Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 ඔලිම්පික් සඳහා ජපානයේ සූදානම්

2020 ගිම්හාන ඔලිම්පික් උළෙල, එහෙම නැත්නම් 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජපානය මේ වන විට ලහි ලහියේ සූදානම් වෙනවා. 2013 වසරේ සැප්තැම්බර මාසයේ දී ආජන්ටිනාවේ පැවති 125 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු හමුවේ දී තමයි තෝකියෝ නුවර 2020 ඔලිම්පික් සඳහා යෝජනා වෙන්නේ.

මෙය 1964 වසරෙන් පසු ජපානයට ගිම්හාන ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකි යි. ඒ වගේම ඔලිම්පික් උළෙලක් දෙවන වතාවටත් පැවැත්වෙන ප්‍රථම ආසියාතික නගරය ලෙස තෝකියෝ හැඳින්වීමට පුළුවන්. ජපානය තුළ මීට පෙර එක් වරක් ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වා ඇති අතර, ශීත ඔලිම්පික් තරගාවලිය දෙවරක් පවත්වා තිබෙනවා. ඒ 1972 වසරේ  Sapporoවල හා 1998 වසරේ Naganoවල යි.  

2018 වසරේ සිට 2022 වසර දක්වා එක දිගට ආසියාවේ ඔලිම්පික් උළෙලවල් තුනක් පැවැත්වීම ද මෙහිදී විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. 2018 වසරේ ශීත ඔලිම්පික් උළෙල දකුණු කොරියාවෙත් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල ජපානයේත්,  2022 ශීත ඔලිම්පික් උළෙල චීනයේ බිජිංවලත් පැවැත්වීමට නියමිත යි.

ජාතින් 206ක් සහභාගී වෙනු ඇති බවට බලාපොරොත්තු තබා ඇති මෙම ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩා 33ක්, තරග අවස්ථා 339ක් හා ක්‍රීඩකයන් 11091 සහභාගිවනු ඇතැයි සඳහන් වෙනවා.

තෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත්ව ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිත යි.

තෝකියෝ නුවර සත්කාරක නගරය ලෙස තෝරා ගැනීම

සත්කාරකත්වය ගැනීම සඳහා ඉදිරිපත් වූ නගර තුන (rojadirecta)

ජපානයේ තෝකියෝ, තුර්කියේ ඉස්තාන්බුල් හා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් යන නගර තුන 2020 ඔලිම්පික් සත්කාරක නගර ලෙස අවසන් ජන්දයට ඉදිරිපත් වෙනවා. 2013 වසරේ සැප්තැම්බර් මාසයේ දී මින් එක් සත්කාරක නගරයක් තේරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආජන්ටිනාවට රැස් වෙනවා. ජන්දය විමසීම වට තුනකින් සිදු වූ අතර එහිදී වැඩිම ජන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ ජපානයේ තෝකියෝ නුවරට යි.

ලහි ලහියේ සුදානම් වීම

ලහි ලහියේ ඉදිවෙන ක්‍රීඩාංගන (International News)

ජපානයට ලැබුණු මෙම අවස්ථාවත් සමඟ තෝකියෝ පාලනාධිකාරිය ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ජපන් යෙන් බිලියන 400ක් වෙන් කරනවා. (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7). ක්‍රීඩා උළෙලේ පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය යටතට හනේදා  හා නරිතා යන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ධාරිතාවය වැඩි කිරීමට ද ජාපන බලධාරීන් තීරණය කරනවා. ඒ සමගම තෝකියෝ දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හා නව මාර්ග එකතු කිරීම ද මේ සඳහා අයත් වෙනවා. ඊට අමතරව ඒ ආශ්‍රිතව ඇති අධිවේගී මාර්ගවල පහසුකම් වැඩි දියුණුවටත් ධාරිතාවය වර්ධනය කිරිමටත් ඔවුන් මේ වන විට ඉතා ඉක්මනින් කටයුතු කරමින් සිටිනවා.

සියලු සංවිධානයේ කිරීමේ කටයුතු භාරව එරට හිටපු අගමැතිවරයේ වන යෝශිරො මොරි පත් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. මෙම ඔලිම්පික් උළෙලේ දී වෙන කිසිදු ඔලිම්පික් උළෙලක භාවිතා නොකළ තරම් නවීන තාක්ෂණය ජපානය විසින් භාවිතා කරනු ඇතැයි පැවසෙනවා. ඔවුන්ගේ තාක්ෂණික සහකරු ලෙස කටයුතු කරන්නේ එරට ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික හා විදුලි සංදේශ සමාගමක් වන NTT DoCoMo ආයතනය යි.

ක්‍රීඩාංගන තෝරා ගැනීම

ප්‍රධාන ක්‍රීඩාංගණය (The Japan Times)

තෝකියෝහි ඔලිම්පික් ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු මීට වසර ගණනාවකට පෙර ආරම්භ කළ අතර, එය 2019 වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක රග්බි ක්‍රීඩා උළෙල සඳහා ද ඔවුන් විසින් මෙය භාවිතා කිරීමට අදහස් කර තිබෙනවා. 2015 වසරේ දී එරට අගමැති ෂින්ෂෝ අබේ නව ජාතික ක්‍රීඩාංගනයක් ඉදිකරන බව පැවසූ අතර එහි කටයුතු ද බොහෝ ප්‍රමාණයක් මේ වන විට අවසන් වී හමාර යි.

