Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක කුසලාන සාපය නිමා කළ ‘බ්‍රසීලයේ කළු දියමන්තිය’

පාපන්දු ක්‍රීඩාව සහ බ්‍රසීලය කියූ සැණින් ගහට පොත්ත මෙන් බැඳුණු බැඳීමක් ඔබගේ මතකයට පැමිණෙනවා කිවහොත් මා නිවැරදි යි. පස් වතාවක් ලෝක පාපන්දු ශූරතාව දිනා ගෙන, එය වැඩි ම වරක් දිනූ වාර්තාව ද උසුලන බ්‍රසීලය කවදත් ලෝක පාපන්දු පිටියට තරු බිහි කළ රාජ්‍යක් ලෙසින් ප්‍රකට යි. ඒත් ඔවුන් පාපන්දු ලෝක කුසලානවල මුල් අවදියේ ගත කළේ එතරම් හොඳ සමයක් නොවේ.

1950 වසරේ දී තම රටේදී ම පැවති පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය පෙනි පෙනීම උරුගුවේ හමුවේ බ්‍රසීලය පරාජයට පත් වුණා. මෙම පරාජය ඔවුන්ට මරු පහරක් එල්ල කළේ නායකයා ඇතුළු සිවු දෙනෙක් පාපන්දු පිටියෙන් පවා විශ්‍රාම යවමින්. රටේ වටේ ම සමහර ප්‍රේක්ෂකයන් මේ පරාජයෙන් පසුව සිය දිවි නසා ගත්තා. මේ පීඩනය නිසා ඔවුන් නැවත වසර දෙකක් යනතුරු පාපන්දු ක්‍රීඩා කළේ නෑ. 1954 ලෝක කුසලානය ද බ්‍රසීලයට අමිහිරි මතකයක් සමඟ අවසන් වුණා.

1950 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය පරාජයට පත් වෙමින්
1950 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය පරාජයට පත් වෙමින් – www.fifa.com

අර්ධ අවසන් පූර්ව වටයේ දී හංගේරියාව හමුවේ ගෝල 4-2 ක අවමන් සහගත පරාජයක් ලබා ගන්නා බ්‍රසීලය එවර ද කලින් ම කදමලු බැඳගෙන තම මවුරට බලා ගමන් කළා. මේ අවාසනාවන්ත අවසාන නිමා කිරීම සඳහා බ්‍රසීලයට යම්කිසි ආශ්චර්යයක් අවශ්‍ය වුණා. අවසානයේ දී ලැබුණ එම ආශ්චර්යයට ‘කළු දියමන්තිය’ නමින් නමක් පටබැඳුණේ ද ඒ නිසා යි.

1958 දී ස්වීඩනයට

1958 ස්වීඩනයේ සත්කාරත්වය යටතේ පැවති ලෝක කුසලානයට 17 හැවිරිදි ක්‍රීඩකයෙක් බ්‍රසීල සංචිතය සමඟින් ගමන් කළා. එඩ්සන් ඇරන්ටෙස් ඩො නසිමෙන්ටෝ හෙවත් පේලේ නමින් හැඳින්වුණු මේ කොලු ගැටයා බ්‍රසීල පාපන්දුවේ ඉතිහාසගත පරිච්ඡේදය ලියාවි යැයි එදින කිසිවෙක් සිහිනයකින්වත් නොසිතන්නට ඇති. 

4 වන කාණ්ඩයෙන් ලෝක කුසලානයට පිවිසි බ්‍රසීලය ඔස්ට්‍රියා තරගය ජයග්‍රහණය කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් එංගලන්ත තරගාවලිය 0-0 ලෙසින් සම වී අවසන් වුණා. ඉන් පසුව වාවා සෝවියට් රුසියාවට එරෙහි ව ලබා ගත් ගෝල ද්විත්වය බ්‍රසීලයේ මීළඟ වටයේ ස්ථානය තහවුරු කළ අතර ම එතැන් පටන් පැවති පිළිමළුන් පිටු දැකීමේ වටය ඔවුන්ට පහසු වන බවක් පෙනුණේ නෑ.

