Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයට පාර කැපුණු හැටි

වසර හතරකට වරක් ක්‍රියාත්මක වන මහා සැණකෙළියක් බඳු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ දී පසුගිය නොවැම්බර් මස 20 වැනි දා ආරම්භ වුණා. මූලික වටය යටතේ තරග 48 ක් ක්‍රියාත්මක වූ අතර ම එම තරග සියල්ලම මේ වනවිට නිමාව දැක තිබෙනවා. කණ්ඩායම් 32 ක්, කාණ්ඩ 8 ක් යටතේ තරග වැදී, කණ්ඩායම් 16 ක් පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩය

සත්කාර කටාර් රාජ්‍යය සමඟින් ඉක්වදෝරය, නෙදර්ලන්තය සහ සෙනගාලය A කාණ්ඩයෙන් තරග වැදුණා. එහිදී ආරම්භක තරගයෙන් ම කටාර් පරාජයට පත් කරමින් ඉක්වදෝරය ගෝල 2-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තා. එය සත්කාර රටක් ලෝක කුසලානයේ පළමුවන තරගය ම පරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව වීම ද විශේෂත්වයක්.

නෙදර්ලන්තය තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සෙනගාලය සහ කටාර් රාජ්‍යය පරාජයට පත් කළා. තම පළමු තරගය පරාජයට පත් වුවත් සෙනගාලය ඉන් පසුව කටාර් සහ ඉක්වදෝරය පරාජයට පත් කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඉක්වදෝර නායක එනර් වැලෙන්සියා සහ නෙදර්ලන්තයේ කෝඩි ගක්පෝ ගෝල 3 ක් බැගින් ලබා ගත්තා. 

A කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත් නෙදර්ලන්තය – www.draftkingnation.com

එම ප්‍රතිඵලවලට අනුව නෙදර්ලන්තය සහ සෙනගාලය මීළඟ වටයට සුදුසුකම් ලැබුවා. සත්කාරක කටාර් රාජ්‍යය තමන් සහභාගී වූ තරග තුන ම පරාජයට පත් වුණා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී කිසිදු සත්කාර රටක් මීට ප්‍රථමව තමන් සහභාගී වූ සියලු ම තරග පරාජයට පත් වී නෑ. 

තරග ප්‍රතිඵල:

1. කටාර් 0-2 ඉක්වදෝරය (තරගයේ වීරයා ඉක්වදෝරයේ එනර් වැලෙන්සියා)

2. සෙනගාලය 0-2 නෙදර්ලන්තය (තරගයේ වීරයා නෙදර්ලන්තයේ කෝඩි ගක්පෝ)

3. කටාර් 1-3 සෙනගාලය (තරගයේ වීරයා සෙනගාලයේ බොවුලායි ඩියා)

4. නෙදර්ලන්තය 1-1 ඉක්වදෝරය (තරගයේ වීරයා නෙදර්ලන්තයේ ෆ්‍රැන්කි ඩියොන්ග්)

5. ඉක්වදෝරය 1-2 සෙනගාලය (තරගයේ වීරයා සෙනගාලයේ කලිඩු කොවුලිබාලි)

6. කටාර් 0-2 නෙදර්ලන්තය (තරගයේ වීරයා නෙදර්ලන්තයේ ඩේවි ක්ලාසන්)

A කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. නෙදර්ලන්තය3210517
2. සෙනගාලය3201546
3. ඉක්වදෝරය3111434
4. කටාර්3003170
A කාණ්ඩයේ ලකුණු සටහන

B කාණ්ඩය

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වඩාත් වැඩි ඉඩක් සහිත එංගලන්තය සමඟින් ඉරානය, වේල්සය සහ අමෙරිකා එක්සත් ජනපදය B කාණ්ඩයෙන් තරගාවලියට එක් වුණා. තම ආරම්භක තරගයෙන් ම ඉරානය පරාජයට පත් කරමින් ගෝල 6-2 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තය සහ අමෙරිකාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොර ව නිමා වුවද ඔවුන් වේල්සයට එරෙහි ව ජයග්‍රහණය කරමින් අවසන් 16 දෙනාගේ වටයේ ස්ථානය වෙන් කර ගත්තා. 

