Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා පිල 20/20 ලෝක කුසලානයේ බලාපොරොත්තු අතරට 

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.එහි පළමු තරග වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණා. ඒ යටතේ ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී නැමීබියා කණ්ඩායම හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබුවා. 

එයින් පාඩම් ඉගෙන ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් පසු ව පැවති තරගවල දී යළි සුපුරුදු දස්කම් අතරට පැමිණ සිටිනවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට හැකි වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී – gettyimages.com

පළමු තරග වටයේ ශ්‍රී ලංකා දස්කම් 

පළමු තරග වටයේ දී නැමීබියාව හමුවේ පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගයේ දී උරෙනුර ගැටුණේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ යි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් නායකයා පන්දුවට මුලින් ම පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පන්දු 28කින් ලකුණු 42ක් ලබා ගෙන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

එම අවස්ථාවේ ලකුණු 18ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසුව පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා සහ භානුක රාජපක්ෂ යන පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන් නිසා පන්දුවාර 14.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/2 ලෙසින් දිස් වුණා.

පැතුම් නිස්සංක පන්දුවට පහරදෙමින් – gettyimages.com

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය සියතට ගෙන තිබුණු එම අවස්ථාවේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු කාර්තික් මෙයියප්පන්, පිට පිට ම පන්දු 3කින් භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානක යන පිතිකරුවන් තිදෙනා දවාගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. එය යම් පන්දු යවන්නෙක් 20/20 ලෝක කුසලාන තරගයක දී ලබා ගත් 5 වන කඩුලු ත්‍රිත්වය බවට පත් වුණා.

ඔහුට පෙර ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, අයර්ලන්තයේ කර්ටිස් කැම්පර්, ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා එම දස්කම දක්වා තිබුණා. ඉක්මනින් කඩුලු කිහිපයක් දැවී ගිය ද ඉන් නොසැලුණු පැතුම් නිස්සංක එක් අන්තයක් රැක ගෙන පන්දුවට පහරදෙමින් පන්දු 60ක දී ලකුණු 74ක් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම 152/8 ලෙසින් නිමාව දුටුවා. 

කාර්තික් මෙයියප්පන් – gettyimages.com

 ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් පිතිකරුවන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණා. එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 30ක් ඇතුළත බිඳ වැටුණා. වේගපන්දු යවන්නන් සිය රාජකාරිය සාර්ථක ලෙස අවසන් කිරීමෙන් පසු ව දඟ පන්දු යවන්නන් අතට පන්දුව ලබා දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළා.

එහි දී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු ඉක්මනින් දවා ගත් නිසා එක්සත් අරාබි එමීර් ඉනිම පන්දුවාර 17.1ක් ඇතුළත ලකුණු 73කට සීමා වුණා. එහි දී එක්සත් අරාබි එමීර් ඉනිම සුණුවිසුණු කළ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවා ගත්තා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චමීර – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 152/8 (20), (නිස්සංක- 74, ධනංජය- 33, මෙයියප්පන්- 19/3, සහූර්- 26/2)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය- 73/10 (17.1),  (ආයන්- 19, හසරංග- 8/3, චමීර- 15/3, තීක්ෂණ- 15/2)

ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයක් 

තරගයේ වීරයා- පැතුම් නිස්සංක 

එක්සත් අරාබි එමීර් කණ්ඩායම හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසුව යළි සුපුරුදු රිද්මයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ අවසන් තරගයේ දී හමු වුණේ  නෙදර්ලන්ත කණ්ඩායම යි. එම තරගයට පෙර දුෂ්මන්ත චමීර සහ ප්‍රමෝද් මදුෂාන් යන වේගපන්දු යවන්නන් දෙදෙනා ආබාධයකට ලක් වීම නිසා ශ්‍රී ලංකා පන්දු බළඇණියේ ශක්තිය හීන වුණා. එවැනි තත්ත්වයක් යටතේ බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර නෙදර්ලන්ත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා බවට පත් වුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු කුසල් මෙන්ඩිස් පන්දු 44කදී හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 79ක් ලබා ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් – gettyimages.com

 ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 47ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එම අසීරු අවස්ථාවේ සටන්කාමී පිතිහරඹයක නිරත වුණු නෙදර්ලන්ත ආරම්භක පිතිකරු මැක්ස් ඕ ඩාවුඩ් එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නිසා පන්දුවාර 14.2ක් අවසන් වෙද්දී නෙදර්ලන්ත ලකුණු පුවරුව 100/4 බවට පත් වුණා.

ජයග්‍රහණය සඳහා පන්දු 34කින් ලකුණු 63ක් අවශ්‍ය වුණු ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 23ක් ප්‍රතිවාදීන්ට ලබාදෙන අතරතුර ඔවුන්ගෙන් කඩුලු 5ක් උදුරා ගත්තා. පන්දුවාර 17.4ක් අවසන් වෙද්දී නෙදර්ලන්ත කණ්ඩායමේ ලකුණු තත්ත්වය 123/9 බවට පත් ව තිබුණා.

