Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමේ ශක්තිය

ජූනි 14 වැනිදා ආරම්භ වන 21 වැනි පාපන්දු ලෝක කුසලානයට ලොව නන් දෙසින් ඉතා ප්‍රබල කණ්ඩායම් සහභාගී වෙයි. ඒ අතරින් මෙවර ලෝක කුසලානයට සහභාගී වන තවත් එක් ප්‍රබල කණ්ඩායමකි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද අපි ගෙන එන්නේ යුරෝපා ශූරයින් වන පෘතුගාල කණ්ඩායම පිළිබඳවයි. මෙයට පෙර බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය සහ ආර්ජෙන්ටිනාව පිලිබඳ ලිපි ඔබත් සමඟින් බෙදාහදා ගතිමු. ප්‍රථමයෙන්ම පෘතුගාලය මීට පෙර පැවති ලෝක කුසලාන වලදී දක්වා තිබෙන දකෂතා පිලිබඳ අවධානය යොමු කරමු.

අතීතයේ දක්ෂතා

“2006 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලුයිස් ෆිගෝ” (tarafdari.com)

පෘතුගාල කණ්ඩායම පළමු වරට පාපන්දු තරඟයකට ක්‍රීඩා කර තිබෙන්නේ ස්පාඤ්ඤය සමඟින්ය. ඒ 1921 වසරේ දීය. එම තරඟය 3-1 ක් වශයෙන් ජයගෙන තිබෙන්නේ ස්පාඤ්ඤයයි.

පෘතුගාල පාපන්දු සංගමය හැඳින්වෙන්නේ Portuguese Football Federation නමින්ය.

පෘතුගාලය ප්‍රථම වරට ලෝක කුසලාංයකට සහභාගී වී තිබෙන්නේ 1966 වසරේදී ය.

මේ වනතෙක් එකදු පාපන්දු ලෝක කුසලානයක හෝ සත්කාරකත්වය පෘතුගාලය විසින් දරා නොමැත.

මේ දක්වා පැවත්වී තිබෙන ලෝක කුසලාන තරඟාවලි 20 අතුරින් තරඟාවලි 6 ට පමණක් පෘතුගාලය සුදුසුකම් ලබා තිබේ.

1966 ලෝක කුසලානයේ දී තෙවැනි ස්ථානය ද 2006 ලෝක කුසලානයේ දී සිව්වැනි ස්ථානයද හිමිකරගැනීම පෘතුගාලය මේ දක්වා ලෝක කුසලානය වලදී ප්‍රදර්ශනය කර තිබෙන හොඳම දක්ෂතා ලෙසින් හැඳින්විය හැක.

මේ දක්වා ලෝක කුසලාන තරඟ 26 ට ක්‍රීඩා කර තිබෙන පෘතුගාලය ඉන් තරඟ 13 ක ජය හිමිකරගැනීමට සමත්වී ඇත.

එම තරඟ 26 දී පෘතුගාලය වාර්තා කර තිබෙන ගෝල සංඛ්‍යාව 43 කි.

1966 ලෝක කුසලානයේ දී වැඩිම ගෝල වාර්තා කර තිබෙන්නේ පෘතුගාලයේ යූසෙබියෝ ය.

පෘතුගාලය වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වන්නේ ද යූසෙබියෝ ය. ඒ ගෝල 9 කි. 1966 ලෝක කුසලානයේ දී ඔහු විසින් එම ගෝල 9 ම රැස් කර ඇත.

පෘතුගාලය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඒ තරඟ 13 කි. එයට අමතරව සිමාවෝ තරඟ 11 ට සහභාගී වී තිබේ.

සුදුසුකම් ලබාගත් ආකාරය

“අන්ද්‍රේ සිල්වා” (givemesport.com)

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා පෘතුගාලය සුදුසුකම් ලබාගත්තේ යුරෝපීය කලාපයෙනි. එහි B කාණ්ඩයෙන් තරඟ වැදුන පෘතුගාලය B කාණ්ඩයේ පෙරමුණ හිමිකරගැනීමට සමත්විය. සුදුසුකම් ලැබීමේ වටයේ දී තරඟ 10 ක ක්‍රීඩා කල පෘතුගාලය ඉන් තරඟ 9 කම ජයගැනීමට සමත්විය. එම තරඟ වලදී ගෝල 32 ක් ලබාගැනීමට ද පෘතුගාලයට හැකිවිය. සුදුසුකම් ලැබීමේ තරඟ වලදී පෘතුගාලය වෙනුවෙන් දස්කම් දැක්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 15 ක් ලබාගත්තේ සමස්ත යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරඟාවල දෙවැනි වැඩිම ගෝල ලාභියා බවට පත්වෙමිනි. ඔහුට අමතරව 22 හැවිරිදි අන්ද්‍රේ සිල්වා ගෝල 9 ක් ලබාගැනීමට ද සමත්වූයේය.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන පෘතුගාල කණ්ඩායම

