Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රීලංකා ක්‍රිකට් පිල ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 2022 එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. එම තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමිවුණත් තරගාවලිය තරග 3-2ක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

එය ශ්‍රී ලංකාව වසර 30කට පසුව සිය මව්බිමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලබා ගත් එක ම එක්දින තරගාවලිය ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. 

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ සිව්වන තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ දී සියලුදෙනා ම දැවී ලබා ගත්තේ ලකුණු 258ක් පමණ යි. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කින් ලකුණු 110ක් ලබා ගෙන සිය මංගල එක්දින ශතකය වාර්තා කළා.

අසලංක සිය මංගල එක්දින ශතකය ලබාගත් මොහොත – gettyimages.com

 

ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 35.4ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා ගෙන ස්ථාවර තත්ත්වයකට පත් ව සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ පන්දු 9කින් ලකුණු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 3ක් දවා ගත්තා. එහි දී ඩේවිඩ් වෝනර් ලකුණු 99කට දැවී යාම අමතක නොවන සිදුවීමක් බවට පත් වුණා.

වෝනර් ලකුණු 99කට දැවීගිය මොහොත – gettyimages.com

 

පිට පිට ම කඩුලු 3ක් බිඳ වැටීමෙන් පසුව අඩපණ වුණු ඕස්ට්‍රේලියානු ඉනිමට ජීවයක් ලබා දුන් පැට් කමින්ස්, කැමරන් ග්‍රීන් සහ මැතිව් කුනමන් අවසන් පන්දුව දක්වා තරගය රැගෙන පැමිණියා.

තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍ය වුණු අවස්ථාවේ කුනමන්ගේ කඩුල්ල දවා ගැනීමට දසුන් ශානක සමත් වුණා. ඒ සමඟ ම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරග 3-1ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. 

ශ්‍රී ලංකාව සිව්වන තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 258/10 (49), (අසලංක- 110, ධනංජය- 60, මාෂ්- 29/2, කමින්ස්- 37/2, කුනමන්- 56/2)

ඕස්ට්‍රේලියාව- 254/10 (50), (වෝනර්- 99, කමින්ස්- 35, චාමික- 19/2, ධනංජය- 39/2, වැන්ඩසේ- 40/2)

ශ්‍රී ලංකාවට ලකුණු 4ක ජයක් 

තරගයේ වීරයා- චරිත් අසලංක 

කඩුල්ලක් දවා ගත් ධනංජයට සුබ පතන කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ – gettyimages.com

 

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 30කට පසුව ඕස්ට්‍රේලියානුවන් හමුවේ මව්බිමේ දී ලබාගත් එක ම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් වාර්තා වුණා. පහතින් දක්වා තිබෙන්නේ 1983-2022 කාලය තුළ ලක්බිමේ දී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි. 

1) 1983 තරගාවලිය- 2-0 (ශ්‍රී ලංකාව)

2) 1992 තරගාවලිය- 2-1 (ශ්‍රී ලංකාව)

3) 2004 තරගාවලිය- 3-2 (ඕස්ට්‍රේලියාව)

4) 2011 තරගාවලිය- 3-2 (ඕස්ට්‍රේලියාව)

5) 2016 තරගාවලිය- 4-1 (ඕස්ට්‍රේලියාව)

6) 2022 තරගාවලිය- 3-2 (ශ්‍රී ලංකාව)

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං 2004 තරගාවලියේ ජයග්‍රාහී කුසලානය අතැතිව – gettyimages.com

 

තරගයක් ඉතිරි ව තිබිය දී එක්දින තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පීඩනයකින් තොරව පස්වන එක්දින තරගය සඳහා අවතීර්ණ වුණා.

එම තරගයේ දී සිය අභිමානය වෙනුවෙන් සටන් කළ ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන් තරග ආරම්භයේ සිට ප්‍රබල තරග රටාවක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 7ම ලකුණු 62ක දී බිඳ වැටුණා.  

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන ඕස්ට්‍රේලියානුවෝ -gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න පසු පෙළ පිතිකරුවන් ද රැකගෙන සටන්කාමී පිතිහරඹයක නිරත වුණා.

එහි දී චාමිකගේ පිත්තෙන් පන්දු 75කින් වාර්තා වුණු වටිනා ලකුණු 75 නිසා පන්දුවාර 43.1 කදී සියලු පිතිකරුවන් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 160ක් සටහන් වුණා. එම ඉනිමේ දී චාමික ලබාගත් ලකුණු 75 ඔහුගේ එක්දින ක්‍රිකට් තරග දිවියේ මංගල අර්ධ ශතකය ලෙසින් සටහන් වුණා. 

