IPL කුසලාන තරග බිමේ සිව්කොන් සටනක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආශ්‍රිත ව මේ දිනවල  පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 49ක් නිමාව දකින විට කණ්ඩායම් ත්‍රිත්වයක් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා. ඒ චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන ප්‍රබල කණ්ඩායම් ත්‍රිත්වය යි.

එලෙස කණ්ඩායම් තුනක් පහසුවෙන් ම අවසන් වටයට වරම් ලබා ගනිද්දී මුම්බායි, පන්ජාබ්, කොල්කටා සහ රාජස්තාන් යන කණ්ඩායම් අතර සිව්කොන් සටනක් පවතින්නේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සිව්වන කණ්ඩායම බවට පත්වීමට යි.  IPL තරග බිම වඩාත් උණුසුම් වී තිබෙන මොහොතක ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

IPL තරගාවලියේ තොරතුරු

පසුගිය සතිය නිමාවට පත්වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 39ක් අවසන් ව තිබුණා. ඒ වන විට පෙරමුණේ පසුවුණු චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් යුගළය තරග 8 බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 16ක් ලබා ගෙන තිබුණා. ගෙවුණු සතිය ආරම්භ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් කණ්ඩායම ලකුණු ලබා ගත් ආකාරය පහතින් දක්වා තිබෙනවා. 

  • 1) චෙන්නායි සුපර් කිංග්ස්- 16  (තරග- 10)
  • 2) දිල්ලි කැපිටල්ස්- 16  (තරග- 10)
  • 3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 12  (තරග- 10)
  • 4) පංජාබ් කිංග්ස්- 8  (තරග- 10)
  • 5) කොල්කටා නයිට් රයිඩර්ස්- 8  (තරග- 10) 
  • 6) මුම්බායි ඉන්දියන්ස්- 8  (තරග- 10)
  • 7) රාජස්තාන් රෝයල්ස්- 8  (තරග- 9)
  • 8) සන්රයිසස් හයිද්‍රාබාද්- 2  (තරග- 9) 
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම – Cricket Times

 

ගෙවුණු සතියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමේ තරග 10ක් පැවැත්වුණා. එම තරගවල ප්‍රතිඵල සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.  

  • 40 වන තරගය- හයිද්‍රාබාද් සහ රාජස්තාන්- හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 
  • 41 වන තරගය- කොල්කටා සහ දිල්ලි- කොල්කටා කණ්ඩායමට කඩුලු 3ක ජයක් 
  • 42 වන තරගය- මුම්බායි සහ පංජාබ්- පංජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 
  • 43 වන තරගය- බැංගලෝර් සහ රාජස්තාන්- බැංගලෝර් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 
  • 44 වන තරගය- චෙන්නායි සහ හයිද්‍රාබාද්- චෙන්නායි කණ්ඩායමට කඩුලු 6ක ජයක් 
  • 45 වන තරගය- කොල්කටා සහ පංජාබ්- පංජාබ් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 
  • 46 වන තරගය- දිල්ලි සහ මුම්බායි- දිල්ලි කණ්ඩායමට කඩුලු 4ක ජයක් 
  • 47 වන තරගය- රාජස්තාන් සහ චෙන්නායි- රාජස්තාන් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 
  • 48 වන තරගය- බැංගලෝර් සහ පංජාබ්- බැංගලෝර් කණ්ඩායමට ලකුණු 6ක ජයක් 
  • 49 වන තරගය- කොල්කටා සහ හයිද්‍රාබාද්- කොල්කටා කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

ඒ අනුව තරගාවලියේ 49 වන තරගය නිමාව දකින විට ප්‍රසාද ලකුණු පුවරුව පහත ආකාරයට දැක්වුණා. 

  • 1) චෙන්නායි සුපර් කිංග්ස්- 18  (තරග- 12)
  • 2) දිල්ලි කැපිටල්ස්- 18 (තරග- 12)
  • 3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 16 (තරග- 12)
  • 4) කොල්කටා නයිට් රයිඩර්ස්- 12  (තරග- 13) 
  • 5) පංජාබ් කිංග්ස්- 10  (තරග- 13)
  • 6) රාජස්තාන් රෝයල්ස්- 10  (තරග- 12)
  • 7) මුම්බායි ඉන්දියන්ස්- 10 (තරග- 12)
  • 8) සන්රයිසස් හයිද්‍රාබාද්- 4  (තරග- 12)
බැංගලෝර් කණ්ඩායම – Cric Fit

 

IPL තරග බිමෙන් වාර්තා වුණු විශේෂ සිදුවීම් 

ගෙවුණු සතියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමෙන් කනගාටුදායක පුවතක් වාර්තා වුණා. ඒ පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන සුපිරි තරුවක් වන ක්‍රිස් ගේල් තරගාවලියෙන් ඉවත් වීම යි.

ඒ අයුරින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමෙන් නික්ම ගියේ එළඹෙන 20/20 ලෝක තරගාවලියට සූදානම් වීම සඳහා යි. තරගාවලියේ තීරණාත්මක අවස්ථාවක සිදුවුණු ගේල්ගේ නික්ම යාම පන්ජාබ් කණ්ඩායමට බලවත් පාඩුවක් බව විචාරක මතය යි.

