Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රථම නූතන ඔලිම්පික් උළෙල පැවැත් වූ පැනතිනෙයික් ක්‍රීඩාංගණය

ක්‍රිස්තු පූර්ව 776 දී සියුස් දෙවියන් ඇතුළු ඔලිම්පියානු දෙවිවරුන් වෙනුවෙන් පවත්වනු ලබන සැණකෙළියක් ලෙස ආරම්භ වූ ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල’ ලොව පැරණි ම සහ ජනප්‍රිය ම ක්‍රීඩා උළෙලක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. රෝම අධිරාජ්‍යයෙකු වූ පළමු වැනි තියෝඩොසියස් විසින් ක්‍රිස්තු වර්ෂ 393 දී තහනම් කරන තෙක් සියවස් දොළහකට ආසන්න කාලයක් තිස්සේ ‘පැරණි ඔලිම්පික් උළෙල’ සෑම සිව් වසරකට ම වරක් ඔලිම්පියා තැනිතලා භූමියේ දී උත්කර්ෂවත් ලෙස පැවති බව යි ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ.

© Thomas Mulchi

වසර 1,500 කට​ අධික කාලයක් තිස්සේ නොපැවැත්වුණු ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල’ නැවත වතාවක් ආරම්භ කිරීමේ අදහස ඇති වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1821 දී ග්‍රීසිය, ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ව යි. නමුත් මෙම අදහස ක්‍රියාත්මක වුණේ ක්‍රිස්තු වර්ෂ 1896 දී ග්‍රීසියේ පාලන කටයුතු මෙහෙය වූ පළමු වැනි ජෝර්ජියෝස් රජුගේ මූලිකත්වයෙන්. ඒ අනුව රාජ්‍යයන් 13 ක ක්‍රීඩකයින්ගේ සහ 600,000 කට අධික නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම නූතන ඔලිම්පික් උළෙල, ඇතැන්ස් නුවර ‘පැනතිනෙයික්’ හෙවත් ‘කාලිමර්මරෝ’ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

කිරුගරුඬෙන් නිම වූ අලංකාර ක්‍රිඩාංගණය

© Quiggyt4

ග්‍රීක බසින් ‘කාලිමර්මරෝ’ යන වදනේ  අර්ථය ‘අලංකාර කිරුගරුඬ’ යන්න යි. නමෙන් හැඟවෙන පරිදි ම ‘පැනතිනෙයික් ක්‍රීඩාංගණය’ සම්පූර්ණයෙන් ම ගොඩ නංවා ඇත්තේ ඇතැන්ස් නුවර ආසන්නයේ පිහිටි පෙන්ටලිකස් නම් කඳුවැටියෙන් ලබා ගන්නා ලද සුදෝසුදු පැහැ පෙන්ටලික් කිරුගරුඬ යොදාගෙන යි. එය දැනට ලෝකයේ පවතින සම්පූර්ණයෙන් ම කිරිගරු‍‍ඬෙන් නිම වන ලද එක ම ක්‍රීඩාංගණය ලෙස ද සලකනු ලබනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරන ඔලිම්පික් ගිනි සිළුව තැන්පත් කර ඇත්තේ ද එහි යි. එසේ ම ලෝක ඉතිහාසයේ වාර්තා පිහිටුවමින් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ත්‍රිත්වයක් ද (එනම් 1896, 1906 සහ 2004) පැනතිනෙයික් ක්‍රීඩාංගණයේ දී පවත්වා තිබෙනවා. (මෙහි 1906 ඔලිම්පික් උළෙල සාමාන්‍ය ඔලිම්පියාඩවලින් පරිභාහිරව පැවති විශේෂ උළෙලක් වුණා).

© Mattias Karlsson

සෑම සිව් වසරකට ම වරක් ජූනි මාසයේ දී ඇතීනා දෙවඟන වෙනුවෙන් පවත්වන ‘පැනතිනියා සැණකෙළිය’ පැවැත්වීම සඳහා ඇතැන්ස් නුවර වාසය කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ලිකුර්ගොස්ගේ මග පෙන්වීම යටතේ පැනතිනෙයික් ක්‍රීඩාංගණය ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු පූර්ණ 330 තරම් වන ඈත කාලයේ දී යි. සමාන්තර චතුර්භුජයක (parallelogram) හැඩයෙන් යුතු එහි තුන් පැත්තක නරඹන්නන් වෙනුවෙන් අසුන් පනවා ඇති අතර අනෙක් කෙළවරේ ක්‍රීඩාංගණයේ ඇතුළුවීමේ ද්වාරය පිහිටා තිබෙනවා.

