Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1981 අළුබඳුන තරගාවලියේ බොතම්ගේ සුපිරි දස්කම්

1981 අළුබඳුන තරගාවලිය ආරම්භ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් සිටියේ සුපිරි ක්‍රීඩක ඉයන් බොතම්. ඒ වන විට ටෙස්ට් තරග 10ක දී එංගලන්තයට නායකත්වය දුන් බොතම්ට ඉන් එක් තරගයක්වත් ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකි වුණේ නැහැ. එසේම එම තරග 10 තුළ අර්ධ ශතක 1ක් පමණක් ලබාගත් බොතම්ට කිසිදු ඉනිමක කඩුලු 5ක් ලබාගැනීමට නොහැකි වුණා. එම නිසාම උප නායක විලිස්ගේ අදහස වුණේ, බොතම් නායකත්වය දැරීම ඔහුගේ සුපුරුදු දක්ෂතා පෙන්වීමට බාධාවක් වන බව යි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ විලිස් කියා සිටියේ උප නායකත්වය දරන තමා නායකත්වය අපේක්ෂා නොකරන අතර, එය මයික් බෙයාර්ලි වැනි අයෙකුට ලබාදීම වඩාත් සුදුසු බව යි. නමුත් තරග 6කින් සමන්විත වුණු තරගාවලියේ පළමු ටෙස්ට් තරග 2ට සුපුරුදු පරිදි බොතම් නායකත්වය ලබාදුන්නා.

පළමු ටෙස්ට් තරග 2ක අවසානයේ දී එංගලන්තය සහ බොතම් අසාර්ථක වෙයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය නොටිංහැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේ දී පැවැත්වුණා. පන්දු යවන්නන්ගේ අණසකට නතු වුණු මෙම තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වුණා. එහි දී තරගය පුරාවටම පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ ඩෙනිස් ලිලී සහ ටෙරී අල්ඩර්මාන් එක්ව කඩුලු 17ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. මෙම තරගයේ දීත් සුපුරුදු පරිදි අසාර්ථක වුණු බොතම්, පිත්තෙන් ලකුණු 34ක් ලබාගෙන පන්දුවෙන් ලබාගත්තේ කඩුලු 3ක් පමණ යි.

එංගලන්ත පළමු ඉනිම- 185/10 (56.4)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 179/10 (86.5)

එංගලන්ත දෙවන ඉනිම- 125/10 (38.4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 132/6 (54.1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්. 

තරගයේ වීරයා- ඩෙනිස් ලිලී 

ඩෙනිස් ලිලී පන්දු යවමින් (gettyimages)

ඉන්පසුව ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවති ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට එංගලන්තයට හැකි වුණා. නමුත් එම තරගය එංගලන්තය නායක බොතම්ට සුභදායී එකක් නොවුණේ, ඔහු ඉනිම් 2කේ දී ම ලකුණු නොලබා දැවීයාම නිසා යි. 

එංගලන්ත පළමු ඉනිම- 311/10 (124.1)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 345/10 (118.4)

එංගලන්ත දෙවන ඉනිම- 265/8 (98.4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 90/4 (48.5)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. 

තරගයේ වීරයා- ජෙෆ් ලෝසන් 

ලෝඩ්ස් ටෙස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන ටෙස්ට් තරගයේ දී අසාර්ථක වීමෙන් පසුව සිය කණ්ඩායමේ උප නායක විලිස් දුන් උපදේශය අනුව බොතම් නායකත්වයෙන් ඉවත් වුණා. ඒ අනුව හෙඩිංලි පිටියේ පැවති තෙවන ටෙස්ට් තරගයේ දී එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ මයික් බෙයාර්ලි විසින්.

හෙඩිංලි පිටියේ දී බොතම් යළි නැගිටියි

ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේ දී පැවති මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝන් ඩයිසන් සහ නායක කිම් හියුස් පිළිවෙලින් ලබාගත් ලකුණු 102 සහ 89 නිසා 401/9 ලෙස තිබිය දී ඉනිම අත්හිටුවීමට හැකි වුණා. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මනරම් පන්දු යැවීමක නියැලුණු ඉයන් බොතම් ලකුණු 95කට දවාගත් කඩුලු ප්‍රමාණය 6ක්. ඉන්පසුව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලිලී, ලෝසන් සහ අල්ඩර්මාන්ගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ලබාගත්තේ ලකුණු 174ක් පමණ යි. එහි දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ බොතම්, ලකුණු 50ක් ලබාගත්තා. 

බොතම් කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් (gettyimages)

පළමු ඉනිමේ ලකුණු 174ක් ලබාගැනීම හේතුවෙන් එංගලන්තයට පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවුණා. එම ඉනිමේ දීත් ටෙරී අල්ඩර්මාන් සහ ඩෙනිස් ලිලීගේ මනරම් පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වුණු එංගලන්ත කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 135ක් තුළ දැවී ගියා. එම අවස්ථාව වන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා එංගලන්තයට තවත් ලකුණු 92ක් අවශ්‍ය වුණු නිසා ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය සැමරීමට සූදානමින් සිටියා. නමුත් ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි ඉයන් බොතම් පීඩනය හමුවේ නොසැලෙමින් අග පෙළ පිතිකරුවන් සමග සිය සටන දියත් කළා. එදා හෙඩිංලි පිටියට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කුල්මත් කළ බොතම්, හතරේ පහර 27ක් සමගින් පන්දු 148කින් නොදැවී ලකුණු 149ක් ලබාගත්තේ එංගලන්ත ඉනිම ලකුණු 356ක් දක්වා ගෙනයමින්.

