Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2005 අළුබඳුන තරගාවලියේ ෆ්ලින්ටොප්ගේ හපන්කම්

1986/87 තරගවාරයේ ඕස්ට්‍රේලියානු බිමේ දී පැවති අළුබඳුන තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත්වුණේ එංගලන්ත කණ්ඩායම යි. එදා ලබාගත් ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට 2005 වසර වනතුරුම නැවතත් අළුබඳුන කුසලානය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ නැහැ. වසර 18ක් පුරාවට අඛණ්ඩව අළුබඳුන කුසලානය පරාජය වෙමින් සිටි එංගලන්තයට යළි එම කුසලානය 2005 වසරේ දී දිනා දීමට ප්‍රබලම මෙහෙයක් කළේ ඇන්ඩෲ ෆ්ලින්ටොප් නම් සුපිරි ක්‍රීඩකයා යි. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ෆ්ලින්ටොප් 2005 අළුබඳුන තරගාවලියේ දී දැක්වූ හපන්කම් පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට යි.

පළමු ටෙස්ට් තරගයේ දී ෆ්ලින්ටොප් අසාර්ථක වෙයි 

ලෝඩ්ස් පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 190ක් පමණ යි. එහිදී එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ස්ටීව් හාර්මිසන් ලකුණු 43කට කඩුලු 5ක් ලබාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 21ක් තුළ දැවීගියේ ග්ලේන් මැග්‍රාත්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස අසීරු අඩියකට වැටී සිටි එංගලන්තය වෙනුවෙන් කෙවින් පීටර්සන් ලබාගත් ලකුණු 57 නිසා ඔවුන්ට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 155ක් ලබාගැනීමට හැකිවුණා. පළමු ඉනිමේ අවසන් වන විට ලකුණු 35ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්ලාක්, කැටිච්, සහ මාටින් ලබාගත් අර්ධ ශතක නිසා එංගලන්තයට ලැබුණේ ලකුණු 420ක දැවැන්ත ඉලක්කයක්. අනතුරුව ලකුණු 420ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම මැග්‍රාත් සහ වෝන්ගේ මනරම් පන්දු යැවිම ඉදිරියේ අසරණ වුණු නිසාම ඔවුන්ට උරුමවුණේ ලකුණු 240ක දැවැන්ත පරාජයක්. මෙම තරගයේ ඉනිම් දෙක තුළ ලකුණු 3ක් පමණක් ලබාගත් ෆ්ලින්ටොප් පන්දුවෙන් ද කඩුලු 4ක් පමණක් ලබාගත්තේ තරගය පුරාවට ම අසාර්ථක වෙමින්. 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 190/10 (40.2)

එංගලන්ත පළමු ඉනිම – 155/10 (48.1)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 384/10 (100.4)

එංගලන්ත දෙවන ඉනිම – 180/10 (58.1)

ඕස්ට්‍රේලියාවට ලකුණු 240ක ජයක් 

තරගයේ වීරයා – ග්ලේන් මැග්‍රාත් 

මැග්‍රාත් එංගලන්ත පළමු ඉනිමේ දී සුපිරි දස්කම් දක්වමින් (gettyimages)

එජ්බැස්ටන් ටෙස්ට් තරගයේ දී ෆ්ලින්ටොප්ගෙන් තුන් ඉරියව් දස්කම් 

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407ක් ලබාගත්තා. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙස්කොතික් සහ පීටර්සන් අර්ධ ශතක ලබාගන්නා විට ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ ෆ්ලින්ටොන් පන්දු 62කින් ලකුණු 68ක් ලබාගත්තේ හයේ පහර 5ක් සමගින්.

