Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2002 පාපන්දු ලෝක කුසලානයේ කොරියානුවන්ගේ හපන්කම්

දකුණු කොරියාව මුල්ම වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණේ 1954 වසරේ දී යි. එහිදී හංගේරියාව වෙතින් 9-0ක් ලෙස පරාජය ලද කොරියානුවන් තුර්කිය වෙතින් ද 7-0ක පරාජයක් ලැබුවේ අමිහිරි අත්දැකීම් රැසක් ලබමින්. සහභාගි වුණු මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී කටුක අත්දැකීම් ලද දකුණු කොරියානුවන් නැවතත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට එක්වුණේ 1986 වසරේ දී යි. එම වසරේ සිට 1998 වසර දක්වා අඛණ්ඩව පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණු දකුණු කොරියානුවන්ට කිසිදු ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් 2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටක් ලෙසින් කටයුතු කළ දකුණු කොරියාව එම තරගාවලියේ දී සුපිරි දස්කම් දක්වමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. එදා දකුණු කොරියානුවන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක එවැනි හපන්කමක් කළ එකම ආසියානු රට බවට පත්වුණේ ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරමින්. 

මූලික වටයේ දී දකුණු කොරියාවෙන් පෙරළි කිහිපයක් 

2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු කොරියානු කණ්ඩායමට පෘතුගාලය, ඇමරිකාව, සහ පෝලන්තය යන කණ්ඩායම් සමග තරග වැදීමට සිදුවුණා. එම කාල වකවානුව වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවුණු පෘතුගාලය සහ 13 වැනි ස්ථානයේ පසුවුණු ඇමරිකාව කාණ්ඩයේ සිටි ප්‍රබලම රටවල් දෙක වුණා. එම රටවල් 2ට අමතරව D කාණ්ඩය නියෝජනය කළ සෙසු රටවල් දෙක වුණු පෝලන්තය සහ දකුණු කොරියාව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 38 සහ 40 ස්ථාන ලබාගෙන සිටියා. එම නිසාම පෘතුගාලය පහසුවෙන්ම මෙම කාණ්ඩය ජය ගනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාස කළා. 

පෝලන්තය හමුවේ දකුණු කොරියාව ගෝල 2-0ක ජයක් ලැබුවා 

පළමු වටයේ දී දකුණු කොරියානුවන්ට මුලින්ම තරග වැදීමට සිදුවුණේ පෝලන්තය සමග යි. ආරම්භයේ සිටම පෝලන්ත කණ්ඩායමට එරෙහිව ප්‍රබල තරග රටාවක නිරත වුණු දකුණු කොරියාව ගෝල ලබාගැනීමට ප්‍රබල උත්සාහයක් දැරුවා. තරගයේ 26 වැනි විනාඩියේ දී මැදපෙළ ක්‍රීඩක ලී යොන්ග් විසින් ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩක හොවෑන්ග් සන්-හොන්ග්ට යොමුකළ පන්දුව දැල තුළට එල්ල කිරීමත් සමගම කොරියානුවන් 1-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා. එම නිසාම පළමු භාගය අවසන් වන විට දකුණු කොරියාව 1-0 ලෙසින් තරගයේ ඉදිරියෙන් සිටියා. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ 53 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු මැදපෙළ ක්‍රීඩක යූ සැන්ග්-චුල් පෝලන්ත දැල් රකින්නා මුලා කරමින් ලබාගත් ගෝලය නිසා දකුණු කොරියානුවන් තරගය ජයග්‍රහණය කළේ 2-0ක් ලෙසින්. මෙම ජයග්‍රහණය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු කොරියානුවන් ලබාගත් පළමු ජයග්‍රහණය නිසා ඔවුන්ට මෙය අමතක නොවන එකක් වුණා.

කොරියානුවන් පළමු ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

දකුණු කොරියා-ඇමරිකා තරගය නිමාවුණේ දෙපිලම ගෝලය බැගින් ලබාගනිමින් 

මූලික වටයේ පළමු තරගයේ දී ප්‍රබල පෘතුගාල කණ්ඩායම 3-2ක් ලෙසින් පරාජය කළ ඇමරිකානුවන් මෙම තරගයත් ජයගනු ඇතැ යි බොහෝදෙනෙකු විශ්වාස කළා. එවැනි වටපිටාවක් යටතේ ආරම්භ වුණු තරගයේ 24 වැනි විනාඩියේ දී ඇමරිකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩක ක්ලින්ට් මැතිස් හිසින් පන්දුවට පහරදෙමින්. ඒ අනුව පළමු භාගය අවසන් වන විට ඇමරිකාව 1-0ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. පළමු භාගය අවසානයේ දී පසුපසින් සිටි කොරියානුවන් ගෝල ලබාගැනීමට ප්‍රබල උත්සාහයක නිරතවුණත් 77 වැනි විනාඩිය වන තුරුම 1-0ක් ලෙස ඇමරිකානුවන් පෙරමුණේ පසුවුණා. නමුත් එම නිහැඩියාව බිඳදැමූ ඉදිරිපෙළ ක්‍රීඩක ජුන්ග්-හොවෑන් දකුණු කොරියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එහිදී 56 වැනි විනාඩියේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි හොවෑන් කොරියාව වෙනුවෙන් අවශ්‍යම  අවස්ථාවක එම ගෝලය ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම ගෝලයෙන් පසුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට නොහැකිවුණු නිසා තරගයේ අවසන් ප්‍රතිඵලය 1-1ක් ලෙසින් සටහන් වුණා. මෙම තරගයේ දී දෙපිලේම දැල් රකින්නන් ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩාකළ බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

