Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ පර්සි ක්‍රිකට් තරුවකගේ ජීවිතය බේරාගත් හැටි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් බිහිවුණු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු සර් ගාෆීල්ඩ් සෝබර්ස්, 1980 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. සෝබර්ස්ගේ පුහුණු කිරීම් යටතේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමගින් ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 1983 ලෝක කුසලානයේ දී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. 

ජූනි මාසයක පැවති එම තරගාවලිය අවසන් වීමෙන් පසුව යළි ලංකාවට පැමිණි සෝබර්ස් ජූලි මාසයේ අගභාගයේ දී නැවතත් ඔහුගේ රටට යාමට සූදානමින් සිටියා. නමුත් 1983 ජූලි 24 වැනිදා සිට රට පුරා ඇතිවුණු සිංහල-දෙමළ කෝලාහලය නිසා සෝබර්ස් හදිසියේම සිය රටට යාමට තීරණය කළා. එදා පර්සි අබේසේකර නම් ලාංකික ක්‍රිකට් ලෝලියා ද සෝබර්ස්ව ඇරලවීම සඳහා ගුවන්තොටුපොළ වෙත ගියා. ඒ ගමන අතරතුර සෝබර්ස් ඇතුළු පිරිස මැර කණ්ඩායමකට හසුවුණා. සෝබර්ස්ට සිය ජීවිතය බේරාගෙන නැවතත් ඔහුගේ රටට යාමට හැකි වුණේ පර්සි අබේසේකර නිසා යි. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පර්සි සුපිරි ක්‍රිකට් තරුවකගේ ජීවිතය බේරාගත් ඒ අපූරු සිදුවීම යි.

සෝබර්ස්, සහ ඔහුට පුහුණුකරු තනතුර සඳහා ආරාධනා කළ ගාමිණී දිසානායක (Daily News)

සෝබර්ස්ගේ උපන්දිනයට සුබ පැතීමට පර්සි කොල්ලුපිටියට යයි 

1983 ජූලි 25 වැනිදා වන විට කොළඹ නගරය පුරාම කලබල ඇතිව තිබුණා. නගරය පුරා සැරිසරමින් සිටි මැර කණ්ඩායම් දමිළ ජනයාගේ වෙළඳසැල් කොල්ලකමින්, අහිංසක දමිළ මිනිසුන්ට අඩන්තේට්ටම් කරමින් භීෂණයක් පතුරවමින් සිටියා. එවැනි කලබලකාරී වාතාවරණයක් රට පුරා පවතිද්දී පර්සි කොල්ලුපිටියට ගියේ සිය ක්‍රිකට් වීරයෙකු වුණු ගාෆීල්ඩ් සෝබර්ස්ගේ උපන්දිනයට සුබ පැතීම සඳහා යි. පර්සි 1936 වසරේ ජූලි 30 වැනිදා උපත ලැබූ අතර, සෝබර්ස් එම වසරේම ජූලි 28 වැනිදා උපත ලැබුවා. එනිසා පර්සිට සිය ක්‍රිකට් වීරයාගේ උපන්දිනය හොඳින්ම මතක තිබුණා. වසර කිහිපයක සිටම, එතෙර සිටි සෝබර්ස්ට උපන්දින සුබ පැතුම් පතක් යැවීම පර්සි අතින් සිදුවුණා. 

නමුත් සෝබර්ස්ගේ 47 වන උපන්දිනය දවසේ ඔහු ලංකාවේ සිටිනු ඇති බවට අනුමාන කළ පර්සි එදිනට සිය ක්‍රිකට් වීරයාට ලබාදීම සඳහා අපූරු සිහිවටනයක් සකස්කර ගත්තා. 1983 ජූලි 28 වැනිදා පර්සි එම සිහිවටන ත්‍යාගය සෝබර්ස් වෙත පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිය ද ජූලි 24 වැනිදා රට පුරා කලබල ඇරඹීමත් සමග සෝබර්ස් සිය මවුරටට යාමට තීරණය කළා. සෝබර්ස් හදිසියේම ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගේ මාර්ගයෙන් දැනගත් පර්සි ජූලි 25 වැනිදා උදෑසනින්ම සෝබර්ස් හමුවීමට ගියා.  