1958 ලෝක කුසලානය ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායම
1958 ලෝක කුසලානය ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායම – www.sportsnet.com

බ්‍රසීලය සතු ව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටිය ද කණ්ඩායමක් වශයෙන් ඔවුන් ස්ථාවර අඩියක නොසිටීම මෙම මතය නිර්මාණය කිරීමට ප්‍රධානත ම හේතුව වී තිබුණා. සෝවියට් රුසියාව සමඟ පැවති තරගය පේලේ ක්‍රීඩා කළ ද ඔහුගෙන් සාර්ථකත්වයක් ලැබුණේ නෑ. නමුත් මසොලා ගේ ආබාධය නිසා පේලේට ඉතිරි තරග ද ක්‍රීඩා කිරීම කළ යුතු ව තිබුණා.

පේලේ තමන්ගේ නම ලෝකයට හඬනගා කියයි!

අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලයට ලැබුණු ප්‍රතිවාදියා වූයේ වේල්සය යි. තරමක් පහසු ප්‍රතිවාදියෙක් වුවත් ඔවුන්ට වේල්සය මෙල්ල කිරීම පහසු වුණේ නෑ. මේ අවස්ථාවේ දී පේලේ යන නාමය මුලින් ම ලෝකයට විවර කළ පේලේ, 66 වන විනාඩියේ දී බ්‍රසීලයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එම ගෝලයත් සමඟ ම බ්‍රසීලය අවසන් පූර්ව වටයට ගමන් කිරීමට ද සමත් වුණා.

අවසන් පූර්ව වටයේ දී බ්‍රසීල ප්‍රතිවාදියා බවට පත්ව සිටියේ ප්‍රංශය යි. ඔවුන් මූලික වටයේ දී පැරගුවේට ගෝල 7-3 ක් ලෙසත්, අර්ධ අවසන් පූර්ව වටයේ දී උතුරු අයර්ලන්තයට ගෝල 4-0 ක් ලෙසත් පහර දී තිබුණා. මේ ප්‍රහාර නිසා ම ප්‍රංශය,  බ්‍රසීලය පරාජයට පත් කරනු ඇතැයි මුල සිට ම අනාවැකි පළ වුණා. නමුත් තමන් කවුදැයි ලොවට ම හඬ නඟා පෙන්වූ පේලේ තරගයේ දෙවන අර්ධයේ 52, 64 සහ 75 යන විනාඩිවල දී ගෝල වාර්තා කරමින් ගෝල ත්‍රිත්වයක් සටහන් කළා.

ප්‍රංශයට එරෙහිව ක්‍රීඩා කරමින්
ප්‍රංශයට එරෙහිව ක්‍රීඩා කරමින් – www.cbc.com

වයස අවුරුදු 17 ක කොලු ගැටයා වාර්තා කළ මෙම ගෝල ත්‍රිත්වය නිසා බ්‍රසීලය 5-2 ක ජයක් සමඟ 1950 වසරෙන් පසු ව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයකට ගමන් කළා. ඔවුන් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව එය වූ අතර ම මංගල පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය ලැබීමේ බලාපොරොත්තුව ද බ්‍රසීල ප්‍රේක්ෂකයන්ට ලැබී තිබුණා.

ලෝක ශූරයෝ බ්‍රසීලය!

1958 දී ලෝක කුසලානයේ සත්කාරයන් ව  සිටි ස්වීඩනය, බ්‍රසීලයේ ප්‍රතිවාදීන් බවට පත් ව සිටියා. ඔවුන්ට සත්කාර වාසිය ද තරගයට පෙර සිට ම හිමි වුණා. තරගය ආරම්භ වූ විගස ම ක්‍රියාත්මක වූ නිල්ස් ලයින්හෝම් ස්වීඩනය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් ඔවුන්ව ඉදිරියට ගෙන ආවත් වාවා බ්‍රසීලයට ගෝල දෙකක් ලබා දෙමින් තරගය බ්‍රසීලය දෙසට රැගෙන ඒමට සමත් වුණා.

