Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලි කතරේ දී යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රිකට්

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක් වුණු බව නොරහසක්. එනිසා ඉතිහාසයේ මුල් ම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට 20/20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු වටයේ තරගවලට පවා ක්‍රීඩා කිරීමට සිදු වුණා. එහි දී අපේ කණ්ඩායම පළමු වටය ජයග්‍රහණය කර සුපිරි 12 වටයට සුදුසුකම් ලබාවි ද? යන දෙගිඩියාව බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ සිත් තුළ තිබුණා.

සුප්‍රකට විස්ඩන් සඟරාව ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයටත් වඩා දුර්වල කණ්ඩායමක් බව ඔවුන්ගේ ශ්‍රේණිගතකිරීම්වල දක්වා තිබුණා. ඇතැම් විදෙස් විචාරකයන් පවා අනාවැකි පළ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් එතෙර වීම ලෙහෙසි පහසු නොවනු ඇති බව යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පහතට දමා කතා කළ බොහෝ පාර්ශවවලට ඉතාමත් හොඳ පිළිතුරක් ලබා දුන් අපේ ක්‍රීඩකයන් පහසුවෙන් ම පළමු වටයේ සියලු ම තරග ජයග්‍රහණය කළා. ඉන් නොනැවතුණු ඔවුන් සුපිරි 12 වටයේ දී සෑම කණ්ඩායමකට ම වාගේ ප්‍රබල සටනක් ලබා දී තරග 2ක් ජයග්‍රහණය කළා.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමී ක්‍රීඩා විලාසය පිළිබඳව එංගලන්ත නායක ඔයින් මෝගන් වඩාත් අගය කළා. හර්ෂා බෝග්ලේ වැනි ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයන් පවා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ පැහැදීමකින් කතා කළා. ඒ අයුරින් 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සමස්ත ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමු ව තිබෙන මොහොතක Roar සිංහල අපේ කණ්ඩායමත් ඔවුන් දැක්වූ දස්කම් පිළිබඳ කතා කිරීමට කල්පනා කළා. 

නෙදර්ලන්ත නායක පීටර් සීලර් – gettyimages.com

පළමු වටය ආරම්භ වීමට පෙර 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට, නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් සමඟින් උරෙනුර ගැටීමට සිදු වුණා. පසුගිය වසරක පමණ කාලය තුළ එම කණ්ඩායම් ත්‍රිත්වය 20/20 පිටියේ දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා.

එනිසා පළමු වටයෙන් ඉදිරියට යාම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් බව බොහෝ දෙනකු පවසා සිටියා. නෙදර්ලන්ත නායක පීටර් සීලර් පවා ඒ බව ප්‍රකාශ කළා. එහි දී සමහර උදවිය ඉදිරිපත් කළ තර්කය වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් වැඩි දෙනකු ලකුණු අතර නොමැති නිසා ඔවුන්ට මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී සාර්ථක වීමට අවස්ථාවක් නොමැති බව යි. 

 

පළමු වටයේ තරග ප්‍රතිඵල 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය යටතේ මුලින් ම උරෙනුර ගැටුණේ නැමීබියා කණ්ඩායමත් සමඟ යි. එහි දී මුලින් ම පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ දී සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 96ක් පමණ යි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 13.3ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම පසුකර ගියා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයක් හිමි වුණා. 

ශ්‍රී ලංකා-නැමීබියා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

ඒ අයුරින් පළමු තරගය පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවන තරගයේ දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහි ව තරග වැදුණා. එම තරගය A කාණ්ඩය යටතේ පැවැත්වුණු කාගේත් අවධානය දිනා ගත් තරගය බවට පත්ව තිබුණා. තරගයට පෙර බොහෝ දෙනකු අනුමාන කළේ අයර්ලන්ත කණ්ඩායම පරාජය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලෙහෙසි පහසු නොවනු ඇති බවයි.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 18.3කදී සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 101ක් පමණ යි. අයර්ලන්ත තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක ජයක් උරුම වුණා.

ශ්‍රී ලංකා-අයර්ලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

නැමීබියාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් පහසුවෙන් ම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහි ව පැවති තරගයත් කිසිදු අභියෝගයකින් තොර ව ජයග්‍රහණය කළා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් නෙදර්ලන්තයට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 44ක් පමණ යි.