එම කාලය වන විට සෝබර්ස් නවාතැන් ගෙන සිටියේ කාසන් සහ සමාගමේ සභාපති ජේසුදාසන්ට අයත්ව තිබුණු කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක යි. එදා පර්සි එහි යන විට සෝබර්ස් සිය රටට යාම සඳහා ගමන්මළු සූදානම් කරමින් සිටියා. සෝබර්ස් වෙත ගිය පර්සි Happy Birthday to You, Sir යනුවෙන් ඔහුගේ උපන්දිනයට සුබ පතමින් සිහිවටන ත්‍යාගය ද පිරිනමනු ලැබුවා. “සර් අද ලංකාවෙන් යනව කියල ආරංචි වුණා. ඒකයි උදේම සර්ව හමුවෙන්න ආවෙ”යි පර්සි සෝබර්ස්ට කිව්වා.

සෝබර්ස් ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් කරමින් (Ranjan mellawa)

පර්සිට බලාපොරොත්තු නොවුණු ආකාරයේ ගමනක් යන්නට සිදුවෙයි 

පර්සි ඔහුගේ ක්‍රිකට් වීරයා වුණු සෝබර්ස්ට පිරිනමා තිබුණේ ලංකාවේ හැඩයෙන් යුත් අපූරු රිදී බන්දේසියක්. එහි හැඩරුව හොඳින් බැලූ සෝබර්ස් සිය ලාංකීය මිතුරාට ස්තූති කරන්නත් අමතක කළේ නැහැ. දෙදෙනා 1983 ලෝක කුසලාන තරගාවලියේ දී ලාංකීය ක්‍රීඩකයන් දැක්වූ දස්කම් ගැනත් ලංකාවේ ක්‍රිකට් අනාගතය පිළිබඳවත් කතා කරමින් සිටි අතර, කතාබහ අවසන් වුණු පසු පර්සි ඔහුගේ ක්‍රිකට් වීරයාට සුබ පතා ආපසු සිය නිවස වෙත යන්නට සැරසුණා. සෝබර්ස් සහ පර්සි අතර එවිට ඇතිවුණේ මෙන්න මේ වගේ කතාබහක්. 

සෝබර්ස්- පර්සි කොහෙද ඔය යන්න හදන්නෙ?

පර්සි- මං මේ ගෙදර යන්න හදන්නෙ සර්. රටේ හැමතැනම කලබල පටන් අරන් හන්ද මං ඉක්මනින් එනව කියන පොරොන්දුව දීල තමයි ගෙදරින් ආවෙ.

සෝබර්ස්- එහෙම ද? එත් මං හිතුවෙ මාව ගුවන්තොටුපොළට ගිහින් ඇරලවන්න පර්සි උදෙන්ම මෙහෙ ආව කියලයි. කමක් නෑ එහෙනම් ඔයා ගෙදර යන්න පර්සි. 

ගාෆීල්ඩ් සෝබර්ස් එසේ කීම නිසා පර්සි මොහොතක් නිහඬව කල්පනා කළා. රට පුරාම කලබල ඇතිව තිබෙන මොහොතක සිය ක්‍රිකට් වීරයාව නිරුපද්‍රිතව ඔහුගේ රට වෙත පිටත්කර හැරිය යුතු බව පර්සි අවබෝධ කරගත්තා. එනිසා පර්සි, සෝබර්ස් දෙසට හැරී මෙසේ පැවසුවා. 

පර්සි-  හරි සර් මං එන්නම්. මේ වගේ වෙලාවක මං සර් එක්ක ඉන්නෙ නැත්නම් මගෙන් ඇති වැඩකුත් නෑනෙ.

පර්සි ගුවන්තොටුපොළ වෙත යන්නට පැමිණීමට එකඟවීම ගැන සෝබර්ස් ඔහුට ස්තූති කළා. ඔවුන් ගුවන්තොටුපොළ වෙත යන්නට පිටත් වුණා.