 හොවෑන් ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

පෘතුගාලය හමුවේ දකුණු කොරියාව ගෝල 1-0ක් ලෙසින් පෙරළිකාර ජයක් ලැබුවා 

පෘතුගාලය සහ දකුණු කොරියාව අතර පැවැත්වුණු තරගයේ පරාජිතයන් තරගාවලියෙන් ඉවත්වීමට නියමිතව සිටි නිසා මෙම තරගය දෙපිලටම වැදගත් එකක් වුණා. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ 27 වැනි විනාඩියේ දී පෘතුගාල ක්‍රීඩක පින්ටෝ විසින් පාක් ජී සුන්ග්ට කළ අනිසි බලපෑම නිසා ඔහුට රතු කාඩ්පතක් ලැබුණා. එලෙස තරගයේ 27 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අහිමිවීම නිසා එතැන් සිට පෘතුගාලයට තරගවැදීමට සිදුවුණේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන්. නමුත් එහි වාසිය ලබාගැනීමට දකුණු කොරියානුවන් අසමත් වීම නිසා පළමු භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය සටහන් වුණේ 0-0 ලෙසින්. එහිදී පළමු භාගය අවසන් වීමට සුළු මොහොතකට පෙර පෘතුගාල ක්‍රීඩක පුයෙල්ටාට ගෝලයක් ලබාගැනීමට අනගි අවස්ථාවක් උදාවුණත් ඔහුට එය සාර්ථක කරගැනීමට හැකිවුණේ නැහැ. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ 66 වැනි විනාඩියේ දී පෘතුගාල ආරක්ෂක පෙළ ක්‍රීඩක බෙටෝට ලැබුණු රතු කාඩ්පත නිසා ඔහුත් පිටියෙන් ඉවත්වුණේ පෘතුගාලයට තවත් ක්‍රීඩකයෙකු අහිමි කරමින්. එම අවස්ථාවේ දී එහි වාසිය ලබාගත් පාක් ජී සුන්ග් 70 වැනි විනාඩියේ දී දකුණු කොරියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එහිදී ලී යන්ග්-පියෝ විසින් යොමුකළ පන්දුව මනාව පාලනය කරගත් සුන්ග් මැනවින් එය පෘතුගාල දැල තුළට එල්ල කළා. එලෙස වාර්තා වුණු පළමු ගෝලයෙන් පසුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණු නිසා දකුණු කොරියාව තරගය ජයග්‍රහණය කළේ ගෝල 1-0ක් ලෙසින්. 

සුන්ග් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

දකුණු කොරියාව හමුවේ ප්‍රබල ඉතාලි කණ්ඩායම පරාජය ලබයි 

D කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගත් දකුණු කොරියාවට 16 දෙනාගේ වටයේ දී හමුවුණේ G කාණ්ඩයෙන් දෙවන ස්ථානය ලබාගත් ප්‍රබල ඉතාලි කණ්ඩායම යි. එම කාල වකවානුව වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවුණ ඉතාලිය සමග පැවති තරගය දකුණු කොරියාවට පහසු එකක් වුණේ නැහැ. එම නිසාම තරගය ආරම්භ වී විනාඩි 18කින් ඉතාලි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රිස්ටියන් වියාරි ඉතාලිය වෙනුවෙන් පළමු ගෝලය ලබාගත්තේ කෝණ පහරක් මඟින් ලැබුණු පන්දුව හිසින් දැල තුළට යොමුකරමින්. වියාරි ලබාගත් එම ගෝලයෙන් පසුව දෙපිලටම ගෝල ලබාගැනීමට අවස්ථාවන් ලැබුණත් දෙපිලේම දැල් රකින්නන්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. නමුත් තරගයේ 88 වැනි විනාඩියේ දී ඉතාලි ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සහ දැල් රකින්නා අතර ඇතිවුණු අනවබෝධයෙන් ප්‍රයෝජන ලබාගත් කොරියානු ක්‍රීඩක සියොල් කී-හයුන් තරගයේ ලකුණු තත්ත්වය සම කළා. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට තරගයේ ලකුණු සමවීම නිසා අතිරේක කාලයක් ලැබුණා. එලෙස ලැබුණු අතිරේක කාලයේ දී මැනවින් ක්‍රීඩා කළ ජුන්ග්-හොවෑන් දකුණු කොරියාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ තරගයේ 117 වැනි විනාඩියේ දී යි.