එය T20 ලෝක කුසලාන ඉතිහාසයේ යම් කණ්ඩායමක් දෙවනියට අඩුවෙන් ලබා ගත් ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා වුණා. එහි වාර්තාවට උරුමකම් කියන නෙදර්ලන්ත කණ්ඩායම 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ම ලකුණු 39කට දැවී ගියා. ජයග්‍රහණය සඳහා ලකුණු 45ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා-නෙදර්ලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

පන්දු යවන්නන්ගේ කැපී පෙනුණු දස්කම් 

පළමු වටයේ තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණා. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහභාගි වුණු තරග තුනේ දී ම ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන් 10 දෙනා ම දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ඒ අයුරින් බිඳ වැටුණු කඩුලු 30න් 21ක් මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ ළහිරු කුමාර යන පන්දු යවන්නන් අතරේ බෙදී ගියා. එහි දී වැඩි ම කඩුලු ලාභියා වුණු මහීෂ් තීක්ෂණ කඩුලු 8ක් දවා ගත්තා. 

තීක්ෂණ පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ඔහු නැමීබියාව සහ අයර්ලන්තය හමුවේ කඩුලු 3 බැගින් ද, නෙදර්ලන්තය හමුවේ කඩුලු 2ක් ද බිඳ දැමුවා. ඔහු නෙදර්ලන්තයට එරෙහි ව පැවති තරගයේ දී ආබාධයකට ලක්වුණු නිසා දවා ගැනීමට හැකිවුණේ කඩුලු 2ක් පමණ යි. මහීෂ්ට අමතරව පන්දුවෙන් දස්කම් පෑ ළහිරු කුමාර සහ වනිඳු හසරංග පිළිවෙළින් කඩුලු 7ක් සහ 6ක් බිඳ දැමුවා. එහි දී ඔවුන් දෙපළ නෙදර්ලන්ත තරගයේ දී කඩුලු 3 බැගින් දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

 අවශ්‍ය අවස්ථාවල දී ලකුණු අතරට පැමිණි පිතිකරුවෝ  

තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටියේ නැහැ. පළමු තරග වටය යටතේ පැවති තරගවල දීත් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ යම් යම් දුර්වලතා දැක ගන්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 2ක දී දැඩි පීඩනයකට හසු වුණා.

ඉන් පළමු අවස්ථාව ශ්‍රී ලංකා-නැමීබියා තරගයේ දී වාර්තා වුණා. එම තරගයේ දී ලකුණු 97ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 26ක් ඇතුළත බිඳ වැටුණා. ඒ මොහොතේ දී පිටියේ එකතු වුණු භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු නොබිඳුණු වටිනා ලකුණු 74ක සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

 අවිශ්ක සහ භානුක පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

අයර්ලන්තයට එරෙහි ව පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 8ක් තුළ බිඳ වැටුණා. ඒ මොහොතේ දී ක්‍රියාත්මක වුණු පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග  4 වන කඩුල්ල සඳහා පන්දු 82කින් ලකුණු 123ක් එකතු කළා. 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළ ම සබඳතාව ලෙසින් එය වාර්තා අතරට එක් වුණා. එහි දී වනිඳු පන්දු 47කින් ලකුණු 71ක් ලබා ගනිද්දී, පැතුම් පන්දු 61කින් ලකුණු 47ක් ලබාගත්තා. ඔවුන් දෙදෙනාගේ එම සුපිරි පිතිහරඹයන් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම 171/7ක් ලෙසින් නිමාව දුටුවා. 

ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියූ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් සහ ඔයින් මෝගන් 2012 T20 ලෝක කුසලානයේ දී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 107ක සබඳතාවක් ගොඩ නඟා තිබුණා. 

වනිඳු සහ පැතුම් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

සුපිරි 12 වටයේ දී එල්ල වුණු දැවැන්ත අභියෝගය 

පළමු තරග වටයේ දී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම වටයේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය යන කණ්ඩායම් සමඟින් උරෙනුර ගැටීමට සිදු වුණා. එලෙස පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් 6 ම ටෙස්ට් වරම් හිමි කරගෙන සිටින කණ්ඩායම් නිසා සුපිරි 12 වටයේ වඩාත් තරගකාරී කාණ්ඩය බවට පත්වුණේ පළමු කාණ්ඩය යි. එනිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුපිරි 12 තරග වටය වඩාත් අභියෝගාත්මක එකක් වුණා.

