Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් ලැබූ අවාසනාවන්තයෝ

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් වනවා. නමුත්, එලෙස අසීරුවෙන් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩකයෙකු එහි දී රතු කාඩ්පතක් ලබා ගතහොත් එය ඔහුගේ පාපන්දු දිවියේ අඳුරු මතක සටහනක් වනවා. එසේ නම් මේ ලිපිය වෙන්වන්නේ, පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් ලබාගත් අවාසනාවන්ත ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබඳව යි.

පෙඩ්‍රෝ මොන්සෝන් (ආජන්ටිනාව)- 1990 පාපන්දු ලෝක කුසලානය 

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය සහ ආජන්ටිනාව යි. එම තරගයේ පළමු භාගයේ දී දෙපිලම කරට කර තරග වැදුණු නිසා කිසිදු ගෝලයක් වාර්තා වුණේ නැහැ. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී තරගය වඩාත් තියුණු අතට හැරුණා. එහි දී බටහිර ජර්මානු ප්‍රහාරක ක්‍රීඩක ජර්ගන් ක්ලින්ස්මාන්, පන්දුව රැගෙන ආජන්ටිනා දැල දෙසට පැමිණෙන්නට වුණා. එලෙස ආජන්ටිනා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණු අවස්ථාවේ දී ආජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩක පෙඩ්‍රෝ මොන්සෝන්, බටහිර ජර්මානු ක්‍රීඩක ජර්ගන් ක්ලින්ස්මාන්ට අනිසි බලපෑමක් කරනු ලැබුවා. ඒ අනුව විනිසුරුවරයා කිසිදු පැකිළීමකින් තොරව මොන්සෝන්ට රතු කාඩ්පතක් ලබාදුන්නා. එහි දී මොන්සෝන් පාපන්දු ලෝක කුසලාන තරගයක දී රතු කාඩ්පතක් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එකතු වුණා.

මොන්සෝන්ට රතු කාඩ්පත ලැබුණු අවස්ථාව (gettyimages)

ගුස්ටාවෝ ඩෙසොට්ටි (ආජන්ටිනාව)- 1990 පාපන්දු ලෝක කුසලානය  

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බටහිර ජර්මානු-ආජන්ටිනා අවසන් තරගයේ 85 වැනි විනාඩියේ දී බටහිර ජර්මනිය ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එම ගෝලය වාර්තා වීමත් සමගම ආජන්ටිනා ක්‍රීඩකයන් කලහකාරී තරග රටාවක නිරත වුණා. එහි දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ගුස්ටාවෝ ඩෙසොට්ටි විසින් ජර්මානු ක්‍රීඩක ජර්ගන් කෝලර්ව බිමට ඇඳ දැමීම නිසා ඩෙසොට්ටිට රතු කාඩ්පතක් ලැබුණා. ඒ අනුව ක්‍රීඩකයන් දෙදෙනෙකුට රතු කාඩ්පත් 2ක් ලැබුණු එකම පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය ලෙසින් 1990 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය වාර්තා අතරට එකතු වුණා.

ඩෙසොට්ටිට රතු කාඩ්පත ලැබුණු අවස්ථාව (gettyimages)

මාර්සෙල් ඩේසායිලි (ප්‍රංශය)- 1998 පාපන්දු ලෝක කුසලානය 

1998 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ ප්‍රංශය යි. එම තරගයේ පළමු භාගය තුළ දක්ෂ තරග රටාවක නිරත වුණු සිනෙඩීන් සිඩෑන්, ගෝල 2ක් වාර්තා කළා. ඉන් අනතුරුව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ 48 වැනි විනාඩියේ දී ප්‍රංශ ආරක්ෂක පෙළ ක්‍රීඩක මාර්සෙල් ඩේසායිලි විසින් බ්‍රසීල ආරක්ෂක පෙළ ක්‍රීඩක කැෆූට සිදුකළ අනිසි බලපෑම නිසා ඩේසායිලිට කහ කාඩ්පතක් ලැබුණා. එම සිදුවීමෙන් විනාඩි 20කට පසුව නැවතත් ඩේසායිලි විසින් කැෆූට අනිසි බලපෑමක් සිදුකළා. ඒ අනුව තරගයේ 68 වැනි විනාඩියේ දී ඩේසායිලිට නැවතත් කහ කාඩ්පතක් ලැබුණා. පාපන්දු ක්‍රීඩාවේ නීතිවලට අනුව ක්‍රීඩකයෙකුට කහ කාඩ්පත් 2ක් ලැබුණු පසුව ඔහුට රතු කාඩ්පතක් ලැබෙනවා. ඒ අනුව ඩේසායිලි තරගයේ 68 වැනි විනාඩියේ දී පිටියෙන් ඉවත් වුණේ රතු කාඩ්පතක් ලැබීම නිසා යි. 

