Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ වමත් අකුණු සැරය මිචෙල් ස්ටාක්

2019 ලෝක කුසලාන තරගාවලිය අවසන් වුණේ ඉතාමත් තියුණු අවසන් සටනකින් පසුව යි. දින 46ක් පුරාවට පැවති තරගාවලිය අවසානයේ දී එංගලන්තය ලෝක ශූරයන් වුණත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග තුළ දැක්වූ දස්කම් විශිෂ්ඨ යි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු වටයේ දී දියත් කළ එම සුපිරි තරග රටාව පිටුපස  සිටි සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙනා අතුරින් මිචෙල් ස්ටාක් ප්‍රධාන චරිතයක්. තරගාවලිය පුරාවටම වමත් වේග පන්දුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන්ගේ කඩුලු සුණුවිසුණු කළ ස්ටාක් තරගාවලිය නිමාකළේ ලෝක කුසලාන වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියේ ලියාගනිමින්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ස්ටාක් 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව කතා කිරීමට යි.

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ වැඩිම කඩුලු ලාභියා ඔහුයි

2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට හිතකර එකක් වුණා. එම නිසාම පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දස්කම් මතුවුණු මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 27ක් දවාගත් ස්ටාක් ලෝක කුසලාන ඉතිහාසය අලුතින් ලියනු ලැබුවා.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබාගත් කඩුලු 5 

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු ඕස්ට්‍රේලියා-කොදෙව් තරගයේ දී කොදෙව්වන්ට ලැබුණු ඉලක්කය 289ක්. ඉතාමත් සාර්ථක අයුරින් එම ඉලක්කය හඹා යමින් සිටි කොදෙව්වන් එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 216ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙතින් ගිලිහී යමින් පැවතුණත් මිචෙල් ස්ටාක් ලකුණු 46කට ලබාගත් කඩුලු 5 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවුණේ ලකුණු 15ක තියුණු ජයක්.

ස්ටාක් කොදෙව්වන්ට එරෙහිව පන්දු යවමින් (gettyimages)

ශ්‍රී ලංකාට එරෙහිව අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුණු ස්ටාක් 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕවල් පිටියේ දී පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 334ක්. ඉන් පසුව ලකුණු 335ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා කුසල් සහ දිමුත් ලකුණු 115ක වේගවත් සබඳතාවයක් ගොඩනැගුවේ ඕස්ට්‍රේලියානුවන් අන්දමන්ද කරමින්. එම අවස්ථාවේ යළි තරගයට අවතීර්ණ වීම සඳහා ඔවුන්ට කඩුල්ලක් අවශ්‍ය වුණු මොහොතේ ක්‍රියාත්මක වුණු ස්ටාක් කුසල් පෙරේරාව ලකුණු 52කට දවාගැනීමට සමත් වුණා. එම කඩුල්ල ලබාගැනීමෙන් පසුව තරගයට අවතීර්ණ වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී පන්දු යැවීමක නිරත වුණු ස්ටාක් අවසානයේ දී ලකුණු 55කට දවාගත් කඩුලු ප්‍රමාණය 4ක්.

ස්ටාක් විසින් කුසල් පෙරේරාව දවාගත් අවස්ථාව  (gettyimages)

ලෝඩ්ස් පිටියේ දී එංගලන්තය අසරණ කළ ස්ටාක් 

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලෝඩ්ස් පිටියේ පැවති තරගයේ දී එංගලන්තයට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය 286ක්. එම ඉලක්කය හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් තර්ජනයක් වුණු ස්ටාක් ලකුණු 43කට දවාගත් කඩුලු ප්‍රමාණය 4ක්. එහිදී රූට්, මෝගන් සහ ස්ටෝක්ස් යන ප්‍රබල එංගලන්ත පිතිකරුවන් තිදෙනා ස්ටාක්ට ගොදුරු වුණා. ඒ අතුරින් ස්ටෝක්ස්ට එල්ල වුණු යෝකර් පන්දුව ප්‍රේක්ෂකයන්ට කලකට අමතක වන එකක් නැහැ.

ස්ටාක් විසින් බෙන් ස්ටෝක්ස්ව දවාගත් අවස්ථාව (gettyimages)

කිවියන්ගේ ඉනිම සුණුවිසුණු කළ ස්ටාක් නැවතත් කඩුලු 5ක් ලබාගනියි 

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලෝඩ්ස් පිටියේ පැවති තරගයේ දී ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම 97/2ක් ලෙසින් ලකුණු ලබාගෙන සිටියා. එම අවස්ථාවේ ස්ටාක් විසින් විලියම්සන්ව දවාගෙන ආරම්භ කළ සුපිරි පන්දු යැවීම අවසන් කළේ ලකුණු 26කට කඩුලු 5ක් දවාගනිමින්. 

