Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියානු කලාපය තුළ මේ දිනවල දැඩි ක්‍රිකට් උණුසුමක්

ආසියාවේ ක්‍රිකට් බලවතුන්ගේ සංග්‍රාමය හෙවත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන අගෝස්තු 27 වැනිදා ආරම්භ වීමට නියමිත යි.

එනිසා මේ දිනවල ආසියානු කලාපය තුළ දැඩි ක්‍රිකට් උණුසුමක් නිර්මාණය වී තිබෙනවා. මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රියාත්මක වුණත් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැරීම විශේෂත්වයක්. 

2022 ආසියානු කුසලානය – onmanorama.com

 

එලෙස ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිද්දී තරගාවලිය සඳහා සහභාගි වන රටවල් මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මීට දින දෙකකට පෙර ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන නිල ශ්‍රී ලංකා සංචිතය මාධ්‍ය වෙත නිකුත් කළා. ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකට හිමි වෙද්දී උප නායකත්වය චරිත් අසලංකට හිමි වුණා. මේ එම සංචිතය යි. 

දසුන් ශානක (gettyimages.com)

 

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද් මදුෂාන්, මතීෂ පතිරණ, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක 

2022 ආසියානු තරගාවලිය පැවැත්වෙන්නේ 20/20 තරග රටාව යටතේ යි. අවසන් වරට 20/20 තරග රටාව යටතේ ආසියානු කුසලානයක් පැවැත්වුණේ 2016 වසරේ දී යි. මෙවර තරගාවලියේ දී B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාවට මූලික තරග වටයේ දී උරෙනුර ගැටීමට සිදුව තිබෙන්නේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් සමඟ යි. මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන යි. 

1). ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය- අගෝස්තු 27 සෙනසුරාදා 

2). ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය- සැප්තැම්බර් 1 බ්‍රහස්පතින්දා

ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම (gettyimages.com)

 

දකුණු ආසියාවේ පාපන්දු බලවතාට ක්‍රීඩා තහනමක් 

දකුණු ආසියාවේ පාපන්දු බලවතා වන්නේ ඉන්දියාව යි. ගෙවුණු කාලයේ දී ඉන්දීය පාපන්දු ක්‍රීඩාව සැලකිය යුතු තරම් ප්‍රගතියක් ලැබුවා. එයට ප්‍රධානත ම හේතුව වුණේ විදෙස් පාපන්දු ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වය ඇතිව එරට පැවැත්වෙන ඉන්දීය සුපර් ලීග් පාපන්දු තරගාවලිය යි. එම තරගාවලිය හරහා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්දීය පාපන්දුව සමඟින් අත්වැල් බැඳ ගත්තා. 

ඉන්දීය සුපර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර – gettyimages.com

 

පාපන්දු උන්මාදය ඉන්දියාව පුරා පැතිර යමින් තිබෙන මොහොත එරට පාපන්දු ලෝලීන් කම්පනයට පත් කරන ආකාරයේ පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබුණා. ඒ ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මඟින් නැවත දැනුම් දෙන තුරු සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයේ (AIFF) ක්‍රියාකාරිත්වය තහනම් කිරීම යි.

ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානය – gettyimages.com

 

සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය පසුගිය කාලයේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්තිවලට පටහැනි ව බාහිර පාර්ශව යොදා ගනිමින් පාපන්දු ක්‍රීඩාව සිදුකිරීම මෙම ක්‍රීඩා තහනමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

එම ක්‍රියාවලිය හරහා සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලය වංචා සහ දූෂණ රැසක් සිදු කර තිබෙන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් චෝදනා එල්ල වුණා. 

ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායම තරගයකට සහභාගි වෙමින් – gettyimages.com

 

මෙම තරග තහනම හේතුවෙන්  ඉන්දියාවේ දී එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ව තිබුණු 17න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ද ඉන්දියාවට අහිමි වී තිබෙනවා. ඉන්දීය පාපන්දු පරිපාලනයේ සියලු ම බලතල සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය යටතට ගන්නා තුරු මෙම ක්‍රීඩා තහනම එලෙසින් ම පවත්වාගෙන යාමට සිදුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ස්ථාවරය යි.