1983 ලෝක කුසලානයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සෝබර්ස් සමග (gettyimages)

සෝබර්ස් රැගත් රිය ගුවන්තොටුපොළ වෙත පිටත්ව යයි 

සෝබර්ස් ගුවන්තොටුපොළ වෙත ඇරලවීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් ඇන්ටන් ගුණවර්ධන නම් නියෝජිතයා පැමිණ සිටියා. ඔවුන් ගුවන්තොටුපොළ බලා ගෙන ගිය ලාන්සර් වර්ගයේ කාර් රථය පදවනු ලැබුවේ මුස්ලිම් ජාතික රියදුරෙක්. කාරයේ ඉදිරිපස අසුනේ ඇන්ටන් ගුණවර්ධන අසුන් ගෙන සිටි අතර, පර්සි සහ සෝබර්ස් පසුපස අසුනට ගොඩවුණේ ක්‍රිකට් පිළිබඳව කතා කරමින් ගමනාන්තය කරා යාමට යි. ඒ වන විට මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත වැනි ප්‍රදේශවල තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබුණු නිසා සෝබර්ස් ඇතුළු පිරිස පුංචි බොරැල්ල හරහා දෙමටගොඩට ගොස්, ඉන්පසු පෑලියගොඩ වෙත යාමට සැලසුම් කළා. එදා සැලසුම් කළ මාර්ගය ඔස්සේ ඉදිරියට ගිය පිරිසට කිසිදු ගැටලුවක් නැතිව දෙමටගොඩ වෙත ළඟාවන්නට හැකිවුණා. 

පර්සි අබේසේකර (gettyimages)

පර්සි ඇතුළු පිරිස මැර කණ්ඩායමකට හසුවෙයි 

සෝබර්ස් රැගත් ලාන්සර් රථය දෙමටගොඩ ප්‍රදේශයට ළඟාවෙද්දී තැනින් තැන වාහන ගිනි තබා තිබෙන ආකාරය දක්නට ලැබුණා. බාධක මැඩගෙන ඉදිරියට ගිය සෝබර්ස් ඇතුළු පිරිසට ඔවුන්ගේ වාහනය නැවැත්වීමට සිදුවුණේ පාර මැද වෑන් රථයක් ගිනිගෙන දැවෙමින් තිබුණු නිසා යි. ලාන්සර් කාරය පාර මැද නැවැත්වීමත් සමගම කඩු, කිනිසි, යකඩ පොලු රැගත් මැර කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදුණා. කාර් රථය එලවූ රියදුරාගේ බෙල්ලට පිහියක් තැබූ එක් මැරයෙක් “උඹේ නම මොකක්ද?”යි විමසා සිටියේ රෞද්‍ර විලාශයකින්. එවිට රියදුරා මගේ නම සහායම්, මම මුස්ලිම් කෙනෙක් යනුවෙන් පිළිතුරු දුන්නා. 

ඉන් පසුව ඉදිරිපස අසුනේ සිටි ඇන්ටන් ගුණසේකර දෙසට හැරුණු මැරවරයා ඔහු දෙසට ඇඟිල්ල දිගුකරමින් “එතකොට උඹ කවුද?” යැයි අසා සිටියා. ඇන්ටන්ට කුඩා කල සිටම ගොතයක් තිබුණා. එනිසා ඔහු “මගේ නම ඇන්ටන් ගු…ගු…ගු…ණසේකර” යනුවෙන් පවසා සිටියේ අතිශයින්ම බියට පත්වුණු කටහඬකින්. ඒ සමගම ජයග්‍රාහී විලාශයකින් කෑගැසූ මැරවරයා “මෙන්න මූට සිංහල කතා කරන්න බැහැ” යනුවෙන් මැර පිරිස හමුවේ ගොරහැඩි හඬකින් පවසා සිටියා. ඉන් පසුව පිටුපස අසුනේ සිටි සෝබර්ස් දෙස බලා “මෙන්න යකෝ මේකෙ තවත් දෙමළෙක්!”යැ යි හඬ නගනු ලැබුවා. 

