Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාව 20/20 ලෝක කුසලාන තරගාවලියෙන් විසිවෙන ලකුණු

2021 ICC 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග රැසක් මේ වන විට අවසන්. එම තරගවල දී ඉහළ දස්කම් පෑ පාකිස්තානය සහ එංගලන්තය මේ වන විට අවසන් පූර්ව වටය පෙනෙන තෙක් මානයේ සිටිනවා. ඒ අතරතුර සෙසු කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල සටනක නිරතවෙමින් සිටිනවා. එවැනි වටපිටාවක නිමා වුණු සතියේ 20/20 ලෝක කුසලාන

එංගලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණ ගනියි 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ කාගේත් අවධානය යොමු ව තිබෙන්නේ පළමු කාණ්ඩය දෙසට යි. ඒ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන ප්‍රබල කණ්ඩායම් සියල්ල එම කාණ්ඩයට ඇතුළත් ව සිටින නිසා යි. ගෙවුණු සතියේ දී පළමු කාණ්ඩය යටතේ තරග 6ක් පැවැත්වුණා. එම තරග පැවති ආකාරය පිළිබඳ පහතින් දක්වා තිබෙනවා. 

ලුවිස්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව (දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්)

තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහරදුන් කොදෙව්වන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 143ක් පමණ යි. එහි දී කොදෙව් ඉනිම වර්ණවත් කළ එවින් ලුවිස් පන්දු 35කින් හයේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

 

එහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ  ඩ්වේන් ප්‍රිටෝරියස් ලකුණු 17කට කඩුලු 3ක් ද, කේශව් මහරාජ් ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තා. ඉන් අනතුරු ව ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම පසුකර ගියා.

එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඒඩන් මාක්‍රම් පන්දු 26කින් නොදැවී ලකුණු 51ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් වෑන් ඩර් ඩූසන් නොදැවී ලකුණු 43ක් ලබාගත්තා. 

තරගයේ වීරයා- අන්රිච් නොකියා (14/1- පන්දුවාර 4)

මාක්‍රම්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

බංග්ලාදේශය සහ එංගලන්තය (එංගලන්තයට කඩුලු 8ක ජයක්)

බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වුණු මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන මුලින් ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 124ක් පමණ යි. එහි දී කිසිදු බංග්ලාදේශ පිතිකරුවකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකිවුණේ නැහැ.

එම ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් තයිමාල් මිල්ස් කඩුලු 3ක් දවා ගනිද්දී අලී සහ ලිවින්ග්ස්ටෝන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 14.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගත්තා. එහි දී ජේසන් රෝයි පන්දු 38කින් ලකුණු 61ක් ලබාගෙන සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා.

තරගයේ වීරයා- ජේසන් රෝයි 

ජේසන් රෝයිගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්)

ඩුබායි පිටියේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණු මෙම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක් අවස්ථාවක කඩුලු 1ක් දැවී ලකුණු 78ක් සමඟ ප්‍රබල තත්ත්වයකට පත් ව සිටියා.

ඉන් අනතුරුව එක පිට එක කඩුලු බිඳ වැටුණු නිසා ශ්‍රී ලංකා ඉනිම 154/6 ලෙසින් නිමාව දුටුවා. එහි දී චරිත් අසලංක සහ කුසල් පෙරේරා ලකුණු 35 බැගින් ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරද්දී සැම්පා, ස්ටාක් සහ කමින්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

සැම්පා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් – gettyimages.com

 

ඉන් අනතුරුව ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් ඇතුළත කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය වෙත ගියා.

එම ඉනිමේ දී ඩේවිඩ් වෝනර්ගේ පිත්තෙන් අගනා ලකුණු 65ක් වාර්තා වෙද්දී ෆින්ච් වේගවත් ලකුණු 37ක් ලබා ගත්තා. එහි දී පන්දුවෙන් දස්කම් පෑ හසරංග ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ වීරයා- ඇඩම් සැම්පා (12/2- පන්දුවාර 4)

වෝනර්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් (කොදෙව්වන්ට ලකුණු 3ක ජයක්) 

