Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1930 අළුබඳුන තරගාවලියේ දී එංගලන්තය භීතියට පත්කළ ඕස්ට්‍රේලියානුවා

1930 අළුබඳුන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තය බලා ගියේ වසර 5කින් දිනා නොමැති කුසලානය නැවතත් දිනාගැනීමේ අරමුණෙන්. නමුත් එම තරගාවලිය සඳහා එක්වුණු එංගලන්ත කණ්ඩායම ඉතාමත් ප්‍රබල එකක් නිසා ඕස්ට්‍රේලියානුවන්ට එය විශාල අභියෝගයක් වුණා. එහෙත් එම අභියෝගය සාර්ථකව භාරගත් එක් ඕස්ට්‍රේලියානු තරුණයෙක් එංගලන්ත බිමට පය ගැසූ මුල්ම තරගාවලියෙන්ම සතුරාව මවිත කළා. ඔහු එදා කිසිදු ගරු සරුවකින් තොරව ප්‍රතිවාදියාට පහරදුන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තවමත් නොබිඳී පවතින වාර්තාවක් තබමින්. මෙම ලිපිය වෙන්වන්නේ එදා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් සුපිරි පිතිකරුවා එංගලන්ත බිමේ දීම ඔවුන්ව භීතියට පත්කළ ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 93ක පරාජයක් 

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට එංගලන්තය වෙනුවෙන් ජැක් හොබ්ස් ලකුණු 78ක් ලබාගත්තත් ග්‍රිමට් ලකුණු 107කට කඩුලු 5ක් ලබාගනිමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 270කට සීමා කළේය. ඉන් පසුව පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත්තෙ ලකුණු 144ක් පමණ යි. පළමු ඉනිම අවසානයේ දී ලකුණු 126ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ එංගලන්තය ලකුණු 302ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 429ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්. එහිදී නැවතත් පන්දුවෙන් සාර්ථක වුණු ග්‍රිමට් ලකුණු 94කට කඩුලු 5ක් ලබාගත්තා. අනතුරුව ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ්මන් ලබාගත්තත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඔවුන්ට උරුමවුණේ ලකුණු 93ක පරාජයක්.

එංගලන්ත පළමු ඉනිම  – 270/10 (89.4)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 144/10 (72)

එංගලන්ත දෙවන ඉනිම – 302/10 (96)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 335/10 (139.2)

එංගලන්තයට ලකුණු 93ක ජයක් 

බ්‍රැඩ්මන්ගේ ශතකයේ අවස්ථාවක් (gettyimages) 

ලෝඩ්ස් පිටියේ දී බ්‍රැඩ්මන්ගෙන් ලකුණු 254ක සුපිරි ඉනිමක් 

ලෝඩ්ස් පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය දුලීප්සිංජි ලබාගත් ලකුණු 173 නිසා පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු ප්‍රමාණය 425ක්. අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ බ්‍රැඩ්මන් සිය ටෙස්ට් දිවියේ මුල්ම ද්විත්ව ශතකය ලෙසින් අගනා ලකුණු 254ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් වුඩ්ෆුල් ලකුණු 155ක් ලබාගත්තා. එදා ඔවුන් දෙදෙනාගේ සුපිරි පිතිහරඹයෙන් වර්ණවත් වුණු ඕස්ට්‍රේලියානු ඉනිම නිමාව දුටුවේ 729/6ක් ලෙසින්. ඉනිමක  පරාජයෙන් බේරීම සඳහා ලකුණු 304ක් අවශ්‍ය වුණු වටපිටාවක එංගලන්තය දෙවන ඉනිම ආරම්භ කළා. එහිදී එංගලන්තය වෙනුවෙන් චැප්මන් ලකුණු 121ක් ලබාගත්තත් ග්‍රිමට් 167/6ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ඔවුන්ගේ ඉනිම ලකුණු 375කට සීමාවුණේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 72ක ඉලක්කයක් ලබාදෙමින්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලැබුණු එම ඉලක්කය පහසුවෙන් හඹා ගිය ඕස්ට්‍රේලියාව කඩුලු 7ක ජයක් ලබාගත්තේ තරගාවලිය 1-1ක් ලෙස සම කරමින්.

