Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ධාවන පථයේ කළු අශ්වයා මයිකල් ජොන්සන්

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව පුරා සිටින ක්‍රීඩාවට ලැදි ජනයාගේ අවධානය විශාල වශයෙන් යොමුවන තරගාවලියක්. ඔලිම්පික් තරගාවලියට ඇතුළත් වන ක්‍රීඩා ඉසව් අතුරින් ධාවන තරග ඉසව්වලට ප්‍රේක්ෂකයා දක්වන්නේ පුදුම උනන්දුවක්. එම නිසාම ඔලිම්පික් ධාවන තරගවල දී කෙටිදුර ධාවන ශූරයන් හිමිකර ගන්නේ පුදුම ජනප්‍රියත්වයක්. එලෙස ඔලිම්පික් ධාවන පිටියේ ජනප්‍රිය වුණු ධාවන ශූරයන් අතුරින් මයිකල් ජොන්සන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කලක් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල අණසක පතුරවාගෙන සිටි මයිකල් ජොන්සන් ඔලිම්පික් තරග ඉතිහාසයේ දැක්වූ සුවිශේෂී දස්කම් පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. 

1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලිය

1991 වසරේ දී ජපානයේ ටෝකියෝ නුවර පැවති ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම ජොන්සන් විසින් දිනාගත්තේ තරගාවලි වාර්තාව ද අලුත් කරමින්. එම නිසාම 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම පිළිබඳව ජොන්සන් සිහින මැව්වා.  

ස්පාඤ්ඤ කෑම වේලක් ජොන්සන්ගේ සිහින සුන් කරයි

1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 200 ඉසව්ව ආරම්භ වීමට සති 2කට පමණ පෙර ස්පාඤ්ඤ අවන්හලකින් ලබාගත් ආහාර වේලක් විෂවීම නිසා ජොන්සන් අසනීප වුණා. එම නිසාම සිය උපරිමයෙන් තරග කිරීමට ඔහුට නොහැකිවුණු නිසාම මීටර් 200 ඉසව්වේ දෙවන අවසන් පූර්ව තරගයෙන් හිමිවුණේ 6 වැනි ස්ථානය යි.

මීටර් 400 සහය ඉසව්වෙන් ජොන්සන්ට රන් පදක්කමක් 

1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 400 සහය ඉසව්ව ආරම්භ වීමට පෙර එම ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් වාර්තාවල උරුමකරුවා වුණේ ඇමරිකාව යි. 1968 මෙක්සිකෝ සිටි සහ 1988 සියොල් ඔලිම්පික් තරගාවලිවල දී විනාඩි 2.56.16 ක සමාන කාලයක් වාර්තා කරමින් ඔවුන් එම ඉසව්ව ජයගෙන තිබුණා. 1992 තරගාවලියේ දීත් සුපුරුදු පරිදි සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇමරිකානුවන් මීටර් 400 සහය ඉසව්ව විනාඩි 2.55.74ක කාලයක් වාර්තා කරමින් ජයග්‍රහණය කළේ නව ලෝක වාර්තාවක් සහ  ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. එහිදී දක්ෂ ධාවනයක යෙදුණු ජොන්සන් සිය මීටර් 400 තත්පර 44.73ක කාලයකින් නිමකර තිබුණා. 

ජොන්සන් 400 සහය ඉසව්වේ ධාවනයේ යෙදෙමින්  (gettyimages) 

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය මයිකල් ජොන්සන්ගේ ජීවිතයේ සිහින සැබෑවුණු තරගාවලියක්. එම තරගාවලියේ දී මීටර් 200 සහ 400 ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමට ජොන්සන්ට හැකිවුණා. එදා ඔහු  ඔලිම්පික් ඉතිහාසය තුළ සිය නාමය රන් අකුරින් සටහන් කරගත්තේ එකම ඔලිම්පික් තරගාවලියක එම ඉසව් ද්විත්වයම ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා බවට පත්වෙමින්.

මීටර් 200 ඉසව්ව 

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 ඉසව්ව ආරම්භ වීමට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාව මයිකල් ජොන්සන්ම 1966 වසරේ පිහිටුවා තිබුණේ තත්පර 19.66ක කාලයක් වාර්තා කරමින්. ජොන්සන් එම ඉසව්වේ ලෝක වාර්තාව උසුලන විට එහි ඔලිම්පික් වාර්තාව ඇමරිකාවේම මයිකල් මාෂ් තත්පර 19.73ක කාලයක් වාර්තා කරමින් 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ දී පිහිටුවා තිබුණා. එසේම 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 පදක්කම අහිමිවීම නිසා ජොන්සන් පසුවුණේ දැඩි කනස්සල්ලෙන්. එදා කළ වැරැද්ද 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී නිවැරදි කරගත් ඔහු, මීටර් 200 රන් පදක්කම තත්පර 19.32ක කාලයක් වාර්තා කරමින් දිනාගත්තේ නව ලෝක වාර්තාවක් සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. 