ස්වීඩනයට එරෙහිව අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරමින්
පේලේ, ගෝලයක් රැස්කර ගත්  ළාබාලත ම ක්‍රීඩකයා – www.goal.com

දෙවන අර්ධයේ 55 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ පේලේ ගෝලයක් රැස් කර ගත්තේ ලෝක කුසලාන අවසන් මහා තරග ඉතිහාසයේ ගෝලයක් වාර්තා කර ගත් ළාබාලත ම ක්‍රීඩකයා යන වාර්තාව ද තමන් සතු කර ගනිමින්. එතැනින් නොනවතින ඔහු තරගයේ අවසන් මිනිත්තුවේ ද ගෝලයක් රැස් කරන්නේ 5-2 ක විශිෂ්ට ජයග්‍රහණයකින් බ්‍රසීලය සරසවමින්.

බ්‍රසීලයේ මංගල ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් පේලේ ගෝල 6 කින් සම්මාදම් වුණා. ඔහුගේ දක්ෂතා නිසා බ්‍රසීලය පුරා ම ජාතික වීරයෙක් මට්ටමින් මේ 17 හැවිරිදි කොලු ගැටයා ජනප්‍රිය වීම ද විශේෂත්වයක්. ප්‍රේක්ෂකයන් ඔහු බ්‍රසීලයේ ලෝක කුසලාන සාපය නිමා කළ වාසනාව ලෙසින් ද හැඳින්වීමට පටන් ගත්තා.

පේලේ ලෝක ශූරතාවය සමග
පේලේ 1958 ලෝක ශූරතාව සමග- www.fifa.com

ආබාධ සහිතව ලෝක ශූරයා වීම

1962 චිලී රාජ්‍යයේ පැවති ලෝක කුසලානය සඳහා එක් වන පේලේ එහි මෙක්සිකෝව සමඟ පැවති පළමු තරගයේදී ම ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. චෙකොස්ලෝවැකියාව සමඟින් තරගාවලියේ දෙවන තරගාය ක්‍රීඩා කළ පේලේ එම තරගයේ පළමු අර්ධයේ දී ම මස්පිඬු පෙරළී ආබාධයකට ලක් වුණා. 

එම ආබාධය දරුණු එකක් වීම නිසා තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම ඔහුට අවිනිශ්චිත වුණා. ඔහු නැති අඩුව කණ්ඩායමට දැනෙන්නට ඉඩ නොදුන් ආමරිල්ඩෝ, ගරින්චා, වාවා, ගිල්මාර්, මවුරෝ රාමෝස් ඇතුළු බ්‍රසීලියානුවන් දිගින් දිගට ම සටන් වැදුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් නැවතත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

බ්‍රසීලය 1962 ලෝක ශූරයන් වූ අවස්ථාව
බ්‍රසීලය 1962 ලෝක ශූරයන් වූ අවස්ථාව- www.espn.com

1966 දී සුණු විසුණු වූ බලාපොරොත්තු

පිට පිට ම තෙවන වතාවටත් පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමේ අටියෙන් 1966 දී පිටියට පිවිසි පේලේ ඇතුළු බ්‍රසීලය තම මුල් ම ජය බල්ගේරියාවට එරෙහි ව ගෝල 2-0 ක් ලෙස ලබමින් ජයග්‍රාහී ව ආරම්භ කළා. පේලේ එම තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

දෙවන තරගයේ දී හංගේරියාව හමු වන බ්‍රසීලය ගෝල 3-1 ක් ලෙසින් එම තරගය පරාජයට පත් වුණා. මේ තරග පරාජය බ්‍රසීලය ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වීමේ අවදානමක් පවා ඇති කළ අතර ම මීළඟට පැවැත්වෙන පෘතුගාල තරගය ජයග්‍රහණය බ්‍රසීලයට අනිවාර්ය සාධකයක් බවට පත් ව තිබුණා.

1966 ලෝක කුසලානයේ බ්‍රසීලය සහ පෘතුගාලය අතර පැවති තරඟයේ අවස්ථාවක්. (මෙම ඡායාරූපයේ බිම වැටී සිටින්නේ පේලේ ය.)
1966 ලෝක කුසලානයේ බ්‍රසීලය සහ පෘතුගාලය අතර පැවති තරඟයේ අවස්ථාවක්. (මෙම ඡායාරූපයේ බිම වැටී සිටින්නේ පේලේ ය.)
 – www.bleacherreportfootball.com

 

පෘතුගාලය සමඟින් තරගයට එක් වූ බ්‍රසීලයට තවත් අනපේක්ෂිත ගෝල 3-1 ක පරාජයක් හිමි වූයේ පිට පිට තෙවන වතාවටත් ලෝක ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව අහිමි කරමින්. ඒ අනුව 1966 ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වීමට බ්‍රසීලයට සිදු වුණා.

