Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගාවලි තුළ පැතුම් නිස්සංකගේ දක්ෂතා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩකයන් අතරින් ඉක්මනින් ම දස්කම් දක්වමින් කණ්ඩායමේ ස්ථානය හිමි කර ගත් මෙන් ම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත් සාර්ථක ගමනක් ආරම්භ කර ඇති ක්‍රීඩකයකු ලෙස පැතුම් නිස්සංක හඳුන්වා දිය හැකි යි. ඔහු ඕස්ට්‍රේලියාවේ දී සහ ඉන්දියාවේ දී ක්‍රීඩා කළ ඉනිම් මෙයට කදිම සාක්ෂියක්. නිස්සංක මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 9 වන ස්ථානය දක්වා පැමිණීමට ද සමත් වුණා.

මේ හේතු මෙන්ම ඔහු ක්‍රීඩා කරන ආකාරයේ පවතින සුවිශේෂී තත්ත්වය පිළිබඳ අධ්‍යයනය සඳහා ඔහු පසුගිය තරග සමයේ ක්‍රීඩා කළ ආසන්නත ම තරඟාවලි ද්විත්වය වන ඕස්ට්‍රේලියානු සංචාරය සහ ඉන්දීය සංචාරය යොදාගත හැකි යි. ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී වැඩි ම ලකුණු රැස්කළ පිතිකරු ලෙසින් ඕස්ට්‍රේලියානු  බිමේදී ම ඕස්ට්‍රේලියා පිතිකරුවන් පවා අභිබවමින් ඉදිරියට පැමිණීමට නිස්සංකට හැකි වීම වඩා සුවිශේෂී තත්ත්වයක්.

පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියා තරඟාවලියේ ක්‍රීඩා කරමින්
පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියා තරඟාවලියේ ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

ඕස්ට්‍රේලියානු තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියකට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ දී පසුගිය දා එක් වුණා. එහිදී තරග 5ක දී නිස්සංක රැස් කළ ඉනිම පිළිවෙළින් ලකුණු 36, 73, 16, 46, 13 ලෙසින් සටහන් වුණා. නිස්සංකගේ මෙම ලකුණු රැස් කිරීම අධ්‍යයනය කිරීම උදෙසා මෙම ලිපියේ දී පන්දුවාර 20 ඉනිම කොටස් තුනකට වෙන් කරනවා.

ඒ පවර් ප්ලේ අවස්ථාව ලෙසින් පන්දුවාර 1-6 දක්වාත්, මැද පන්දු වාර වශයෙන් පන්දුවාර 7-15 දක්වාත්, අවසන් පන්දුවාර ලෙසින් පන්දුවාර 16-20 දක්වාත් ලෙසින්. මෙම ආකාර 3 යටතේ නිස්සංක පහත පරිදි ලකුණු රැස් කළා.

Image
නිස්සංක විස්සයි විස්ස ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 9 වන ස්ථානය දක්වා පැමිණීමටද සමත් වුණා – espncricinfo.com

පළමු තරග තුන තුළ පවර් ප්ලේ අවස්ථාවල දී ඔහු පිළිවෙළින් 18 (23), 21 (20) සහ 15 (17) ලෙසින් ලකුණු රැස් කළා. එහිදී පෙනී යන කාරණය වන්නේ පැතුම්  ලබා ගන්නේ තරමක මන්දගාමී ආරම්භයක් බව යි. අවසන් විස්සයි විස්ස තරග දෙකේ දී මෙම තත්ත්වය වෙනස් කර ගත් පැතුම්ගේ ඉනිම සටහන් වූයේ 20 (13) ලෙස හා 13 (8) ලෙස යි. මෙම අවස්ථාවලින් අනතුරු ව ඔහු තමන්ගේ පන්දුවට පහර දීම ක්‍රම ක්‍රමයෙන් වේගවත් කර ඇති ආකාරය දක්නට පුළුවන්.