සුපිරි 12 වටයේ දී ලබා ගත් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව සුපිරි 12 වටය යටතේ තරග 5කට සහභාගි වුණා. ඒ අතුරින් තරග 2ක ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. ඉන් පළමු ජයග්‍රහණය වාර්තා කර ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව යි. එම තරගයේ දී ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 79ක් ඇතුළත බිඳ වැටුණා. ඒ මොහොතේ දී පිටියේ එකතු වුණු චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ ලකුණු 86ක සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළා. 

භානුක සහ අසලංක ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් – gettyimages.com

 

එම වටිනා සබඳතාව නිමා කරමින් පන්දු 31කින් ලකුණු 53ක් ලබා ගෙන සිටි භානුක දැවී ගියත් අසලංක නොදැවී ලකුණු 80ක් ලබා ගෙන සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. පන්දු 49කින් ගොඩනැඟුණු අසලංකගේ එම ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් අන්තර්ගත වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

බංග්ලාදේශය- 171/4 (20), (නයිම්- 62, රහීම්- 57*, චාමික- 12/1, බිනුර- 27/1)

ශ්‍රී ලංකාව- 172/5 (18.5), (අසලංක- 80*, භානුක- 53, ශකීබ්- 17/2, නසුම්- 29/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- චරිත් අසලංක 

අසලංක තරගයේ වීරයා සම්මානය අතැතිව – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 තරග වටය යටතේ සිය දෙවන ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ වාර්තා කළා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා. එහි දී දක්ෂ පිතිහරඹයක නිරත වුණු අසලංක සහ නිස්සංක පිළිවෙලින් ලකුණු 68ක් සහ 51ක් වාර්තා කළා.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 169ක් පමණ යි. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ හසරංග, බිනුර සහ චාමික කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

පැතුම් සහ අසලංක පන්දුවට පහරදෙමින් -gettyimages.com

 

ශ්‍රී ලංකාව- 189/3 (20), (අසලංක- 68, නිස්සංක- 51, කුසල්- 29, දසුන්- 25*, රසල්- 33/2)

කොදෙව් – 169/8 (20), (හෙට්මායර්- 81*, පූරන්- 46, හසරංග- 19/2, බිනුර- 24/2, චාමික- 43/2)

ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් 

තරගයේ වීරයා- චරිත් අසලංක 

ඉතිරි තරගවල දීත් සටනක් දුන්නා 

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ ඉතිරි තරග තුනෙන් ම පරාජයට පත්වුණා. ඉන් තරග 2ක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල සටනක් ලබා දුන්නා. ශ්‍රී ලංකාව එලෙස ප්‍රබල සටනක් ලබා දුන් තරග අතුරින් දකුණු අප්‍රිකානු තරගය අමතක කරන්නට බැහැ. එම තරගයේ දීපන්දුවට  මුලින් ම පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා ම දැවී ලකුණු 142ක් ලබා ගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58කින් ලකුණු 72ක් වාර්තා කළා.

නිස්සංක අර්ධ ශතකය සම්පූර්ණ කළ අවස්ථාව -gettyimages.com

 

 ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසු වුණා. එහි දී හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මාක්‍රම්, බවුමා සහ ප්‍රිටෝරියස් යන පිතිකරුවන් දවා ගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා.

එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු තෙවන කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් වුණා. ඊට පෙර ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් එම දස්කම දක්වා තිබුණා. 

හසරංග කඩුලු ත්‍රිත්වය ලබාගත් මොහොත- gettyimages.com

 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ සුපිරි දස්කම නිසා 19 වන පන්දුවාර අවසන් වෙද්දී දකුණු අප්‍රිකානුවන් කඩුලු 6ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියා. ඒ අනුව අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ ළහිරු කුමාර ක්‍රියාත්මක කළ තීරණාත්මක අවසන් පන්දු වාරයේ දී සුපිරි පිති හරඹයක නිරත වුණු මිලර් හයේ පහර 2ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. 

