Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

80 දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ජපානය විසින්. එදා සිට අද දක්වා ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව ගමන් කළේ දුෂ්කර මඟක් ඔස්සේ යි. එලෙස දශක කිහිපයක් විශාල කැප කිරීම් කරමින් පැමිණි ගමනේ ප්‍රතිඵල ඔවුන් අද භුක්ති විඳිමින් සිටිනවා. ඒ මෙවර 5 වැනි වරටත් පැවති බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් දිනාගැනීමට සමත් වීමෙන්. එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව අතින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 24 වැනි ස්ථානයේ පසුවන පාකිස්ථානය පරාජය වුණු නිසාම මෙම ජයග්‍රහණය සුවිශේෂී එකක් වනවා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට ලබාගත් එම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

තරගාවලිය පැවති ආකාරය

මෙම තරගාවලිය සඳහා සහභාගි වුණු කණ්ඩායම් ප්‍රමාණය 6ක්. එම රටවල් 6 කාණ්ඩ 2ක් යටතේ තරග වැදුණා. එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, සහ නේපාලය A කාණ්ඩය යටතේ තරග වදින විට පාකිස්ථානය, ඉරානය, සහ බංග්ලාදේශය B කාණ්ඩය යටතේ තරග වැදුණා. එක් කණ්ඩායමකට මූලික වටය යටතේ තරග 2ක් ක්‍රීඩා කිරීමට සිදුවුණා. ඉන් පසුව කාණ්ඩයේ ඉහළින්ම සිටින රටවල් 2ක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. අනතුරුව එම රටවල් අතර පැවැත්වුණු අවසන් පූර්ව තරග 2ක ජයග්‍රහණය කළ කණ්ඩායම් 2ක අවසන් සටනට පිවිසි අතර අවසානයේ දී එම තරගයේ ජයග්‍රාහකයාට කුසලානය හිමිවුණා. 

මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ඨ දස්කම් 

ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ දී තරග කිරීමට සිදුවුණේ ඉන්දියාව සහ නේපාලය සමග යි. එම තරග 2ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය අවසන් කළේ කාණ්ඩයේ පෙරමුණ ගනිමින්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරගවල දී මුලින්ම තරග කිරීමට සිදුවුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 65 වැනි ස්ථානයේ පසුවුණු ඉන්දීය කණ්ඩායම සමග යි. බේස්බෝල් නීති රීතිවලට අනුව මෙම තරගයේ සත්කාරක කණ්ඩායම වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවුණු නිසා ඔවුන්ට දෙවනුව පන්දුවට පහරදීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව තරගයේ පළමු ඉනිමේ දී කණ්ඩායම් දෙකටම ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉන් පසුව කණ්ඩායම් 2ම කරට කර සටනක යෙදුණු නිසා 5 වැනි ඉනිම අවසන් වනතුරුත් කිසිම කණ්ඩායමකට ලකුණු ලබාගැනීමට හැකිවුණේ නැහැ. 

කණ්ඩායම් 2ම කරට කර සටන් කරමින් (Official sri lanka baseball page)

නමුත් 6 වැනි තරග වටයේ දී ලකුණු ඉඩෝරයට නැවතීමේ තිත තැබූ ඉන්දීය ක්‍රීඩක භාරත් ශ්‍රී ලංකා පිලෙන් ලකුණක් සොරාගත්තේ ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙස තරගයේ පෙරමුණ තබමින්.

භාරත් ලකුණ ලබාගත් අවස්ථාව (Official sri lanka baseball page)

එලෙස ඉන්දීය කණ්ඩායම 6 වැනි වටය අවසන් වන විට තරගයේ පෙරමුණ ගත්තත් ඉන් නොසැලුණු අමිල පුෂ්පකුමාර 7 වැනි වටයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමින්.

අමිල පුෂ්පකුමාරගෙන් වේගවත් පහරක්  (Official sri lanka baseball page)

ඉන් පසුව 8 වැනි තරග වටයේ දී කණ්ඩායම් දෙකටම ලකුණු ලබාගැනීමට නොහැකි වුණු නිසා තරගයේ තීරණාත්මක වටය වුණේ 9 වැනි තරග වටය යි. එම තරග වටයේ දී ඉතාමත් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණු නවීන් කස්තුරිමුදලි සහ සහන් අවිශ්ක එක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ ලබාගත්තේ ඉන්දීය ක්‍රීඩකයන්ට 2-1ක පරාජයක් උරුමකර දෙමින්.

නවීන් කස්තුරිමුදලි ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් (Official sri lanka baseball page)

ශ්‍රී ලංකාව සහ නේපාලය 

මෙම තරගයේ සත්කාරක කණ්ඩායම ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවුණේ නේපාල කණ්ඩායමට යි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 69 වැනි ස්ථානයේ පසුවන නේපාල කණ්ඩායම සමග පැවති මෙම තරගයේ 5 වැනි වටය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 13-0 ලෙසින් ඉදිරියෙන් සිටියා. ඒ අනුව 5 වැනි වටය අවසන් වන විට තරගයේ සංචාරක කණ්ඩායම වුණු ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම නිසා ඔවුන්ට තරගයේ ජයග්‍රහණය 13-0ක් ලෙසින් හිමිවුණා. එහිදී ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉරේෂ් කෝසල, සාදර අබේරත්න සහ විමුක්ති සෙනෙවිරත්න ලකුණු 2 බැගින් ලබාගන්නා විට සමීර රත්නායක, ඒ පීරිස්, එස්  ගුණසේකර, නවීන් කස්තුරිමුදලි, නිරෝෂන් ශ්‍රියාරත්න, චින්තක ඉඳුනිල්, සුභාෂ් ගුණසිරි ලකුණු 1 බැගින් ලබාගත්තා.