අපරාජිත ව ම මීළඟ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය – www.sportsleo.com

2018 ලෝක කුසලානය නියෝජනය කිරීමට ද නොහැකි වීමෙන් පසුව ක්‍රීඩා කිරීමට පැමිණි අමෙරිකා එක්සත් ජනපදය තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා. සහභාගී වූ පළමු තරග ද්විත්වය ම ජය පරාජයෙන් තොර ව අවසන් වුවත් තෙවන තරගයේ දී වේල්සය පරාජයට පත් කරමින් අවසන් 16 දෙනාගේ වටයට අමෙරිකාව සුදුසුකම් ලබා ගත්තා. B කාණ්ඩයේ පැවති තරග අතුරින් වේල්සය එක ජයග්‍රහණයක් වත් ලබා ගත්තේ නෑ.

තරග ප්‍රතිඵල:

1. අමෙරිකාව 1-1 වේල්සය (තරගයේ වීරයා වේල්සයේ ගැරත් බේල්)

2. එංගලන්තය 6-2 ඉරානය (තරගයේ වීරයා එංගලන්තයේ බුකායෝ සකා)

3. වේල්සය 0-2 ඉරානය (තරගයේ වීරයා ඉරානයේ රොසෙබෙහ් චෙශ්මි)

4. එංගලන්තය 0-0 අමෙරිකාව (තරගයේ වීරයා අමරිකාවේ ක්‍රිස්ටියන් පුලිසිච්)

5. වේල්සය 0-3 එංගලන්තය (තරගයේ වීරයා එංගලන්තයේ මාකස් රශ්ෆෝර්ඩ්)

6. ඉරානය 0-1 අමෙරිකාව (තරගයේ වීරයා අමරිකාවේ ක්‍රිස්ටියන් පුලිසිච්)

B කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. එංගලන්තය3210927
2. අමරිකාව3120215
3. ඉරානය3102473
4. වේල්සය3012161
B කාණ්ඩයේ ලකුණු සටහන

C කාණ්ඩය 

තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන ලියොනල් මෙසී ගේ ආජන්ටිනාව ප්‍රමුඛ සෞදි අරාබිය, මෙක්සිකෝව සහ පෝලන්තය C කාණ්ඩයෙන් තරගාවලියට එක් වුණා. එහිදී ආරම්භක තරගයෙන් ම ආජන්ටිනාව සෞදි අරාබිය හමුවේ ගෝල 2-1 ක අනපේක්ෂිත පරාජයක් ලැබුවා. එය මෙවර ලෝක කුසලානය තුළ සිදු වූ පළමු පෙරළිකාර ජයග්‍රහණය බවට හැඳින්විය හැකි යි. පළමු තරගයේ පරාජය මඟ හැර ගත් ආජන්ටිනාව මීළඟ තරඟ ද්විත්වය ජයග්‍රහණය කොට අවසන් 16 දෙනාගේ වටයට පිවිසියා.

සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වුවත් ආජන්ටිනාව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා – www.vov.vn.com

අතිශය තරගකාරී වූ C කාණ්ඩයේ ක්‍රීඩා කළ පෝලන්තය පිළිවෙළින් සෞදි අරාබි තරගය ජයග්‍රහණය කොට මෙක්සිකෝ තරගය ජය පරාජයෙන් තොර ව නිමා කළා. එහිදී සම ප්‍රසාද ලකුණු ලැබීමෙන් අනතුරු ව ගෝල වෙනසට අනුව පෝලන්තය අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා. වසර 28 කට පසුව පළමු වතාවට මෙක්සිකෝව මූලික වටයෙන් ම ලෝක කුසලානයෙන් ඉවත් වීම ද විශේෂත්වයක්.

