Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොදු රද මඬුලු තරග බිමේ යළි පිබිදුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ එංගලන්තයේ බර්මිංහැම් නුවර දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වුණා. ඒ අතුරින් මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වුණු ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

එහි දී පාලිත බණ්ඩාර පැරා කවපෙත්ත විසි කිරීමේ තරග ඉසව්වෙන් රිදී පදක්කමක් ද, යුපුන් අබේකෝන් මීටර් 100 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනාගත්තා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් හිමි වුණේ වසර 24කින් වීම විශේෂ සිදුවීමක්. 

යුපුන් අබේකෝන් දිනාගත් ලෝකඩ පදක්කම සමඟ – gettyimages.com

 

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග බිමේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක දස්කම් 

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් අතුරින් බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණේ යුපුන් අබේකෝන් නම් කෙටි දුර ධාවන ශූරයා වෙතට යි. ඒ ඔහු මීට සති කිහිපයකට පෙර ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක් වැනි වාර්තාගත කාලයකින් අවසන් කළ නිසා යි. එනිසා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී බොහෝ දෙනෙක් යුපුන්ගෙන් පදක්කමක් බලාපොරොත්තු වුණා. 

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ එම බලාපොරොත්තුව ඉටු කළ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.14කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. එය ආසියානු ක්‍රීඩකයෙක් පිරිමි මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් එකම පදක්කම ලෙසින් ඉතිහාසයට එකතු වුණා. එහි දී යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනිද්දී කෙන්යා ක්‍රීඩක ෆර්ඩිනැන්ඩ් ඔමන්යාලා රන් පදක්කමත්, දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ රිදී පදක්කමත් දිනා ගත්තා. අකානි සිම්බිනේ හා යුපුන් අතර පැවතියේ තත්පරයෙන් අඩක පරතරයක්. 

යුපුන් අබේකෝන් මීටර් 100 අවසන් තරගයේ දී- gettyimages.com

 

ඒ අයුරින් යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනිද්දී එම වේලාවේ ම ක්‍රියාත්මක වුණු F44/64 ආබාධිත කාණ්ඩයේ පිරිමි කව පෙත්ත විසි කිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගත්තා.

එහි දී ඔහු කවපෙත්ත මීටර් 44.20ක දුරකට විසි කරමින් එම පදක්කම සිය රටට දිනා දුන්නා. එය පැරා පොදුරාජ්‍ය මණ්ඩලීය තරග ඉසව්වකින් ශ්‍රී ලාංකිකයෙක් දිනාගත් මුල් ම පදක්කම ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

පාලිත බණ්ඩාර දිනාගත් රිදී පදක්කම සමඟින් – gettyimages.com

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම රිදී සහ ලෝකඩ පදක්කම් එක බැගින් ජයග්‍රහණය කළා. එය 24 වසරකට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගත් අවස්ථාව බවට පත්වුණා.

ශ්‍රී ලංකාවට අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කම් හිමි වුණේ 1998 ක්වාලාලම්පූර් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී යි. එවර තරගාවලියේ දී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වේ රිදී පදක්කම ද, සුගත් තිලකරත්න පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තා. 

1998 දී සුගත් තිලකරත්න ලෝකඩ පදක්කම දිනා ගත් මොහොත – gettyimages.com

 

18 හැවිරිදි නෙත්මිගෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් 

ශ්‍රී ලංකාව මුල් ම වරට පොදුරාජ්‍ය මණ්ඩලීය මල්ලව පොර තරග සඳහා සහභාගි වුණේ 1958 දී වේල්සයේ කාඩිෆ් හි දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී යි. එදා සිට 2018 දක්වා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිවල දී ශ්‍රීලංකාවට මල්ලව පොර ක්‍රීඩාවෙන් කිසිදු පදක්කමක් හිමි වුණේ නැහැ.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී  එම පදක්කම් ඉඩෝරය නිමා කළ 18 හැවිරිදි නෙත්මි අහිංසා ප්‍රනාන්දු මල්ලව පොර කාන්තා කිලෝ ග්‍රෑම් 57 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. එහි දී ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී නෙත්මි අතින් පරාජයට පත්වුණේ අයිරින් සිමියොනිඩිස් නම් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාව යි. 

 නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම දිනාගත් මොහොත – gettyimages.com

 

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වන ස්ථානයට 

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත්තේ මලල ක්‍රීඩා, බර ඉසිලීම සහ මල්ලව පොර යන ක්‍රීඩාවන්ගෙන්. ඒ අයුරින් ලබා ගත් පදක්කම් නිසා අගෝස්තු 7 වැනිදා වන විට පදක්කම් සටහනේ 31 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා රටවල් 72ක් සහභාගි වුණා. ඒ අතුරින් 31 වන ස්ථානය දිනා ගැනීම සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක්.

පදක්කම් සටහනේ පළමු තැන තවමත් ඕස්ට්‍රේලියාවට 

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ආරම්භයේ සිට ම පදක්කම් සටහනේ පෙරමුණේ පසු වුණේ ප්‍රබල ඕස්ට්‍රේලියාව යි. එම තත්ත්වය අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය ඕස්ට්‍රේලියාව අගෝස්තු 7 වැනිදා වන විට රන් පදක්කම් 66ක් ලබා ගෙන පදක්කම් සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

එහි දී ඕස්ට්‍රේලියාවට වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වුණේ පිහිනුම් ඉසව් මඟින්. පිහිනුම් ඉසව් සඳහා ප්‍රදානය කළ රන් පදක්කම් 52ක  අතුරින් 25ක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. 

පිහිනුම් ඉසව්වලින් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානුවෝ – gettyimages.com

 

ඕස්ට්‍රේලියාවට සයිකල් තරග ඉසව්වලින් රන් පදක්කම් 11ක් හිමි වෙද්දී  මලල ක්‍රීඩාවෙන් තවත් රන් පදක්කම් 10ක් හිමි වුණා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී වැඩි ම මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණයක් ලබා ගත් රට බවට පත්වීමට ද ඔවුන්ට හැකි වුණා.

ඊට අමතර ව කිමිදුම් තරග ඉසව්වලින් ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 4ක් හිමි වුණා. අගෝස්තු 7 වැනිදාට නියමිත සියලු ම රන් පදක්කම් ප්‍රදානය කර අවසන් වෙද්දී පදක්කම් සටහන දැක්වුණු ආකාරය යි මේ.

අගෝස්තු 7 වැනිදා වන විට පදක්කම් සටහන – birmingham2022.com

පළමු කාන්තා ක්‍රිකට් රන් පදක්කමත් ඔස්ට්‍රේලියාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ පළමු කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගන්නට ඔස්ට්‍රේලියාවට ඊයේ (ඉරිදා) සමත් වුණා. එජ්බැස්ටන් හි විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති විස්සයි 20 අවසන් තරගයේ දී ඉන්දියාව ලකුණු 9 කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වූවා.

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකාරිණිය බෙත් මූනි ලකුණු 61ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව සිය ඕවර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

හඹා යාමේ දී ඉන්දියාව ලකුණු 118-2ක් ලෙසින් පසුවෙමින් සිටි නමුත් ජෙමිමා රොද්‍රිගස් (33) සහ නායිකා හර්මන්ප්‍රීට් කෞර් (65) දැවී යාමත් සමඟ ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩු වූ අතර ඔවුන්ට ජයග්‍රණය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු වුණා.

ලෝකඩ පදක්කම සඳහා පෙරේදා පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහි ව කඩුලු 8ක ජයක් අත් කර ගැනීමට නවසීලන්තය සමත් වූවා.