අවසන් පන්දුවාරවල දී වඩා වේගවත්

 අවසන් පන්දුවාරවල දී ඔහු වඩා වේගවත් වී තිබෙනවා. දෙවන තරගයේ දී පැතුම්, පන්දු වාර 16-20 අතර සීමාවේ දී පන්දු 14 කින් ලකුණු 30ක් රැස් කළා. මැදි පන්දුවාරවලදී පැතුම් තමන්ගේ ඉනිම ක්‍රමයෙන් ගොඩනැඟූ බව පෙනී යනවා. මෙහිදී පන්දුවාර 7-15 සීමාවේ ඔහු තරග 5ක් තුළ ලකුණු රැස් කළේ 18 (14), 22 (19), 1 (4), 19 (22) ආකාරයට යි. ඔහු පස් වන විස්සයි විස්ස තරගයේ දී සිව්වන පන්දු වාරයේ පන්දුවකින් දැවී ගියා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන විස්ස්සයි විස්ස තරඟයේදී අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාව
ඕස්ට්‍රේලියාවට එරෙහි ව දෙවන විස්ස්සයි විස්ස තරගයේ දී අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාව – www.gettyimages.com

සමස්ත ඕස්ට්‍රේලියා තරගාවලියේ පැතුම්ගේ වාර්තාව

පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියා තරගාවලියේ තරග 5ක් තුළ ලකුණු 184ක් රැස්කර ගෙන තිබෙනවා. ඒ සඳහා පන්දු 159ක් වැය කළ ඔහු ඉනිමක සාමාන්‍ය ලකුණු 36.8 ක වැනි අගයක් පවත්වා ගෙන සිටියා. සමස්ත තරගාවලියේ දී හතරේ පහර 19ක් සහ 6 පහර 3ක් ඔහු එල්ල කළා. මෙම තරගාවලිය පුරාවට ම ඔහු රැස්කර ගත් ලකුණු, ඉනිමේ කලාපවලට බෙදූ විට වැඩි ම ලකුණු සංඛ්‍යාවක් පැතුම් රැස්කර ගෙන තිබෙන්නේ පවර් ප්ලේ අවස්ථාව තුළ යි.

ඒ පන්දු 81ක් තුළ ලකුණු 87ක් රැස් කරමින්. මීට අමතර ව මැදි පන්දුවාර තුළ දී පන්දු 59 කදී ලකුණු 60ක් සහ අවසන් පන්දුවාර 5 තුළ පන්දු 19කින් ලකුණු 37ක් රැස් කිරීමටත් ඔහු සමත් වුණා.

නිස්සංක විස්සයි විස්ස ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 9 වන ස්ථානය දක්වා පැමිණියා – www.facebook.com/srilankacricket 

 

ඉහත දත්ත අධ්‍යයනය කිරීමේදී පෙනී යන කාරණය නම් නිස්සංක ඉනිමේ ස්ථාවර වීමට යම්කි සි කාලයක් ලබා ගන්නා බව යි. ස්ථාවර වීමෙන් අනතුරු ව ඔහු කේන්ද්‍ර කොට ගෙන තරගයක ඉනිමක් සම්පූර්ණයෙන් ම ගොඩනැඟිය හැකි බව ද සටහන් කළ හැකි යි. ඔහු සම්පූර්ණ ඉනිම පුරා නැංගුරම වී සිට අවසන් පන්දුවාර 5 තුළ ක්‍රීඩා කළ ආකාරය ප්‍රවේගකාරී වන අයුරු දිස්වීම එයට හේතුව යි. ඔහු මුල සහ මැද පන්දුවාරවල ක්‍රීඩා කළ ප්‍රහාරක වේගයට වඩා දෙගුණයකට ආසන්න ප්‍රහාරක වේගයක්, අවසන් පන්දුවාර 5 තුළ පෙන්වා තිබෙනවා. පැතුම් නිස්සංක ඉන්දීය තරගාවලියට මෙම රිද්මය රැගෙන ආවේ කෙලෙස ද?

ඉන්දීය තරගාවලිය

ඉන්දියාව සමඟින් විස්සයි විස්ස තරග 3 කට ශ්‍රී ලංකාව එක් වූ අතර ම එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 3කදී ම ආරම්භක පිතිකරු භූමිකාවට පැතුම් නිස්සංක පණ දුන්නා. මෙහිදී එම තරග තුනේ දී ඔහු පිළිවෙළින් ලකුණු 0, 75, 1 ලෙසින් ලකුණු රැස් කළා. ඉනිම දෙකක් අසාර්ථක වූවත් දෙවන විස්සයි විස්සයි විස්ස තරගයේ දී පැතුම් ක්‍රීඩා කළේ ඉතාමත් සුවිශේෂී ඉනිමක්.