ඕ ඩාවුඩ් පන්දුවට පහරදෙමින් – gettyimages.com

තරගයේ සියලු ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ව තිබුණු මොහොතක පරාජය ලෙහෙසියෙන් භාර ගැනීමට අකමැති වුණු මැක්ස් ඕ ඩාවුඩ්, ආබාධයකට ලක්ව සිටිය දී පන්දුවට පහරදීමට පැමිණි රෝලෝෆ් වැන් ඩර් මර්ව් ද රැකගෙන වේගවත් පිතිහරඹයක නිරත වුණා. එහි දී ඕ ඩාවුඩ් සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් පන්දු 53 නොදැවී ලකුණු 71ක් ලබා ගත්ත ද එය නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ.

අවසානයේ නියමිත පන්දුවාර 20 තුළ නෙදර්ලන්ත ඉනිම 146/9 ලෙසින් නිමාව දුටු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමි වුණා. එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟ ඔවුන් සුපිරි කණ්ඩායම් 12 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

පන්දුවෙන් දස්කම් දැක්වූ හසරංග – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 162/6 (20), (කුසල්- 79, අසලංක- 31, මීකෙරෙන්- 25/2, ඩි ලීඩ්- 31/2)

නෙදර්ලන්තය- 146/9 (20), (ඕ ඩාවුඩ්- 71*, එඩ්වර්ඩ්ස්- 21, හසරංග- 28/3, තීක්ෂණ- 32/2)

ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක් 

තරගයේ වීරයා- කුසල් මෙන්ඩිස් 

පළමු තරග වටයේ ප්‍රතිඵලවලට අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.  B කාණ්ඩයෙන් එම වරම හිමි වුණේ සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකට යි. එහි දී දෙවරක් 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීම කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් වුණා. මේ තරගාවලියේ පළමු වටයෙන් පසුව සුපිරි කණ්ඩායම් 12 වටයේ කාණ්ඩවලට කණ්ඩායම් බෙදුණු ආකාරය යි.

කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණු මොහොත – gettyimages.com

පළමු කාණ්ඩය (Group 1)

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ වඩාත් තරගකාරී කාණ්ඩය බවට පත්ව තිබෙන්නේ පළමු කාණ්ඩය යි. ඒ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව යන කණ්ඩායම් එම කාණ්ඩය යටතේ තරග වදින නිසා යි.  ඒ අතුරින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය පසුගිය 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාව සහ අනු ශූරතාව දිනා ගත් කණ්ඩායම් දෙක යි. එම කණ්ඩායම්වලට අමතර ව මෙම කාණ්ඩය යටතේ තරග වදින ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය යන කණ්ඩායම් ද්විත්වය ද සුළුවෙන් තකන්නට බැහැ. එනිසා මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සෑම කණ්ඩායමකටම ප්‍රබල සටනක් ලබා දීමට සිදු වනු ඇති.

දෙවන කාණ්ඩය (Group 2)

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දෙවන කාණ්ඩයේ තරගකාරීත්වය පළමු කාණ්ඩයට සාපේක්ෂ ව තරමක් අඩු බවයි දිස් වන්නේ. ඒ ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රබල කණ්ඩායම් ත්‍රිත්වය පමණක් එම කාණ්ඩයට ඇතුළත් ව සිටින නිසා යි. ඊට අමතර ව එම කාණ්ඩය යටතේ තරග කරන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් තුන යි. එනිසා මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සටන පවතින්නේ ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් ත්‍රිත්වය අතර යි. 

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයකින් සුපිරි 12 වටය අරඹයි 

සුපිරි 12 තරග වටය යටතේ ශ්‍රී ලංකාව මුලින් ම තරග වැදුණේ අයර්ලන්තය සමඟ යි. හෝබාට් හි බෙලරීව් ඕවල් පිටියේ දී ඊයේ (23) නිමාවට පත් වුණු  එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් ජය ගත්තා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායකයා පන්දුවට මුලින් පහර දීමට තීරණය කළා. ඔහුගේ එම තීරණය අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 10ක් තුළ අයර්ලන්ත මුල් කඩුලු 4 ලකුණු 60කට දවා ගත්තා. ඉන් පසු ව අයර්ලන්ත පිතිකරුවන්ටතරගයට යළි අවතීර්ණ වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී අයර්ලන්ත ලකුණු පුවරුව 128/8ක් ලෙසින් දිස් වුණා. එහි දී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

පන්දුවෙන් දස්කම් පෑ තීක්ෂණ – gettyimages.com

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යන පිතිකරු යුගළය යි. තරග ආරම්භයේ සිට තරමක් ප්‍රවේසමෙන් පන්දුවට පහරදුන් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50කින් ලකුණු 63ක් එකතු කළා.

