Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ලෝක කුසලානවල දී රටවල් 2ක් නියෝජනය කළ ක්‍රීඩකයන්

ක්‍රිකට් ලෝක කුසලානයක් නියෝජනය කිරීම ඕනෑම ක්‍රීඩකයෙකු සිය තරග දිවිය තුළ දකින සිහිනයක්. එලෙස සිහින දකින ක්‍රීඩකයෙකුට රටවල් 2ක් වෙනුවෙන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. සිය ක්‍රිකට් තරග දිවිය තුළ එම දුර්ලභ අවස්ථාව හිමි වුණු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සිටිනවා. එම නිසාම මෙම ලිපිය වෙන් වන්නේ ඔවුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

කෙප්ලර් වෙසල්ස් (ඕස්ට්‍රේලියාව/ දකුණු අප්‍රිකාව)

1957 වසරේ දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටේන් නුවර දී උපත ලැබූ කෙප්ලර් වෙසල්ස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට උත්සාහ කළ අවධිය වන විට දකුණු අප්‍රිකාව ක්‍රිකට් තහනමකට හසු වී සිටියා. එම නිසාම කෙප්ලර් වෙසල්ස්, 1983 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යටතේ යි. එහි දී තරග 3කට ක්‍රීඩා කළ වෙසල්ස් ලකුණු 92ක් ලබාගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 76ක් ලබාගනිමින්. එම තරගාවලියෙන් වසර 2කට පසුව එනම්, 1985 වසරේ දී වෙසල්ස් එක්දින පිටියට සමුදුන්නා. නමුත්, 1991 වසරේ දී යළි දකුණු අප්‍රිකානුවන් ක්‍රිකට් පිටියට පිවිසීමත් සමගම වෙසල්ස් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කළා. ඒ අනුව 1992 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වරම හිමි වුණේ මෙම ක්‍රීඩකයාට යි. එම තරගාවලියේ යටතේ පැවති පළමු තරගයේ දී වෙසල්ස්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 81ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම දෛවෝපගත සිදුවීමක් වුණා. එදා දකුණු අප්‍රිකානුවන් අවසන් පූර්ව සටනට රැගෙන යාම සඳහා නායකත්වයෙන් පමණක් නොව පිත්තෙන් ද විශාල මෙහෙයක් කළ වෙසල්ස්, තරගාවලිය තුළ ලකුණු 313ක් ලබාගත්තේ අර්ධ ශතක 3ක් සමගින්.

වෙසල්ස් 1992 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා තරගය ජයගැනීමෙන් පසුව (gettyimages)

ඇන්ඩර්සන් කමින්ස් (බටහිර ඉන්දීය කොදෙව්/ කැනඩාව)

එක්දින ක්‍රිකට් පිටියේ දී පන්දු යවන්නෙකු ලෙසින් දස්කම් දැක්වූ ඇන්ඩර්සන් කමින්ස්, 1992 ලෝක කුසලාන තරගාවලියේ දී නියෝජනය කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. එහි දී තරග 6කට සහභාගි වුණු කමින්ස් කඩුලු 12ක් ලබාගැනීමට සමත් වුණා. එලෙස පන්දුවෙන් දස්කම් දැක්වූ කමින්ස්ගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 33කට ලබාගත් කඩුලු 4 යි. එම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වසර 3ක් එක්දින පිටියේ රැඳී සිටි කමින්ස් 1995 වසරේ දී සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළා. ඉන්පසුව ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි කමින්ස්, යළි කරළියට පැමිණියේ 2007 එක්දින ලෝක කුසලාන සමයේ දී යි. එවකට 40 හැවිරිදි වියේ පසු වුණු කමින්ස්, කැනඩා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා පිවිසුණත් ඔහුට ලබාගැනීමට හැකි වුණේ කඩුලු 2ක් පමණයි.

ඇන්ඩර්සන් කමින්ස් ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

එඩ් ජොයිස් (එංගලන්තය/ අයර්ලන්තය)

1978 වසරේ අයර්ලන්තයේ දී උපත ලැබූ එඩ් ජොයිස්, 2007 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී නියෝජනය කළේ එංගලන්ත කණ්ඩායම යි. එම තරගාවලියේ දී කැනඩාවට සහ කෙන්යාවට එරෙහිව අර්ධ ශතක ලබාගත් ජොයිස්, තරග 5ක් තුළ ලකුණු 152ක් ලබාගැනීමට සමත් වුණා. 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ අසාර්ථක වීමෙන් පසුව ජොයිස්ට එංගලන්ත කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුණු නිසාම ඔහු 2011 වසර වන තෙක් එක්දින පිටියේ දී දක්නට ලැබුණේ නැහැ. නමුත්, 2011 වසරේ සිට සිය මව් රට වුණු අයර්ලන්තය නියෝජනය කළ ජොයිස්, 2011 සහ 2015 එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණා. එම කාල සමය තුළ ලෝක කුසලාන තරග 12කට සහභාගි වුණු ජොයිස්, ලකුණු 422ක් ලබාගත්තේ ශතකයක් සහ අර්ධ ශතක 2ක් ලබාගනිමින්. එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 112 ජොයිස්ගේ ලෝක කුසලාන දිවියේ හොඳම ඉනිම වුණා.

එඩ් ජොයිස් (gettyimages)

ඔයින් මෝර්ගන් (එංගලන්තය/ අයර්ලන්තය)

1986 වසරේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී උපත ලැබූ ඔයින් මෝර්ගන් මුල්මවරට ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කළේ 2007 වසරේ දී යි. එම තරගාවලියේ දී අයර්ලන්තය නියෝජනය කළ මෝගන්ට තරග 9ක් තුළ ලබාගැනීමට හැකි වුණේ ලකුණු 91ක් පමණයි. 2009 වසරේ දී අයර්ලන්ත කණ්ඩායමෙන් ඉවත්ව එංගලන්ත කණ්ඩායමට එක් වුණු මෝගන් එදා සිට පැවති සෑම එක්දින ලෝක කුසලාන තරගාවලියක දී ම එංගලන්තය නියෝජනය කළා. එහි දී මෝර්ගන් ඉනිම් 20ක් තුළ ලකුණු 581ක් ලබාගත්තේ අර්ධ ශතක 3ක් සහ ශතකයක් සමගින්. 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 71කින් ලබාගත් ලකුණු 148 මෝර්ගන්ගේ හොඳම ලෝක කුසලාන ඉනිම ලෙසින් සටහන් වුණා. එම ඉනිමේ දී මෝර්ගන් එල්ල කළ හයේ පහර 17 එක්දින ඉනිමක දී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

 ඔයින් මෝගන් ලකුණු 148ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඩර්ක් නැනස් (නෙදර්ලන්තය/ ඕස්ට්‍රේලියාව)

1976 වසරේ ඕස්ට්‍රේලියාවේ දී උපත ලැබූ ඩර්ක් නැනස්, මුල්මවරට 20/20 ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කළේ 2009 වසරේ දී යි. එවර තරගාවලියේ දී නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ නැනස්ට ලබාගැනීමට හැකි වුණේ කඩුල්ලක් පමණ යි. එම අවදියේ දී ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය නියෝජනය කළ නැනස්, දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව 2010 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ නැනස්, කඩුලු 14 ලබාගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින්. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුණේ බංගලාදේශයට එරෙහිව ලකුණු 18කට ලබාගත් කඩුලු 4 යි.

ඩර්ක් නැනස් (gettyimages)

කවරයේ ඡායාරූපය- කෙප්ලර් වෙසල්ස් 1992 ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

Related Articles