Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ කාර්යබහුල සතියක නිමාව

2021/23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 3ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එනිසා ටෙස්ට් ක්‍රිකට් පිටිය දෙස කාගේත් අවධානය යොමු ව තිබුණා. එම තරග අතුරින් නවසීලන්ත-බංග්ලාදේශ තරගයේ දී කිසිවකු නොසිතූ ප්‍රතිඵලයක් වාර්තා වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත බිමේ දී මුල් ම වරට ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීම යි.

එලෙස බංග්ලාදේශය පෙරළිකාර ටෙස්ට් ජයක් වාර්තා කරද්දී, එංගලන්ත ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානුවන් හමුවේ පැවති ටෙස්ට් තරගය දැඩි පරිශ්‍රමයක් දරමින් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්තා. දකුණු අප්‍රිකානුවන් ඉන්දීය කණ්ඩායම හමුවේ පැවති ටෙස්ට් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට සමත් වුණා. 

එම ටෙස්ට් තරගවල වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු විශේෂ පුවත් පිළිබඳව තොරතුරුයි මේ.  

බංග්ලාදේශය වාර්තා කළ පෙරළිකාර ටෙස්ට් ජයග්‍රහණය

2021/22 නවසීලන්ත-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය බේ ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහර දුන් නවසීලන්ත පිතිකරුවන් ලකුණු 328ක් ලබා ගත්තා. එහි දී කිවි ඉනිම වර්ණවත් කළ ඩෙවොන් කොන්වේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කරමින් අගනා ලකුණු 122ක් රැස් කළා. පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලුදෙනා ම දැවී ලකුණු 458ක් ලබා ගත්තා. එහි දී මොමිනුල් හක්, ලිටන් ඩාස් සහ හසන් ජෝයි ලකුණු 75 සීමාව ඉක්මවා යාම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

ලකුණු 88ක් ලබාගත් නායක මොමිනුල් හක්  – cricket365.com

 

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ  නවසීලන්තය පිතිකරුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 136ක් ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා. ඒ අයුරින් නවසීලන්ත පිතිකරුවන් පරාජයෙන් ගැලවීම සඳහා ප්‍රබල සටනක නිරතවෙමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු එබඩොට් හුසේන් ලකුණු 46කට කඩුලු 6ක් බිඳ දැමුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නවසීලන්ත ඉනිම ලකුණු 169කට සීමා වුණා. ඉන් පසුව ලකුණු 40ක පහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම පසුකර ගියා. 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු එබඩොට් – espncricinfo.com

 

එය බංග්ලාදේශ කණ්ඩායමක් නවසීලන්ත බිමේ දී වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා. ඔවුන් ඊට පෙර නවසීලන්තයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 9 ම පරාජයට පත් වී තිබුණා.

එයින් ටෙස්ට් තරග 5ක දී ඉනිමක පරාජ උරුම කර ගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 2011 වසරෙන් පසු නවසීලන්තයේ දී ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගත් පළමු ආසියානු රට ලෙසින් බංග්ලාදේශය වාර්තා අතරට එක් වුණා. 

බංග්ලාදේශය තරගය ජයග්‍රහණය කළ මොහොත – espncricinfo.com

 

ඊට පෙර නවසීලන්ත බිමේ දී ටෙස්ට් තරග ජයක් ලබා ගත් ආසියානු රට බවට පත්ව සිටියේ පාකිස්තානය යි. ඔවුන් 2011 වසරේ හැමිල්ටන් නුවර සෙඩොන් පාක් පිටියේ දී පැවති ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කර ගත්තා. ඒ අයුරින් බංග්ලාදේශය ඓතිහාසික ජයක් වාර්තා කළ තරගයේ කෙටි ලකුණු පුවරුව පහතින් දක්වා තිබෙනවා. 