චාමික සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 50ක දී බිඳ වැටුණා. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් මැනවින් පන්දු යවමින් සිටියා. එනිසා තරගය දෙපිලට ම විවෘත වී තිබුණා.

එවැනි තීරණාත්මක මොහොතක පිටියට පිවිසි ඇලෙක්ස් කේරී සිය වගකීම මනාව වටහා ගනිමින් ලබාගත් වටිනා ලකුණු 45 නිසා අවසානයේ ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක් හිමි වුණා.

පිත්තෙන් දස්කම් දැක්වූ ඇලෙක්ස් කේරී – gettyimages.com

 

එහි දී මානස් ලබුෂේන් ලබා ගත් ලකුණු 31 සහ  කැමරන් ග්‍රීන් නොදැවී ලබා ගත් ලකුණු 25ත් කේරිට විශාල සහායක් ලබා දුන්නා. ඒ අයුරින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිත්තෙන් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් හපන්කම් පෑ දුනිත් වෙල්ලාලගේ ලකුණු 42කට කඩුලු 3ක් බිඳ දැමුවා.

මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පන්දුවෙන් දස්කම් පෑ දුනිත් වෙල්ලාලගේ – gettyimages.com

 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 162/10 (43.1), (චාමික- 75, මෙන්ඩිස්- 26, හේසල්වුඩ්-22/2, කමින්ස්- 22/2, කුනමන්- 26/2)

ඕස්ට්‍රේලියාව- 164/6 (39.3), (කේරි- 45*, ලබුෂේන්- 31, ග්‍රීන්- 25*, වෙල්ලාලගේ- 42/3, තීක්ෂණ- 26/2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- චාමික කරුණාරත්න

තරගාවලියේ වීරයා- කුසල් මෙන්ඩිස් 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් 83ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන ඉනිම් 5කදී ලකුණු 249ක් ලබා තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා.

ඒ අයුරින් පිත්තෙන් දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මෙවර එක්දින තරගාවලියේ දී එක්දින වරම් හිමි කර ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 9ක් බිඳ දමමින් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් කුසල් මෙන්ඩිස් – twitter.com

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත යි. අවසන් වරට ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වුණේ 2016 වසරේ දීයි.

එම ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. 2021-23 ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් පළමු සහ සිව්වන ස්ථානවල පසුවෙනවා. එනිසා මෙම තරගාවලිය දෙපිලට ම තීරණාත්මක එකක්.

ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයාට තවත් රන් පදක්කමක් 

වර්තමානයේ  ශ්‍රී ලංකාවේ  ජාතික චෙස් ශූරයා ලෙසින් වැජඹෙන්නේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන තවමත් 16 හැවිරිදි වියේ පසුවන සුසල් ද සිල්වා යි. මෙවර පිට පිට ම දෙවන වරටත් ජාතික චෙස් ශූරයා ලෙසින් අභිෂේක ලැබූ සුසල් පසුගිය කාලයේ දී චෙස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා.

ඒ අයුරින් දිගින් දිගට ම දස්කම් අතර සිටින සුසල් පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවට තවත් චෙස් රන් පදක්කමක් දිනා දුන්නා. ඒ මාලදිවයිනේ පැවැත්වුණු  බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ දී යි. එහි දී 18න් පහළ විවෘත තරග කාණ්ඩය යටතේ තරග වැදුණු සුසල් තරග වට 9කින් ලකුණු 6.5ක් ලබා ගෙන  උස්බෙකිස්තානය, ඉන්දියාව, කිර්ගිස්තානය සහ කසකස්තානය යන රටවල්වල ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමින් සිය රටට රන් පදක්කම උරුම කර දුන්නා.

 සුසල් ද සිල්වා රන් පදක්කම දිනාගත් මොහොත – facebook.com

 

මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට මුල් වරට රංජි කුසලානය 

2021-22 රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගය බැංගලෝර් නුවර චින්නස්වාමී ක්‍රීඩාංගණයේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයේ දී  මුම්බායි සහ මධ්‍ය ප්‍රදේශ් යන කණ්ඩායම් තරග වැදුණා. එහි දී ප්‍රබල මුම්බායි කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම මුල් ම වරට රංජි කුසලාන ශූරතාව හිමි කර ගත්තා.