ඒ මොහොතේ ලකුණු 31ක් ලබාගෙන සිටි ධනංජය දැවීයාමත් සමඟින් පිටියේ එකතු වුණු කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක පන්දු 40කින් නොබිඳුණු ලකුණු 70ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පන්දු 43කින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා. එලෙස ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ 2 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. මේ ශ්‍රී ලංකා-අයර්ලන්ත තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ අවස්ථාව – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

අයර්ලන්තය- 128/8 (20), (ටෙක්ටර්- 45, ස්ටර්ලිංග්- 34, තීක්ෂණ- 19/2, හසරංග- 25/2) 

ශ්‍රී ලංකාව- 133/1 (15), (කුසල්- 68*, අසලංක- 31*, ධනංජය- 31, ඩිලේනි- 28/1) 

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා- කුසල් මෙන්ඩිස් 

සුපිරි 12 තරග වටය යටතේ පැවති ඉතිරි තරගවල ප්‍රතිඵල 

සුපිරි 12 වටයේ තවත් තරග 3ක් පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා. එහි දී එම තරග වටය ආරම්භ කරමින් තරග වැදුණේ පසුගිය 20/20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගත් ඕස්ට්‍රේලියාව සහ අනු ශූරතාව දිනා ගත් නවසීලන්තය යන කණ්ඩායම් දෙක යි. එහි දී පසුගිය ලෝක ශූරයන් අභිබවා ගිය නවසීලන්තය ලකුණු 89ක පහසු ජයක් හිමි කර ගත්තා. එම තරගයේ දී නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ පන්දු 58කින් නොදැවී ලකුණු 92ක් ලබා ගෙන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.  

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 200/3 (20), (කොන්වේ- 92*, ඇලන්- 42, නීෂම්- 26*, හේසල්වුඩ්- 41/2)

ඕස්ට්‍රේලියාව- 111/10 (17.1), (මැක්ස්වෙල්- 28, සවුති- 6/3, සැන්ට්නර්- 31/3, බෝල්ට්- 24/2)

නවසීලන්තයට ලකුණු 89ක ජයක් 

තරගයේ වීරයා- ඩෙවොන් කොන්වේ 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කොන්වේ – gettyimages.com

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ තවත් තරගයක් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණා. පර්ත් හිදී පැවති එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි වුණේ එංගලන්ත කණ්ඩායමට යි. එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා. එය එංගලන්තය වෙනුවෙන් 20/20 තරගයක දී යම් පන්දු යවන්නෙක් සිදු කළ හොඳ ම පන්දු යැවීම යි. එහි දී ඔහු අභිබවා ගියේ අඩිල් රෂීඩ් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 2කට කඩුලු 4ක් බිඳ දමමින් තබා තිබුණු වාර්තාව යි. මේ එංගලන්ත-ඇෆ්ගනිස්තාන තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ඇෆ්ගනිස්තානය- 112/10 (19.4), (ඊබ්‍රාහීම්- 32, ගානි- 30, කරන්- 10/5, ස්ටෝක්ස්- 19/2, වුඩ්- 23/2)

එංගලන්තය- 113/5 (18.1), (ලිවිංග්ස්ටන්- 29*, හේල්ස්- 19, නබී- 16/1, රෂීඩ්- 17/1)

එංගලන්තයට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- සෑම් කරන් 

කරන් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී කාගේත් අවධානය දිනා ගත් තරගයක් මෙල්බර්න් හි දී ඊයේ (23) දිනයේ පැවැත්වුණා. එහි දී තරග වැදුණේ ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙක යි. එම තරගයේ දී ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට එක් අවස්ථාවක තරගය ජය ගැනීම සඳහා පන්දු 54කින් ලකුණු 106ක් අවශ්‍ය වුණා. ඒ මොහොතේ සටන්කාමී පිතිහරඹයක නිරත වුණු විරාත් කෝලි පන්දු 53කින් නොදැවී ලකුණු 82ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

පාකිස්තානය- 159/8 (20), (මසූඩ්- 52*, ඉෆ්තිකාර්- 51, හාර්ඩික්- 30/3, අර්ශ්දීප්- 32/3)

ඉන්දියාව- 160/6 (20), (කෝලි- 82*, හාර්ඩික්- 40, රවුෆ්- 36/2, නවාස්- 42/2)

ඉන්දියාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- විරාත් කෝලි 

ඉන්දියාව ජයග්‍රහණය වෙත රැගෙන ගිය කෝලි – gettyimages.com

ශ්‍රී ලංකාවට එළඹෙන සතියේ තීරණාත්මක තරග 2ක් 

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සතියේ දී සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග 2කට සහභාගි වෙනවා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම්වලට එරෙහිව යි. ඒ අතුරින් ඕස්ට්‍රේලියා තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟින් තරග වදින්නේ  ඔක්තෝබර් 29 වැනි දා (සෙනසුරාදා) යි. එම තරගය සිඩ්නි පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

තරගාවලියේ ඉදිරියට යාම සඳහා මෙම තරග දෙකේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකාවට අඩුම තරමින් මෙම තරග 2න් 1ක් වත් ජයග්‍රහණය කිරීමට හැකි වුණොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගන්නට පුළුවන්.  

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-අයර්ලන්ත තරගයේ අවස්ථාවක් - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
howstat.com
t20worldcup.com

Related Articles