කෙටි ලකුණු පුවරුව් 

නවසීලන්ත පළමු ඉනිම- 328/10, (කොන්වේ- 122, නිකොල්ස්- 75, ෂොරිෆුල්- 69/3, මෙහිදි- 86/3)

බංග්ලාදේශ පළමු ඉනිම- 458/10, (හක්- 88, ලිටන්- 86, ජෝයි- 78, බෝල්ට්- 85/4, වැග්නර්-101/3)

නවසීලන්ත දෙවන ඉනිම- 169/10, (යංග්- 60, ටේලර්- 40, එබඩොට්- 46/6, ටස්කින්- 36/3)

බංග්ලාදේශ දෙවන ඉනිම- 42/2, (ෂැන්ටෝ- 17, හක්- 13*, ජේමිසන්- 12/1, සවුති- 21/1) 

බංග්ලාදේශයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- එබඩොට් හුසේන් 

එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ අනූනවයෙන් බේරෙයි 

2021/22 අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය සිඩ්නි ක්‍රිකට් පිටියේ දී ඊයේ දිනයේ දී  නිමාව දුටුවා. තරග ආරම්භයේ සිට ම  ප්‍රබල තරග රටාවක නිරත වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව්වන දිනයේ සවස් යාමයේ දී එංගලන්තයට ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා. පන්දුවාර 102ක් තුළ එම ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන් 100 වන පන්දු වාරය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 270ක් ලබාගෙන දැඩි අසීරු තත්ත්වයකට පත් ව සිටියා.

එම අවස්ථාවේ දී සීරුවෙන් පන්දුවට පහර දුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් ඉතිරි පන්දු වාර දෙකේ දී සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් කරා රැගෙන ගියා. ජය පැරදුමෙන් තොර ව නිමාව දුටු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ඕස්ට්‍රේලියාවේ උස්මාන් කවාජාට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

ඉනිම් දෙකේ දීම ශතක වාර්තා කළ උස්මාන් කවාජා – espncricinfo.com

 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 416/8 , (කවාජා- 137, ස්මිත්- 67, හැරිස්- 38, බ්‍රෝඩ්- 101/5)

එංගලන්ත පළමු ඉනිම- 294/10, (බෙයාස්ට්‍රෝ- 113, ස්ටෝක්ස්- 66, වුඩ්- 39, බෝලන්ඩ්- 36/4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 265/6, (කවාජා- 101, ග්‍රීන්- 74, ලීච්- 84/4, වුඩ්- 65/2)

එංගලන්ත දෙවන ඉනිම- 270/9, (ක්‍රෝලි- 77, ස්ටෝක්ස්- 60, බෝලන්ඩ්- 30/3, ලයන්- 28/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- උස්මාන් කවාජා 

දකුණු අප්‍රිකානුවන් මව්බිමේ දී සිය ගෞරවය බේරා ගනියි 

තරග 3කින් සමන්විත ඉන්දු-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයවොන්ඩරස් පිටියේ දී  පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත්වුණා. එම තරගය ආරම්භ වන විට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පිටුපසින් සිටියා. ඒ අනුව ඉන්දියානුවන් තරගයට අවතීර්ණ වුණේ දකුණු අප්‍රිකානු බිමේ දී මුල්ම වරට ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමේ බලාපොරොත්තු ඇතිව යි.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ දී පන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.  වරින් වර දෙපසට දෝලනය වුණු මෙම තරගයේ තෙවන දිනයේ දී දකුණු අප්‍රිකාවට ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. එය හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත්තා. එහි දී දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගාර් නොදැවී ලකුණු 96ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ගෞරවය බේරා ගත්තා. එනිසා ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා. 

ඩීන් එල්ගාර් ජයග්‍රාහී ලකුණු 4 එල්ල කිරීමෙන් පසුව – espncricinfo.com

 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම- 202/10, (රාහුල්- 50, අශ්වින්- 46, ජැන්සන්- 31/4, රබාඩා- 64/3, ඔලිවියර්- 64/3)

දකුණු අප්‍රිකා පළමු ඉනිම- 229/10, (පීටර්සන්- 62, බවුමා- 51, ටාකූර්- 61/7, ෂමී- 52/2)

ඉන්දීය දෙවන ඉනිම- 266/10, (රහනේ- 58, පුජාරා- 53, එන්ගිඩි- 43/3, ජැන්සන්- 67/3, රබාඩා- 77/3)

දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 243/3, (එල්ගාර්- 96*, ඩූසන්- 40, අශ්වින්- 26/1, ටාකූර්- 47/1)

දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- ඩීන් එල්ගාර් 

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා ද?

