Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලියොනල් මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් තැබූ වාර්තා 5ක්

1899 වසරේ දී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය ආශ්‍රිත ව ආරම්භ වුණු බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය එරට තුළ ක්‍රියාත්මක වන ප්‍රධානත ම පාපන්දු ක්‍රීඩා සමාජ දෙකෙන් එකක්. හැමදාමත් සුපිරි පාපන්දු තරු පිරිවරාගෙන තරග බිමට පිවිසි බාර්සිලෝනා කණ්ඩායමට 5 වරක් යුරෝපා ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ස්පාඤ්ඤයේ ජනප්‍රිය ම පාපන්දු ලීගය වන La Liga පාපන්දු තරගාවලිය තුළ අතීතයේ සිට දස්කම් දැක්වූ බාර්සිලෝනා කණ්ඩායම එය 26 වතාවක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා. 

ඒ අයුරින් පාපන්දු ලෝකයේ බැබැළුණු බාර්සිලෝනා කණ්ඩායමට පසුගිය දශකයක පමණ කාලය තුළ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් හිමි කර දීමට මුල් වුණේ ලියොනල් මෙසී නම් සුපිරි පාපන්දු තරුව යි. සිය ජීවිත කාලයෙන් හරි අඩක් බාර්සිලෝනාවේ රැඳී සිටි මෙසී පසුගිය දිනෙක බාර්සිලෝනාව හැර යන්නට තීරණය කළා. ඒ බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය මුහුණ දුන් ආර්ථික අවපාතය නිසායි.  ඒ අනුව වසර 17ක් පුරාවට ගලා ගෙන ගිය මෙසීගේ බාර්සිලෝනා පාපන්දු තරග දිවිය නිමාවට පත් වුණා. එම කාලය ඇතුළත මෙසී නම් සුපිරි තරුව බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් වාර්තා රැසක් බිහි කිරීමට මේ සුපිරි තරුවට හැකියාව ලැබුණා. පහත දක්වා තිබෙන්නේ ඉන් අමතක නොවන වාර්තා 5ක් පිළිබඳව යි.

5) බාර්සිලෝනාව වෙනුවෙන් වැඩි ම තරග ප්‍රමාණයකට සහභාගි වීම 

වසර 17ක් පුරාවට බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලියොනල් මෙසී තරග 778කට සහභාගි වී තිබෙනවා. එහි දී ලා ලිගා තරගාවලියේ තරග 520කට සහභාගි වී ඇති මෙම සුපිරි තරුව, කෝපා ඩෙල් රේ කුසලානයේ තරග 80කට සහභාගි වීම සඳහා වරම් ලබා ගත්තා. ඊට අමතර ව යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන යුරෝපා ශුරයන්ගේ කුසලාන තරගාවලියේ තරග 153ක දී බාර්සිලෝනාව වෙනුවෙන් තරග කිරීමේ අවස්ථාව ද මෙසීට හිමි වුණා. එම තරග 753ට අමතර ව වෙනත් තරග 25ක දී මෙසී, බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කළා.

ඒ අනුව බාර්සිලෝනා ක්‍රීඩා සමාජ ඉතිහාසයේ වැඩි ම තරග ගණනකට සහභාගි වුණු ක්‍රීඩකයා ලෙසින් මෙසී ඉතිහාසගත වුණා. ඈත අතීතයේ සිට ස්පාඤ්ඤ සුපිරි තරු රැසක් බාර්සිලෝනාව නියෝජනය කර තිබියදීත් මෙසීට එම අවස්ථාව හිමි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා මෙදා තුර බාර්සිලෝනාව වෙනුවෙන් පාපන්දු තරග 500කට වඩා වැඩියෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයන් අට දෙනා පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