දකුණු අප්‍රිකාවට වසර 10කට පසු ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ජයක්

2022 එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 12ක ජයක් හිමි වුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට යි. දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ජයග්‍රහණය ලබාගෙන තිබුණේ 2012 වසරේ දී යි. ඔවුන් අවසන් වරට ලෝඩ්ස් පිටියේ දී ඉනිමක ටෙස්ට් ජයග්‍රහණයක් ලබා තිබුණේ 2003 වසරේ දී යි. දකුණු අප්‍රිකාවට එනිසා මෙය අමතක නොවන ජයග්‍රහණයක් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායම – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 165/10, (පෝප්- 73, රබාඩා- 52/5, නොකියා- 63/3, යැන්සන්- 30/2)

දකුණු අප්‍රිකා පළමු ඉනිම- 326/10, (සරේල්- 73, යැන්සන්- 48, ස්ටෝක්ස්- 71/3, බ්‍රෝඩ්- 71/3)

එංගලන්ත දෙවන ඉනිම- 149/10, (බ්‍රෝඩ්- 35, නොකියා- 47/3, යැන්සන්- 13/2, රබාඩා- 27/2)

දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 12ක ජයක් 

තරගයේ වීරයා- කගීසෝ රබාඩා 

පන්දුවෙන් දස්කම් දැක්වූ කගීසෝ රබාඩා – gettyimages.com

 

ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් 2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිව තිබෙනවා. 

රනිඳු සහ සුසල් අබුඩාබි චෙස් තරගාවලියේ දී දස්කම් අතර 

පසුගිය දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර දී පැවැත්වුණු ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ සුසල් ද සිල්වා සහ රනිඳු ලියනගේ යන ක්‍රීඩක යුගළය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර දී ජාත්‍යන්තර චෙස් තරගාවලියකට සහභාගි වෙනවා. එම තරගාවලිය යටතේ පැවති ක්ෂණික චෙස් (Blitz) තරග ඊයේ දිනයේ දී නිමාවට පත් වුණා. එම තරගවල දී  ඔවුන් දෙපළ සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. 

සුසල් ද සිල්වා – facebook.com/Soshan de Silva

 

එහි දී රනිඳු තරග වැදුණේ විවෘත තරග ඉසව්ව යටතේ යි. එම තරග ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 201දෙනෙක් සහභාගි වුණා. ඒ සඳහා චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයන් 24 දෙනෙක් සහ ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයන් 21 දෙනෙක් සහභාගි වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක රනිඳු ආරම්භක ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම්වල 101 වන ස්ථානයේ පසු වුණා. 

රනිඳු ලියනගේ – twitter.com/Ranindu Liyanage

 

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ රනිඳු තරග වට 11ක් අවසානයේ ලකුණු 7.5ක් ලබා ගෙන 16 වන ස්ථානය ලබා ගත්තා. එහි දී ඔහු පේරු රාජ්‍යයේ ග්‍රෑන්ඩ්මාස්ටර් ක්‍රීඩකයකු හමුවේ ජයග්‍රහණයක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ එම තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.  

විවෘත අංශයේ අවසන් තරග  ප්‍රතිඵල සටහන් වුණු ආකාරය (chessresults.com)

 

ඒ අයුරින් රනිඳු විශිෂ්ට දස්කම් දක්වද්දී 16න් පහළ ක්ෂණික චෙස් (Blitz) තරග ඉසව්ව සඳහා තරග වැදුණු සුසල් ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී සුසල් තරග වට 11ක් අවසානයේ දී ලකුණු 8.5ක් ලබා ගනිමින් තරගාවලියේ 6 වන ස්ථානය දිනා ගත්තා. මේ එම තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

16න් පහළ ඉසව්වේ අවසන් තරග ප්‍රතිඵල සටහන් වුණු ආකාරය – chessresults.com

 

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයන්ට ඉන්දියාවේ දී ජයග්‍රහණ රැසක් 

ඉන්දියානු විවෘත ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය බැංගලෝරයේ දී පසුගිය අගෝස්තු 19 වැනිදා නිමාව දුටුවා. දින 2ක් පුරා පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනාගත් එම පදක්කම් පිළිබඳ තොරතුරු යි. 

1). සමිත දුලාන්- F 44-64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්ව- රිදී පදක්කම 

2). නුවන් ඉන්දික- T- 44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව- රිදී පදක්කම 

3). අනිල් ජයලත්- T- 42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව- රිදී පදක්කම 

4). සමන් සුබසිංහ- T- 44 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව- රිදී පදක්කම 

5). තිසර ජයසිංහ- F 54-56 කාණ්ඩයේ යගුලිය විසි කිරීම ඉසව්ව- රිදී පදක්කම 

6). ප්‍රදීප් සෝමසිරි- T- 44 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව- රිදී පදක්කම 

7). බුද්ධික ඉන්ද්‍රපාල- T- 42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව- ලෝකඩ පදක්කම 

සමිත දුලාන් – newsfirst.lk

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

chessresults.com

sportstar.thehindu.com  

Related Articles