විවිධ ක්‍රීඩා ඉසව් සඳහා නගර මධ්‍යයයේ විවිධ වර්ගයේ ක්‍රීඩාංගන 7ක් භාවිතයට ගැනීමට ජපන් රජය මේ වන විට සුදානමින් සිටිනවා. ඉන් විශාලතම ක්‍රීඩාංගනය වන නව ජාතික ක්‍රීඩාංගනය අලුතෙන්ම ඉදිවෙන අතර අනෙක් ඒවා පැවති ක්‍රීඩාංගන ලෙස ද, තවත් කිහිපයක් මේ සඳහා ඉදිකළ තාවකාලික ක්‍රීඩාංගන ලෙස ද නම් කරන්න පුළුවන්. මේවා බොහෝ ප්‍රමාණයක් 1964 ඔලිම්පික් සඳහා භාවිතයට ගත් ඒවා යි.

ඊට අමතරව තවත් ක්‍රීඩාංගන 15ක් නගරයෙන් ඉවත, එනම් තෝකියෝ බොක්ක ප්‍රදේශයෙන් තෝරාගෙන තිබෙනවා. ඒවාගෙන් බොහෝ ප්‍රමාණයක් නවතම ක්‍රීඩාංගන වන අතර මේ වන විට ඒවා ඉදිකෙරෙමින් පවතිනවා.

ඔලිම්පික් ගම්මාන ප්‍රදේශයට ඉතා ඈතින් තවත් ක්‍රීඩාංගන 16ක් ඔලිම්පික් උළෙල සඳහා තෝරාගෙන ඇති අතර ඒවා බොහෝ ප්‍රමාණයක් මීට පෙර භාවිතයට ගත් ක්‍රීඩාංගන යි.

ඔලිම්පික් උළෙලේ සංවිධාන කටයුතු

2020 ඔලිම්පික් සඳහා නිල සුරතලුන් (Tokyo 2020)

මෙම උළෙලේ අරාක්ෂාව සම්බන්ධයෙන් විශාල ආරක්ෂක හමුදා හා පොලිස් භට කණ්ඩාම් යෙදවීමට අපේක්ෂා කෙරෙන අතර මෙම කාල සීමාව තුළ මෙම ප්‍රදේශයට ඩ්‍රෝන යානා යැවීම ජපානය විසින් මේ වන විටත් තහනම් කර තිබෙනවා. උළෙල සාර්ථක කරගැනීමට ස්වේච්ජා සේවයකයන් බදවා ගැනීමට ජපාන ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙන අතර ඒ සඳහා විශාල තරුණ තරුණියන් පිරිසකගේ ප්‍රතිචාර මේ වන විටත් ලැබී තිබෙනවා. ඊට අමතරව මෙහි සන්නාම නාම හා ඔලිම්පික් සුරතල් සතුන් ද ප්‍රදර්ශනය කර අවසන්.

ජපන් ඔලිම්පික් කමිටුවේ විශේෂ තීරණ

ඊ -වෙස්ට්වලින් තැනෙන පදක්කම් (YoungerNation)

ඔලිම්පික් උළෙල සංවිධානය කරන ජපන් ඔලිම්පික් කමිටුව විශේෂ තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. තරගවල දී ජයග්‍රාහී ක්‍රීඩකයන්ට පිරිනැමෙන රන්, රිදී, හා ලෝකඩ යන සියලු පදක්කම්, භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ ප්‍රතිචක්‍රීකරණය කර ලබා ගැනීම එසේ ගත් එක් තීරණයක් ලෙස සඳහන් කළ හැකි යි.

තරග සඳහා සහභාගි වෙන සියලු ක්‍රීඩකයන්ට ලබා දෙන ක්‍රීඩා ඇදුම්, පැරණි ඇදුම් ප්‍රතිචක්‍රීකරණයය කර ලබා ගැනීමට ගත් තීරණයත් තවත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

මෙම ව්‍යාපෘති සඳහා හේතු වී තිබෙන්නේ ජපානය විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2020 වසර වන විට තුන්ගුණයකින් අඩු කිරීමට එරට රජය ගන්නා උත්සාහය නිසා යි.

තවද 2019 ලෝක රග්බි කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙන සියලු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කිරීමට එරට රග්බි පාලක බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ජපානයේ සාමාන්‍ය ජනතාව ශරීරයේ පච්ච කෙටූ පුද්ගලයන්ට බියක් මෙන්ම පිළිකුලක් දක්වන බැවින් පොදු ස්ථානවල ගැවසෙන විට එම පච්චා ආවරණය වන සේ ඇදුමක් ඇඳ සිටිය යුතුය යන ඉල්ලීම යි.

මෙම ඉල්ලීම සඳහා අනෙකුත් රටවලින් සාධනීය පිළිතුරක් ලැබී ඇති අතර ඔලිම්පික් උළෙල සඳහා 2020 දී පැමිණෙන ක්‍රීඩකයන්ගෙන් ද ජපන් රජය මෙවැනි ඉල්ලීමක් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි යි.

කවරයේ පින්තූරය - NPR

මුලශ්‍රයයන් -

tokyo2020.org

engadget.com

bbc.com

japantimes.co.jp

fox2now.com

Related Articles