ඉරේෂ් කෝසල ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ලකුණ ලබාගත් අවස්ථාව (Official sri lanka baseball page)

ඉරානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් තරගයට 

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ දී හමුවුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වැනි ස්ථානයේ රැඳී සිටි ඉරාන කණ්ඩායම යි. මෙම තරගයේ සත්කාරක කණ්ඩායම ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවුණු නිසා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණේ ඉරාන කණ්ඩායමට යි. ඒ අනුව පළමු වටයේ දී ඉරාන කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගැනීමට නොහැකි වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉරේෂ් කෝසල සහ සදුන් මදුසංඛ ලකුණු ලබාගත්තේ ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණේ තබමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පන්දුවට පහරදෙමින් (Official sri lanka baseball page)

ඉන් පසුව 3 වැනි වටයේ නවීන්, නිරෝෂන් සහ ඉරේෂ් ක්‍රියාත්මක වෙමින් ලබාදුන් ලකුණු 3 නිසා එම වටය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 5-2ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඒ වන විට තරගයේ පාලනය සියතට ගෙන තිබුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 වැනි වටය අවසන් වන විට 8-2ක් ලෙස ඉදිරියෙන් සිටියේ ඉරේෂ් ලබාගත් ලකුණු 3 සහ නවීන් ලබාගත් ලකුණු 2හි සවියෙන්. අනතුරුව පැවැත්වුණු තරග වට 4දී ඉතාමත් ප්‍රබල තරග රටාවක නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසානයේ දී 10-2ක් ලෙසින් ඉරානය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඉරාන – ශ්‍රී ලංකා තරගයේ තියුණු අවස්ථාවක් (Official sri lanka baseball page)

පාකිස්ථානය පරාජය කළ ශ්‍රී ලංකාවට බටහිර ආසියානු බේස්බෝල් කුසලානය හිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ දී තරග වැදීමට සිදුවුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 24 වැනි ස්ථානයේ පසුවුණු ප්‍රබල පාකිස්ථානු කණ්ඩායම සමග යි. ඔවුන් අපරාජිතව මෙම තරගය කරා පැමිණ සිටි නිසා මෙම තරගය උද්වේගකර එකක් වනු ඇති බවට විචාරකයන් අනාවැකි පළකළා.

තරගයට පෙර දෙපිලේ නායකයන් කුසලානය සමග ( Official sri lanka baseball page)

පාකිස්ථානයට මෙම තරගයේ සත්කාරකත්වය හිමිවුණු නිසා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. ඒ අනුව පළමු වටයේ දී ම සාර්ථක පිතිහරඹයක නිරත වුණු ශ්‍රී ලංකාව වෙනුවෙන් නවීන්, ඉරේෂ් සහ සඳුන් ලකුණු ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙසින් තරගයේ පෙරමුණේ තබමින්. එහිදී සමීර සහ අසංක එල්ල කළ පහරවල්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එලෙස ලකුණු ලබාගැනීමට හැකිවුණා. 

ශ්‍රී ලංකා නායක සමීරගෙන් වේගවත් පහරක් ( Official sri lanka baseball page)

ඉන් පසුව 5 වැනි ඉනිමේ අවසානය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ලෙසින් තරගයේ පෙරමුණේ පසුවුණා. නමුත් 6 වැනි ඉනිමේ දී  පාකිස්ථානය වෙනුවෙන් සුමායිර් සමාර් ලබාගත් ලකුණත් සමගින් ලකුණු තත්ත්වය 3-1ක් බවට පත්වුණා. එලෙස තියුණු මුහුණුවරක් ගත් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවාගනිමින් 8 වැනි ඉනිමේ දී සමීර එල්ල කළ පහරෙන් නවීන් සහ සඳුන් ලබාගත් ලකුණු නිසා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 2ක් හිමිවුණා. නමුත් එම වටයේ දී පාකිස්ථානත් ලකුණු 2ක් ලබාගත් නිසා අවසන් වටය ආරම්භ කරන විට ලකුණු තත්ත්වය සටහන් වුණේ 5-3ක් ලෙසින්. ඉන් පසුව අවසන් වටයේ දී පාකිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල සටනක් ලබාදුන්නත් තරගයේ ජය 5-4ක් ලෙසින් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව පිට පිටම දෙවන වරටත් බටහිර  ආසියානු බේස්බෝල් කුසලානය දිනාගත්තා.

ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් මොහොත ( Official sri lanka baseball page)

ඉතාමත් අවම පහසුකම් යටතේ තරග කරමින් ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම පැමිණි මෙම ගමන ඉතාමත් විශිෂ්ඨ යි. විශේෂයෙන්ම ජපානය මුල සිටම ශ්‍රී ලංකාවට ලබාදුන් උපකාර නිසා ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව මෙලෙසින් ජාත්‍යන්තර තලයට ගමන් කළා. එසේම බේස්බෝල් සඳහා ශ්‍රී ලංකාවට තිබෙන්නේ දියගම ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව ක්‍රීඩා පිටිය පමණ යි. නමුත් තිබෙන අවම සම්පත්වලින් උපරිම දස්කම් දක්වන බේස්බෝල් ක්‍රීඩකයන් රටට ගෙනදුන්නේ විශාල ගෞරවයක්. එම නිසාම ඉදිරියේ දී මෙම ක්‍රීඩාවට එක්වන තරුණ ක්‍රීඩකයන්ට සිය රටේ නම ජාත්‍යන්තර තලයේ බැබළවීමට හැකියාව ලැබෙනු ඇති.

කවරයේ ඡායාරූපය - ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ( Official sri lanka baseball page)

විශේෂ ස්තූතිය - චාමර සුමනපාල සහ දමිත ප්‍රසාද් සිල්වා යන සොයුරන්ට 

Related Articles