41 වතාවක් රංජි කුසලානය හිමි කර ගෙන එම තරගාවලි ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායම ලෙසින් නමක් දිනා ගෙන සිටි මුම්බායි කණ්ඩායමට මෙවර ශූරතාව අහිමි වීම පිළිබඳ ව බොහෝ දෙනෙක් විමතිය පළ කළා.

මේ රංජි කුසලාන අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ශූරතාව දිනා ගත් මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම – cricketnmore.com

 

මුම්බායි පළමු ඉනිම- 374/10 (127.4)

සෆ්රාස් ඛාන්- 134 (243)

යෂස්වි ජයිස්වාල්- 78 (163)

ගෞරව් යාදව්- 106/4 (35.4)

අනුභව් අගර්වාල්- 81/3 (29)

මධ්‍ය ප්‍රදේශ් පළමු ඉනිම- 536/10 (177.2)

යාෂ් ඩුබේ- 133 (336)

රාජාට් පටිදාර්- 122 (219)

ෂුබම් ෂර්මා- 116 (215)

ෂම්ස් මුලානි- 173/5 (63.2)

තුෂාර් දේශ්පණ්ඩේ- 116/3 (36)

මුම්බායි දෙවන ඉනිම- 269/10 (57.3)

සුවෙඩ් පර්කාර්- 51 (58)

සෆ්රාස් ඛාන්- 45 (48)

කුමාර් කාර්තිකේයා- 98/4 (22)

පාර්ත් සහානි- 43/2 (7.3)

මධ්‍ය ප්‍රදේශ් දෙවන ඉනිම- 108/4 (29.5)

හිමන්ෂු මන්ට්‍රි- 37 (55)

රාජාට් පටිදාර්- 30 * (37)

ෂම්ස් මුලානි- 41/3 (13)

මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- ෂුබම් ෂර්මා 

තරගාවලියේ වීරයා- සෆ්රාස් ඛාන් (ලකුණු 982)

මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම මීට පෙර රංජි කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ එක් අවස්ථාවක දී පමණ යි. 1998-99 තරග වාරයේ දී කර්ණාටක කණ්ඩායමට එරෙහි ව පැවති එම අවසන් තරගයෙන් මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට ලකුණු 96ක පරාජයක්  උරුම වුණා.

ඉන්දීය ජාතික කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක් වුණු චන්ද්‍රකාන්ත් පණ්ඩිත් එදා මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ක්‍රීඩකයකු ලෙස එවර රංජි කුසලාන කිරුළ අහිමි කර ගත් පණ්ඩිත් මෙවර පුහුණුකරුවෙකු ලෙස මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට මුල් ම වරට රංජි කුසලාන කිරුළ උරුම කරදීම සුවිශේෂී සිදුවීමක් වුණා.

චන්ද්‍රකාන්ත් පණ්ඩිත් – news18.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් තරගාවලි පරාජයක් 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව මේ දිනවල පැවැත්වෙනවා.

එම තරගාවලියේ මුල් තරග දෙක ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 20/20 තරග වරම් දිනා ගත් 16 හැවිරිදි විශ්මි ගුණරත්න දෙවන 20/20 තරගයේ දී ලකුණු 45ක් ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. 

විශ්මි ගුණරත්න – sportslumo.com

 

පාසල් තරගවල දී පසුගිය කාලයේ විශ්මි දැක්වූ සුවිශේෂී දස්කම් නිසා ඇයට වයස අවුරුදු 16 දී සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් විශ්මි දස්කම් අතරට පැමිණියා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සූදානම් වන විශ්මිගේ දස්කම්වලට අනුව ඇය ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඉහළ දස්කම් දක්වනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණය දෙක සඳහා නායිකා හර්මන්ප්‍රීට් කාවුර් ඉහළ දායකත්වයක් ලබා දුන්නා. එම තරග ද්විත්වයේ ප්‍රතිඵල සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි. 

1). පළමු 20/20 තරගය 

ඉන්දියාව- 138/6 (20)

ශ්‍රී ලංකාව- 104/5 (20)

ඉන්දියාවට ලකුණු 34ක ජයක් 

තරගයේ වීරයා- ජෙමීමා රොද්‍රිගස් 

2) දෙවන 20/20 තරගය 

ශ්‍රී ලංකාව- 125/7 (20)

ඉන්දියාව- 127/5 (19.1)

ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- හර්මන්ප්‍රීට් කාවුර් 

හර්මන්ප්‍රීට් කාවුර් – indianexpress.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා නායක දසුන් ශානක ජයග්‍රාහී කුසලානය අතැතිව - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

cricbuzz.com

Chesstesults.com

Related Articles