Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලේකර්ට වෙන්වුණු අළුබඳුන ටෙස්ට් තරගය

1956 අළුබඳුන තරගාවලියේ සිව්වන තරගය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ආරම්භ වන විට දෙපිලම ටෙස්ට් තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එම නිසාම සිව්වන ටෙස්ට් තරගය සඳහා දෙපිලම අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. නමුත් එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිහින බොඳ කරමින් ජිම් ලේකර් නම් එංගලන්ත පිටදඟ පන්දු යවන්නා වාර්තාගත පන්දු යැවීමක නිරත වුණේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින්. එදා ලේකර් විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව වසර 63ක් අපරාජිතව පවතින නිසා එම තරගය පිළිබඳව තොරතුරු මෙලෙසින් ඔබ වෙතට ඉදිරිපත් කරනවා.

රිචඩ්සන්ගේ මංගල ටෙස්ට් ශතකය පළමු දිනය වර්ණවත් කරයි 

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක පීටර් මේ, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබී තිබුණු නිසා යි. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි කොලින් කවුඩ්‍රි සහ පීටර් රිචඩ්සන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක සබඳතාවයක් ගොඩනැගුවේ සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින්. නමුත් එම අවස්ථාවේ ලින්ඩ්වෝල් එවූ පන්දුවක් හමුවේ කවුඩ්‍රි ලකුණු 80කට දැවී ගියත්, ඉන් නොසැලුණු රිචඩ්සන් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තා. නමුත් මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමෙන් සුළු මොහොතකට පසු රිචී බෙනෝගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 104කට දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව දිස්වුණේ 195/2ක් ලෙසින්. රිචඩ්සන්ගේ නික්මයාමෙන් පසුව පිටියේ එක්වුණු පීටර් මේ සහ ඩේවිඩ් ෂෙපර්ඩ් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 93ක සබඳතාවය නිසා දිනය නිමා වන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 307ක් ලබා සිටියා.

පීටර් රිචඩ්සන් ශතකය ලබාගත් අවස්ථාවේ සුභ පතන කීත් මිලර් (gettyimages)

ෂෙපර්ඩ්ගේ ලකුණු 113 එංගලන්ත ඉනිම ලකුණු 458කට රැගෙන යයි 

තරගයේ දෙවන දිනය ආරම්භ වී ටික වේලාවකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඉයන් ජොන්සන් ක්‍රියාත්මක වෙමින් ලබාගත් කඩුලු 3 නිසා එංගලන්ත ලකුණු පුවරුව 339/6 බවට පත්වුණා. නමුත් එම අවස්ථාවේ පිටියේ එක්වුණු ඩේවිඩ් ෂෙපර්ඩ් සහ ගොඩ්‍ෆ්රි එවන්ස් 7 වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කළ  අගනා ලකුණු 62ක නිසා එංගලන්ත ලකුණු පුවරුව 401/6 බවට පත්වුණා. එහි දී ෂෙපර්ඩ්ට වඩා වේගයෙන් ලකුණු රැස් කළ එවන්ස්, ලකුණු 47කට දැවී යාමෙන් පසුව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ලබාගත් ෂෙපර්ඩ් ලකුණු 113කට දැවී යාමෙන් පසුව එංගලන්ත ඉනිම ලකුණු 459කට සීමා වුණා. 

ඩේවිඩ් ෂෙෆර්ඩ් (gettyimages)

ලේකර්ගේ පිටදඟ පන්දුව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්දමන්ද කරයි 

ඉන්පසුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ආරම්භ කළ කොලින් මැක්ඩොනල්ඩ් සහ ජිම් බර්ක් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එකතු කළේ එංගලන්ත පන්දු යවන්නන් පීඩනයට පත්කරමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ලේකර් එකම පන්දු වාරයක දී කොලින් මැක්ඩොනල්ඩ් සහ නීල් හාවි යන ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා දවාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 48/2 බවට පත් කරමින්. නොසිතූ මොහොතක කඩුලු 2ක් බිඳවැටුණත් බර්ක් සහ ක්‍රේග් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 62/2 දක්වා ඉහළ නංවමින්. නමුත් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් තිබුණු එම සබඳතාවයට තිරිංග යෙදූ ටෝනි ලොක් ලකුණු 22ක් ලබා සිටි බර්ක්ව ලකුණු 22කට දවාගත්තා. බර්ක්ගේ දැවී යාමෙන් පසුව ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු ලේකර්, තවත් කඩුලු 2ක් ඉක්මනින්ම දවාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 62/5 බවට පත්කරමින්. එලෙස කඩා වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම යළි ගොඩනැගීමට ඉඩ නොදුන් ලේකර්, ඉතිරි කඩුලු 5ම දවාගත්තේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 84කට සීමාකරමින්. එහි දී මනරම් පන්දු යැවීමක නිරත වුණු ලේකර් ලකුණු 37කට කඩුලු 9ක් ලබාගත්තේ එම අවදියේ දඟ පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක කළ හොඳම පන්දු යැවීම ඔහුගේ නම ඉදිරියේ සටහන් කර ගනිමින්. පළමු ඉනිම අවසානයේ දී එංගලන්තයට වඩා ලකුණු 375ක් පිටුපසින් සිටි නිසා පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබා සිටියා. 

