Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි තරුව ශකීබ්

2007 ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර යි. එදා සමස්ත ක්‍රිකට් ලොවම මවිත කරමින් එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවුණා. එදා ලකුණු 53ක් ලබාගනිමින් බංග්ලාදේශය ලබාගත් එම ජයග්‍රහණයට දායකත්වය ලබාදුන් ශකීබ් ඒ වන විට 19 හැවිරිදි වියේ පසුවුණා. එලෙස එක්දින ලෝක කුසලාන දිවියට සාර්ථක ආරම්භයක් ලබාගත් ශකීබ් ඉන් වසර 12කට පසුව පැවැත්වුණු 2019 ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දස්කම් ඉතාමත් ඉහළ යි. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ශකීබ් 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු දැක්වූ දස්කම් පිළිබඳව ඇගයීමක් කිරීමට යි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වුණේ ඔහු යි.

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගය පැවැත්වුණේ ලෝඩ්ස් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 330ක් ලබාගත්තා. එහිදී බංග්ලාදේශය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ශකීබ් පන්දු 84කින් ලකුණු 75ක් ලබාගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින්. ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 309ක් ලබාගත්තේ බංග්ලාදේශයට ලකුණු 21ක ජයක් උරුමකර දෙමින්. එහිදී පිත්තෙන් ලකුණු 75 සහ පන්දුවෙන් ලකුණු 50කට කඩුල්ලක් ලබාගත් ශකීබ් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා. 

ශකීබ්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්තයට එරෙහිව ශකීබ්ගෙන් තුන් ඉරියව් දස්කම් 

කෙනිංටන් ඕවල් පිටියේ පැවති බංග්ලාදේශ-නවසීලන්ත තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 244ක් පමණ යි. එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුණු ශකීබ් පන්දු 68කින් ලකුණු 64ක් ලබාගත්තේ හතරේ පහර 7ක් සමගින්. ඉන් පසුව පන්දුවෙන් ද සිය යුතුකම ඉටුකළ ශකීබ් ලකුණු 47කට කඩුලු 2ක් දවාගත්තේ පන්දුවාර 10ක් යවමින්. 

ශකීබ් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

එංගලන්තයට එරෙහිව ශකීබ්ගෙන් ශතකයක් 

කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටියේ එංගලන්තයට එරෙහිව පැවති තරගයේ දී බංග්ලාදේශයට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය 387ක්. එහිදී බංග්ලාදේශ පිලේ පිතිකරුවන් අසාර්ථක වන විට හුදෙකලා සටනක නිරත වුණු ශකීබ් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමගින් පන්දු 119කින් ලකුණු 121ක් ලබාගත්තේ එක්දින ලෝක කුසලාන දිවියේ මංගල ශතකය ලබාගනිමින්.

ශකීබ් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

කොදෙව්වන්ට එරෙහිව තරගයේ දී ශකීබ්ගෙන් සුපිරි දස්කම් 

ටෝන්ටන් පිටියේ දී පැවති බටහිර ඉන්දීය කොදෙව්-බංග්ලාදේශ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබාගත්තා. එහිදී ශකීබ් විසින් ලුවිස් සහ පූරන් යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනාව දවාගත්තා. ඉන් පසුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 322ක ඉලක්කයක් හඹා ගිය අවස්ථාවේ මනරම් පිතිහරඹයක නියැලුණු ශකීබ් හතරේ පහර 16ක් සමගින් පන්දු 99ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 124ක්. ශකීබ් එම තරගයේ දී දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවුණා.

ශකීබ් තරගයේ වීරයා සම්මානය ලබාගත් අවස්ථාව (gettyimages)

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශකීබ්ගෙන් විරල දස්කමක් 

ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වුණේ සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටියේ දී යි. එම තරගයේ දී  මුලින්ම පන්දුවට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 262ක සඳහා ශකීබ් ලකුණු 51කින් දායක වුණා. ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට එරෙහිව මනරම් පන්දු යැවීමක නිරත වුණු ශකීබ් ලකුණු 29කට කඩුලු 5ක් ලබාගත්තේ තවත් තරගයේ වීරයා සම්මානයක් ලබමින්. එහිදී එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක දී අර්ධ ශතකයක් ලබාගෙන කඩුලු 5ක් දවාගත් 2 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට ශකීබ් සමත් වුණා. ඔහුට පෙර 2011 ලෝක කුසලාන තරගාවලියේ දී අයර්ලන්තයට එරෙහිව එම දස්කම් දැක්වීමට යුව්රාජ් සිං සමත් වුණා. එහිදී ඔහු ලකුණු 31කට කඩුලු 5ක් දවාගෙන නොදැවී ලකුණු 50ක් ලබාගත්තා.

ශකීබ් කඩුලු 5ක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

ඉන්දියාවට සහ පාකිස්ථානයට එරෙහිව ශකීබ්ගෙන් අර්ධ ශතක 

ඉන්දීය කණ්ඩායමට සහ පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන් ශකීබ් එහිදී පිළිවෙලින් ලකුණු 66ක් සහ 64ක් ලබාගත්තේ තරගාවලිය තුළ පිත්තෙන් ඉහළම දස්කම් දක්වමින්. ශකීබ් මෙම කණ්ඩායම් දෙක හමුවේ ලබාගත් අර්ධ ශතක 2ත් සමගින් ඔහු තරගාවලිය තුළ ලබාගත් සමස්ත අර්ධ ශතක ප්‍රමාණයක් 5ක්. 

ලෝක කුසලාන තරගාවලිය තුළ ශකීබ් දැක්වූ දස්කම් පිළිබඳව දත්ත 

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ තරග 8ක් සඳහා සහභාගි වුණු ශකීබ් එහිදී පිත්තෙන් ලකුණු 606ක් ලබාගෙන පන්දුවෙන් කඩුලු 11ක් ලබාගත්තා. එහිදී ශකීබ් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000ක් ලබාගත් පළමු බංග්ලාදේශ පිතිකරුවා බවට පත්වුණා.

ශකීබ්ගේ පිතිකරණ දත්ත 

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ශකීබ් ක්‍රීඩාකළ ඉනිම් 8න් ඔහුට ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පමණ යි.

ඉනිම් – 8

නොදැවීම් – 1

ලකුණු – 606

පිතිකරණ සාමාන්‍ය – 86.57

මුහුණදුන් පන්දු ගණන – 631

ප්‍රහාරාත්මක වේගය – 96.03

අර්ධ ශතක – 5

ශතක – 2

හොඳම ඉනිම – 124* බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 

ශකීබ්ගේ පන්දු යැවීමේ දත්ත 

පිත්තෙන් තරම් පන්දුවෙන් දස්කම් දැක්වීමට නොහැකි වුණත් ශකීබ් මෙම තරගාවලිය තුළ කඩුලු 11ක් දවාගැනීමට සමත් වුණා.

පන්දුවාර – 74 

නිළකුණු පන්දුවාර – 1

ලකුණු – 399

කඩුලු – 11

පන්දු යැවීමේ සාමාන්‍ය – 36.27

හොඳම පන්දු යැවීම – 29/5 ඇෆ්ගනිස්ථානයට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 5.39

ප්‍රහාරාත්මක වේගය – 40.36

මෙවර බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වුණත් ශකීබ් මෙම තරගාවලිය තුළ දැක්වූ සුපිරි දස්කම් ක්‍රිකට් ලෝලීන්ට කලකට අමතක නොවනු ඇති.

කවරයේ ඡායාරූපය - ශකීබ් 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

Related Articles