ස්ටාක් කිවියන්ට එරෙහිව පන්දු යවමින් (gettyimages)

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරගාවලියක වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ස්ටාක්ට හැකිවුණා 

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට තනි එක්දින ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියේ ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 26ක් දවාගැනීමත් සමගින්. එදා මැග්‍රාත් විසින් පිහිටවූ එම වාර්තාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බිඳ දැමූ ස්ටාක් ලබාගත් කඩුලු ප්‍රමාණය 27ක්. මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ස්ටාක්ගේ පන්දු යැවීමේ දත්තයන් පහත දැක්වේ 

පන්දුවාර – 92.2

නිළකුණු පන්දුවාර – 5

ලකුණු – 502 

කඩුලු – 27

පන්දු යැවීමේ සාමාන්‍ය – 18.59

ප්‍රහාරක වේගය – 20.52

හොඳම පන්දු යැවීම – 26/5 නවසීලන්තයට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 5.44

ස්ටාක් 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින්  (gettyimages)

අෆ්රිඩී සතුව තිබුණු ලෝක කුසලාන වාර්තාවත් සමකළ ස්ටාක් 

තනි  එක්දින ලෝක කුසලාන තරගාවලියක දී තරගයක කඩුලු 4ක්  වැඩිම අවස්ථා ගණනක දී ලබාගත් පන්දු යවන්නා බවට පත්ව සිටියේ පාකිස්ථානයේ ෂහිඩ් අෆ්රිඩි නම් පන්දු යවන්නා යි. 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාව සහ කැනඩාව හමුවේ කඩුලු 5 බැගින් ලබාගත් අෆ්රිඩි ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් හමුවේ කඩුලු 4 බැගින් ලබාගත්තා. එදා අෆ්රිඩි තැබූ එම වාර්තාව සමකළ ස්ටාක් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තය සහ කොදෙව්වන් හමුවේ කඩුලු 5 බැගින් ලබාගන්නා විට එංගලන්තය සහ ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 4 බැගින් ලබාගත්තා.

අෆ්රිඩි 2011 ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින් (gettyimages)

එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක වැඩිම කඩුලු ලාභියා වුණු එකම පන්දු යවන්නා ඔහුයි 

2015 සහ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකේ දීම වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණු මිචෙල් ස්ටාක් එම තරගාවලි ද්විත්වය තුළ දීම හොඳම පන්දු යැවීම නවසීලන්තයට එරෙහිව වාර්තා කළා. ස්ටාක් එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ දැක්වූ මෙම දස්කම සුවිශේෂී එකක් වන්නේ පිට පිටම පැවති ලෝක කුසලාන තරගාවලි 2ක් තුළ එය කිරීම යි. ස්ටාක් 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව දත්ත පහත දැක්වේ.

පන්දුවාර – 63.5

නිළකුණු පන්දුවාර – 3

ලකුණු – 224 

කඩුලු – 22

පන්දු යැවීමේ සාමාන්‍ය – 10.18

ප්‍රහාරක වේගය – 17.41

හොඳම පන්දු යැවීම – 28/6 නවසීලන්තයට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 3.51

ස්ටාක් 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින්  (gettyimages)

දැනට 29 හැවිරිදි වියේ පසුවන මිචෙල් ස්ටාක් එක්දින ලෝක කුසලාන තරග 18ක දී දවාගෙන ඇති කඩුලු ප්‍රමාණය 49ක්. ඔහු ක්‍රීඩාකළ එක්දින ලෝක කුසලාන තරගාවලි දෙක තුළ සුපිරි දස්කම් දැක්වූ ස්ටාක් තවත් එක්දින ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළොත් මැග්‍රාත්ගේ කඩුලු 71ක වාර්තාව අභිබවා යාමට හැකිවනු ඇති. යම් දිනක ස්ටාක් එම වාර්තාව ඔහුගේ නම් ඉදිරියෙන් සටහන් කරගනු ලැබුවොත් එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි වීරයන් අතරට ඔහුගේ නමත් එක්වීම කිසිවෙකුට වැලැක්විය නොහැකියි.

කවරයේ ඡායාරූපය- ස්ටාක් 2019 තරගාවලිය තුළ කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

Related Articles