  • 1) ලියොනල් මෙසී (ආජන්ටිනාව)- තරග 778     (2004-2021)
  • 2) ෂාවී (ස්පාඤ්ඤය)- තරග 767     (1998-2015)
  • 3) අන්ද්‍රේස් ඉනියෙස්ටා (ස්පාඤ්ඤය)- තරග 674     (2002-2018)
  • 4) සර්ජියෝ බුස්කෙට්ස් (ස්පාඤ්ඤය)- තරග 629     (2008 -)
  • 5) කාල්ස් පුයොල් (ස්පාඤ්ඤය)- තරග 593     (1999-2014)
  • 6) ජෙරාඩ් පීකේ (ස්පාඤ්ඤය)- තරග 566     (2008 -)
  • 7) මිගෙල් බර්නාර්ඩෝ (ස්පාඤ්ඤය)- තරග 549     (1973-1989)
  • 8) වික්ටර් වැල්ඩෙස් (ස්පාඤ්ඤය)- තරග 535     (2002-2014)
ලියොනල් මෙසී බාසිලෝනාව වෙනුවෙන් තරග වදිමින් – getty images

4) ලා ලිගා තරගාවලි ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා 

ස්පාඤ්ඤයේ ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ප්‍රධාන පාපන්දු තරගාවලිය ලා ලිගා යන නමින් හඳුන්වනවා. ඈත අතීතයේ සිට ම එම තරගාවලිය සඳහා සහභාගි වුණු ප්‍රබලත ම කණ්ඩායම් ද්විත්වය බවට පත්වුණේ රියල් මැඩ්‍රිඩ් සහ බාර්සිලෝනා යන පාපන්දු ක්‍රීඩා සමාජ යුගළය යි. ඊට අමතර ව ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ් කණ්ඩායම ද ලා ලිගා තරගාවලි ඉතිහාසයේ දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා. පසුගිය දශකයේ දී ලා ලිගා තරග බිම වඩාත් උණුසුම් තත්ත්වයකට පත්වුණේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ ලියොනල් මෙසී සහ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයේ  ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කරට කර සටනක නියැළුණු නිසා යි  එහි දී වැඩි කාලයක් ස්පාඤ්ඤ පාපන්දු පිටියේ රැඳී සිටි මෙසීට ලා ලිගා තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්වීමට අවස්ථාව හිමි වුණා. පහත දැක්වෙන්නේ ලා ලිගා තරග ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් තිදෙනා යි.

  • 1) ලියොනල් මෙසී (බාර්සිලෝනා)- තරග 520 (2004-2021)- ගෝල 474
  • 2) ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (රියල් මැඩ්‍රිඩ්)- තරග 292 (2009-2018)- ගෝල 311
  • 3) ටෙල්මා සාරා (ඇත්ලෙටිකෝ බිල්බාඕ)- තරග 278 (1940-1955)- ගෝල 251 
මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් ගෝලයක් ලබාගනිමින් – getty images

3) ලා ලිගා තරගාවලි ඉතිහාසයේ වැඩි ම ත්‍රිත්ව ගෝල ලාභියා 

පාපන්දු තරගයක දී යම් ක්‍රීඩකයකු ගෝල 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වාර්තා කිරීම ත්‍රිත්ව ගොලයක් ලබා ගැනීම වශයෙන් හඳුන්වනවා. ත්‍රිත්ව ගෝලයක් වාර්තා කිරීම පාපන්දු තරගයක දී යම් ක්‍රීඩකයකුට පෙන්විය හැකි උපරිම දස්කමක් ලෙසින් සැලකෙනවා. ලා ලිගා පාපන්දු තරගාවලි ඉතිහාසයේ දෙස ආපසු හැරී බැලීමේ දී ත්‍රිත්ව ගෝල 20කට වඩා ලබාගත් සුපිරි තරු 4ක් හමුවනවා. පහත දැක්වෙන්නේ ඔවුන් ලා ලිගා තරග බිමේ දී ත්‍රිත්ව ගෝල වාර්තා කළ ආකාරය පිළිබඳව යි.