ශ්‍රී ලංකාව- 142/10 (20), (නිස්සංක- 72, ෂම්සි- 17/3, ප්‍රිටෝරියස්- 17/3, නොකියා- 27/2)

දකුණු අප්‍රිකාව – 146/6 (19.5), (බවුමා- 46, මිලර්- 23*, හසරංග- 20/3, චමීර- 27/2)

දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- ටබ්‍රේස් ෂම්සි 

ඊට අමතර ව එංගලන්තයට එරෙහි ව පැවති තරගයේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල සටනක් ලබා දුන්නා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් එංගලන්ත කණ්ඩායම 12 වන පන්දු වාරය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 61ක් ලබා ගෙන අසීරු අඩියක පසුවුණා.

ඒ මොහොතේ සුපිරි පිති හරඹයක නිරත වූ ජෝස් බට්ලර් හයේ පහර 6ක් සමඟින් පන්දු 67ක දී නොදැවී ලබා ගත් ලකුණු 101 නිසා එංගලන්ත ඉනිම 163/4 ලෙසින් නිමාව දුටුවා. එහි දී යළිත් වරක් පන්දුවෙන් දස්කම් පෑ හසරංග ලකුණු 21කට කඩුලු 3ක් බිඳ දැමුවා.

බට්ලර් ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

ලකුණු 164ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19ක් තුළ සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 137ක් පමණ යි. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 16.4 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 129ක් ලබා ගෙන එංගලන්තයට ප්‍රබල සටනක් ලබා දෙමින් සිටියා. එංගලන්ත පන්දු යවන්නන්ගේ උපක්‍රම හමුවේ ඔවුන්ට අවසානයේ පසු බසින්නට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 26ක පරාජයක් උරුම වුණා. 

එංගලන්තය- 163/4 (20), (බට්ලර්- 101*, මෝගන්- 40, හසරංග- 21/3)

ශ්‍රී ලංකාව- 137/10 (19), (හසරංග- 34, භානුක- 26, අලී- 15/2, රෂීඩ්- 19/2, ජෝර්ඩන්- 24/2)

එංගලන්තයට ලකුණු 26ක ජයක් 

තරගයේ වීරයා- ජෝස් බට්ලර් 

හසරංග කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ අපේ ක්‍රීඩකයෝ  

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී අපේ ක්‍රීඩකයන් තිදෙනෙක් පිත්තෙන් සහ පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අතුරින් කාගේත් අවධානය දිනා ගත්තේ වනිඳු හසරංග නම් පන්දු යවන්නා යි. තරගාවලිය පුරාවට තරග 8කට සහභාගි වෙමින් හසරංග පෑ දස්කම් පහතින් දක්වා තිබෙනවා. 

තරග- 8

පන්දුවාර- 30

ලකුණු- 156

කඩුලු- 16

හොඳම පන්දු යැවීම- 9/3 (නෙදර්ලන්තයට එරෙහිව)

පන්දුයැවීමේ සාමාන්‍ය- 9.75

පන්දුවාරයකට ලකුණු- 5.20

ඒ අයුරින් හසරංග දවා ගත් කඩුලු 16, T20 ලෝක කුසලාන තරගාවලියක දී පන්දු යවන්නකු ලබාගත් ඉහළ ම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අජන්ත මෙන්ඩිස් 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගෙන තිබුණා. 

අසලංක පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages)

 

හසරංග පන්දුවෙන් දස්කම් දක්වද්දී චරිත් අසලංක සහ පැතුම් නිස්සංක පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී අසලංක අර්ධ ශතක 2ක් සමඟින් ඉනිම් 6කදී ලකුණු 231ක් ලබා ගනිද්දී, පැතුම් නිස්සංක අර්ධ ශතක 3ක් සමඟින් ඉනිම් 8කදී ලකුණු 221ක් වාර්තා කළා. පිත්තෙන් දස්කම් දැක්වූ අසලංක සහ නිස්සංක මෙවර තරගාවලියෙන් මතුවුණු දක්ෂ යොවුන් පිතිකරුවන් යුගළයක් බව විචාරකයන් පවා පැවසූ බව කිව යුතු යි.

කවරයේ ඡායාරූපය- කොදෙව්වන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම - gettyimages.com

මූලාශ්‍ර: 

espncricinfo.com 

t20worldcup.com 

howstat.com

Related Articles