මෙම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 142ක් පමණ යි. එහි දී නිකල්ස් පූරන් ලකුණු 40ක් ද, චේස් ලකුණු 39ක් ද ලබා ගෙන කොදෙව් ඉනිම ශක්තිමත් කරද්දී, මහෙදි, මුස්ටෆිසුර් සහ ෂොරිෆුල් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 139ක් පමණ යි. ඒ අනුව තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 3ක තියුණු ජයක් හිමි වුණා

තරගයේ වීරයා- නිකල්ස් පූරන් (40- පන්දු 22)

පූරන්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව (දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්)

සාජා පිටියේ දී දිවා තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනාම දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ පැතුම් නිස්සංක පන්දු 58කින් අගනා ලකුණු 72ක් වාර්තා කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂම්සි සහ ප්‍රිටෝරියස් ලකුණු 17/3 බැගින් ලබා ගනිද්දී නොකියා ලකුණු 27කට කඩුලු 2ක් බිඳ දැමුවා. 

ෂම්සි පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසු වුණා. එහි දී වනිඳු හසරංග දක්ෂ ලෙස පන්දු යවමින් මාක්‍රම්, බවුමා සහ ප්‍රිටෝරියස් යන පිතිකරුවන් දවාගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා.

එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු තෙවන කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිදු කළ දක්ෂ පන්දු යැවීම නිසා 19 වන පන්දුවාර නිමා වෙද්දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 128/6 ලෙසින් සටහන් වුණා. 

වනිඳු කඩුලු ත්‍රිත්වය දවාගත් අවස්ථාව  – gettyimages.com

 

ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේ දී ලකුණු 15ක් අවශ්‍ය වුණා. එම තීරණාත්මක මොහොතේ ළහිරු කුමාර හමුවේ දක්ෂ පිතිහරඹයක නිරත වුණු ඩේවිඩ් මිලර් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

තරගයේ වීරයා- ටබ්‍රේස් ෂම්සි (17/3- පන්දුවාර 4)

ජෝර්ඩන් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය (එංගලන්තයට කඩුලු 8ක ජයක්)

බොහෝ දෙනකු මෙම තරගයේ දී  කරට කර සටනක් බලාපොරොත්තු වුණා. කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 ඇතුළත සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 125ක් පමණ යි.

එහි දී ඇරොන් ෆින්ච්ගේ පිත්තෙන් ලකුණු 44ක් වාර්තා වෙද්දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව වෝක්ස් සහ මිල්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 126ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 11.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී තරගය ජයග්‍රහණය කළා. එම ඉනිමේ දී වේගවත් පිති හරඹයක නිරත වුණු ජෝස් බට්ලර් පන්දු 32කින් හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තා. 

තරගයේ වීරයා- ක්‍රිස් ජෝර්ඩන් (17/3- පන්දුවාර 4)

බට්ලර්ගේ ඉනිමේ අවස්ථාවක් –  gettyimages.com

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය (එංගලන්තයට ලකුණු 26ක ජයක්)

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින් ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ම ලකුණු 35ක් තුළ බිඳ වැටුණා.

ඉන් පසුව ප්‍රබල පිතිහරඹයක් ඇරඹූ ජෝස් බට්ලර් හයේ පහර 6ක් සමඟින් පන්දු 67කින් නොදැවී ලබා ගත් ලකුණු 101 හේතුවෙන් එංගලන්ත ඉනිම 163/4 ලෙසින් නිමාව දුටුවා. එය මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තා වුණු මුල් ම ශතකය ලෙසින් සටහන් වුණා. එහි දී ඔහු ඉනිමේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් සිය මංගල 20/20 ශතකය සම්පූර්ණ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

බට්ලර් ශතකය ලබාගත් මොහොත – –  gettyimages.com

 

ඒ අයුරින් බට්ලර් එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වද්දී වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 21කට කඩුලු 3ක් බිඳ දැමුවා. එහි දී වනිඳු සිය 20/20 තරග දිවියේ 50 වන කඩුල්ල ලෙසින් එංගලන්ත නායක ඔයින් මෝගන් දවා ගත්තා.

වනිඳුට එම කඩඉමට ළඟා වීම සඳහා 20/20 ඉනිම් 30ක් වැය වී තිබුණා. ඒ අනුව අජන්ත මෙන්ඩිස්ට පසුව අඩුම 20/20 ඉනිම් ප්‍රමාණය දී කඩුලු 50 කඩඉමට ළඟා වුණු ශ්‍රී ලාංකීය පන්දු යවන්නා ලෙසින්වාර්තා අතරට  වනිඳු එක් වුණා.

