Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

1930 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණා. මුල් යුගයේ එම තරගාවලිය සඳහා අප්‍රිකානු රටවල සහභාගීත්වය අවම මට්ටමක පැවතුණා. නමුත් 1970 වසරේ සිට අප්‍රිකානු රටවල් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා අඛණ්ඩව සහභාගි වුණා. එලෙස අප්‍රිකානු රටවල් පාපන්දු පිටියේ සිටි දැවැන්තයන් සමගින් උරෙනුර ගැටුණත් ඔවුන්ට ප්‍රබල දස්කම් පෙන්වීමට හැකිවුණේ නැහැ. නමුත් ටික කලක් ගතවන විට ලබාගත් අත්දැකීම් සමගින් අප්‍රිකානු පාපන්දු ක්‍රීඩාව හිස එසවීමට පටන්ගත්තා. එලෙස හිස එසවූ අප්‍රිකානු පාපන්දුව මුල්ම වරට ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණේ 1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී යි. එම තරගාවලියේ පෙරළිකාර දස්කම් දැක්වීමට සමත් වුණු කැමරූන් කණ්ඩායම මුලින්ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අප්‍රිකානු රට බවට පත්වුණා. 

පළමු වටයේ දී කැමරූන් කණ්ඩායම අතින් හිටපු ලෝක ශූරයන් පරාජය වෙයි 

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වැදුණු කැමරූන් කණ්ඩායමට එහිදී ආජන්ටිනාව, රුමේනියාව, සහ සෝවියට් රුසියාව යන රටවල් සමගින් තරග වැදීමට සිදුවුණා. එහිදී 1986 වසරේ පාපන්දු ලෝක ශූරයන් වුණු දියාගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම අභිබවා ගිය කැමරූන් කණ්ඩායම කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත්තා.

කැමරූන්-ආජන්ටිනා තරගය 

ඒ සමය වන විට පාපන්දු ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටි කණ්ඩායම යි. නමුත් තරග ආරම්භයේ සිටම ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමග කරට කර සටන් කළ කැමරූන් කණ්ඩායම පළමු භාගය තුළ ඔවුන්ට ගෝල ලබාගැනීමට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ 61 වැනි විනාඩියේ දී කැමරූන් ක්‍රීඩක ඇන්ඩ්‍රේ බික් විසින් ආජන්ටිනා ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩක කැනීගියාට අනිසි බලපෑමක් කිරීම නිසා ඔහුට රතු කාඩ්පතක් ලැබුණා. නමුත් ඉන් විනාඩි 6කට පසුව එනම් තරගයේ 67 වැනි විනාඩියේ දී ඔහුගේ සොයුරු ඔමාම් බික් කැමරූනය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එදා ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම පරාජය කරමින් කැමරූන් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය සමස්ත පාපන්දු ලෝකයම මවිත කළා.

කැමරූන් කණ්ඩායම ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

කැමරූන්-රුමේනියා තරගය 

ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලැබීමෙන් පසුව රුමේනියාවට එරෙහිව පැවති මෙම තරගය සඳහා කැමරූන් කණ්ඩායම අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. නමුත් පළමු භාගය අවසන් වන විට දෙපිලටම ගෝල ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉන් පසුව තරගයේ දෙවන භාගය ආරම්භ වී විනාඩි 13කින් කැමරූන් ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩක රොජර් මිල්ලා ක්‍රීඩක ආදේශනයක් මඟින් පිටියට පිවිසියා. ඔහු පිටියට පිවිසීමත් සමගින් දියත්කළ ආක්‍රමණශීලී තරග රටාව හේතුවෙන් තරගයේ 76 වැනි විනාඩියේ දී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. එලෙස පළමු ගෝලය වාර්තා කිරීමෙන් නොනැවතුණු මිල්ලා 86 වැනි විනාඩියේ දී තවත් ගෝලයක් ලබාගත්තේ රුමේනියාව හමුවේ 2-1ක් ලෙසින් ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වෙමින්.  

මිල්ලා විසින් පළමු ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

කැමරූන්-සෝවියට් රුසියා තරගය 

පළමු තරග දෙකම ජයග්‍රහණය කළ කැමරූන් කණ්ඩායමට අවසන් තරගයේ දී මුණගැසුණේ පළමු තරග 2ම පරාජය වී සිටි සෝවියට් රුසියා කණ්ඩායම යි. මෙම තරගය කැමරූන් කණ්ඩායම පහසුවෙන්ම ජයගනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවත් පළමු භාගය අවසන් වන විට 2-0ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තේ සෝවියට් රුසියාව යි. පළමු භාගයේ දී දියත්කළ සුපිරි තරග රටාව දෙවන භාගයේ දීත් පවත්වාගෙන ගිය සෝවියට් රුසියාව, කැමරූන් කණ්ඩායම හමුවේ 4-0ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් ලබාගත්තා.