පෘතුගාලයේ පුහුණුකරු ෆර්නැන්ඩෝ සැන්ටොස් විසින් මීට දින කිහිපයකට පෙර මෙවර ලෝක කුසලානයට සහභාගී වන පෘතුගාල සංචිතය නම් කලේය. එම සංචිතයට නමගිය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුලත්වී නොතිබීම විශේෂත්වයකි. බාර්සිලෝනා කණ්ඩායමේ අන්ද්‍රේ ගෝමෙස් සහ නෙල්සන් සෙමේදෝ, ලාසියෝ කණ්ඩායමේ නානි, 2016 යුරෝ කුසලාන අවසාන මහා තරඟයේ පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත් ලොකෝමෝටිව් මොස්කව් කණ්ඩායමේ එඩර් සහ 2016 යුරෝ කුසලානයේ නැගී ආ තරුවක් වූ, 20 හැවිරිදි, ස්වන්සී සිටි කණ්ඩායමේ රෙනාටෝ සැන්චෙස් මෙවර පෘතුගාල සංචිතයට නම් කර නොමැත.

ඒ අනුව සංචිතයට නම් කර සිටින ක්‍රීඩකයින් 23 දෙනා අතුරින් මෙවර ලෝක කුසලානයේ දී පෘතුගාලය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කළහැකි කණ්ඩායම ඉහත දක්වා ඇත. මෙම ආකාරයේ රූප සටහනක් ඇතුලත් කරන්නේ පාපන්දු උපාය උපක්‍රම පිළිබඳව සහ ක්‍රීඩා පිටියේ ස්ථාන පිළිබඳව දල අදහසක් ලබාදීමට පමණකි. මෙහි සඳහන් යම් යම් කරුණු පුහුණුකරුගේ තීරණ මත වෙනස් විය හැක. අනෙක් අතින් මෙවැනි සටහනක් ඉදිරිපත් කිරීමෙන් ඒ ඒ ස්ථාන වල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිලිබඳ ඔබට හොඳ අවබෝධයක් ද ලබාගත හැක. එය තරඟ නරඹන විට වැදගත් වනු ඇත. මෙයට පෙර සාකච්ඡා කල අනෙකුත් කණ්ඩායම් පිළිබඳව ද මෙවැනි රූප සටහනක් මඟින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ඉදිරිපෙළ

“ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ රිකාර්ඩෝ කරෙස්මා (වමේ) 2016 යුරෝ කුසලානය අතැතිව” (Getty Images)

පෘතුගාලය මෙවර 4-3-3 ආකාරය අනුව ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව ඉදිරිපෙළ CF (Centre Forward) ස්ථානයේ ඒසී මිලාන් කණ්ඩායමේ අන්ද්‍රේ සිල්වා ක්‍රීඩා කරනු ඇත. සිල්වාට අමතරව වැලන්සියා කණ්ඩායමේ ගොන්සාලෝ ගේජස් ද දක්ෂ CF ක්‍රීඩකයෙකි. ඉදිරිපෙල වම් අර්ධයෙහි (Left Wing) ක්‍රීඩා කරනුයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. රොනාල්ඩෝ සිය ජාතික කණ්ඩායම වෙනුවෙන් කවදත් දක්ෂතා දක්වන අතර මෙවරත් පෘතුගාලය ඔහුගෙන් බොහෝ දෑ අපේක්ෂා කරයි. ඉදිරිපෙළ දකුණු පස (Right Wing) ක්‍රීඩා කරනු ලබන්නේ බෙසික්ටාස් කණ්ඩායමේ රිකාඩෝ කරෙස්මාය.

මැදපෙළ

මැදපෙළ CM (Centre Midfield) ස්ථාන දෙක සඳහා හොඳ ක්‍රීඩකයින් හතර දෙනෙකු පෘතුගාලයට සිටී. එම ක්‍රීඩකයින් වන්නේ මොනකෝ කණ්ඩායමේ ජොආඕ මුටීනියෝ, මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ බර්නාඩෝ සිල්වා, වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායමේ ජොආඕ මාරියෝ සහ ලෙස්ටර් සිටි කණ්ඩායමේ අද්‍රියන් සිල්වා ය. මෙම ක්‍රීඩකයින් අතුරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු CM ස්ථාන දෙක සඳහා යොදාගනු ඇත. DM (Defensive Midfield) ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන්නේ ස්පෝර්ටින්ග් කණ්ඩායමේ විලියම් කවාලියෝ ය.