තරග තුනේ දී පවර් ප්ලේ අවස්ථාවේ දී පිළිවෙළින් 0 (1), 14 (15), 1 (10) ලෙසට ඔහු ලකුණු රැස් කළා. ඕස්ට්‍රේලියාව සමඟින් වූ අවසන් තරග දෙකේ දී පැතුම් පවර් ප්ලේ අවස්ථාව තුළ ප්‍රවේගකාරී වීමට යම්තාක් උත්සාහ කළත් ඉන්දීය තරගාවලියේ දී ඔහු අතින් එය මඟහැරී ගොස් ඇති ආකාරය පෙනී යනවා.

පැතුම් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින්
පැතුම් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

මැද පන්දු වාර සහ අවසන් පන්දු වාර 5 තුළ ඔහු ඉන්දීය තරගාවලියේ දී ක්‍රීඩා කළේ දෙවන තරගයේ දී පමණ යි. එහි දී පන්දුවාර 7-15 දක්වා පන්දු 26 ක දී ලකුණු 34ක් සහ අවසන් පන්දු වාර 5 තුළ පන්දු 12 ක දී ලකුණු 27ක් පැතුම් රැස් කළා. එම දත්ත අධ්‍යයනය කිරීමේදී ද නැවතත් පෙනී යන කාරණය වන්නේ ඔහු මුල් පන්දුවාර කිහිපයේ දී ස්ථාවර වෙමින් ඉනිම ගොඩ නඟා ගන්නා බව යි. ඔහු ගොඩ නඟා ගන්නා ඉනිම අවසන් භාගයේ දී වඩා ප්‍රවේගකාරී ලෙසින් ක්‍රීඩා කිරීමට පැතුම් නිස්සංකට හැකි බව යි. ඉන්දීය තරලාවලිය තුළ සමස්තයක් ලෙසට පන්දු 64කින් පැතුම් ලකුණු 76ක් රැස්කර ගෙන ඇති අතර ම එහි ඉනිමක සාමාන්‍ය ලකුණු 25.33ක් ලෙසින් ද සටහන් වනවා.

පවර් ප්ලේ අවස්ථාව

ඉන්දියාවත් සමඟ තරගාවලියේ දී පවර් ප්ලේ අවස්ථාව තුළ දී පන්දු 26කින් ලකුණු 15ක්, පන්දුවාර 7-15 දක්වා පන්දු 26කින් ලකුණු 34ක් සහ අවසන් පන්දුවාර 5 තුළ පන්දු 12කින් ලකුණු 27ක් ද ඔහු රැස් කළා. ඕස්ට්‍රේලියා තරඟාවලිය හා සංසන්දනය කිරීමේදී පැතුම් මුල් පන්දුවාර 6 තුළ වඩා මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළත් මැද පන්දුවාරවල දී පෙරට වඩා තමන්ගේ ප්‍රහාරක වේගය වැඩි කර ගෙන ඇති බව පෙනී යනවා. පැතුම් නිස්සංක අවසන් පන්දුවාරවල තමන්ගේ රිද්මය එක ආකාරයක පවත්වා ගන්නා ආකාරය ද අධ්‍යයනය කළ හැකි යි.

තරගාවලි ද්විත්වයේ ම පැතුම්ගේ දක්ෂතා අධ්‍යයනය කිරීම

ඕස්ට්‍රේලියා තරගාවලියේ දී මෙන් ම ඉන්දීය තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරමින් පැතුම් නිස්සංක ඉනිම 8ක් ක්‍රීඩා කළා. මෙම ඉනිම 8 තුළ දී ඔහු සමස්ත පන්දු 223 කට මුහුණ දෙමින් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 260ක් ලෙසින් සටහන් වුණා. එහි දී ඉනිමක සාමාන්‍යය සටහන් වූයේ 32.5ක් ලෙසට යි.