Image
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ පළමු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඔස්ට්‍රේලියාවට – twitter.com/ESPNcricinfo

 ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම්  

44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි හි දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි වුණා. ඒ අතුරින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම යි. තරග වට 11කින් සමන්විත මෙම චෙස් තරගාවලියේ 9 වන තරග වටය නිමා වෙද්දී රටවල් 188ක් අතුරින් 66 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එක් එක් තරග වටයේ දී තරග වැදුණු ආකාරය යි මේ.  

1). 1 වන වටය- හංගේරියාවට එරෙහිව 3-1ක පරාජයක් 

2). 2 වන වටය- බහාමාස්ට එරෙහිව 3.5-0.5ක ජයග්‍රහණයක් 

3). 3 වන වටය- උතුරු මැසිඩෝනියාවට එරෙහිව 3-1ක පරාජයක් 

4). 4 වන වටය- සියරාලියොන්ට එරෙහිව 3.5-0.5ක ජයග්‍රහණයක් 

5). 5 වන වටය- ටියුනීසියාවට එරෙහිව 3-1ක ජයග්‍රහණයක් 

6). 6 වන වටය- ස්කොට්ලන්තයට එරෙහිව 2.5-1.5ක පරාජයක් 

7). 7 වන වටය- ග්වාතමාලාවට එරෙහිව 2.5-1.5ක පරාජයක් 

8). 8 වන වටය- අයිවරි කෝස්ට් ට එරෙහිව 3.5-0.5ක ජයග්‍රහණයක් 

9). 9 වන වටය- ඉරාකයට එරෙහිව 4-0ක ජයග්‍රහණයක් 

ඒ අයුරින් දස්කම් අතර සිටින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම C කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත ව සිටිනවා. මීට පෙර 2014 ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම D කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් බව ද මෙහි දී සිහිපත් කළ යුතු යි. 

C කාණ්ඩයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම – chessresults.com

 

මෙවර ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 9 වන තරග වටය අවසන් වෙද්දී රටවල් 162ක් අතුරින් 84 වන ස්ථානය දිනාගෙන සිටිනවා. මේ එක් එක් තරග වටයේ දී ඔවුන් තරග වැදුණු ආකාරය යි. 

1). 1 වන වටය- සර්බියාවට එරෙහිව 4-0ක පරාජයක් 

2). 2 වන වටය- ටෝගෝට එරෙහිව 4-0ක ජයග්‍රහණයක් 

3). 3 වන වටය- කැනඩාවට එරෙහිව 3.5-0.5ක පරාජයක් 

4). 4 වන වටය- අරුබාට එරෙහිව 3-1ක ජයග්‍රහණයක් 

5). 5 වන වටය- ඉක්වදෝරයට එරෙහිව 3.5-0.5ක පරාජයක්  

6). 6 වන වටය- චීන තායිපේට එරෙහිව 2-2 ලෙස ජය පැරදුමෙන් තොර අවසානයක් 

7). 7 වන වටය- කොසෝවෝට එරෙහිව 4-0ක ජයග්‍රහණයක් 

8). 8 වන වටය- නයිජීරියාවට එරෙහිව 2.5-1.5ක ජයග්‍රහණයක් 

9). 9 වන වටය- ලැට්වියාව්ට එරෙහිව 3.5-0.5ක පරාජයක් 

ඒ අයුරින් දස්කම් අතර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම D කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වෙමින් සිටිනවා. 

D කාණ්ඩයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම – chessresults.com

 

චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකා නම බැබළ වූ 16 හැවිරිදි සුසල් 

ශ්‍රී ලංකාවේ ජාතික චෙස් ශූරයා වන 16 හැවිරිදි සුසල් ද සිල්වා මෙවර ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ ඔහු සහභාගි වුණු තරග 9 අතුරින් 7ක් ජයග්‍රහණය කර ඉතිරි තරග 2ක් ජය පැරදුමෙන් තොර ව අවසන් කරගනිමින්. එම ප්‍රතිඵලවලට අනුව මේ වන විට තරග 9කින් ලකුණු 8ක් ලබා ගෙන සිටින සුසල් තරගාවලියේ සිව්වන පුවරුවේ වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

එපමණක් නොව තරගාවලියේ වැඩි ම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතර ද ඔහු රැඳී සිටිනවා. මේ මෙවර චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ 9 වන වටය අවසන් වෙද්දී ඉහළ ම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන සිටි ක්‍රීඩකයන් සිව්දෙනා යි.