ආරක්ෂක පෙළ

“පෙපේ” (rte.ie)

ආරක්ෂක පෙළ CB (Centre Back) ස්ථාන දෙක සඳහා බෙසික්ටාස් කණ්ඩායමේ පෙපේ සහ ඩාලියන් යිෆෑන් කණ්ඩායමේ හොසේ ෆොන්ටේ ක්‍රීඩා කරනු ඇත. පෙපේ වසර ගණනාවක සිට පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ද  වසර 10 ක් ක්‍රීඩා කලේය. මෙවර පෙපේ හට අති විශාල වගකීමක් පැවරෙනු ඇත. ආරක්ෂක පෙළ අනෙක් ස්ථාන දෙක වන LB (Left Back) සහ RB (Right Back) ස්ථාන දෙක සඳහා පිලිවෙලින් නාපොලි කණ්ඩායමේ මාරියෝ රූයි සහ සවුත්හැම්ටන් කණ්ඩායමේ සෙඩ්‍රික් ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කල හැක.

මෙවර පෘතුගාල කණ්ඩායමේ දැල් රකින්නා වශයෙන් කටයුතු කරන්නේ රූයි පැට්‍රීෂියෝ ය.

මෙවර ලෝක කුසලානයේ පෘතුගාලයේ ගමන් මඟ

“විලියම් කවාලියෝ” (Getty Images)

පසුගිය ලෝක කුසලාන තරඟාවලි ත්‍රිත්වය පිලිබඳ සලකා බැලුවහොත් 2006 වසරේ දී 16 දෙනාගේ වටයේ දී පෘතුගාලයට මුණගැසුනේ නෙදර්ලන්ත කණ්ඩායමයි. (මෙම තරඟය ජයගත්තේ පෘතුගාලයයි. 2006 දී පෘතුගාලය 3 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.) 2010 වසරේ දී මූලික වටයේ දී බ්‍රසීල කණ්ඩායම සමඟත් 16 දෙනාගේ වටයේ දී ස්පාඤ්ඤය සමඟත් තරඟ වැදීමට පෘතුගාලයට සිදුවිය. (මෙහිදී ස්පාඤ්ඤය හමුවේ පරාජය වීමට පෘතුගාලයට සිදුවිය.) 2014 වසරේ දී මූලික වටයේ දී ප්‍රබල ජර්මනිය සිටියේ ද පෘතුගාලය සිටි කාණ්ඩයේමය.

ඒ අනුව පසුගිය ලෝක කුසලාන කිහිපයේ දීම අනෙකුත් කණ්ඩායම් හා සසඳන විට තරඟාවලියේ අවසාන භාගයට පිවිසීමටත් ප්‍රථම ඉතා අපහසු කණ්ඩායම් රැසකට මුහුණදීමට පෘතුගාලයට සිදුවී ඇති බව පැහැදිලිය. ලෝක මට්ටමේ තරඟාවලියකදී මෙවැනි දෑ සාමාන්‍ය සිදුවීම් වූවත් මෙවරද මූලික වටයේ දී ස්පාඤ්ඤය සිටින කාණ්ඩයටම පෘතුගාලයට එක්වීමට සිදුවී තිබේ. මෙවර ස්පාඤ්ඤය සහ පෘතුගාලය B කාණ්ඩය යටතේ තරඟ වදින අතර B කාණ්ඩයේ තිබෙන අනෙකුත් රටවල් දෙක වන්නේ ඉරානය සහ මොරොක්කෝවයි.

කෙසේනමුත් යම්හෙයකින් පෘතුගාලයට අවසාන 16 දෙනාගේ වටයට පිවිසීමට හැකිවේ නම් එහිදී උරුගුවේ දේශය හෝ රුසියාව (හෝ ඊජිප්තුව) මුණගැසෙනු ඇත. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා විශාල අවස්තාවක් පෘතුගාලයට ලැබෙනු ඇත. සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මත විශාල වගකීමක් තිබෙන අතර පෘතුගාල කණ්ඩායමට සහය දක්වන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ඔවුන් මෙවර තරඟාවලියේ දී උපරිම සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Cover – Reuters

Related Articles