පාපන්දු පිටියට රතු සහ කහ කාඩ්පත් පැමිණි හැටි

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසින් හඳුන්වනු ලබන පාපන්දු ක්‍රීඩාව සඳහා මුල්ම වරට නීතිරීති පද්ධතියක් හඳුන්වා දුන්නේ 1846 වසරේ දී යි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය විසින් සම්පාදනය කළ එම නීති මාලාව 1863 වසරේ දී සංශෝධනය වුණා. ඉන් වසර 23කට පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මණ්ඩලය විසින් සම්මත නීතිරීති මාලාවක් හඳුන්වා දුන්නා. එම නීතිරීති මාලාව කිසිදු ගැටළුවකින් තොරව දශක ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වුණා. 

නමුත් 1960 දශකය තුළ පැවති පාපන්දු ලෝක කුසලාන තරග 2ක දී ඇතිවුණු අර්බුදකාරී සිදුවීම් දෙකක් නිසා පාපන්දු ක්‍රීඩාවට නවතම අංගයක් එකතු වුණා. ඒ කහ සහ රතු යන දඬුවම් කාඩ්පත් දෙක යි. 

මුල් යුගයේ දී ක්‍රීඩකයන්ට දඬුවම් කළ අයුරු 

වර්තමානය වන විට පාපන්දු තරගයක් අතරතුර වැරදි කරන ක්‍රීඩකයන්ට දඬුවම් ලබාදීම සඳහා කහ සහ රතු කාඩ්පත් භාවිතා කරනවා. නමුත් 1970 දශකය ආරම්භ වීමට පෙර ඒ සඳහා වෙනත් ක්‍රමයක් භාවිතා කළා. එහිදී වරද කළ ක්‍රීඩකයා වෙත යන විනිසුරුවරයා වාචික නියෝගයක් ලබාදෙමින් ඔහුව පිටියෙන් ඉවත් කිරීම සිදුකරනු ලැබුවා. 1960 දශකය ආරම්භ වන තුරුම එම ක්‍රමය කිසිදු ගැටළුවක් නැතිව ක්‍රියාත්මක වුණා. නමුත් 1962 වසරේ චිලී රාජ්‍යයේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී මෙම නීතිය සම්බන්ධව යම් ගැටළුවක් මතු වුණා. 1966 වසරේ එංගලන්තයේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ තරගයක දී යළිත් එවැනි ආකාරයේ ගැටළුවක් ඇති වුණා. එම නිසා මෙම නීතිය සංශෝධනය කිරීමට සිදුවුණා.

දඬුවම් කාඩ්පත් හඳුන්වා දීමට හේතු වුණු සිදුවීම් ද්විත්වය 

1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ගැන කතා කරන විට චිලී සහ ඉතාලිය අතර පැවති තරගය අමතක කරන්නට බැහැ. පසු කලෙක සන්තියාගෝහි සංග්‍රාමය නමින් ප්‍රසිද්ධ වුණු එම තරගය ගැටුම් රැසක් පැවති තරගයක්. 

1962 වසරේ ජූනි 2 වැනිදා 66,000කට අධික නරඹන්නන් පිරිසක් ඉදිරියේ පැවති තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ 8 වැනි විනාඩියේ දී ගියෝජියෝ ෆෙරිනි නම් ඉතාලි ක්‍රීඩකයා ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට අනිසි බලපෑමක් කළා. එය දුටු එංගලන්ත ජාතික කෙනත් ඇස්ටන් වහාම ක්‍රියාත්මක වෙමින් ෆෙරිනිට පිටියෙන් ඉවත් වන ලෙස වාචිකව නියෝග කළා. විනිසුරු ඇස්ටන් ඉංග්‍රීසි බසින් ලබාදුන් එම නියෝගය කුමක්දැ යි වටහාගැනීමට ෆෙරිනිට අපහසු වුණා. ඒ ඔහු ඉතාලි භාෂාව පමණක් දැන සිටි නිසා යි. එදා ෆෙරිනි පිටියෙන් ඉවත් නොවී සිටීම නිසා ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරින්ගේ සහාය ලබාගැනීමට පවා සිදුවුණා. 