ෆ්ලින්ටොප්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් පසුව පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු 308ක් ලබාගන්නා විට ෆ්ලින්ටොප් ලකුණු 52කට කඩුලු 3ක් ලබාගත්තේ එංගලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. පළමු ඉනිම අවසානයේ දී ලකුණු 99ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම ෂේන් වෝන්, සහ බ්‍රෙට් ලී විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ලකුණු 75කට කඩුලු 6ක් දැවී අසරණ තත්වයකට පත්වුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ෆ්ලින්ටොප් පන්දු 86කින් ලබාගත් ලකුණු 73 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් ලබාදීමට එංගලන්තයට හැකිවුණා.

ෂේන් වෝන් එංගලන්තයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

අනතුරුව ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව ෆ්ලින්ටොප් 79/4ක් ලෙසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා 220/9 බවට පත්වුණේ පරාජය අභියසටම යමින්. නමුත් එලෙස කඩුලු බිඳවැටුණත් සිය සටන අත්නොහැරි බ්‍රෙට් ලී සහ මයිකල් කැස්ප්‍රොවික්ස් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 279/9 බවට පත්කළේ එංගලන්තය භීතියට පත්කරමින්. එලෙස එංගලන්තය වෙතින් ගිලිහෙමින් තිබුණු තරගය අවසන් මොහොතේ දී එංගලන්තය දෙසට හරවාගත් හාර්මිසන් ඕස්ට්‍රේලියානු අවසන් කඩුල්ල ලෙසින් කැස්ප්‍රොවික්ස්ව දවාගත්තේ එංගලන්තයට ලකුණු 2ක තියුණු ජයක් උරුමකර දෙමින් 

පරාජයට පත්වීමෙන් පසුව බ්‍රෙට් ලී සහ ෆ්ලින්ටොප් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 407/10 (79.2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 308/10 (76)

එංගලන්ත දෙවන ඉනිම – 182/10 (52.1)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 279/10 (64.3)

එංගලන්තයට ලකුණු 2ක ජයක් 

තරගයේ වීරයා – ඇන්ඩෲ ෆ්ලින්ටොප්

තෙවන ටෙස්ට් තරගයේ දී ෆ්ලින්ටොප්ට සුපුරුදු දස්කම් පෙන්වීමට නොහැකි වෙයි 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති තෙවන ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් වෝන් ලබාගත් ලකුණු 166 නිසා ඔවුන්ට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 444ක් ලබාගැනීමට හැකිවුණා. එහිදී සිය පිත්තෙන් සුපුරුදු දස්කම් දැක්වීමට අපොහොසත් වුණු ෆ්ලින්ටොප් ලබාගත්තේ ලකුණු 46ක් පමණ යි. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ෂේන් වෝන් ලබාගත් සටන්කාමී ලකුණු 90 නිසා ඔවුන්ට ලකුණු 302ක් ලබාගැනීමට හැකිවුණා. එහිදී එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සයිමන් ජෝන්ස් ලකුණු 53කට දවාගත් කඩුලු ප්‍රමාණය 6ක්.

සයිමන් ජෝන්ස් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

දෙවන ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ට්‍රාවුස් ලබාගත් ලකුණු 106 නිසා එංගලන්තය 280/6ක් ලෙසින් ඉනිම අත්හිටවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 423ක ඉලක්කයක් ලබාදෙමින්. අනතුරුව ලකුණු 423ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම 264/7ක් ලෙසින් අසීරු අඩියකට වැටුණේ ෆ්ලින්ටොප් 71/4ක් ලෙසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. නමුත් එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං ලබාගත් ලකුණු 156 නිසා තරගය නිමාවට පත්වන අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 371/9 ලෙසින් දිස්වුණා.

පොන්ටිංගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 444/10 (113.2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 302/10 (84.5)

එංගලන්ත දෙවන ඉනිම – 280/6 (61.5)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 371/9 (108)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා  

තරගයේ වීරයා – රිකී පොන්ටිං 

ෆ්ලින්ටොප් අළුබඳුන තරගවල මුල්ම වරට ශතකයක්  වාර්තා කරයි 

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවති සිව්වන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 477ක් ලබාගත්තේ ෆ්ලින්ටොප් ලකුණු 102ක් ලබාගනිමින් පිත්තෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි. 