එංගලන්ත පළමු ඉනිම  – 425/10 (130)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 729/6 (232)

එංගලන්ත දෙවන ඉනිම – 375/10 (116.4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 72/3 (28.2)

ඕස්ට්‍රේලියාවට කඩුලු  7ක ජයක් 

බ්‍රැඩ්මන් ද්විත්ව ශතකය ලබාගත් මොහොත (gettyimages) 

හෙඩිංලි පිටියේ දී බ්‍රැඩ්මන්ගෙන් නව ටෙස්ට් වාර්තාවක් 

හෙඩිංලි පිටියේ පැවති තෙවන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණය 591ක්. එහිදී ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම වුණු බ්‍රැඩ්මන් හතරේ පහර 46ක් සමගින් ලකුණු 334ක් ලබාගත්තේ එම අවදියේ ටෙස්ට් ඉනිමක පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලබාගනිමින්. එදා බ්‍රැඩ්මන් අතින් බිඳවැටුණේ ඊට මාස 3කට පමණ පෙර කොදෙව්වන් හමුවේ එංගලන්ත පිතිකරු ඇන්ඩි සෑන්ඩ්හැම් ලකුණු 325 ලබාගනිමින් තැබූ වාර්තාව යි. ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 591ට පිළිතුරු ලෙසින් පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ලකුණු 391ක් ලබාගත්තේ වොලී හැමන්ඩ් ලබාගත් ලකුණු 113 නිසා යි. ඉන් පසුව පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවුණු එංගලන්ත පිලට තරගය ජය පැරදුමෙන් තොරව නිමාවන විට දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 95ක් ලබාගැනීමට හැකිවුණා.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 566/10 (168)

එංගලන්ත පළමු ඉනිම – 391/10 (175.2)

එංගලන්ත දෙවන ඉනිම – 95/3 (51.5)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා  

බ්‍රැඩ්මන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිව්වන ටෙස්ට් තරගයේ දී බ්‍රැඩ්මන් අසාර්ථකයි 

මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති සිව්වන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එහිදී බ්‍රැඩ්මන් ලකුණු 14කට දැවීයාම නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 345කට සීමාවුණා. මෙම තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන විට එංගලන්ත පළමු ඉනිම සටහන් වුණේ 251/8ක් ලෙස යි.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 345/10 (167.5)

එංගලන්ත පළමු ඉනිම – 251/8 (108)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා  

බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතකය නිසා අළුබඳුන කුසලානය ඕස්ට්‍රේලියාවට 

ඕවල් පිටියේ පැවති 5 වැනි ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 405ක් ලබාගත්තා. එහිදී එංගලන්ත ඉනිමේ නැංගුරම වුණු හර්බට් සට්ක්ලිෆ් ලබාගත් ලකුණු ප්‍රමාණය 161ක්. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ්මන් ලබාගත් ලකුණු 232 නිසා  ඔවුන්ට ලබාගැනීමට හැකිවුණු ලකුණු ප්‍රමාණය 695ක්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 290ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තයට කුසලානය ආරක්ෂා කරගැනීම සඳහා දින කිහිපයක් පන්දුවට පහරදීමට සිදුවුණා. නමුත් තරගයේ අවසන් දිනයේ එංගලන්ත බලාපොරොත්තු සුන්කළ පර්සිවාල් හෝර්නිබෘක් ලකුණු 92කට කඩුලු 7ක් දවාගනිමින් එංගලන්ත ලකුණු 251කට සීමාකළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 39ක ජයක් උරුමකර දෙමින්.

එංගලන්ත පළමු ඉනිම  – 405/10 (171.2)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 695/10 (256.5)

එංගලන්ත දෙවන ඉනිම – 351/10 (99.2)

ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 39ක ජයක් 

අළුබඳුන ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

බ්‍රැඩ්මන් පිහිටවනු ලැබූ ටෙස්ට් පිටියේ සුපිරි වාර්තාව 

1930 වසරේ පැවති අලුබඳුන තරගාවලියේ ශූරතාවය ඕස්ට්‍රේලියාවට ලබාදීම සඳහා සුවිශේෂී මෙහෙයක් කළ පිතිකරුවා වුණේ බ්‍රැඩ්මන්. එදා ඉනිම් 7ක් තුළ බ්‍රැඩ්මන් ලකුණු 974ක් ලබාගත්තේ ශතක 4ක් ලබාගනිමින්. එහිදී 139.14ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් බ්‍රැඩ්මන් එම අවදියේ ටෙස්ට් ඉනිමක පිතිකරුවෙකු ලබාගත් හොඳම ඉනිමේ උරුමකරු වුණා. ඊට අමතරව එදා බ්‍රැඩ්මන් ලබාගත් ලකුණු 974 සුවිශේෂී වන්නේ ටෙස්ට් තරගාවලියක පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් එය අදටත් වාර්තා අතර රැඳී තිබීම යි. එම නිසාම 1930 අළුබඳුන තරගාවලියේ දී එංගලන්තය භීතියට පත්කරමින්  බ්‍රැඩ්මන් දැක්වූ දස්කම් පිළිබඳව අදටත් ක්‍රිකට් රසිකයන් සිහිපත් කරනවා.

කවරයේ ඡායාරූපය - බ්‍රැඩ්මන් 1930 වසරේදී  ( gettyimages)

Related Articles