ෆෙරිනිව පිටියෙන් ඉවත් කළ අවස්ථාව (Gettyimages)

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී තරග වැදුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම යි. 90,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ වෙම්බ්ලි පිටියේ දී පැවති මෙම තරගය විනිශ්චය කිරීම සඳහා පත්කර තිබුණේ රුඩොල්ෆ් ක්‍රයිට්ලින් නම් බටහිර ජර්මානු විනිසුරුවරයා යි. තරගය ආරම්භ වී විනාඩි 35ක් පමණ ගතවන විට ආජන්ටිනා නායක ඇන්තෝනියෝ රැටින් එංගලන්ත ක්‍රීඩකයෙකුට අනිසි බලපෑමක් සිදුකළා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු විනිසුරු ක්‍රයිට්ලින්, ආජන්ටිනා ක්‍රීඩක රැටින්ට පිටියෙන් ඉවත් වන ලෙස වාචිකව නියෝග කළා. විනිසුරු ක්‍රයිට්ලින් ජර්මන් බසින් පැවසූ දේ රැටින්ට වැටහුණේ නැහැ. එම නිසා ඔහු පිටියෙන් ඉවත් නොවී යම් වේලාවක් රැඳී සිටියා. පසුව ඔහුව පිටියෙන් ඉවත් කළේ නිලධාරීන් කිහිපදෙනකු මැදිහත්වීමෙන්  පසුව යි.

රැටින්ට එරෙහිව නියෝගය ලබාදුන් අවස්ථාව (Gettyimages)

දඬුවම් කාඩ්පත් හඳුන්වාදීම සඳහා සාකච්ඡා පැවැත්වීම 

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයන්ගේ කමිටුවට කෙන් ඇස්ටන් නම් ඉංග්‍රීසි ජාතික විනිසුරුවරයා ද ඇතුළත්ව සිටියා. එංගලන්ත-ආජන්ටිනා තරගයේ දී රැට්න්ව පිටියෙන් ඉවත් කළ අවස්ථාවේ ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඔහු අවධානය යොමු කළා. 1962 පාපන්දු ලෝක කුසලානය යටතේ පැවති චිලී-ඉතාලි තරගයේ දී විනිසුරු ඇස්ටන්ටත් එවැනි අත්දැකීමක් ලැබුණා. එම නිසා අනාගතයේ දී එවැනි ආකාරයේ ගැටළු ඇති නොවීමට නීතියක් සැකසීමට ඔහු කල්පනා කළා. ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවත් කරන විට යම් සම්මත සංඥා ක්‍රමයක් භාවිතා කළ හැකි බව ඇස්ටන්ට අවබෝධ වුණා. එහි දී යම් ක්‍රීඩකයෙකු සිදුකරන වරදක් සඳහා කහ පැහැති කාඩ්පතක් ලබාදීමටත්, යම් වරදක් කර පිටියෙන් ඉවත් කිරීමට නියමිත ක්‍රීඩකයෙකුට රතු කාඩ්පතක් ලබාදීමටත් සුදුසු බව ඔහුගේ මතය වුණා. 

ඇස්ටන්ගේ ක්‍රමය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කළා. ඉන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලධාරින් සහ විනිසුරු ඇස්ටන් එකතුව සිදුකරන ලද සාකච්ඡාවලින් පසුව දඬුවම් කාඩ්පත් ක්‍රමය භාවිතා කිරීම සඳහා අනුමැතිය හිමි වුණා. 

කෙන් ඇස්ටන් (Gettyimages)

1970 පාපන්දු ලෝක කුසලානයේ දී දඬුවම් කාඩ්පත් ක්‍රියාත්මක වෙයි 

දඬුවම් කාඩ්පත් ක්‍රමයේ දී යම් ක්‍රීඩකයෙකුට අනතුරු ඇඟවීම සඳහා කහ කාඩ්පත ප්‍රදර්ශනය කරන අතර, යම් ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවත් කිරීම සඳහා රතු කාඩ්පත ප්‍රදර්ශනය කළා. එසේම කහ කාඩ්පත් දෙකක් ලැබුණු ක්‍රීඩකයෙකුට එරෙහිව රතු කාඩ්පතක් නිකුත් කිරීම සඳහා ද නීතියක් තිබුණා. 