තරග ප්‍රතිඵල

1. ආජන්ටිනාව 1-2 සෞදි අරාබිය (තරගයේ වීරයා සෞදි අරාබියේ මොහොමඩ් අල් ඔවයිස්)

2. පෝලන්තය 0-0 මෙක්සිකෝව (තරගයේ වීරයා මෙක්සිකෝවේ ගුලෙර්මෝ ඔචෝආ)

3. පෝලන්තය 2-0 සෞදි අරාබිය (තරගයේ වීරයා පෝලන්තයේ රොබට් ලෙවන්ඩොස්කි)

4. ආජන්ටිනාව 2-0 මෙක්සිකෝව (තරගයේ වීරයා ආජන්ටිනාවේ ලියොනල් මෙසී)

5. ආජන්ටිනාව 2-0 පෝලන්තය (මෙම තරගයේ වීරයා සම්මානය ආජන්ටිනාවේ ලියොනල් මෙසී දිනා ගැනීමෙන් අනතුරු ව එය ආජන්ටිනාවේ ම ඇලෙක්සිස් මැක් ඇලිස්ටර්ට ලබා දුන්නා. තවමත් නිල වශයෙන් මේ තරගයේ වීරයා නම් වී නෑ.)

C කාණ්ඩයේ ලකුණු සටහන

6. සෞදි අරාබිය 1-2 මෙක්සිකෝව (තරගයේ වීරයා මෙක්සිකෝවේ ලුයිස් චාවේස්)

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. ආජන්ටිනාව3201526
2. පෝලන්තය3111224
3. මෙක්සිකෝව3111234
4. සෞදි අරාබිය3102353
C කාණ්ඩයේ ලකුණු සටහන

4. D කාණ්ඩය 

ලෝක ශූර ප්‍රංශය නැවත වතාවක් ලෝක ශූරතාව දිනා ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙද්දී ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ ටියුනීසියාව D කාණ්ඩය යටතේ තරග කළා. තම පළමු තරගයෙන් ගෝල 4-1 කින් ඕස්ට්‍රේලියාව ද, දෙවන තරගයේ දී ඩෙන්මාර්කය ගෝල 2-1 කින් ද පරාජයට පත් කරමින් ප්‍රංශය මෙවර ලෝක කුසලානයේ මුලින් ම අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත් වුණා. 2006 වසරේ සිට පැවති ලෝක ශූරයන් ඉන්පසු තරගාවලියේ පළමු වටයෙන් ඉවත් වීමේ දුක ද එම ජයග්‍රහණයන් සමඟින් ප්‍රංශය නිමා කළා.

ශූරයන්ගේ දුක නිමාකළ ප්‍රංශය – www.thehindu.com

D කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමේ වැඩි බලාපොරොත්තු තිබුණේ ප්‍රංශයට පසු ව ඩෙන්මාර්කයට යි. එහිදීපෙරළිකාර තරග රටාවක් පෙන්නුම් කරමින් ටියුනීසියාව සහ ඩෙන්මාර්කය පරාජයට පත් කළ ඕස්ට්‍රේලියාව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරග දිනයේ දී ප්‍රංශය පරාජයට පත් කර ජයග්‍රහණය කිරීමට ටියුනීසියාව සමත් වුවත් එය ඔවුන්ට මීළඟ වටයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වුණේ නෑ.

තරග ප්‍රතිඵල 

1. ඩෙන්මාර්කය 0-0 ටියුනීසියාව (තරගයේ වීරයා ටියුනීසියාවේ අ(යි)ස්සා ලයිඩොවුනි)

2. ප්‍රංශය 4-1 ඕස්ට්‍රේලියාව (තරගයේ වීරයා ප්‍රංශයේ කිලියන් ම්බප්පේ)

3. ටියුනීසියාව 0-1 ඕස්ට්‍රේලියාව (තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ මිචෙල් ඩියුක්)

4. ප්‍රංශය 2-1 ඩෙන්මාර්කය (තරගයේ වීරයා ප්‍රංශයේ කිලියන් ම්බප්පේ)

5. ඕස්ට්‍රේලියාව 1-0 ඩෙන්මාර්කය (තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ මැතිව් ලෙකී)

6. ටියුනීසියාව 1-0 ප්‍රංශය (තරගයේ වීරයා ටියුනීසියාවේ වහ්බි කස්රි)

D කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. ප්‍රංශය3201636
2. ඕස්ට්‍රේලියාව3201346
3. ටියුනීසියාව3111114
4. ඩෙන්මාර්කය3012131
D කාණ්ඩයේ ලකුණු සටහන