  • 1) ලියොනල් මෙසී (බාර්සිලෝනා)- ත්‍රිත්ව ගෝල 36
  • 2) ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (රියල් මැඩ්‍රිඩ්)- ත්‍රිත්ව ගෝල 34
  • 3) ටෙල්මා සාරා (ඇත්ලෙටිකෝ බිල්බාඕ)- ත්‍රිත්ව ගෝල 23
  • 4) ඇල්ෆ්රෙඩෝ ඩි ස්ටෙෆානෝ (රියල් මැඩ්‍රිඩ්)- ත්‍රිත්ව ගෝල 22
මෙසී 2007 වසරේ දී රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ත්‍රිත්ව ගෝලය – getty images

2) බාර්සිලෝනාව වෙනුවෙන් වැඩි ම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා 

බාර්සිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩි ම ගෝල ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වීමට ලියොනල් මෙසීට අවස්ථාව ලැබුණා. එහි දී ඔහු ගෝල 672ක් ලබා ගත්තේ යම් ක්‍රීඩකයකු එක් පාපන්දු ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ලබා ගත් වැඩි ම ගෝල ප්‍රමාණයක් වාර්තා කරමින්. ඒ අතුරින් ලා ලිගා තරගාවලියේ දී ගෝල 474ක්  ලබාගන්නා විට තවත් ගෝල 120ක් යුරෝපා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී වාර්තා කළා. ඊට අමතර ව කෝපා ඩෙල් රේ තරගාවලියේ දී ගෝල 56ක් ලබා ගත් මෙසී වෙනත් තරගවල දී තවත් ගෝල 22ක් ලබා ගත්තා. එදා මෙදා තුර බාර්සිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 150කට වඩා වැඩියෙන් ලබාගත් ක්‍රීඩකයන් මේ අයුරින් දක්වන්නට පුළුවන්.

  • 1) ලියොනල් මෙසී (ආජන්ටිනාව)-ගෝල 672     (2004-2021)
  • 2) සීසර් රොද්‍රිගස් (ස්පාඤ්ඤය)- ගෝල 232    (1942-1955)
  • 3) ලුයිස් සුආරෙස් (උරුගුවේ)- ගෝල 198     (2014-2020)
  • 4) ලැස්ලෝ කුබාලා (හංගේරියාව)- ගෝල 194    (1950-1961)
  • 5) ජෝශප් සැමිටියර් (ස්පාඤ්ඤය)- ගෝල 184     (1919-1932)
  • 6) ජෝශප් එස්කෝලා (ස්පාඤ්ඤය)- තරග 167     (1934-1949)
මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් දස්කම් දක්වමින් – getty images

 

1) වැඩි ම වාර ගණනක් බැලොන් ඩි ඕර් සම්මානය හිමි වුණු තරුව 

ප්‍රංශයේ ප්‍රසිද්ධ පුවත්පත් සඟරාවක් වන ප්‍රාන්ස් ෆුට්බෝල් සඟරාව යුරෝපයේ දක්ෂත ම පාපන්දු ක්‍රීඩකයන් වෙනුවෙන් සම්මානයක් පිරිනැමීම ආරම්භ වුණේ 1956 වසරේ දීයි. බැලොන් ඩි ඕර් නමින් හැඳින්වෙන එම සම්මානය පස් වාරයකට වඩා දිනා ගැනීමට සමත් වුණේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ ලියොනල් මෙසී සහ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යන සුපිරි තරු යුගළය යි. ඒ අතුරින් මෙසී අවස්ථා 6ක දී බැලොන් ඩි ඕර් සම්මානය දිනා ගන්නා විට රොනාල්ඩෝට එම සම්මානය හිමි වුණේ අවස්ථා 5කදී පමණ යි. මෙසී සහ රොනාල්ඩෝ යන සුපිරි ම තරු යුගළය බැලොන් ඩි ඕර් සම්මානය දිනා ගත් අවුරුදු පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

  • ලියොනල් මෙසී (බාර්සිලෝනා)-  2009, 2010, 2011, 2012, 2015, 2019
  • ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (මැංචෙස්ටර් යුනයිට්ඩ්/ රියල් මැඩ්‍රිඩ්)- 2008, 2013, 2014, 2016, 2017   
2010 වසරේ දී බැලොන් ඩි ඕර් සම්මානය දිනාගත් මෙසී – getty images

කවරයේ ඡායාරූපය: මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් පෑ හපන්කම් - getty - images

මූලාශ්‍ර- 

goal.com

FC Barcelona

Related Articles