලකුණු 75ක් වාර්තා කළ  අර්ජුණ ඒ වන විට ලෝක කුසලාන තරගයක දී වාර්තා වුණු වේගවත්ම අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 29ක් පමණක් වැය කරමින්. එදා අර්ජුණ බිඳ දැමුවේ 1975 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත පිතිකරු ක්‍රිස් ඕල්ඩ් ඉන්දියාවට එරෙහිව තබා තිබුණු වාර්තාව යි. එසේම එම තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 398ක් ලබාගත්තේ එක්දින තරගයක දී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එදා මූලික වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරගත් ජයගනිමින් අවසන් තරගය කරා පැමිණියා. අවසන් තරගයේ දී පන්දු 37කින් නොදැවී ලකුණු 47ක් ලබාගත් අර්ජුණ ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට තරම් වාසනාවන්ත වුණා. එසේම තරගාවලියේ හොඳම පිතිකරණ සාමාන්‍යය රඳවාගත් පිතිකරුවා බවට පත්වුණේත් අර්ජුණ යි. පහත දැක්වෙන්නේ අර්ජුණ තරගාවලිය තුළ දී පිත්තෙන් දස්කම් දැක්වූ ආකාරය යි.

සිම්බාබ්වේට එරෙහිව- 13 (11)*

ඉන්දියාවට එරෙහිව- 46 (63)*

කෙන්යාවට එරෙහිව- 75 (40)*

එංගලන්තයට එරෙහිව- 25 (17)

ඉන්දියාවට එරෙහිව- 35 (42)

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 47 (37)*

1996 ලෝක කුසලානය  තුළ දී ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් පිතිකරුවන් 5 දෙනා මෙසේ යි.

1) අර්ජුණ රණතුංග (ශ්‍රී ලංකාව)- 120.50

2) අරවින්ද ද සිල්වා (බටහිර ඉන්දීය කොදෙව්)- 89.60

3) සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව)- 87.17

4) සයිඩ් අන්වර් (පාකිස්ථානය)- 82.25

5) මාක් වෝ (ඕස්ට්‍රේලියාව)- 80.67

අර්ජුණ ලෝක කුසලානය සමග (gettyimages)

බලාපොරොත්තු ඉටු නොවුණු තරගාවලිය

1999 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණේ ලෝක ශූරයන් ලෙසින්. නමුත් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව කණ්ඩායමට ඉවත්වීමට සිදු වුණේ එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් හමුවේ ලද පරාජයන් නිසා යි. එදා ශ්‍රී ලංකාව ලද දරුණු පරාජයත් සමගින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අර්බුද රැසක් ඇති වුණා. එම නිසාම අර්ජුණ සිය එක්දින ක්‍රිකට් දිවියට සමුදුන්නා. පහත දැක්වෙන්නේ අර්ජුණ එම තරගාවලිය තුළ ලකුණු ලබාගත් ආකාරය යි. 

එංගලන්තයට එරෙහිව- 32 (42

දකුණු අප්‍රිකාවට එරෙහිව- 7 (19)

සිම්බාබ්වේට එරෙහිව- 3 (12)

ඉන්දියාවට එරෙහිව- 42 (57)

කෙන්යාවට එරෙහිව- 50 (61)

අර්ජුණ 1999 ලෝක කුසලානයේ දී (gettyimages)

කවරයේ ඡායාරූපය- අර්ජුණ 1996 අවසන් තරගයේ දී ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් (gettyimages)

Related Articles