E කාණ්ඩය

2022 පාපන්දු ලෝක කුසලානයේ වඩාත් තරගකාරී ම කාණ්ඩය බවට E කාණ්ඩය නම් කිරීමට පුළුවන්. එයට හේතුව වන්නේ එම කාණ්ඩයේ සිටි ජර්මනිය, ස්පාඤ්ඤය, ජපානය සහ කොස්ටා රිකා යන කණ්ඩායම් දැක්වූ අතිශය තරගකාරිත්වය යි. තම පළමු තරගයේ දී ම පෙරළිකාර ලෙසින් ජර්මනිය ද අවසන් තරගයේ දී ස්පාඤ්ඤය ද පරාජයට පත් කරමින් ජපානය E කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තා. ඔවුන් කොස්ටා රිකාව හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබීම ද විශේෂත්වයක්.

E කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වූ පෙරළිකාර ජපානය – www.sportsillustraded.com

මෙවර ලෝක කුසලානයේ දැනට වාර්තා වූ දැවැන්ත ම ජයග්‍රහණය සටහන් කළ ස්පාඤ්ඤය පළමු තරගයේදී ම කොස්ටා රිකාව ගෝල 7-0 කින් පරාජයට පත් කළා. ඉන් පසුව ජර්මන් තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුවත් ජපානයේ හමුවේ ඔවුන් පරාජයට පත් වුණා. ගෝල වෙනසට අනුව ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටයට ගමන් කරද්දී සිවු වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා. එලෙස මූලික වටයෙන් ම ජර්මනිය ලෝක කුසලානයෙන් ඉවත් වූයේ පිට පිට ම දෙවන වතාවට යි. 

තරග ප්‍රතිඵල

1. ජර්මනිය 1-2 ජපානය (තරගයේ වීරයා ජපානයේ සුචි ගොන්ඩා)

2. ස්පාඤ්ඤය 7-0 කොස්ටා රිකාව (තරගයේ වීරයා ස්පාඤ්ඤයේ ගැවි)

3. ජපානය 0-1 කොස්ටා රිකාව (තරගයේ වීරයා කොස්ටා රිකාවේ කෙයිශර් ෆුලර්)

4. ස්පාඤ්ඤය 1-1 ජර්මනිය (තරගයේ වීරයා ස්පාඤ්ඤයේ ඇල්වාරෝ මොරාටා)

5. ජපානය 2-1 ස්පාඤ්ඤය (තරගයේ වීරයා ජපානයේ අයෝ ටනාකා)

6. ජර්මනිය 4-2 කොස්ටා රිකාව (තරගයේ වීරයා ජර්මනියේ කායි හැවෙර්ට්ස්)

E කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. ජපානය3201436
2. ස්පාඤ්ඤය3111934
3. ජර්මනිය3111654
4. කොස්ටා රිකාව31023113
E කාණ්ඩයේ ලකුණු සටහන

F කාණ්ඩය

2018 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනූ පෙරළිකාරයන් වන ක්‍රොඒෂියාව සමඟින් බෙල්ජියම, මොරොක්කෝව සහ කැනඩාව F කාණ්ඩයෙන් තරග වැදුණා. තමන් සහභාගී වූ පළමු තරගය ම ක්‍රොඒෂියාව සමඟ ජය පරාජයෙන් තොර ව නිමා කළ මොරොක්කෝව, ඉන් පසුව බෙල්ජියම පරාජයට පත් කරමින් තවත් ලෝක කුසලාන පෙරළියක් සටහන් කළා. ඉන් පසු ව කැනඩාව ද පරාජයට පත් කරමින් බලාපොරොත්තු නොවූ අන්දමට F කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට මොරොක්කෝව සමත් වුණා. 