සාමාන්‍යයෙන් විස්සයි විස්ස තරඟ රටාව තුළ ලකුණු 32 ක සාමාන්‍යයක් යනු ඉතාමත්ම හොඳ මට්ටමේ අගයක්. වර්තමාන ලෝක ශූරයන් සහ වර්තමාන ලොව අංක 1 විස්සයි විස්ස කණ්ඩායම් ද්විත්වය සමඟින් ඔවුන්ගේ ක්‍රීඩාංගණවල නවක ක්‍රීඩකයකු ලෙසින් පැතුම් සටහන් කළ අගයයන් වඩා හොඳ මට්ටමක පවතින බව නිගමනය කළ හැකි  යි.

ඉනිමේ ස්ථාවර වීම

පැතුම් මෙම තරගවල දී පන්දුවාර 1-6 දක්වා පවර් ප්ලේ අවස්ථාවේ දී ක්‍රීඩා කරමින් පන්දු 107ක් තුළ ලකුණු 102ක්, පන්දුවාර 7-15 දක්වා පන්දු 85ක් තුළ ලකුණු 94ක් සහ අවසන් පන්දුවාර 5 තුළ මුහුණ දුන් පන්දු 31ක් තුළ ලකුණු 64ක් රැස් කළා.  එම දත්තවලින් තවදුරටත් ඉනිමේ ස්ථාවර වීමෙන් පසුව ඔහු වඩා විශ්වාසයෙන් සහ ප්‍රවේගකාරී ලෙසින් ක්‍රීඩා කළ ආකාරය නිරූපණය වනවා.

තවදුරටත් එම දත්ත විමසීමේ දී පැතුම් නිස්සංක පවර් ප්ලේ අවස්ථාව ඇතුළත හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ද, පන්දුවාර 7-15 සීමාවේ හතරේ පහර 10ක් ද අවසන් පන්දුවාර 5 තුළ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද එල්ල කළ බව දිස් වනවා.

පැතුම් නිස්සංක ඉන්දියාවට එරෙහිව දෙවන තරඟයේදී දියත් කළ අගනා ඉනිම නිමාවට පත් වූ අවස්ථාව
පැතුම් නිස්සංක ඉන්දියාවට එරෙහිව දෙවන තරගයේ දී ක්‍රීඩා කළ අගනා ඉනිම නිමාවට පත් වූ අවස්ථාව – www.hindisip.com

මෙහිදී එම තරග 8දී ම පැතුම් ක්‍රීඩා කළ ඉනිම 8 තුළ තමා මුහුණ දුන් සෑම පන්දු 6.75 කට වරක් ම හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කොට තිබෙනවා. එම තරගාවලි දෙක ඇතුළත පවර් ප්ලේ අවස්ථාවේ දී මුහුණ දුන් සෑම පන්දු 7.6 කට වරක් ද, පන්දුවාර 7-15 දක්වා මුහුණ දුන් සෑම පන්දු 8.5 කට වරක් ද අවසාන වශයෙන් පන්දු වාර 16-20 සීමාව තුළ මුහුණ දුන් සෑම පන්දු 3.4 කට වරක් ද වශයෙන් හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කළා. ඔහු තමන්ගේ හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමේ සාමාන්‍ය අගය හොඳ අගයකට ගෙන ඒමට සමත්කම් දක්වා තිබෙන්නේ අවසන් පන්දුවාර කිහිපය තුළ ක්‍රීඩා කළ ආකාරය මගින් බවයි දිස් වන්නේ.

වත්මන් ක්‍රිකට් පිටියේ නැඟී එන තරුවක් ලෙසින් තම නම සටහන් කරමින් සිටින පැතුම් නිස්සංක අවසන් වූ තරග සංචාර ද්විත්වයේ දී තම පිතිකරණය හැසිරවූයේ කෙසේද යන්න දල අවබෝධයක් ලබා ගැනීමට ඉහත දත්ත පදනම් කරගෙන හැකි වනු ඇති බවට විශ්වාස කරන අතරම ඔහුගේ සාමාන්‍ය පිතිකරණ රිද්මය සම්බන්ධයෙන් ද යම් අවබෝධයක් ඉන් ලබාගත හැකි යි.

කවරයේ ඡායාරූපය - ඕස්ට්‍රේලියානු තරගාවලියේදී වැඩි ම ලකුණු රැස්කළ පිතිකරු -  www.espncricinfo.com
 මූලාශ්‍ර:

www.espncricinfo.com

Related Articles