වනිඳු හසරංග –  gettyimages.com

 

ඉන් පසුව ලකුණු 164ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 137ක් පමණ යි. එක්තරා අවස්ථාවක ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්තයට ප්‍රබල සටනක් ලබාදෙමින් සිටියා.එංගලන්ත පන්දු යවන්නන්ගේ උපක්‍රම හමුවේ ඔවුන්ට අවසානයේ පසුබසින්නට සිදුවුණා. ඒ අයුරින් ශ්‍රී ලංකාව ලද පරාජයත් සමඟින් ඔවුන්ට අවසන් පූර්ව වටයට යාමට තිබුණු වරම අහිමි වුණා. 

තරගයේ වීරයා- ජෝස් බට්ලර් (101*- පන්දු 67)

 පාකිස්ථානය දෙවන කාණ්ඩයේ පෙරමුණට 

සුපිරි 12 තරග වටයේ දෙවන කාණ්ඩයේ සටන පවතින්නේ පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව යන කණ්ඩායම් අතරේ යි. එහි දී පාකිස්තානය ඔවුන් සහභාගි වුණු තරග 3 ම ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා. ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය තරග 2 බැගින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහාත් ප්‍රබල සටනක නිරත වෙමින් සිටිනවා. ඒ අතරතුර මෙම කාණ්ඩයේ සිටි වඩාත් ප්‍රබල කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ඔවුන් සහභාගි වුණු තරග 2 ම පරාජයට පත් වී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සිහිනය බොඳ කර ගෙන තිබෙනවා. ඒ අයුරින් ප්‍රතිඵල සටහන් වුණු 2 වන කාණ්ඩය යටතේ නිමා වුණු සතියේ තරග පැවැත්වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

මුජීබ් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

ඇෆ්ගනිස්තානයේ සහ ස්කොට්ලන්තය (ඇෆ්ගනිස්තානයට ලකුණු 130ක ජයක්)

සුපිරි 12 තරග වටය යටතේ පැවත්වුණු තරගවලින් වඩාත් ඇල්මැරුණු තරගය බවට පත්වුණේ මෙය යි. මෙම තරගයේ දී මුලින් ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වුණු නජිබුල්ලා සඩ්‍රාන් පන්දු 34කින් වේගවත් ලකුණු 59ක් ලබා ගනිද්දී ගුර්බාස් සහ සසායි පිළිවෙළින් ලකුණු 46ක් සහ 44ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත පිතිකරුවන් ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා. එනිසා පන්දුවාර 10.2ක් ඇතුළත ස්කොට්ලන්ත ඉනිම ලකුණු 60කට සීමා වුණා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මුජීබ් උර් රහමාන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිද්දී රෂීඩ් ඛාන් ලකුණු 9කට කඩුලු 4ක් දවාගත්තා. 

තරගයේ වීරයා- මුජීබ් උර් රහමාන් (20/5- පන්දුවාර 4)

රවුෆ් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

පාකිස්තානය සහ නවසීලන්තය (පාකිස්තානයට කඩුලු 5ක ජයක්)

මෙම කාණ්ඩය යටතේ පැවති තරගවලින් කාගේත් අවධානය දිනාගත් මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිවුණේ පාකිස්ථානු කණ්ඩායමට යි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගත්තා. එහි දී පාකිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ හැරිස් රවුෆ් ලකුණු 22කට කඩුලු 4ක් දවාගත්තා. ඉන් පසුව ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී තිබිය දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගත්තා. 

තරගයේ වීරයා- හැරිස් රවුෆ් (22/4- පන්දුවාර 4)

ට්‍රම්ප්ලිමන් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

නැමීබියාව සහ ස්කොට්ලන්තය (නැමීබියාවට කඩුලු 4ක ජයක්)

මෙම කාණ්ඩය යටතේ පැවති තරගවලින් අඩුම ප්‍රේක්ෂක අවධානයක් යොමු වුණේ මෙම තරගයට යි. තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 109ක් පමණ යි.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රූබන් ට්‍රම්ප්ලිමන් ලකුණු 17කට කඩුලු 3ක් දවාගත්තා. ඔහු එම කඩුලු 3 ම ඉනිමේ පළමු පන්දුවාරයේ දී දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ලකුණු 110ක පහසු ඉලක්කයක් හඹා ගිය නැමීබියා පිතිකරුවන් පන්දුවාර 19.1 අවසානයේ කඩුලු 6ක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම වෙත ළඟා වුණා. 

