Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1990 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අරවින්දගේ සුපිරි දස්කම්

90 දශකය ආරම්භ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ සිටි ප්‍රබලම කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කරමින් සිටියා. එහිදී එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී කණ්ඩායමක් පත්ව සිටියේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් ඔවුන් සතුවුණු නිසා යි. එවැනි තරගකාරී මට්ටමකට පැමිණ සිටි  ශ්‍රී ලංකා කණ්ඩායම 1990 වසරේ නොවැම්බර් මාසයේ ඉන්දියාව බලා බලා සංචාරය කළේ ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 3කට සහභාගි වීම සඳහා යි. එම සංචාරය යටතේ මුලින්ම පැවති ටෙස්ට් තරගය ඉනිමකින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණේ එම අවදියේ ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය පවා වාර්තා කරමින්. නමුත් එම ටෙස්ට් තරග පරාජයෙන් නොසැලුණු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය තුළ සටන්කාමී තරග රටාවක් පෙන්නුම් කළත් අවසානයේ දී ඔවුන්ට උරුම වුණේ 2-1ක පරාජයක්. එලෙස ශ්‍රී ලංකාව තරගාවලිය පරාජය වුණත් එදා අරවින්ද ද සිල්වා ඉන්දු බිමේ දී සුපිරි දස්කම් දැක්වූ නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ඔහුගේ සුපිරි දස්කම් පිළිබඳව කතා කිරීමට යි.

විදර්බා පිටියේ දී අරවින්ද මංගල එක්දින ශතකය වාර්තා කරයි 

1990 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ නාග්පූර් නුවර විදර්බා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා රවී ශාස්ත්‍රි සහ නව්ජෝට් සිධූ ලකුණු 133ක අගනා සබඳතාවයක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා ආරම්භයේ දීම ලබාදුන් සාර්ථක අඩිතාලම ඔස්සේ ඉනිම ගොඩනැගූ ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 245ක්. එහිදී ඉන්දීය ඉනිමේ නැංගුරම වුණු රවී ශාස්ත්‍රි පන්දු 147කින් නොදැවී ලකුණු 101ක් ලබාගත්තේ සිය එක්දින දිවියේ තෙවන ශතකය ලබාගනිමින්.

රවී ශාස්ත්‍රි (gettyimages)

ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කපිල් දේව් සහ මනෝජ් ප්‍රභාකර්ගේ මනරම් පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වුණේ ඔවුන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 12ක් තුළ ප්‍රතිවාදීන්ට ලබාදෙමින්. නමුත් එම අවස්ථාවේ පිටියේ එක්වුණු අර්ජුණ සහ අරවින්ද ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවත් අර්ජුණගේ දුවද්දී දැවීයාම නිසා ලකුණු පුවරුව 61/4 බවට පත්වුණා. එලෙස ශ්‍රී ලංකා ඉනිම කඩාවැටී තිබුණු අවස්ථාවේ අරවින්දට එක්වුණු හෂාන් ඉන්දීය කණ්ඩායමට හිසරදයක් වෙමින් ලකුණු 94ක් තම කණ්ඩායම වෙනුවෙන් එකතු කළේ ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ලබාදෙමින්. නමුත් එම අවස්ථාවේ හෂාන් ලකුණු 39කට දැවීයාමෙන් පසුව අරවින්දව තනි නොකළ රුමේෂ් ඔහු සමග එක්ව සටන ඉදිරියට රැගෙන ගියා. එදා රුමේෂ්ගේ සහය ඇතිව සිය මංගල එක්දින ශතකය ලබාගත් අරවින්ද රෝයි ඩයස්ට පසුව එක්දින ශතකයක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වුණා. එහිදී පන්දු 124කින් ලකුණු 104ක් ලබා සිටි අරවින්ද දැවීයන විට අසීරු තත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා ඉනිම අවසානයේ දී සටහන් වුණේ 226/7ක් ලෙස යි.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 245/5 (45), ( ශාස්ත්‍රි -101*, සිධූ – 52, රුමේෂ් – 36/2)

ශ්‍රී ලංකාව – 226/7 (45), (අරවින්ද – 104, හෂාන් – 39, ප්‍රභාකර් – 47/3, කපිල් දේව් -46/2)

ඉන්දියාවට ලකුණු 19ක ජයක් 

තරගයේ වීරයා – රවී ශාස්ත්‍රි 

අරවින්දගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (Sportstar 1990/12/23)

දෙවන එක්දින තරගයේ ජයත් ඉන්දියාවට 

පූනේ නුවර නේරු ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 77ක් තුළ දැවී ගියා. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් මන්දගාමී තරග රටාවක නිරතව තිබුණු නිසා තරගයේ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හැරී තිබුණා. නමුත් එම අවස්ථාවේ එම පීඩනය තඹ දොයිතුවකට මායිම් නොකළ අර්ජුණ රණතුංග පන්දු පන්දු 27කින් ලබාගත් ලකුණු 58 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 177/3ක් බවට පත්වුණා. එලෙස ගොඩනැගුණු ශ්‍රී ලංකා ඉනිම අර්ජුණ දුවද්දී දැවී යාමත් සමගින් යළි අගාධයට වැටුණේ ලකුණු 3ක් තුළ කඩුලු 4ක් දැවී ගිය නිසා යි. එදා කිසිවෙකු නොසිතූ අයුරින් සිදුවුණු එම කඩාවැටීම නිසා නියමිත පන්දුවාර 49 අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 227/8ක් ලෙසින්.