පසු ව රෝම පාලන සමයේ දී වංශවත් රෝම සෙනට් සභිකයෙකු වූ හොරෝඩස් ඇටිකස්, පැනතිනෙයික් ක්‍රීඩාංගණයේ හැඩය අශ්ව ලාඩමක හැඩය ගන්නා සේ වෙනස් කිරීම සහ අලුත් දොරටුවක් ඉදි කිරීම වැනි අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා අනුග්‍රහය දැක් වූ බව සඳහන්. ක්‍රිස්තියානි දහමේ නැගී සිටීමත් සමග පැනතිනෙයික් ක්‍රීඩාංගණය භාවිතා කිරීම අත්හැර දමා තිබෙනවා. නමුත් 19 වැනි සියවසේ දී සිදු කරන ලද කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස එහි නටඹුන් සොයා ගන්නා ලද අතර එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වූ සම්පූර්ණ මුදල දරා ඇත්තේ ග්‍රීක ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජියෝස් ඇවරොෆ් විසින්. ඒ සමස්ත ක්‍රීඩාංගණය ම එහි මුල් අත්තිවාරම මත පැවති අයුරින් ම යළිත් ගොඩ නැගිය යුතු බවට වූ කොන්දේසිය මත යි. පැනතිනෙයික් ක්‍රීඩාංගණයට නැවතත් පෙර පැවති ශ්‍රී විභූතිය රැගෙන ඒමේ භාරදූර වගකීම, ගෘහ නිර්මාණ ශිල්පී ඇනස්ටසිස් මෙටක්සාස්ට පැවරුණා.

(© Getty Images / Ideal Image)
ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී

සමාරම්භක නූතන ඔලිම්පික් උළෙල

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරකටත් අඩු කාලයක් තුළ දී පැනතිනෙයික් ක්‍රීඩාංගණය යළි ගොඩ නැංවීමට ඇනස්ටසිස් මෙටක්සාස් ඇතුළු කණ්ඩායම සමත් වුණා. එය ගොඩ නැංවීම සඳහා පතල් 350 කින් කිරුගරුඬ ලබාගෙන ඇති අතර පුද්ගලයින් 550 දෙනෙකු දායක වී තිබෙනවා. නමුත් 1896 වර්ෂය රැගෙන ආ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා කිරිගරුඬ වෙනුවට තාවකාලික ව හිරිගල් යොදා ගැනීමට සිදු වූ බව සඳහන්. එහි නරඹන්නන් 80‍,000 කට (වර්තමානයේ දී එහි නරඹන්නන් 45,000 කට අසුන් ගත හැකි යි) ආසන පනවා තිබුණා.

(© The Athens Key)
1896 ඔලිම්පික් උළෙලේ සාමාරම්භක උත්සවයේ කොටසක්

එසේ වැඩ කටයුතු අවසන් වූ පැනතිනෙයික් ක්‍රීඩාංගණය දී ප්‍රථම නූතන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය පැවැත් වුණා. ඒ ක්‍රිස්තු වර්ෂ 1896 අප්‍රේල් 6 වැනි දින යි. එයට රටවල් 14 කින් ක්‍රීඩකයින් 241 දෙනෙකු සහභාගී වූ බව සඳහන්. අප්‍රේල් 15 වැනි දින එය අවසන් වුණේ රන් පදක්කම් 11 ක් හිමි කර ගත් ඇමෙරිකා එක්සත් ජනපදයට ශූරතාවය පිරි නමමින්.

පැනතිනෙයික් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ම කිරිගරුඬෙන් නිමවා අවසන් කරන ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1900 දී යි. ඒ ‘කාලිමර්මරෝ’ යන නාමය එයට හිමි කර දෙමින්. ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුවට දකුණු දෙසින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් ජෝර්ජියෝස් ඇවරොෆ්ගේ පිළිරුවක් ඉදි කර තිබෙනවා.

(© Marie-Hélène Cingal)
ජෝර්ජියෝස් ඇවරොෆ්ගේ පිළිරුව

වසරේ සෑම දිනක ම (මාර්තු සිට ඔක්තෝබර් දක්වා උදෑසන 8 සිට රාත්‍රි 7 දක්වා සහ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා උදෑසන 8 සිට සවස 5 දක්වා) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත එය ඇතැන්ස් නුවර පිහිටා ඇති ඉහළ ම සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයක්.

කවරයේ පින්තූරය : © Fewfires

Related Articles