පසුගිය සතියේ දේශීය ක්‍රිකට් පිටිය පුරා පැතිර ගිය එක්තරා පුවතක් නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මහත් සේ කැළඹීමට පත්වුණා. ඒ තවමත් 30 හැවිරිදි වියේ පසුවන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දීමත් සමඟ යි.

එහි දී ඔහු දක්වා තිබුණේ පෞද්ගලික හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වා දුන් නවතම ශාරීරික යෝග්‍යතා මිනුම් පිළිබඳ ව ඇතිවුණු ගැටලුවක් නිසා භානුක සිය සමු ගැනීම ප්‍රකාශයට පත්කළ බව සමහර ආරංචි මාර්ග සඳහන් කරනවා. 

භානුක රාජපක්ෂ (crickettimes.com)

 

එම පුවත වාර්තාවීමත් සමඟ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් භානුකට ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා ලෙස ආයාචනය කරමින් කළ ඉල්ලීම් සමාජ ජාලා මාධ්‍යවල සංසරණය වන ආකාරය දකින්නට ලැබුණා.

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් තරු දෙකක් වන සනත් ජයසූරිය සහ ලසිත් මාලිංග, භානුකගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ තීරණය පිළිබඳ ව යළි සලකා බලන ලෙස යි. ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙම තීරණය පිළිබඳ ව ආපසු සිතා බලන මෙන් භානුකගෙන් ඉල්ලා තිබුණා.

 මාලිංග මෙම සිදුවීම සම්බන්ධව පළ කළ ට්විටර් පණිවිඩයක්  – twitter.com

 

එක්දින තරග 5ක දී සහ 20/20 තරග 18ක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ භානුක රාජපක්ෂ පසුගිය කාලයේ දී තරග දිනවිය හැකි පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටියා. ශ්‍රී ලංකාවට ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ හිඟයක් පවතින අවධියක භානුකගේ සමුගැනීම බලවත් පාඩුවක්. එනිසා භානුක සිය තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර පිටියට පැමිණෙනු දැකීම මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ එකම පැතුම යි.

භානුක රාජපක්ෂ පන්දුවට පහරදෙමින් – espncricinfo.com

 

20/20 ක්‍රිකට් තරගවලට නව නීති 2ක් 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 20/20 ක්‍රිකට් තරග සඳහා නව නීති 2ක් පසුගිය සතියේ දී හඳුන්වා දුන්නා. ඒ අනුව 20/20 තරගවල දී අඩු පන්දු වාර වේගය සඳහා නව දඬුවමක් පැනවීමට තීරණය කර තිබෙනවා. එම නීතියට අනුව නියමිත කාලයේ දී පන්දු වාර 20 සම්පූර්ණ නොකරන කණ්ඩායම් අවසන් පන්දු වාරයේ දී යාර 30 සීමාවෙන් පිටත රැඳී සිටින පන්දු රකින්නකු යාර 30 සීමාව තුළට ගත යුතු යි.

මෙම නව දඬුවම ලබා දී තිබෙන්නේ අඩු පන්දු වාර වේගයක් වාර්තා වුණු අවස්ථාවල එම කණ්ඩායමේ නායකයාට සහ ක්‍රීඩකයන්ට දඩ මුදල් නියම කිරීමේ දඬුවමට අමතර ව බව මෙහි දී සිහිපත් කළ යුතු යි. 20/20 තරගයක එක් ඉනිමක පන්දුවාර 10ක් අවසානයේ දී මිනිත්තු 2 තත්පර 30ක විවේක කාලයක් ලබාදීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. එම නව නීති ද්විත්වය මෙම මාසයේ සිට පැවැත්වෙන 20/20 තරග සඳහා වලංගු වෙනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ලාංඡනය – independent.lk

කවරයේ ඡායාරූපය- සිඩ්නි ටෙස්ට් තරගයේ අවසන් මොහොත  - livesportcentre.com 

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

srilankacricket.lk

Related Articles