බොතම්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

එලෙස බොතම් දියත් කළ සුපිරි ඉනිම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 130ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එහි දී ක්‍රියාත්මක වුණු බොබ් විලිස්, ලකුණු 43කට කඩුලු 8ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 111කට සීමා කරමිනුයි. එංගලන්ත කණ්ඩායම පරාජය අබියසටම ගොස් ජයග්‍රහණය කරා ගිය එම ටෙස්ට් තරගය පසු කලෙක ප්‍රසිද්ධ වුණේ සියවසේ ටෙස්ට් තරගය නමින්.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 401/9 (155.2)

එංගලන්ත පළමු ඉනිම- 174/10 (50.5)

එංගලන්ත දෙවන ඉනිම- 356/10 (87.3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 111/10 (36.1)

එංගලන්තයට ලකුණු 18ක ජයක්. 

තරගයේ වීරයා- ඉයන් බොතම් 

බොබ් විලිස් කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

බොතම්ගේ කඩුලු 5 නිසා සිව්වන ටෙස්ට් තරගයෙන් එංගලන්තය ජය පැන් බොයි 

හෙඩිංලි ටෙස්ට් තරගය එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් පසුව බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී සිව්වන ටෙස්ට් තරගය ආරම්භ වන විට කණ්ඩායම් 2ම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එම නිසාම දෙපිලම ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසි මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 189ක් පමණ යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 258ක් ලබාගත්තේ පළමු ඉනිමේ වාසිය ලකුණු 69ක් දක්වා වැඩි කරගනිමින්. ලකුණු 69ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිමේ දී ලකුණු 219කට දැවී ගියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 151ක ඉලක්කයක් ලබාදෙමින්. එහි දී ලකුණු 151ක ඉලක්කය පහසුවෙන් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 105ක් ලබා සිටියේ ජයග්‍රහණය අසලටම පැමිණෙමින්. නමුත් එම අවස්ථාවේ කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ඉයන් බොතම්, ලකුණු 11කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 121කට සීමා වුණා.

එංගලන්ත පළමු ඉනිම- 189/10 (69.1)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 258/10 (86.5)

එංගලන්ත දෙවන ඉනිම- 219/10 (92)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 121/10 (67)

එංගලන්තයට ලකුණු 29ක ජයක්. 

තරගයේ වීරයා- ඉයන් බොතම් 

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව (gettyimages)

බොතම්ගේ ශතකය නිසා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගයේ ජයත් එංගලන්තයට 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති 5 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම අවසානයේ දී එංගලන්තය ලකුණු 101ක් ඉදිරියෙන් සිටියා. නමුත් ඉන්පසුව දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 5ක් ලකුණු 104ක් තුළ දැවී ගියා. එම අවස්ථාවේ දී නැවතත් ක්‍රියාත්මක වුණු බොතම්, හයේ පහර 6ක් සමගින් පන්දු 102ක් තුළ ලබාගත් ලකුණු 118 නිසා අවසානයේ දී එංගලන්තයට හිමිවුණේ ලකුණු 103ක ජයක්.

එංගලන්ත පළමු ඉනිම- 231/10 (86.1)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 130/10 (30.2)

එංගලන්ත දෙවන ඉනිම- 404/10 (153)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 402/10 (135.5)

එංගලන්තයට ලකුණු 103ක ජයක්. 

තරගයේ වීරයා- ඉයන් බොතම් 

බොතම්ගේ වේගවත් ශතකයේ අවස්ථාවක් (gettyimages)

ඕවල් ටෙස්ට් තරගයේ දී බොතම්ගෙන් කඩුලු 10ක් 

කෙනිංටන් ඕවල් පිටියේ දී පැවති අවසන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. එම තරගයේ දීත් සුපිරි දස්කම් දැක්වූ ඉයන් බොතම්, ලකුණු 253කට දවාගත් කඩුලු ප්‍රමාණය 10ක්. එසේම එම තරගය පරාජයෙන් බේරාගැනීම සඳහා එංගලන්ත කඩුලු රකින්නා වුණු ඇලන් නොට්, නොදැවී ලබාගත් ලකුණු 70 පිළිබඳවත් මෙහි දී සිහිපත් කළ යුතුම යි.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 352/10 (132)

එංගලන්ත පළමු ඉනිම- 314/10 (110.4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 344/9 (104.2)

එංගලන්ත දෙවන ඉනිම- 261/7 (95)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. 

තරගයේ වීරයා- ඩෙනිස් ලිලී 

තරගාවලියේ වීරයා ඉයන් බොතම් 

පළමු ටෙස්ට් තරග දෙක තුළ අසාර්ථක වීමෙන් පසුව හෙඩිංලි පිටියේ දී යළි පිබිදුණු බොතම්, එංගලන්තය ජයග්‍රහණය කළ ටෙස්ට් තරග 3 දී ම තරගයේ වීරයා බවට පත්වුණා. එහි දී ශතක 2ක් සමගින් ලකුණු 399ක් ලබාගත් බොතම්, කඩුලු 34ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා සම්මානය ද ලබාගනිමින්. එදා ඉයන් බොතම් තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා බොහෝ දෙනෙකු මෙය හඳුන්වන්නේ, බොතම්ගේ අළුබඳුන තරගාවලිය ලෙස යි.

කවරයේ ඡායාරූපය- බොතම් හෙඩිංලි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

Related Articles