Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙන ‘තුරුම්පු හේරා’

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය මෙහෙවරක් ඉටුකළ රංගන හේරත් තමන් මේ මස 6 වැනි දා එංගලන්තය සමග ගාල්ලේ දී ඇරඹෙන ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව පසුගිය දා නිවේදනය කළා. සිය ක්‍රීඩා දිවියේ මුල් කාලය නිහඬ ලෙස ගෙවා දැමුවත් ලෝකය එදා මෙදා තුර දුටු විශිෂ්ටතම පිටදඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ සේවය ශ්‍රී ලංකාවට අහිමි වූ පසු එම අඩුව සෑහෙන දුරකට පුරවමින් ජයග්‍රහණ රැසක් මෙරටට අත්පත් කර දෙන්නට ඔහු සමත් වුණා. මේ ‘තුරුම්පු හේරා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ ක්‍රීඩා දිවිය දෙසට නැවත හැරී බැලීමක්.

රංගන හේරත්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය සැකෙවින්

skysports.com

රංගන හේරත් වමතින් දඟ පන්දු යවන අතර, අවශ්‍ය විටෙක ලකුණු රැස් කළ හැකි වමත් පිතිකරුවෙකු ලෙස ද ක්‍රියා කරනවා. මේ වන විට ටෙස්ට් තරග 92ක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු බිඳහෙළා ඇති කඩුලු ගණන 430ක්. ඊට ඉනිමක දී කඩුලු 5ක් බිඳ හෙළූ අවස්ථා 34ක් ඇතුළු වන අතර, තරගයක දී කඩුලු 10ක් බිඳ හෙළන ලද අවස්ථා 9ක් සනිටුහන් වෙනවා. මීට අමතර ව පිතිකරුවෙකු වශයෙන් ටෙස්ට් ලකුණු 1680ක් ද රැස් කරගෙන ඇති රංගන, ඒ අතරතුර අර්ධශතක 3ක් ද වාර්ථා කිරීමට සමත් ව තිබෙනවා. රංගන හේරත් සැලකෙන්නේ එදා මෙදා තුර ටෙස්ට් පිටියේ දුටු සාර්ථක ම වමත් පන්දු යවන්නා ලෙස යි.

රංගනගේ දස්කම් වැඩි වශයෙන් දක්නට ලැබුණේ ටෙස්ට් තරගවල දී වුවත්, එක්දින හා ටී20 තරගවල දී ද ඔහු සැලකිය යුතු දස්කම් දක්වා තිබෙනවා. සිය ක්‍රීඩා දිවිය තුළ ඔහු ජාත්‍යන්තර එක්දින කඩුලු 74ක් හා විස්සයි විස්ස කඩුලු 18ක් දඩයම් කර ඇති අතර, 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී නවසීලන්තයට එරෙහිව රංගන හේරත් දියත් කළ විශ්ම කර්ම පන්දු යැවීම නොවන්නට ශ්‍රී ලංකාවට 2014 විස්සයි විස්ස ලෝක ශූරයන් වීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරීමට ඉඩ තිබුණා.

ක්‍රීඩා දිවියේ මූලික අවධිය

cricketique.wordpress.com

1978 වසරේ මාර්තු මස 19 වන දා කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් අධ්‍යාපනය හැදෑරුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් හා කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙනුයි. නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවියට අත්පොත් තැබූ හේරත් මුලින්ම වමත් වේග පන්දු යවන්නෙකුගේ හා වමත් ආරම්භක පිතිකරුවෙකුගේ භූමිකාවන්ට පණ පොවන්නට අදහස් කළා. කෙසේ නමුත් වේගපන්දු යවන්නෙකු වශයෙන් හොඳින් ම සාර්ථක වන්නට ඔහුගේ උස ප්‍රමාණවත් නොවන බැව් පෙනී ගිය නිසා, ඒ වෙනුවට වමත් දඟපන්දු යැවීමට ඔහු හුරු කරවීමට ඔහුගේ පුහුණු කරුවන් තීරණය කරනවා. මින් ඉක්මණින් ම සාර්ථකත්වයට පත්වන රංගනට කුරුණෑගල මලියදේව පිරිමි විදුහලෙන් ඇරයුම් ලැබෙන්නේත් මේ සාර්ථකත්වය නිසා ම යි. ඉතා සාර්ථක පාසල් ක්‍රිකට් සමයයන් කිහිපයක් ම පසු කළ රංගන 1997/ 1998 කාල සීමාවේ දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට බැඳී වෘත්තීමය ක්‍රිකට් ආරම්භ කරන අතර, එහි දී ද සාර්ථක වන නිසා ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විවර වන්නේ 21 වියැති යෞවනයෙකු ව සිටිය දී යි.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ කඩ ඉම්

රංගන හේරත්ට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර වන්නේ 1999 වසරේ යෙදී තිබූ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයේ 2 වන ටෙස්ට් තරගයේ දී යි. කවදත් දඟ පන්දු යවන්නන්ට වාසිදායක ගාලු තණ තීරුවේ මුත්තයියා මුරලිදරන්ගේ සහායක පන්දු යවන්නා ලෙස ඔහුට අවස්ථාව ලැබෙනවා. පළමු ඉනිමේ දී ම සාර්ථකත්වයට පත් වන ඔහු මුත්තයියා මුරලිදරන් හා කරට කර පන්දු යවමින් ලකුණු 97කට කඩුලු 4ක් ලබා ගත්තා. ඔහුට මුලින්ම ගොදුරු වූයේ රිකී පොන්ටින් වන අතර, නායක ස්ටීව් වෝ ද ඔහුගේ ගොදුරක් වීම විශේෂත්වයක්. වර්ෂාවෙන් බැට කෑ තරගයේ ඔස්ට්‍රේලියානුවන්ට දෙවන වර පන්දුවට පහර දීමට අවකාශ නොලැබීම නිසා දෙවන ඉනිමේ දක්ෂතා පෙන්වීමට ඔහුට නොහැකි වෙනවා.