ක්‍රිස් ගේල් – Times of India

 

රාජස්තාන් සහ චෙන්නායි යන කණ්ඩායම් අතර පසුගිය සෙනසුරාදා පැවැත්වුණු තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් අගනා ශතකයක් වාර්තා කළා. එම ඉනිමේ දී ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් පන්දු 60කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

එහි දී රුතුරාජ් ඉනිමේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ශතකය සම්පූර්ණ කිරීම අමතක නොවන සිදුවීමක් වුණා. ඒ අනුව රුතුරාජ්  IPL තරගයක දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ 7 වන ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා. IPL තරගාවලි ඉතිහාසයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ශතක ලබාගත් ක්‍රීඩකයන් පහතින් දක්වා තිබෙනවා.

  • 1) මුරලි විජේ- 127 සහ 113
  • 2) ෂේන් වොට්සන්- 117* සහ 106
  • 3) මයික් හසී- 116*
  • 4) රුතුරාජ් ගයික්වාඩ්- 101*
  • 5) සුරේෂ් රයිනා- 100*
  • 6) බ්‍රෙන්ඩන් මැකලම්- 100*
  • 7) අම්බති රයිදු- 100* 
 රුතුරාජ් ගයික්වාඩ් – Inside Sport

 

ආසියානු මේසපන්දු තරගාවලියේ දී මුතුමාලිගෙන් ඉහළ දස්කම් 

25 වන ආසියානු මේස පන්දු තරගාවලිය මේ දිනවල කටාර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද එක් වුණා. ඒ අතුරින් මුතුමාලි ප්‍රියදර්ශනී කාන්තා ඒකල තරග ඉසව්වේ අවසන් ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට එක් වීම සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත්වුණා. එහි දී ඇය පළමු තරග වට තුනේ දී පිළිවෙලින් කටාර්, තායිලන්ත සහ ඉරාන ක්‍රීඩිකාවන් පරාජයට පත් කළා.

මුතුමාලි ක්‍රීඩිකාවට 16 දෙනාගේ වටයේ දී තරග වැදීමට සිදුවුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 21 වන ස්ථානයේ වැජඹෙන හයාටා නම් ජපන් ක්‍රීඩිකාව සමඟ යි. එම තරග වටයේ දී ජපන් ක්‍රීඩිකාවගේ ප්‍රබල ක්‍රීඩා විලාසය හමුවේ පසුබෑමකට ලක් වුණු මුතුමාලි තරග වට 3-0ක පරාජයක් උරුම කර ගත්තා. 

මුතුමාලි ප්‍රියදර්ශනී – Daily Mirror

 

තරගාවලියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග මේ වන විට අවසන් වී තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා චීනය සහභාගි නොවීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. චීනය සහභාගි නොවීම හේතුවෙන් පිරිමි අංශයේ රන් පදක්කම දකුණු කොරියාවටත්, කාන්තා අංශයේ රන් පදක්කම ජපානයටත් හිමි වුණා.

එහි දී විශේෂ දස්කම් පෙන්වීමට අසමත් වුණු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම රටවල් 28ක් අතුරින් 18 වන ස්ථානය දිනා ගනිද්දී කාන්තා කණ්ඩායම රටවල් 18ක් අතුරින් 12 වන ස්ථානය දිනා ගත්තා. ඒ අයුරින් ශ්‍රී ලංකාව අසාර්ථක වෙද්දී ඉන්දීය පිරිමි මේස පන්දු කණ්ඩායම දකුණු ආසියානු කලාපයට ලෝකඩ පදක්කම හිමිකරදීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම රුමේෂ් යටතට 

එළඹෙන ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ශ්‍රී ලංකා සහ පාකිස්තාන A කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේ දී තරග 2කින් සමන්විත සිව්දින තරගාවලියක් සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත යි. එම තරගාවලිය ඉලක්ක කරගනිමින් ප්‍රවීන පුහුණුකරුවකු වන රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පත්කර තිබෙනවා.

ඔහු මීට පෙරත් දෙවතාවක් ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. ඊට අමතර ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා සහ වේග පන්දු පුහුණුකරුවා ලෙසින් කටයුතු කර තිබෙන රුමේෂ්ට A කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම භාරදීම කාලෝචිත තීරණයක් බව වැඩි දෙනකුගේ අදහස යි. 

රුමේෂ් රත්නායක – Geo.tv

 

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඇරඹෙයි

2021 දකුණු ආසියානු පාපන්දු තරගාවලිය පසුගිය ඔක්තෝබර් 1 වැනිදා මාලදිවයිනේ දී ආරම්භ වුණා. මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් පහ එක් ව සිටිනවා. තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගවල ප්‍රතිඵල පහත දක්වා තිබෙනවා.

  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය- ගෝල 1-0ක ජය බංග්ලාදේශයට 
  • නේපාලය සහ මාලදිවයින- ගෝල 1-0ක ජය නේපාලයට  

1993 දී ආරම්භ වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 13 වන වතාවට යි. තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථක රට බවට පත්වුණු ඉන්දියාව 7 වතාවක් තරගාවලියේ ශූරතාව දිනා ගනිද්දී මාලදිවයිනට  ශූරතාව දෙවතාවක් හිමි වුණා. ඊට අමතර ව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය එක් වතාව බැගින් තරගාවලියේ ශූරතාව දිනා ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක්- Papare

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඊළඟ තරගය ඔක්තෝබර් 4 වැනිදා (අද) නේපාල කණ්ඩායමට එරෙහි ව පැවැත්වීමට නියමිත යි. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා එම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත්.

කවරයේ ඡායාරූපය- IPL කුසලානය - Dinaida

මූලාශ්‍ර:

www.espncricinfo.com 

ipl.com

srilankacricket.lk 

sportstar.thehindu.com 

Related Articles