දකුණු කොරියාව ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

දකුණු කොරියාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට 

16 දෙනාගේ වටයේ දී ප්‍රබල ඉතාලි කණ්ඩායම පරාජය කළ කොරියානුවන්ට අර්ධ අවසන් පූර්ව වටයේ දී හමුවුණේ ස්පාඤ්ඤ කණ්ඩායම යි. ඉතාලි කණ්ඩායම මෙන්ම ප්‍රබල කණ්ඩායමක් වුණු ස්පාඤ්ඤය ඒ වන විට  ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානයේ රැදී සිටියා. එම නිසාම ස්පාඤ්ඤයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය දකුණු කොරියානුවන්ට අභියෝගාත්මක එකක් වුණා. නමුත් තරග ආරම්භයේ සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට ප්‍රබල සටනක් ලබාදීමට කොරියානුවන්ට හැකිවුණු නිසා නියමිත කාලය තුළ දෙපිලට ම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඉන් පසුව ලබාදුන් අතිරේක විනාඩි 30ක කාලය තුළත් කිසිදු ගෝලයක් වාර්තා නොවුණු නිසා දඬුවම් පහර මඟින් තරගයේ ජයග්‍රාහකයා තෝරාගත්තා. සමස්ත තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ දකුණු කොරියානු දැල් රකින්නා වූ ලී වුන්-ජී මෙම අවස්ථාවේ දී නැවතත් සුපුරුදු රිද්මයට පැමිණි නිසා දඬුවම් පහර 5-3ක් ලෙසින් තරගය ජයග්‍රහණය කිරීමට කොරියානුවන්ට හැකිවුණා. එදා දකුණු කොරියානුවන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙරළියක් කරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට එක්වුණු මුල්ම ආසියාතික රට බවට පත්වෙමින්.

දකුණු කොරියානුවන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages) 

අවසන් පූර්ව තරගයෙන් කොරියානුවන්ගේ පෙරළිකාර ගමන නිමාවෙයි 

අවසන් පූර්ව තරගයේ දී දකුණු කොරියාවට තරග වැදීමට සිදුවුණේ ප්‍රබල ජර්මනි කණ්ඩායම සමග යි. ජර්මන් කණ්ඩායමේ දැල් රකින්නා ලෙස කටයුතු කළ ඔලිවර් ඛාන් අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ගමනේ දී ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ එක් ගෝලයක් පමණ යි. එම නිසාම ඔලිවර් ඛාන්ට එරෙහිව ගෝල ලබාගැනීම දකුණු කොරියානු ක්‍රීඩකයන්ට දැවැන්ත අභියෝගයක් වුණා. ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු භාගයේ දී දෙපිලට ම ගෝල ලබාගැනීමට නොහැකිවුණේ දැල් රකින්නන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි. නමුත් තරගයේ දෙවන භාගයේ දී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරතවුණු කොරියානුවන් අවස්ථා කිහිපයක දී ම ජර්මන් දැල ආක්‍රමණය කරත් ඔවුන්ට ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. එලෙස කොරියානුවන් ගෝලයක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටි අවස්ථාවේ කොරියානු ආරක්ෂක පෙළ ක්‍රීඩක කිම් යන්ග් අතින් සිදුවුණු අත්වැරැදීමකින් පන්දුව ජර්මානු ක්‍රීඩක ඔලිවර් නියුවිල්ට ලැබුණා. නියුවිල් එම අවස්ථාවේ දී පන්දුව මයිකල් බැලැක්ට යොමුකළ  අතර බැලැක් එය කොරියා දැල වෙතට එල්ල කළා. නමුත් එම පහර දැල් රකින්නාට හරියාකාරව රැකගැනීමට නොහැකිවුණු නිසා බැලැක්ට තවත් පහරක් එල්ල කිරීමට අවස්ථාවක් ලැබුණා. එහිදී සාර්ථකව පන්දුව දැල තුළට යොමු කිරීමට බැලැක් සමත්වුණේ කොරියානුවන්ගේ පෙරළිකාර ගමන නිමාකරමින්.

බැලැක් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages) 

ඉන් පසුව තෙවන ස්ථානය තේරීම සඳහා තුර්කිය සමග පැවති තරගයත් 3-2ක් ලෙසින් පරාජය වුණු දකුණු කොරියාව තරගාවලියේ සිව්වන ස්ථානය ලබාගත්තා. එම ජයග්‍රහණය ආසියානු රටක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දැක්වූ ඉහළම දක්ෂතාවය දකුණු කොරියානු නාමය පාපන්දු ඉතිහාසය තුළ රන් අකුරින් ලියවෙනවා. 

කවරයේ ඡායාරූපය - කොරියානුවන් ගෝලයක් ලබාගැනීම නිසා සතුටුවෙමින් (gettyimages) 

Related Articles