මුරලි (දකුණේ) සහ හේරත්- cricket.com.au

කෙතරම් සාර්ථක වුව ද ශ්‍රී ලංකාවෙන් බිහිවන ඕනෑම දඟ පන්දු යවන්නෙකුට 2000- 2010 වසර අතර කාලයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබුණේ අඩුවෙනුයි. ඒ සෑම විටෙක ම පාහේ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම නිසා යි. මේ අවාසිය රංගන හේරත්ට ද බලපෑ අතර, 2010 වසරේ මුරලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා තුරු ඔහුගේ සෙවනැල්ලට මුවා වී දෙවන දඟ පන්දු යවන්නගේ අවශ්‍යතාවක් ඇති තරගවල පමණක්, එම භූමිකාව නිරූපණය කරමින් සිටින්නට ඔහුට සිදුවුණා. කෙසේ නමුත්, 2010 වසරේ මුරලි ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමත් සමග ශ්‍රී ලංකාවේ දඟ පන්දු බලඇණියේ විශාල හිඩැසක් ඇති වුණා. එය පිරවීමට හේරත්ට අවස්ථාව ලැබුණු අතර, ඔහු එය දෝතින් ම පිළිගත්තා.

හේරත් සිය 500 වන ජාත්‍යන්තර කඩුල්ල සමරමින්- sport360.com

රංගනගේ ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා වූයේ 2014 අගෝස්තු මස 14-18 අතරතුර පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී යි. එහි දී පාකිස්තානු ප්‍රථම ඉනිම සුනුවිසුණු කළ ඔහු, ලකුණු 127කට කඩුලු 9 ක් දවාලනු ලැබුවා. ඔහු දෙවන ඉනිමේ ද කඩුලු 5ක් බිඳ හෙළූ අතර, ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 105කිනුයි.

රංගන හේරත් ටෙස්ට් තරග 5ක දී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති අතර, ඉන් 3ක් ජයගන්නට සමත් ව තිබෙනවා.

2014 ලෝක කුසලානය බේරා දුන් ‘හේරා’

2014 විස්සයි විස්ස ලෝක ශූරයන් වූයේ ශ්‍රී ලංකාව යි. එහි දී ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වූයේ රංගන හේරත් බව විචාරකයින් බොහෝ දෙනා පවසනවා. කෙසේ නමුත් එයට හේතු වූ සිද්ධිය සිදුවූයේ අවසන් තරගයේ දී නොවේ.

2014 මාර්තු මස 31 වෙනි දා චිතගොං හි, නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ලෝක කුසලානයේ දෙවන වටයේ තරගයක් පැවැත්වුණා. මෙය දෙපිලට ම තීරණාත්මක තරගයක් වූයේ මින් ජයග්‍රහණය කරන කණ්ඩායම පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යි.

ඒ වන විට ලොව ප්‍රබලතම විස්සයි විස්ස කණ්ඩායමක් ලෙස හැඳින්වුණු ශ්‍රී ලංකාව මෙය පහසුවෙන් ජයගනු ඇතැ යි මත පළ වූවත්, ඔවුන් අවාසනාවන්ත ලෙස ලකුණු 119කට දැවී යන්නේ නවසීලන්තයට පහසු ජයක පෙරනිමිති පහළ කරමින්. එය සාක්ෂාත් කරමින් පිළිතුරු ඉනිමේ පළමු ඕවර 3 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 18ක් ලබාගන්නට ඔවුන් සමත් වෙනවා.

ශ්‍රී ලංකාව 2014 20-20 ලෝක ශූරයින් ලෙස- espncricinfo.com

සිව්වන ඕවරය ක්‍රියාත්මක කිරීම සඳහා රංගන හේරත් කැඳවීමත් සමග තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන් ම උඩුයටිකුරු වෙනවා. මුරලිදරන් මෙන් අසාමාන්‍ය දඟකැවීමක් නොමැති වුවත්, බුද්ධිය මෙහෙයවමින් පන්දු යැවූ රංගන හේරත්ට නවසීලන්ත පිතිකරුවන් එක එකා ගොදුරු වන්නට පටන් ගන්නවා. අවසානයේ ඔවුන් සියලු දෙනා ලකුණු 60කට දැවී යන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 59ක විශිෂ්ට ජයක් ලබා දෙමිනුයි. මෙහි දී රංගනගේ පන්දු යැවීම ලකුණු 3කට කඩුලු 5ක් ලෙස සටහන් වුණා. අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකාව එය ද ජයගෙන, අවසානයේ ඉන්දියාව පරාජය කරමින් ලෝක කුසලානය ද දිනාගත්තා.

අනාගතය

රංගන හේරත් සමුගන්නේ කඩාවැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නැවත අළු ගසමින් නැගී සිටින්නට වෙර දරන කාලයක යි. කෙසේ නමුත් ඔහුගේ සහායක දිල්රුවන් පෙරේරා හා තරුණ ක්‍රීඩක අකිල ධනංජය ඔහුගේ හිඩැස පිරවීමට සූදානම් ව සිටිනවා. වසර 19ක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රංගන හේරත් ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය දීර්ඝ කාලයක් ක්‍රිකට් වාර්තා පොත්වල රන් අකුරින් ලියැ වී තිබෙනු ඇති.

 

කවරයේ පින්තූරය -srilankamirror.com

Related Articles