කළු ජූලියේ දර්ශනයක් (Daily News)

පර්සිගේ රතු කට්ට පනියි 

දෙමටගොඩ හන්දියේ සිටි තුට්ටු දෙකේ මැරවරයෙක් ලෝකයක් ආදරය කරන සෝබර්ස්ට තර්ජනය කිරීම නිසා පර්සිගේ රතු කට්ට පැන්නා. එනිසා පිටුපස දොරක් ඇරගෙන කාරයෙන් එළියට බට පර්සි සහ මැරවරයන් පිරිස අතර මෙන්න මේ වගේ උණුසුම් කතාබහක් ඇතිවුණා.

මැර පිරිස- ඇයි උඹ කාරෙකෙන් බැහැල ආවෙ අපිට ගහන්නද යකෝ?

පර්සි- මට උඹල එක්ක නිකරුණේ ගහගන්න තරම් අමාරුවක් නෑ. දැන් හොඳට අහගනිල්ල මං කියන දේ. මේ කාරෙක එළවන්නෙ සහායම්. එයා මුස්ලිම් කෙනෙක්. මේ ඉස්සරහ ඉන්නෙ ඇන්ටන් ගුණවර්ධන කියන මහත්තයා. එයාට පොඩි කාලෙ ඉදන් ගොතයක් තියනවා. ඒ මහත්තයා ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන්නෙ. එතකොට මේ පිටිපස්සෙ ඉන්නෙ සෝබර්ස් මහත්තයා. මේ මහත්තයා තමයි දැන් අපේ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන්නෙ. ඉස්සර කොදෙව් කණ්ඩායමේ නායකයා වෙලා හිටියෙත් මේ මහත්තයම තමයි. එතකොට මට තමයි පර්සි අබේසේකර කියන්නෙ. 

අවාසනාවකට ක්‍රිකට්වලට උනන්දුවක් දැක්වූ කිසිම කෙනෙකු එහි සිටියේ නැහැ. එසේම එම යුගය වන විට බොහෝ නිවෙස්වල රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. එනිසා කිසිම කෙනෙකු පර්සි ගැනවත් සෝබර්ස් ගැනවත් අසා තිබුණේ නැහැ. 

මැර පිරිස- කවුද යකෝ පර්සි කියන්නෙ? අපි එහෙම එකෙක්ව දන්නෙ නෑ. එතකොට සෝබර්ස් කියල එකෙක් ගැනත් අපි අහල නෑ. උඹට බෑ යකෝ අපිට බොරු කරන්න. වරෙල්ල මුන්ව අල්ලගන්න යනුවෙන් එක් මැරයෙක් මහ හඬින් කෑගැසුවා. 

සෝබර්ස්, රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් සමග (Thuppahi’s Blog)

බිහිසුණු මොහොතක පැමිණි ගැලවුම්කරුවා  

පර්සි ඇතුළු පිරිස භයානක ඉරණමකට මුහුණදෙමින් සිටිය දී මැර කණ්ඩායමේ නායකයා එම ස්ථානයට පැමිණියා. ඔහුගේ නිවස වනාතමුල්ල ඕවල් හෙවත් පී සරා ඕවල් පිටිය අසල පිහිටා තිබුණා. එනිසා ඔහු කුඩාකල පටන්ම හොඳ ක්‍රිකට්ලෝලියෙකු වුණා. මැර නායකයා පර්සිව හඳුනාගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.

මැර නායකයා- අඩෝ මේ අපේ පර්සි අයියනෙ. උඹලට පිස්සුද යකෝ අපේ පර්සි අයියට පාට් දාන්න. මේ ඉන්නෙ අපේ ක්‍රිකට් ටීම් එකට සප් එක දෙන්න ලෝකෙ වටේම යන එළකිරි කොල්ලෙක්.

පර්සි- ඒක තමා මල්ලි මං මුංට කීවෙ දැන් ගොඩ වෙලාවක ඉඳන්. ඒත් මුං මං කියන කිසිම දෙයක් පිළිගන්නෙ නෑනෙ.