අර්ජුණගේ වේගවත් ඉනිමේ අවස්ථාවක් (Sportstar 1990/12/23)

ඉන් පසුව ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩුල්කාර්, අසාරුඩීන් සහ සිධූ ලබාගත් අර්ධ ශතක නිසා ඉන්දිය කණ්ඩායමට පන්දුවාර 45.3ක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකිවුණා. එහිදී පන්දු 41කින් ලකුණු 53ක් ලබාගත් ටෙන්ඩුල්කාර් සිය එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලබාගත්තා.

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – 227/8 (49), (අර්ජුණ – 58, ගුරුසිංහ – 44, ආයුබ් – 38/2, ටෙන්ඩුල්කාර් – 39/2)

ඉන්දියාව – 230/4 (45.3), (ටෙන්ඩුල්කාර් – 53, සිධූ – 53, අසාරුඩීන් – 52*, අනුරසිරි – 44/2 ) 

ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා – සචින් ටෙන්ඩුල්කාර් 

ටෙන්ඩුල්කාර් වේගවත් පහරක් එල්ල කරමින් (Sportstar 1990/12/23)

තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් 

ගෝවා නුවර නේරු පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 39ක් තුළ දැවී ගියේ චම්පක රාමනායකගේ මනරම් පන්දු යැවීම නිසා යි. එදා ඉනිම ආරම්භයේ දීම අසීරු අඩියකට වැටුණු ඉන්දීය කණ්ඩායම එම අගාධයෙන් ගලවාගත් අසාරුඩීන් සහ ටෙන්ඩුල්කාර් ඉන්දීය ලකුණු පුවරුව 69 දක්වා ඉහළ දැමුවා.

චම්පකගේ පන්දුවක් හමුවේ ශාස්ත්‍රි දැවීගිය අවස්ථාව (Sportstar 1990/12/23)

එලෙස ඔවුන් දෙදෙනා ඉන්දීය කණ්ඩායම හොඳ ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට උත්සහ කළත් අනුරසිරි සහ වර්ණවීර දඟ පන්දුව මනාව හසුරවමින් ඉන්දීය ලකුණු පුවරුව 118/7 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ මනෝජ් ප්‍රභාකර් අගපෙළ පිතිකරුවන් සමග ඉනිම ගොඩනැගීමට උත්සහ කළත් රුමේෂ් රත්නායක දක්ෂ අයුරින් පන්දු යවමින් ඉන්දීය ඉනිම ලකුණු 136කට සීමාකළා. අනතුරුව ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුනම ලකුණු 55ක් තුළ දැවීගියා.

කපිල් දේව්ගේ පන්දුවක් හමුවේ ධම්මික රණතුංග දැවීගිය අවස්ථාව (Sportstar 1990/12/23)

නමුත් එම අවස්ථාවේ පිටියේ එක්වුණු අර්ජුණ සහ අරවින්ද නොබිඳුණු ලකුණු 82ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අරවින්ද පන්දු 70කින් ලබාගත් ලකුණු ප්‍රමාණය 63ක්. පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අසීරු අසාමාන්‍ය ඉපිලීමක් තිබුණු තණතීරුවක එදා අරවින්ද ක්‍රීඩාකළ ඉනිම ඉතාමත් විශිෂ්ඨ එකක් වුණා.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 136/10 (40.3), ( ටෙන්ඩුල්කාර් – 30 , චම්පක – 15/3 , රුමේෂ් – 17/2, වර්ණවීර -24/2 )

ශ්‍රී ලංකාව – 137/3 (32.5), (අරවින්ද – 63*, අර්ජුණ – 30*, කපිල් දේව් -16/1)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා – අරවින්ද ද සිල්වා 

සමස්ත එක්දින තරගාවලිය තුළ අරවින්ද ලකුණු 168ක් ලබාගත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. එදා ඔහු දැක්වූ සුපිරි දස්කම් නිසා තරගාවලියේ වීරයා සම්මානය රවී ශාස්ත්‍රි සහ අරවින්ද යන ක්‍රීඩකයන් දෙදෙනාටම පිරිනැමුවා.

කවරයේ ඡායාරූපය - අරවින්ද සහ ශාස්ත්‍රි තරගාවලියේ වීරයා සම්මානය ලබාගත් අවස්ථාව(Sportstar 1990/12/23)

Related Articles