1). ඩොම්මරාජු ගුකේෂ් (ඉන්දියාව)- 8.5/9

2). ඩේවිඩ් හොවෙල් (එංගලන්තය)- 7.5/8

3). කොනර් මර්පි (අයර්ලන්තය)- 7.5/8  

4). සුසල් ද සිල්වා (ශ්‍රී ලංකාව)- 8/9 

එලෙස විශිෂ්ට දස්කම් දක්වමින් සිටින සුසල් ද සිල්වා වැනි ක්‍රීඩකයකුට චෙස් ක්‍රීඩාවෙන් තවත් ඉදිරියට යාමට නම් අනුග්‍රාහකයෙක් සිටිය යුතු ම යි. එසේ අනුග්‍රාහකයෙක් ලැබුණොත් මෙම ක්‍රීඩකයා අප රටේ පළමු ග්‍රෑන්ඩ්මාස්ටර්වරයා වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. 

චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී සුපිරි  දස්කම් දැක්වූ සුසල් – chess.com

 

ඉන්දියාවට තවත් 20/20 තරගාවලි ජයග්‍රහණයක් 

තරග 5කින් සමන්විත වුණු ඉන්දු-බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලිය තරග 4-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක ඉන්දීය කණ්ඩායම යි. මේ එම තරගාවලියේ ප්‍රතිපල සටහන් වුණු ආකාරය යි. 

1). පළමු තරගය- ඉන්දියාවට ලකුණු 68ක ජයක් 

ඉන්දියාව- 190/6 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 122/8 (20)

තරගයේ වීරයා- දිනේෂ් කාර්තික් (පන්දු 19කින් නොදැවී ලකුණු 41)

2). දෙවන තරගය- කොදෙව්වන්ට කඩුලු 5ක ජයක් 

ඉන්දියාව- 138/10 (19.4)

බටහිර ඉන්දීය කොදෙව්- 141/5 (19.2)

තරගයේ වීරයා- ඔබෙඩ් මැකෝයි (ලකුණු 17කට කඩුලු 6යි)

කඩුලු 6ක් දවාගත් මැකෝයි – gettyimages.com

 

3). තෙවන තරගය- ඉන්දියාවට කඩුලු 7ක ජයක් 

බටහිර ඉන්දීය කොදෙව්- 164/5 (20)

ඉන්දියාව- 165/3 (19)

තරගයේ වීරයා- සූර්යකුමාර් යාදව් (පන්දු 44කින් ලකුණු 75)

4). සිව්වන තරගය- ඉන්දියාවට ලකුණු 59ක ජයක් 

ඉන්දියාව- 191/5 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 132/10 (19.1)

තරගයේ වීරයා- ආවේශ් ඛාන් (ලකුණු 17කට කඩුලු 2යි)

 කොදෙව් කඩුල්ලක් දැවීගිය අවස්ථාවක් – gettyimages.com

 

5). පස්වන තරගය- ඉන්දියාවට ලකුණු 88ක ජයක් 

ඉන්දියාව- 188/7 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 100/10 (15.4)

තරගයේ වීරයා- අක්සාර් පටෙල් (ලකුණු 15කට කඩුලු 3යි)

තරගාවලියේ වීරයා- අර්ශ්දීප් සිං (කඩුලු 7යි)

 තරගාවලියේ ශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි අවසන් තරගයේ දී- gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

birmingham2022.com

chessresults.com

chess.com 

Related Articles