මැර පිරිසේ කෙනෙක්- නෑ අයියෙ මේ පර්සිය දෙමළෙක්ව ගෙනියනව පිටිපස්සෙ. ඒකයි අපි අල්ලගත්තෙ. බොරුනම් අයියම බලන්නකො.

මැර පිරිසේ කෙනෙකු එසේ පැවසීමත් සමගම මැර නායකයා පිටුපස අසුනට එබී බැලුවා. එවිට ඔහු පසුපස අසුනේ ගැහෙමින් සිටි සෝබර්ස් දුටුවා. මැර නායකයා සෝබර්ස් ඊට පෙර දැක නොතිබුණු නිසා මැරයා පැවසූ කතාව ඇත්තක්යැ යි විශ්වාස කළා. 

මැර නායකයා- මොකක්ද පර්සි අයියා ඔයා මේ කරන්නේ ඇයි මේ දෙමළුන්ව අරන් යන්නෙ. ඔයා අපෙන් ෂේප් වෙලා ගියත් ඉස්සරහට යද්දි නම් ලෙඩක් වැටෙනව ෂුවර්. 

පර්සි- උඹට පිස්සුද බං. මේ දෙමළෙක් නෙවෙයි. මේ ඉස්සර කොදෙව් කණ්ඩායමේ නායකයා. මෙයා තමා දැනට ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ගහල තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි මෙයා නෑෂ් කියල සුද්දෙකුගෙ ඕවරේකට හයේ ඒව හයක් ගහපු රියල් වැඩකාරයෙක්. දැන් අපේ ක්‍රිකට් ටීම් එකට කෝච් කරන්නෙත් මේ මහත්තයම තමයි.

පර්සි කියූ දේ ඇසීමෙන් පසු මැර නායකයාගේ කටින් පිටව තිබුණේ, “අම්මටහුඩු මෙයා එච්චර බුවෙක් ද?” යන්න යි. 

ක්‍රිකට් පිස්සෙකු වුණු මැර නායකයාට සෝබර්ස් පිළිබඳව විශාල ගෞරවයක් ඇතිවුණා. එනිසා ඔහු මදක් පහතට නැමී කැඩුණු ඉංග්‍රීසියෙන් ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා.

සෝබර්ස් ක්‍රිකට් පිටියේ දී දස්කම් දක්වමින් (The Cricketer)

මැර පිරිසේ උදව්වෙන් පර්සි ගුවන්තොටුපොළට යයි 

ඒ මොහොත වන විට පර්සි ඇතුළු පිරිස ගමන් කළ ලාන්සර් කාරය අසලටම ගිනි ජාලා පැමිණෙමින් තිබුණා. එය දුටු මැර නායකයා ඔහුගේ පිරිසගේ උදව්වෙන් කාරය ආරක්ෂිත ස්ථානයක් වෙතට ගෙන ගියා. පර්සිට මැර නායකයා පවසා තිබුණේ, “පර්සි අයියා ඉස්සරහත් වාහනවලට ගහන්න බලන් සෙට් එකක් ඉන්නවා. ෂුවර් එකටම ඔයාල ගියොත් උන්ට අහුවෙනවා. ඒහන්ද මං ඔයාලගෙ කාර් එක ගාඩ් කරන්න මගේ කොල්ලො ටිකක් එවන්නම්”. පොරොන්දු වුණු ආකාරයටම මැර නායකයා වාහන දෙකක් සහ මැරයන් කිහිපදෙනෙක් පර්සිලාගේ රථයත් සමග පිටත්කර හැරියා. එනිසා සෝබර්ස්ට කිසිදු ගැටලුවකින් තොරව ගුවන්තොටුපොළ වෙත යාමට හැකිවුණා. නමුත් එදා පර්සි ගුවන්තොටුපොළට ගිය ගමනට එකතු නොවුණා නම් සෝබර්ස්ගේ ජීවිතය පවා නැතිවෙන්නට ඉඩ තිබුණා විය හැකියි.

කවරයේ ඡායාරූපය- පර්සි 1982 මංගල ටෙස්ට් තරගයේ දී (Twitter)

මූලාශ්‍රයයන්- I’M Percy Cricket Crazy

Related Articles