ෆ්ලින්ටොප් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

එංගලන්ත පළමු ඉනිම නිමාවීමෙන් පසුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි ඕස්ට්‍රේලියානුවන් සයිමන් ජෝන්ස් 44/5ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ අසරණ වුණු නිසාම ලකුණු 218කට දැවීගියා. 

සයිමන් ජෝන්ස් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින්  (gettyimages)

එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 259ක් පිටුපසින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදෙමින් ලකුණු 387කට දැවීගියේ එංගලන්තයට ලකුණු 129ක ඉලක්කයක් ලබාදෙමින්. නමුත් එංගලන්තයට එම ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඉඩනොදුන් බ්‍රෙට් ලී සහ ෂේන් වෝන් ලකුණු 116ක් එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් වන විට ඔවුන්ගේ කඩුලු 7ක් උදුරාගත්තා. නමුත් එම තීරණාත්මක අවස්ථාවේ නොසැලී සටන් කළ හෝගාර්ඩ් සහ ජයිල්ස් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එංගලන්තය තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 477/10 (123.1)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 218/10 (49.1)

ඕස්ට්‍රේලියානු  දෙවන ඉනිම – 387/10 (124)

එංගලන්ත දෙවන ඉනිම – 129/7 (31.5)

එංගලන්තයට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා – ඇන්ඩෲ ෆ්ලින්ටොප්

ෆ්ලින්ටොප් අළුබඳුන තරගවල දී  මුල්ම වරට කඩුලු 5ක් වාර්තා කරයි 

ඕවල් පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගය ආරම්භ වන විට එංගලන්තය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියා. මෙම තරගයේ දි ත් මුලින්ම  පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 373ක් ලබාගන්නා විට ස්ට්‍රාවුස් සහ ෆ්ලින්ටොප් පිළිවෙලින් ලකුණු 129ක් සහ ලකුණු 72ක් ලබාගත්තා. ඉන් පසුව පළමු ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක 264/1ක් ලෙසින් ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියත් ෆ්ලින්ටොප් ලකුණු 78කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දුයැවීම නිසා ඔවුන්ගේ ඉනිම ලකුණු 367කට සීමාවුණා.

ෆ්ලින්ටොප් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

පළමු ඉනිම අවසානයේ දී ලකුණු 6ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කෙවින් පීටර්සන් හයේ පහරවල් 7ක් සමගින් ලබාගත් අගනා ලකුණු 158ක් ලබාගත්තා. එදා පීටර්සන් ලබාගත් එම ශතකය නිසා එංගලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 335ක් ලබාගත්තේ තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් කරා රැගෙන යමින්.

කෙවින් පීටර්සන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 373/10 (105.3)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 367/10 (107.1)

එංගලන්ත දෙවන ඉනිම – 335/10 (91.3)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 4/0 (0.4)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා  

තරගයේ වීරයා – කෙවින් පීටර්සන් 

තරගාවලියේ වීරයා ඉයන් ෆ්ලින්ටොප්  

පළමු ටෙස්ට් තරගය තුළ අසාර්ථක වීමෙන් පසුව එජ්බැස්ටන්  පිටියේ දී යළි දස්කම් ෆ්ලින්ටොප්, එංගලන්තය ජයග්‍රහණය කළ ටෙස්ට් තරග 2 දී ම තරගයේ වීරයා බවට පත්වුණා. එහිදී ශතක 1ක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 402ක් ලබාගත් ෆ්ලින්ටොප්, කඩුලු 24ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා සම්මානය ද ලබාගනිමින්. එලෙස ෆ්ලින්ටොප් තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා වසර 18කට පසුව එංගලන්තය අළුබඳුන කුසලාන දිනාගැනීමට හැකිවුණා.

කවරයේ ඡායාරූපය- ෆ්ලින්ටොප් අළුබඳුන කුසලානය සමග  (gettyimages)

Related Articles