1970 වසරේ මැයි 31 වැනිදා මෙක්සිකෝවේ දී ආරම්භ වුණු 9 වැනි පාපන්දු ලෝක කුසලානයේ සිට ඉහත නීතිරීති ක්‍රියාත්මක වුණා. එම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති සමාරම්භක තරගය සඳහා ක්‍රීඩා කළේ මෙක්සිකෝව සහ සෝවියට් රුසියාව යන කණ්ඩායම් දෙක යි. එහි දී මුලින්ම කහ කාඩ්පතක් ප්‍රදර්ශනය කළේ යෙව්ගිනි ලොෂෙව් නම් සෝවියට් රුසියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයාට එරෙහිව යි. එවර තරගාවලිය තුළ අවස්ථාවන් 58ක දී කහ කාඩ්පත ප්‍රදර්ශනය කළත් කිසිදු අවස්ථාවක දී රතු කාඩ්පතක් ප්‍රදර්ශනය කළේ නැහැ.  

1970 පාපන්දු ලෝක කුසලානයේ දී කහ කාඩ්පතක් ලබාදුන් අවස්ථාවක් (Gettyimages)

1974 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය බටහිර ජර්මනියේ දී පැවැත්වුණා. එදා බටහිර ජර්මනිය සහ චිලී යන කණ්ඩායම් අතර පැවති තරගයක දී කාලෝස් කේස්ලි නම් චිලී මැදපෙළ ක්‍රීඩකයාට එරෙහිව මුල්ම කහ කාඩ්පත ප්‍රදර්ශනය කළේ 13 වැනි විනාඩියේ දී යි. 67 වැනි විනාඩියේ දී ඔහුට යළි කහ කාඩ්පත පෙන්වීමෙන් පසුව රතු කාඩ්පත පෙන්වා සිටියා. ඒ සමගින් රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කළ මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඔහු ඉතිහාසගත වුණා. කෙළින්ම රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කළ මුල්ම ක්‍රීඩකයා බවට පත්වුණේ ජුලියෝ මොන්ටෙරෝ නම් උරුගුවේ ක්‍රීඩකයා යි. එම සිදුවීම වාර්තා වුණේ උරුගුවේ සහ නෙදර්ලන්තය අතර පැවති තරගයක දී යි. 

1974 තරගාවලියේ දී බ්‍රසීල ක්‍රීඩක ලුයිස් පෙරෙයිරාට රතු කාඩ්පතක් ලැබුණු අවස්ථාව (Gettyimages)

වැඩිම කාඩ්පත් ප්‍රමාණයක් හිමිවුණු ක්‍රීඩකයන් 

පාපන්දු තරග ඉතිහාසයේ වැඩිම කහ කාඩ්පතක් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින්නේ සර්ජියෝ රාමෝස් නම් ස්පාඤ්ඤ ක්‍රීඩකයා යි. එසේම වැඩිම රතු කාඩ්පත් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින්නේ ජෙරාර්ඩෝ බෙඩෝයා නම් කොළොම්බියානු ක්‍රීඩකයා යි. පහත දක්වා තිබෙන්නේ වර්තමානය වන විට වැඩිම කහ සහ රතු කාඩ්පත් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින ක්‍රීඩකයන්.

*වැඩිම කහ කාඩ්පත් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් 

1) සර්ජියෝ රාමෝස් (ස්පාඤ්ඤය)- 259

2) ජෙරාඩෝ ටොරාඩෝ (මෙක්සිකෝව)- 228

3) ඩැනී අල්වෙස් (බ්‍රසීලය)- 210

4) සබී අලොන්සෝ (ස්පාඤ්ඤය)- 197

5) ඩැනියෙලේ කොන්ටි (ඉතාලිය)- 190

සර්ජියෝ රාමෝස් (Gettyimages)

*වැඩිම රතු කාඩ්පත් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් 

1) ජෙරාර්ඩෝ බෙඩෝයා (කොළොම්බියාව)- 46

2) සිරිල් රූල් (ප්‍රංශය)- 27

3) සර්ජියෝ රාමෝස් (ස්පාඤ්ඤය)- 26

4) ඇලෙක්සිස් ඩෙල්ගාඩෝ (ස්පාඤ්ඤය)- 22

5) පාවුලෝ මොන්ටෙරෝ (උරුගුවේ)- 21

ජෙරාර්ඩෝ බෙඩෝයා (Gettyimages)

කවරයේ ඡායාරූපය- 1998 ලෝක කුසලාන තරගාවලියේ දී බෙකම්ට රතු කාඩ්පතක් ලබාදුන් අවස්ථාව (Gettyimages)

මූලාශ්‍රයයන්- ken aston inventor of the red and yellow cards- fifa.com

Related Articles