Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලැබූ විදෙස් පිතිකරුවෝ

ශ්‍රී ලංකා බිමේ දී මුල්ම වරට ටෙස්ට් තරගයක් පවත්වනු ලැබුවේ 1982 වසරේ දී යි. එදා සිට අද දක්වා ටෙස්ට් තරග 142ක් ශ්‍රී ලංකා බිමෙහි පැවැත්වුණා. නමුත් එම ටෙස්ට් තරගවල දී විදෙස් පිතිකරුවන්ට විශාල ඉනිම් දියත්කිරීමට ලෙහෙසියෙන් ඉඩක් නොලැබුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් නිසා යි. එලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් දස්කම් දැක්වූ නිසා ලක්බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගැනීමට හැකිවී තිබෙන්නේ විදෙස් පිතිකරුවන් හය දෙනෙකුට පමණ යි.

බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්) – 221 (2001 වසරේ දී)

2001 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ තෙවන තරගය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ සිංහල ක්‍රීඩා සමාජ පිටිය යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 17ක් තුළ දැවීගියේ චමින්ද වාස්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස කොදෙව්වන් අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට පිවිසි බ්‍රයන් චාල්ස් ලාරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවක් නොමැතිව පහරදුන්නේ කොදෙව් ඉනිම ගොඩනගමින්. එදා ලාරාව නැවැත්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වුණු නිසාම ඔහු පන්දු 354ක දී දැවැන්ත ලකුණු 221ක් ලබාගත්තේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින්. අලංකාර හතරේ පහර 23ක් සහ දැවැන්ත හයේ පහර 2ක් අන්තර්ගත වුණු ලාරාගේ ලකුණු 221 ලංකාවේ දී විදෙස් පිතිකරුවෙකු ලබාගත් මුල්ම ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසින් ඉතිහාසයට එක්වුණා.

ලාරා ද්විත්ව ශතකය ලබාගත් අවස්ථාව  (gettyimages)

ස්ටීවන් ෆ්ලෙමිං (නවසීලන්තය) – 274* (2003 වසරේ දී)

2003 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ පී සරා ඕවල් පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 20 දී දැවීගියා. එම අවස්ථාවේ පිටියට පිවිසි ස්ටීවන් ෆ්ලෙමිං සීරුවෙන් පන්දුවට පහරදුන්නේ ආරම්භක පිතිකරු මාක් රිචඩ්සන් සමග එක්ව මනරම් සබඳතාවයක් ගොඩනගමින්. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු ලකුණු 172ක සබඳතාවය නිමාවට පත්වුණේ ලකුණු 85ක් ලබා සිටි රිචඩ්සන්ගේ දැවීයාමත් සමගින්. එලෙස සිය සගයා නික්ම ගියත් ඉන් නොසැලුණු ෆ්ලෙමිං නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 476ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 274ක්. හතරේ පහර 28ක් සහ හයේ පහරක් අන්තර්ගත වුණු ෆ්ලෙමිංගේ ඉනිම විදෙස් නායකයෙකු ලක්බිමේ දී ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙස අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

ස්ටීවන් ෆ්ලෙමිං (gettyimages) 

විරේන්ද්‍ර ෂෙවාග් (ඉන්දියාව) – 201* (2008 වසරේ දී)

2008 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී යි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුණු ෂෙවාග් සහ ගාම්භීර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 167ක් එකතු කළා. සාර්ථක ආරම්භක සබඳතාවයකින් පසුව ලකුණු 56ක් ලබා සිටි ගාම්භීර් දැවීගියේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ යි. එම කඩුල්ල දැවීයාමෙන් පසුව ඉක්මනින්ම කඩුලු කිහිපයක් බිඳ වැටුණත් එය තඹ දොයිතුවකට මායිම් නොකළ ෂෙවාග් පන්දු 231කින් නොදැවී ලකුණු 201ක් ලබාගත්තේ හතරේ පහර 22ක් සහ හයේ පහර 4ක් සමගින්.  එසේම ඉන්දීය කණ්ඩායම ලකුණු 329කට දැවීයන විට ඉන් ලකුණු 201ක්ම ෂෙවාග්ගේ පිත්තෙන් වාර්තා වීමත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වුණා. 

ෂෙවාග්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව) – 203 (2010 වසරේ දී)

2010 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 642ක් ලබාගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 241ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ටෙන්ඩුල්කාර් පන්දු 347කින් ලකුණු 203ක් ලබාගත්තේ ඉන්දීය ඉනිම සවිමත් කරමින්. එහිදී අලංකාර හතරේ පහර 23කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුණු එම ඉනිම ටෙන්ඩුල්කාර්ගේ ටෙස්ට් දිවියේ වාර්තා වුණු 5 වැනි ද්විත්ව ශතකය යි.

ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) – 333 (2010 වසරේ දී)

2010 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 362ක් ලබා සිටියේ ක්‍රිස් ගේල් නොදැවී ලබාගත් ලකුණු 219 නිසා යි. තරගයේ දෙවන දිනයේ උදෑසන සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ගේල් අවසානයේ දී පන්දු 437කින් ලකුණු 333ක් ලබාසිටිය දී දැවීගියේ මෙන්ඩිස් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. එහිදී හතරේ පහර 34ක් සහ හයේ පහර 9ක් අන්තර්ගත වුණු ගේල්ගේ ඉනිම ලක්බිමේ දී විදෙස් පිතිකරුවෙකු වාර්තා කළ හොඳම ඉනිම ලෙසින් ඉතිහාසයට එක්වුණා.

ගේල් ත්‍රිත්ව ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය) – 200 (2013 වසරේ දී)

2013 වසරේ මුල භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 570ක් ලබාගත්තේ සංගක්කාර, චන්දිමාල්, සහ තිරිමාන්න ලබාගත් ශතක නිසා යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 177ක් තුළ දැවීගියේ තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකරදෙමින්. සිය කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට පිවිසි නායක මුෂ්ෆිකර් රහීම් පන්දු 321කින් ලකුණු 200ක් ලබාගත්තේ හතරේ පහර 22ක් සහ හයේ පහරක් එල්ල කරමින්. එදා රහීම්ගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ද්විත්ව ශතකය නිසා බංග්ලාදේශය ලකුණු 638ක් ලබාගත්තේ ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්.

රහීම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

කවරයේ ඡායාරූපය - බ්‍රයන් ලාරා (cricket Australia)

Related Articles