බ්‍රසීල කළු දියමන්තියට ජයග්‍රාහී අවසානයක්!

එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ටත ම කණ්ඩායමක් සමඟින් බ්‍රසීලය 1970 ලෝක කුසලානයට අවතීර්ණ වුණා. මූලික වටයේ තමන් සහභාගී වූ තරග තුන ම බ්‍රසීලය ජයග්‍රහණය කරද්දී පේලේ චෙකොස්ලෝවැකියාවට එරෙහි ව ගෝලයක් සහ රුමේනියාවට එරෙහි ව ගෝල දෙකක් වාර්තා කළා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී පේරු රාජ්‍ය ගෝල 4-2ක් ලෙසින් පරාජයට පත් කළ ඔවුන් අවසන් පූර්ව වටයේ දී උරුගුවේ ගෝල 3-1 කින් පරාජයට පත් කරමින් 1950 ලෝක කුසලානයේ වාඩුව ලබා ගැනීමටත් සමත් වුණා.1970 ලෝක කුසලාන අවසන් මහා තරගයට  ඒ අනුව නැවතත් පිවිසි බ්‍රසීලයේ මෙවර ප්‍රතිවාදීන් වූයේ ඉතාලිය යි.

අවසන් මහා තරඟයේ පේලේ තම ගෝලය වාර්තා කළ අවස්ථාව
අවසන් මහා තරඟයේ පේලේ තම ගෝලය වාර්තා කළ අවස්ථාව – www.globaltime.com

අවසන් තරගය ආරම්භ වී ගත වන 18 වන විනාඩියේ දී ම පේලේ ලෝක කුසලාන අවසන් තරගයක දී තමන් වාර්තා කළ තුන්වන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ම අවසන් මහා තරගවලදී වැඩි ම ගෝල ලබා ගෙන සිටින ක්‍රීඩකයන් 4 දෙනාට පේලේ ගේ නමත් ඇතුළත්. ඔවුන් සිව් දෙනාම ගෝල 3 බැගින් අවසන් මහා තරගවල රැස්කොට තිබෙනවා.

ඉතාලියට එරෙහි තරගය 4-1 ක් ලෙසින් අතිශය පහසුවෙන් ජයග්‍රහණය කරනා බ්‍රසීලය තෙවන වතාවටත් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එය පේලේ ජයග්‍රහණය කළ තෙවන ලෝක කුසලානය වූ අතර ම ඉතිහාසයේ වැඩි ම වතාවක් ලෝක ශූරයා වූ පාපන්දු ක්‍රීඩකයා වන්නේ ද ඔහු යි. අවසානයේදී බ්‍රසීලයේ කළු දියමන්තිය ජයග්‍රහණයකින් ම තම පාපන්දු ලෝක කුසලාන ගමන නිමා කළා.

තම ජයග්‍රාහී අවසානය සමරන පේලේ
තම ජයග්‍රාහී අවසානය සමරන පේලේ – www.catchtalent.com

සමස්තයක් වශයෙන් පාපන්දු ලෝක කුසලාන තරග 14ක් ක්‍රීඩා කළ පේලේ ලබා ගෙන තිබෙන ගෝල සංඛ්‍යාව 12ක්. එය ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලෝක කුසලාන තරගවල දී ලබාගත් ගෝල ලැයිස්තුවේ 5 වන ස්ථානයේ පසුවනවා. මෙම ගෝල වලින් 3ක් ම අවසන් මහා තරගවල දී වාර්තා වීම ද විශේෂත්වයක්. බ්‍රසීලයේ වසර ගණනක ලෝක කුසලාන ඉඩෝරය නිමා කළ මේ සුපිරි තරුව අදටත් එරට අතිශය ගෞරවාදරයට පත් ව ජීවත් වනවා.

කවරයේ ඡායාරූපය - www.goal.com
මූලාශ්‍ර :

www.thesoccerworldcups.com

 www.fifa.com

www.britannica.com/biography

Related Articles