ලේකර් හමුවේ එක් දිනක් තුළ දෙවරක් ලකුණු නොලබා දැවී ගිය නීල් හාවි (gettyimages)

වර්ෂාව ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිටට එයි 

එම අවස්ථාව වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල පීඩනයකට පත්ව සිටි නිසා තරගයේ තෙවන දිනයේ දී ඔවුන් තරගය පරාජය වනු ඇතැ යි බොහෝ දෙනෙකු සිතුවා. නමුත් එදින වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුණු නිසා දිනය නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා. තෙවන දිනයේ දී මෙන්ම සිව්වන දිනයේ දීත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම ඕස්ට්‍රේලියානුවන්ට යම් අස්වැසිල්ලක් ගෙන දුන්නා. එදින ලකුණු පුවරුවට තවත් ලකුණු 25ක් එකතු කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 84ක්.

ලේකර්ගේ වාර්තාගත පන්දු යැවීම ඕස්ට්‍රේලියානු ඉනිම සුණුවිසුණු කරයි 

තරගයේ අවසන් දිනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 291ක් අවශ්‍ය වුණා. එම නිසාම ඕස්ට්‍රේලියානු පිලේ අරමුණ වුණේ ඉතිරිව තිබෙන කඩුලු 8 රැක ගනිමින් තරගය ජය පරාජයෙන් තොර අවසානයක් කරා රැගෙන යාම යි. දිනය ආරම්භයේ සිටම මැක්ඩොනල්ඩ් සහ ක්‍රේග් ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 114/2 බවට පත් කළා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ලේකර්, ලකුණු 16ක් තුළ කඩුලු 4ක් දවා ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ කරමින්. ඒ මොහොත වන විට දැවී ගිය කඩුලු 6ම ලේකර් දවාගෙන තිබුණු නිසා ඔහු වඩාත් උනන්දුවෙන් පන්දු යවන ආකාරය දැකගත හැකි වුණා. නමුත් ආරම්භක පිතිකරු කොලින් මැක්ඩොනල්ඩ් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් රිචී බෙනෝ සමග එක්ව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 181/6 බවට පත් කළේ අගනා ලකුණු 89ක් ලබාගනිමින්. මැක්ඩොනල්ඩ් සිය උපරිම ශක්තිය යොදවමින් තම කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට උත්සාහ කළත් ලේකර්ගේ දඟ පන්දුව හමුවේ ඔහුට පරාජය වීමට සිදුවුණා. එදා මැක්ඩොනල්ඩ්ගේ කඩුල්ල දවාගැනීමෙන් පසු ඉතිරි ඕස්ට්‍රේලියානු කඩුලු 3ත් ලකුණු 24කට දවාගත් ලේකර්, ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 205කට සීමා කළේ එංගලන්තයට ඉනිමක සහ ලකුණු 170ක ජයක් උරුම කර දෙමින්. 

කොලින් මැක්ඩොනල්ඩ් (gettyimages)

ලේකර් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි 

එදා ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 10ක් ලබාගත් ලේකර් ටෙස්ට් ඉනිමක කඩුලු 10ම දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වුණා. එම අවදිය වන විට ටෙස්ට් තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව හිමිව තිබුණේ සිඩ්නි බාන්ස් නම් එංගලන්ත පන්දු යවන්නාට යි. ඔහු 1913 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 159කට කඩුලු 17ක් දවා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා. බාන්ස් තබා තිබුණු එම වාර්තාව බිඳ දැමූ ලේකර්, සමස්ත තරගය පුරාවටම ලකුණු 90කට කඩුලු 19ක් දවා ගත්තේ විශිෂ්ටතම පන්දු යැවීමක නිරතවෙමින්. 

ලේකර් දක්ෂ ලෙස පන්දු යවමින් (gettyimages)

එම තරගයේ දී එංගලන්ත කඩුලු රකින්නා වුණු ගොඩ්ෆ්රි එවන්ස්, ලේකර්ගේ පන්දු යැවීම ගැන මෙසේ අදහස් දක්වා තිබුණා. “අවසන් දිනයේ තණතීරුව පන්දු යවන්නන්ට පන්දු යැවීමට පහසු එකක් වුණේ නැහැ. නමුත් ලේකර් එදා ඉතාමත් හොඳින් පන්දු යැව්වා. අපිත් ඔහුව දිරිමත් කළා. අවසානයේ දී ඔහුගේ එම විශිෂ්ට දස්කම් දැකීමට තරම් අපි වාසනාවන්ත වුණා”. එවන්ස්ගේ එම ප්‍රකාශයෙන් පෙනීයන්නේ ලේකර්ගේ දැඩි උත්සාහය තුළින් එදා එම වාර්තාව පිහිටවීමට ඔහු අවස්ථාවක් උදාකරගත් බව යි. එදා ජිම් ලේකර් පිහිටවනු ලැබූ එම අසමසම වාර්තාව අසලට වසර 63ක් යනතුරු ළගාවීමට කිසිම පන්දු යවන්නෙකුට හැකි වුණේ නැහැ. එම නිසාම ජිම් ලේකර් යන නාමය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියවෙනවා.

කවරයේ ඡායාරූපය- ලෝක වාර්තාව පිහිටවීමෙන් පසු ලේකර්ගෙන් සමරු අත්සන් ලබාගන්නා ක්‍රිකට් රසිකයන් (gettyimages)

Related Articles