කැමරූන්-සෝවියට් රුසියා තරගයේ අවස්ථාවක් (gettyimages)

රොජර් මිල්ලාගේ සුපිරි දස්කම් කැමරූනය අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන යයි 

අර්ධ අවසන් පූර්ව වටයේ දී කැමරූන් කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ කොලොම්බියා කණ්ඩායම සමග යි. බටහිර ජර්මනිය සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීම හැර පළමු වටයේ දී විශේෂ දස්කමක් පෙන්වීමට කොලොම්බියාවට හැකිවුණේ නැහැ. එම නිසාම කොලොම්බියාව සමග පැවති අර්ධ අවසන් පූර්ව වටය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටි කණ්ඩායම වුණේ කැමරූන් කණ්ඩායම යි. නමුත් තරග ආරම්භයේ සිටම ඉතාමත් තියුණු මුහුණුවරකින්  පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වුණේ 0-0 ලෙස යි. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ 54 වැනි විනාඩියේ දී ක්‍රීඩක ආදේශනයක් මඟින් රොජර් මිල්ලා පිටියට පිවිසියා. නමුත් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. එම නිසාම තරගයේ ජය පැරදුම තීරණය කිරීම සඳහා ලබාදුන් අතිරේක කාලයේ දී, එනම් තරගයේ 106 වැනි විනාඩියේ දී රොජර් මිල්ලා පළමු ගෝලය වාර්තා කළා. එම ගෝලය වාර්තා කිරීමෙන් තවත් විනාඩි 2කට පසුව කොලොම්බියා දැල් රකින ක්‍රීඩක හිගුයිටා අතින් සිදුවුණු අත්වැරදීමකින් ප්‍රයෝජන ගත් මිල්ලා කැමරූනය වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළා. එලෙස තරගයේ 2-0ක් ලෙසින් ඉදිරියට පැමිණි කැමරූන් කණ්ඩායම අවසානයේ දී 2-1ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා. 

මිල්ලා කොලොම්බියාවට එරෙහිව සුපිරි දස්කම් දක්වමින් (gettyimages)

ප්‍රබල සටනකින් පසුව එංගලන්තය හමුවේ පරාජය ලබයි 

එංගලන්තය සහ කැමරූනය අතර පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු භාගය අවසන් වන විට එංගලන්තය 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටියේ ඩේවිඩ් ප්ලැට් 25 වැනි විනාඩියේ දී ලබාගත් ගෝලය නිසා යි. පළමු භාගය අවසන් වන විට තරගයේ පිටුපසින් සිටියත් 61 වැනි විනාඩියේ දී දඬුවම් පහරක් මඟින් කුන්ඩේ ලබාගත් ගෝලයත් සමගින් ලකුණු තත්ත්වය සමවුණා. ඉන් පසුව වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වීමට උත්සහ කළ කැමරූන් කණ්ඩායම ක්‍රීඩක ආදේශනයක් මඟින් ඉදිරිපෙළ ප්‍රහාරක ඉයුජින් ඉකේකේ පිටියට පිවිසියා. එලෙස පිටියට පිවිසි ඉකේකේ තරගයේ 65 වැනි විනාඩියේ දී ලබාගත් ගෝලයත් සමගින් කැමරූන් කණ්ඩායම 2-1ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. නොසිතූ මොහොතක කැමරූන් කණ්ඩායම ලබාගත් ගෝලය එංගලන්ත කණ්ඩායම නොසන්සුන්තාවයට පත්කළත් 83 වැනි විනාඩියේ දී ගැරී ලිනෙකර් දඬුවම් පහරක් මඟින් ලබාගත් ගෝලයත් සමගින් ලකුණු තත්ත්වය සමවුණා. නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්ත්වය 2-2 ලෙසින් සටහන් වුණු නිසා අතිරේක කාලය දක්වා තරගය ගමන් කළා. අතිරේක කාලය ආරම්භ වීමත් සමගින් තියුණු සටනක් පැවතුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්වුණේ ලිනෙකර් දඬුවම් පහරක් මඟින් නැවතත් ගෝලයක් ලබාගැනීම නිසා යි. එම ගෝලයෙන් පසුව කැමරූන් කණ්ඩායම යම් පසුබෑමකට ලක්වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී තරගය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළේ එංගලන්තය යි.

එංගලන්තය-කැමරූන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

කැමරූන් කණ්ඩායමේ සුපිරි තරුව රොජර් මිල්ලා 

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන විට රොජර් මිල්ලා 38 වැනි හැවිරිදි ක්‍රීඩකයෙකු වුණා. සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩාවේ උපරිම දක්ෂතා අවුරුදු 35 ඉක්මවන විට ගිලිහී යනවා. නමුත් මිල්ලා මෙම තරගාවලියේ දී ගෝල 4ක් ලබාගනිමින් වැඩිම ගෝලලාභීන් අතර 3 වැනි ස්ථානය දිනාගත්තා. එහිදී රුමේනියාවට එරෙහිව ගෝල 2ක් ලබාගත් මිල්ලා 16 දෙනාගේ වටයේ තරගයක දී කොලොම්බියාවට එරෙහිව තවත් ගෝල 2ක් වාර්තා කළා.

කවරයේ ඡායාරූපය - කැමරූන් කණ්ඩායම ආජන්ටිනා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

Related Articles