 ඩේසායිලි අනිසි බලපෑම කළ අවස්ථාව (gettyimages)

සිනේඩින් සිඩෑන් (ප්‍රංශය)- 2006 පාපන්දු ලෝක කුසලානය 

2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ප්‍රංශය සහ ඉතාලිය අතර යි. එවර අවසන් තරගයේ 7 වැනි විනාඩියේ දී සිඩෑන්, ප්‍රංශය වෙනුවෙන් මුල්ම ගෝලය වාර්තා කළා. ඉන් අනතුරුව 19 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු ඉතාලි ආරක්ෂක පෙළ ක්‍රීඩක මාර්කෝ මටරස්සි, ඉතාලිය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එලෙස තරගයේ ගෝල තත්ත්වය සම වීමෙන් පසුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළා. නමුත්, නියමිත විනාඩි 90 තුළ දෙපිලටම ගෝල ලබාගැනීමට හැකි වුණේ නැහැ. ඉන්පසුව ආරම්භ වුණු අතිරේක කාලයේ දී සිඩෑන් සහ මටරස්සි අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. එහි දී දැඩි කෝපයට පත් වුණු සිඩෑන්, ප්‍රතිවාදී ක්‍රීඩක මටරස්සිගේ පපුවට හිසින් පහර දුන්නා. එලෙස සිඩෑන් එල්ල කළ පහරත් සමගම ඔහුට රතු කාඩ්පතක් ලබාදීමට විනිසුරුවරයා කටයුතු කළා. 

සිඩෑන් රතු කාඩ්පත ලැබීමෙන් පසුව (gettyimages)

ජෝන් හෙයිටින්ගා (නෙදර්ලන්තය)- 2010 පාපන්දු ලෝක කුසලානය 

2010 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤය සහ නෙදර්ලන්ත අතර යි. ඉතාම තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ 57 වැනි විනාඩියේ දී නෙදර්ලන්ත ආරක්ෂක පෙළ ක්‍රීඩක ජෝන් හෙයිටින්ගා, ප්‍රතිවාදී ක්‍රීඩක ඩේවිඩ් විලාට අනිසි බලපෑමක් කළා. ඒ අනුව හෙයිටින්ගාට කහ කාඩ්පතක් ලබාදීමට විනිසුරුවරයා කටයුතු කළා. ඉන් අනතුරුව තරගයේ 109 වැනි විනාඩියේ දී ජෝන් හෙයිටින්ගා, ස්පාඤ්ඤ ක්‍රීඩක ඇන්ඩ්‍රේස් ඉනියෙස්ටාට අනිසි බලපෑමක් කළා. එලෙස හෙයිටින්ගා දෙවන වරටත් සිදුකළ අනිසි බලපෑම නිසා නැවත වරක් කහ කාඩ්පතක් ලැබුණා. පාපන්දු ක්‍රීඩාවේ නීතිවලට අනුව ක්‍රීඩකයෙකුට කහ කාඩ්පත් 2ක් ලැබුණු පසුව ඔහුට රතු කාඩ්පතක් ලැබෙන බව අප ඉහත දීත් සඳහන් කළා ඔබට මතක ඇති. ඒ අනුව හෙයිටින්ගා, තරගයේ 109 වැනි විනාඩියේ දී පිටියෙන් ඉවත් වුණේ රතු කාඩ්පතක් ලැබීම නිසා යි. 

හෙයිටින්ගා රතු කාඩ්පත ලැබීමෙන් පසුව (gettyimages)

කවරයේ ඡායාරූපය- සිඩෑන්, ප්‍රතිවාදී ක්‍රීඩක මටරස්සිට හිසින් පහරදුන් අවස්ථාව (gettyimages)

Related Articles