ප්‍රබලයන් සියල්ල අභිබවා ගිය මොරොක්කෝව – www.fourfourtwo.com

මොරොක්කෝ තරගය සම වීමෙන් අනතුරු ව කැනඩාව පරාජයට පත් කරමින් ක්‍රොඒෂියාව තම මූලික වටයේ අවසන් තරගයට ප්‍රවිෂ්ට වුණා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ බෙල්ජියම යි. එම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වීමත් සමඟ ම ක්‍රොඒෂියාව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඉහත ප්‍රතිඵලයන් මත ලෝක ශ්‍රේණිගත කිරීම් හි දෙවන ස්ථානයේ රැඳී සිටිනා බෙල්ජියමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරග ප්‍රතිඵල

1.මොරොක්කෝව 0-0 ක්‍රොඒෂියාව (තරගයේ වීරයා ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච්)

2. බෙල්ජියම 1-0 කැනඩාව (තරගයේ වීරයා බෙල්ජියමේ කෙවින් ඩි බ්‍රවුනේ)

3. බෙල්ජියම 0-2 මොරොක්කෝව (තරගයේ වීරයා මොරොක්කෝවේ හකීම් සියැච්)

4. ක්‍රොඒෂියාව 4-1 කැනඩාව (තරගයේ වීරයා ක්‍රොඒෂියාවේ ඇන්ඩ්‍රෙ ක්‍රැමරිච්)

5. බෙල්ජියම 0-0 ක්‍රොඒෂියාව (තරගයේ වීරයා ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච්)

6. කැනඩාව 1-2 මොරොක්කෝව (තරගයේ වීරයා මොරොක්කෝවේ අශ්රෆ් හකීමි)

F කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. මොරොක්කෝව3210417
2. ක්‍රොඒෂියාව3120415
3. බෙල්ජියම3111124
4. කැනඩාව 3003270
F කාණ්ඩයේ ලකුණු සටහන

G කාණ්ඩය 

මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර සිට ම බොහෝ විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කළේ බ්‍රසීලය ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇති බව යි. එලෙස නම් දරා සිටින බ්‍රසීලය සමඟින් ස්විට්සර්ලන්තය, කැමරූනය සහ සර්බියාව G කාණ්ඩයෙන් තරග වැදුණා. එහිදී තමන් සහභාගී වූ පළමු තරග ද්විත්වයෙන් ම සර්බියාව සහ ස්විට්සර්ලන්තය පරාජයට පත් කරමින් බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් අවසන් කාණ්ඩ වටයේ තරගයෙන් කැමරූනය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවද එම තරගයට බ්‍රසීල ප්‍රබලයන් රැසක් ම ක්‍රීඩා කළේ නෑ.

බලාපොරොත්තු වූ ලෙසින් ම G කාණ්ඩයේ ප්‍රථම ස්ථානය බ්‍රසීලයට හිමි වුණා – www.flipboard.com

බ්‍රසීල තරගය පරාජයට පත් වුවත් කැමරූනය සහ සර්බියාව පරාජයට පත් කරමින් ස්විට්සර්ලන්තය මීළඟ වටයේ තමන්ගෙ ස්ථානය වෙන් කර ගත්තා. අවසන් තරග දිනයේ දී තීරණාත්මක සර්බියා තරගය ද, ගෝල 3-2 ක් ලෙසින් ස්විට්සර්ලන්තය ජයග්‍රහණය කළා. ඔවුන් 2014 සිට මේ දක්වා පැවති තරගාවලි 3 දී ම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.

තරග ප්‍රතිඵල 

1. ස්විට්සර්ලන්තය 1-0 කැමරූනය (තරගයේ වීරයා ස්විට්සර්ලන්තෙයේ යාන් සොමර්)

2. බ්‍රසීලය 2-0 සර්බියාව (තරගයේ වීරයා බ්‍රසීලයේ රිචාලිසන්)

3. කැමරූනය 3-3 සර්බියාව (තරගයේ වීරයා කැමරූනයේ වින්සන්ට් අබුබකර්)

4. බ්‍රසීලය 1-0 ස්විට්සර්ලන්තය (තරගයේ වීරයා බ්‍රසීලයේ කැසමිරෝ)

5. සර්බියාව 2-3 ස්විට්සර්ලන්තය (තරගයේ වීරයා ස්විට්සර්ලන්තයේ ග්‍රැනිට් ෂකා)

6. කැමරූනය 1-0 බ්‍රසීලය (තරගයේ වීරයා කැමරූනයේ ඩේවිස් එපස්සි)

G කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. බ්‍රසීලය3201316
2. ස්විට්සර්ලන්තය3201436
3. කැමරූනය3111444
4. සර්බියාව 3012581
G කාණ්ඩයේ ලකුණු සටහන

H කාණ්ඩය

තවත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ප්‍රමුඛ පෙළේ හැකියාවක් සහිත ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ පෘතුගාලය සමඟින් උරුගුවේ, ඝානාව සහ දකුණු කොරියාව H කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. අතිශය තියුණු ස්වභාවයක් ගත් මෙම කාණ්ඩයෙන් තමන් සහභාගී වූ පළමු තරග දෙක ම ජයග්‍රහණය කරමින් පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. එහිදී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ඝානාව සහ උරුගුවේ යි.

පෘතුගාලයට H කාණ්ඩයේ පළමු ස්ථානය හිමි වුණා – www.24happenings.com

මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන මීළඟ ආසියානු කණ්ඩායම බවට පත් වූ දකුණු කොරියාව අවසන් කාණ්ඩ තරගයේ දී පෘතුගාලය පරාජයට පත් කරමින් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කර ගත්තා. දකුණු කොරියාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රභල උරුගුවේ ට මීළඟ වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදු වුණා.

තරග ප්‍රතිඵල

1. උරුගුවේ 0-0 දකුණු කොරියාව (තරගයේ වීරයා උරුගුවේ ෆෙදෙරිකෝ වල්වාර්ඩේ)

2. පෘතුගාලය 3-2 ඝානාව (තරගයේ වීරයා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ)

3. දකුණු කොරියාව 2-3 ඝානාව (තරගයේ වීරයා ඝානාවේ මොහොමඩ් කුඩුස්)

4. පෘතුගාලය 2-0 උරුගුවේ (තරගයේ වීරයා පෘතුගාලයේ බෲනෝ ෆර්නැන්ඩස්)

5. ඝානාව 0-2 උරුගුවේ (තරගයේ වීරයා උරුගුවේ ජොර්ජියාන් ඩි අරස්කෙයිටා)

6. දකුණු කොරියාව 2-1 පෘතුගාලය (තරගයේ වීරයා දකුණු කොරියාවේ හ්වැන්ග් චී චෑන්)

H කාණ්ඩයේ ලකුණු සටහන

කණ්ඩායමතරගජයග්‍රහණජය
පරාජයෙන්
තොර
පරාජලැබූ
ගෝල
ලබාදුන්
ගෝල
ප්‍රසාද
ලකුණු
1. පෘතුගාලය3201646
2. දකුණු කොරියාව3111444
3. උරුගුවේ3111224
4. ඝානාව3102573
H කාණ්ඩයේ ලකුණු සටහන

ඉහත කාණ්ඩ ප්‍රතිඵලයන්ට අනුව අවසන් 16 දෙනාගේ වටයේ සිට සියලු ම තරග පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙනවා. ඒ අනුව මෙතැන් පටන් කිසිදු කණ්ඩායමකට යළි දෙවැනි අවස්ථාවක් හිමි වන්නේ නෑ. ඒ අනුව අවසන් 16 දෙනාගේ වටයේ තරග පහත පරිදි පැවැත්වෙනු ඇති.

අවසන් 16 දෙනාගේ වටයේ තරග කාලසටහන

1. නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය 

2. ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව 

3. ජපානය සහ ක්‍රොඒෂියාව 

4. බ්‍රසීලය සහ දකුණු කොරියාව 

5. එංගලන්තය සහ සෙනගාලය 

6. ප්‍රංශය සහ පෝලන්තය 

7. මොරොක්කෝව සහ ස්පාඤ්ඤය 

8 පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය 

*මෙම ලිපිය සකස් කිරීමේදී අදාළ ක්‍රීඩකයන්ගේ නම් එම රටේ භාෂාවට අනුව උච්චාරණය වන අන්දමින් දක්වා ඇති බව සලකන්න.

කවරයේ ඡායාරූපය - 2022 පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී කිරුළ - www.qatar2022.com
මූලාශ්‍ර -
www.fifa.com
www.goal.com
www.allfootball.com

Related Articles