තරගයේ වීරයා- රූබන් ට්‍රම්ප්ලිමන් (17/3- පන්දුවාර 4)

අසීෆ් සිය කණ්ඩායම  ජයග්‍රහණය කරා රැගෙන ගිය මොහොත- gettyimages.com

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය (පාකිස්තානයට කඩුලු 5ක ජයක්)

දෙවන කාණ්ඩයේ තරගවලින් කාගේත් අවධානය දිනා ගත් මෙම තීරණාත්මක තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහරදුන් මොහොමඩ් නබී සහ ගුල්බඩීන් නායිබ් ලකුණු 35 බැගින් ලබා ගත්තා.

පාකිස්තානය වෙනුවෙන් ඉමාඩ් වසීම් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18ක් අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 123ක් ලබා ගෙන සිටියා. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12දී ලකුණු 25ක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ දී කරීම් ජනට් යැවූ පන්දු වාරයේ දී හයේ පහර 4ක් එල්ල කළ අසීෆ් අලී සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා.

තරගයේ වීරයා- අසීෆ් අලී (25*- පන්දු 7)

නවීන් උල් හක් සිය සම්මානය ඇෆ්ගන්ට ලබාදුන් අවස්ථාව (gettyimages)

ඇෆ්ගනිස්තානය සහ නැමීබියාව (ඇෆ්ගනිස්තානයට ලකුණු 62ක ජයක්)

මෙම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා. එහි දී මොහොමඩ් ෂසාඩ් ලකුණු 45ක් ලබා ගනිද්දී නබීගේ පිත්තෙන් පන්දු 17ක දී වේගවත් ලකුණු 32ක් වාර්තා වුණා. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නැමීබියාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 98ක් පමණ යි.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු හමීඩ් හසන් සහ නවීන් උල් හක් කඩුලු 3 බැගින් බිඳ දැමුවා. එම තරගයේ දී තරගයේ වීරයා සම්මානය දිනා ගත් නවීන් උල් හක් සිය සම්මානය එදින 20/20 පිටියෙන් සමු ගත් අෂ්ගාර් ඇෆ්ගන් වෙත පිරිනැමීම අමතක නොවන සිදුවීමක් වුණා.

තරගයේ වීරයා- නවීන් උල් හක් (26/3- පන්දුවාර- 4)

සෝඩි ඉන්දීය නායක කෝලිව දවාගත් අවස්ථාව (gettyimages)

නවසීලන්තය සහ ඉන්දියාව (නවසීලන්තයට කඩුලු 8ක ජයක්)

දෙවන කාණ්ඩය යටතේ පැවති තවත් තීරණාත්මක තරගයක් වුණු මෙහි ජයග්‍රහණය ඉන්දියාවට ඉතාමත් වැදගත් වුණා. තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායමට  නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 110ක් පමණ යි. එහි දී ඉන්දීය ඉනිම අඩපණ කළ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිද්දී ඉෂ් සෝඩි ලකුණු 17කට කඩුලු 2ක් බිඳ දැමුවා. 

ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 14.3ක් ඇතුළත කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම වෙත පැමිණියා. එහි දී ඩාර්ලි මිචෙල් අගනා ලකුණු 49ක් වාර්තා කළා. ඊට අමතර ව නායක විලියම්සන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා. ඉන්දියාවට උරුම වුණු පරාජය හේතුවෙන් ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි වීමේ ලකුණු පෙන්නුම් කරනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ඉන්දියාවේ ඉරණම කෙසේ විසඳෙනු ඇත්දැයි අපි බලා සිටිමු.

තරගයේ වීරයා- ඉෂ් සෝඩි (17/2- පන්දුවාර 4)

කවරයේ ඡායාරූපය- ඉන්දියානුවන් සිය දෙවන පරාජය ලැබීමෙන් පසුව - gettyimages.com

මූලාශ්‍ර- espncricinfo.com

t20worldcup.com

Related Articles