ජොන්සන් මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages) 

මීටර් 400 ඉසව්ව 

ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියට පෙර 1993 සහ 1995 පැවති ලෝක මළල ක්‍රීඩා තරගාවලිවල දී ජොන්සන් මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන තිබුණා. එම නිසාම මෙම ඔලිම්පික් තරගාවලියේ දී මයිකල් ජොන්සන් තත්පර 43.49ක කාලයක් මීටර් ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. එහිදී ජොන්සන් අතින් බිඳවැටුණේ 1992 ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකානු ක්‍රීඩක කුයින්සි වැට් තත්පර 43.50ක කාලයකින් මීටර් 400 ඉසව්ව ජයගෙන තබා තිබුණු වාර්තාව යි.

ජොන්සන් මීටර් 400 රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages) 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය 

2000 ඔලිම්පික් තරගාවලියට පිවිසෙන විට මයිකල් ජොන්සන් මීටර් 400 ඉසව්වේත් ලෝක වාර්තාවේ හිමිකරු බවට පත්ව තිබුණේ 1999 වසරේ දී එම ඉසව්ව තත්පර 43.18ක කාලයක් තුළ නිමකරමින්. එම නිසාම මෙම ඔලිම්පික් තරගාවලියේ දී ත් මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට මයිකල් ජොන්සන් සමත් වුණේ ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව්ව දෙවරක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා වෙමින්. එසේම 400 සහාය දිවීම ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවට හිමිවුණත් ජෙරම් යංග් නම් ක්‍රීඩකයා නීතිවිරෝධී අයුරින් තරගකර තිබීම නිසා 2004 වසරේ දී ඔවුන්ට එම පදක්කම අහිමිවුණා.

මීටර් 400 ඉසව්ව 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී මයිකල් ජොන්සන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වුණේ ඔහුගේම රටේ ඇල්වින් හැරිසන් නම් ක්‍රීඩකයා යි. ඔහු මෙම ඉසව්වේ පළමු සහ දෙවන වටයන් අවසානයේ දී සියලුම ධාවකයන් අතුරින් පෙරමුණ ගෙන තිබුණේ හොඳම කාලයන් වාර්තා කරමින්. ඉන් පසුව පැවති අවසන් පූර්ව වටය යටතේ පැවති පළමු තරගයේ දී ජොන්සන් සහ හැරිසන් උරෙනුර ගැටුණා. එහිදී ජොන්සන් තත්පර 44.65ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය ලබාගන්නා විට තත්පර 44.53ක කාලයකින් තරගය නිමකළ හැරිසන් පළමු ස්ථානය ලබාගත්තා. එලෙස ජොන්සන්ව අභිබවා හැරිසන් ඉදිරියට පැමිණෙන විට බොහෝ දෙනෙකු ජොන්සන්ට මෙම ඉසව්වේ රන් පදක්කම නොලැබෙනු ඇතැයි සිතුවා. නමුත් එම සියලුම මත බොරු කළ ජොන්සන් අවසානයේ දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම ජයග්‍රහණය කළේ තත්පර 43.84ක කාලයක් වාර්තා කරමින්.

ජොන්සන් මීටර් 400 ඉසව්ව සඳහා තරග කරමින්  (gettyimages) 

මයිකල් ජොන්සන් එක් යුගයක ඔලිම්පික් ධාවන පිටියේ සිටි දැවැන්තයෙක්. ඔහු එම යුගයේ දී සුපිරි දස්කම් දක්වමින් බිහිකළ වාර්තා තවමත් වාර්තා පොත් අතර සුරැකිව පවතිනවා. එම නිසාම   මයිකල් ජොන්සන් නම් සුපිරි ධාවකයාගේ නාමය තව බොහෝ කලක් යනතුරු ප්‍රේක්ෂක හදවත් තුළ රැඳෙනු ඇති.

කවරයේ ඡායාරූපය - මයිකල් ජොන්සන් ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය  කළ පසුව (gettyimages) 

Related Articles