Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආජන්ටිනාව සහ ප්‍රංශ කණ්ඩායම් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ගමන් මඟ

කටාර් රාජ්‍යයේ දී පසුගිය නොවැම්බර් මස 20 වැනි දා ආරම්භ වුණු 22 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය විවිධ මත ගැටුම් හැලහැප්පීම් මධ්‍යයේ වුවත් මේ වන විට සාර්ථක ව පැවැත්වීමට කටාරය සමත් වී තිබෙනවා. මසකට ආසන්න කාලයක් පැවති තරගාවලියේ අවසන් මහා තරගයට ආජන්ටිනාව සහ ප්‍රංශය අවසන සුදුසුකම් ලබා ගත්තා.

මෙම ලිපියෙන් ආජන්ටිනාව සහ ප්‍රංශ කණ්ඩායම් ද්විත්වය පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ගමන් මඟ පිළිබඳ ව සාකච්ඡා කෙරෙනවා.

ප්‍රංශයේ ගමන් මඟ

2018 පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කළ ප්‍රංශය – www.goal.com

2018 වර්ෂයේ දී පාපන්දු ලෝක ශූරතාව දිනා ගත් ප්‍රංශය එය රැක ගැනීමේ අරමුණින් යුතු ව මෙවර ලෝක කුසලානයට සහභාහී වුණා. තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව ම මැදපෙළ ක්‍රීඩකයන් වූ න්ගෝලෝ කාන්ටේ, පෝල් පොග්බා සහ ඉදිරිපෙළ ක්‍රීඩකයන් වූ කරීම් බෙන්සෙමා සහ ක්‍රිස්ටෝපර් න්කුන්කු ගේ ආබාධයන් ප්‍රංශයට ඇති කළේ බලවත් පාඩුවක්. ලූකාස් හර්නැන්ඩස් ද ලෝක කුසලානය අතරමැද දී බරපතළ ආබාධයකට මුහුණ දුන්නා.

කෙසේ වුවත් දෙවරක් ලෝක ශූරතාව දිනා ගත් ප්‍රංශ කණ්ඩායමට තවත් තරු පන්තියේ ක්‍රීඩකයන් රැසක් ම අන්තර්ගත ව සිටියා. මේ නිසා ඔවුන් මූලික වටයේ සිට ම තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා. 1998 ලෝක ශූරතාව දිනා ගත් ප්‍රංශ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන් ම 2018 ලෝක ශූරතාව දිනූ ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ඩිඩියර් ඩෙශැම්ප්ස් යටතේ මෙවර ඔවුන් ලෝක කුසලානයට එක් වුණා. මූලික වටයේදී D කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ ටියුනීසියාව සමඟින් ප්‍රංශය තරග වැදුණා.

දෙවරක් ලෝක ශූරතාව දිනා ගැනීමේ හැකියාව

2018 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායමේ නායකයා වූ හියුගෝ ලොරිස් මෙවර ද කණ්ඩායමේ නායකත්වය දරනවා. ලොරිස්ට අමතර ව රෆායෙල් වෙරානේ, කිලියන් ම්බප්පේ, ඇන්ටොයින් ග්‍රීස්මාන්, ඔලිවර් ජිරූඩ්, ඔස්මාන් ඩෙම්බෙලේ සහ බෙන්ජමින් පවාඩ් යන ක්‍රීඩකයන් ද 2018 ලෝක කුසලාන සංචිතයට අයත් වුණා. මෙම ක්‍රීඩකයන් සියලු ම දෙනාට දෙවරක් ලෝක ශූරතාව දිනා ගැනීමේ හැකියාව පවතිනවා.

2014 පාපන්දු ලෝක කුසලාන අනුශූරතාව ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායමෙන් 2022 තරගාවලියේ ඉතිරි ව සිටින්නේ ලියොනල් මෙසී සහ ඈන්හෙල් ඩි මරියා පමණ යි. මෙසී 2014 ලෝක කුසලානයේ දී දක්ෂත ම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයක්.

මූලික වටයේ දස්කම්

පළමු වටයේ දී ප්‍රංශයට මුලින් ම මුණ ගැසුණේ ඕස්ට්‍රේලියාව යි. ඕස්ට්‍රේලියාව මෙම තරගයේ දී ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් 9 වන විනාඩියේ දී ම ගෝලයක් ලබා ගත්තා. ඉන් පසුව ඒඩ්රියන් රැබියොට් සහ ඔලිවර් ජිරූඩ් ලබා ගත් ගෝල ද්විත්වයෙන් ප්‍රංශය ඉදිරියට පැමිණියා. තරගයේ දෙවන අර්ධයේ දී කිලියන් ම්බප්පේ සහ ඔලිවර් ජිරූඩ් තවත් ගෝල 2 ක් ලබා ගෙන ගෝල 4-1කින් ප්‍රංශ ජයග්‍රහණය තහවුරු කළා.

ඕස්ට්‍රේලියා ප්‍රංශ තරගයේ අවස්ථාවක් – www.heraldsun.com

මූලික වටයේ දෙවන තරගයේ දී ප්‍රංශය සහ ඩෙන්මාර්කය එකිනෙක මුණ ගැසුණා. යුරෝපීය ප්‍රතිවාදීන් මෙන් ම අවසන් කාලයේ දී කිහිප වතාවක් ම ඩෙන්මාර්කය, ප්‍රංශය පරාජයට පත් කොට තිබීම මෙම තරගය උණුසුම් කිරීමට හේතු වුණා. කිලියන් ම්බප්පේ ගෝල 2 ක් ලබා ගනිද්දී ඩෙන්මාර්කය වෙනුවෙන් ඇන්ඩ්‍රෙස් ක්‍රිස්ටින්සන් ලබා ගත් ගෝලය ප්‍රමාණවත් වුණේ නෑ. එහෙයින් ප්‍රංශය ගෝල 2-1 ක ජයග්‍රහණයක් එම තරගයෙන් ලබා ගත්තා.

ලෝක ශූරයන්ගේ සාපයක්?

2006 වසරේ සිට ලෝක ශූරතාව දිනාගත් සියලු ම කණ්ඩායම් ඉන් පසු ව පැවති තරගාවලිවල පළමු වටයෙන් ම පරාජයට පත් වුණා. එය ලෝක ශූරයන්ගේ සාපයක් යන මතය පාපන්දු පිටිය තුළ ජනප්‍රිය වී තිබුණ ද ඉහත ඩෙන්මාර්ක ජයග්‍රහණයත් සමඟින් ප්‍රංශය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ශූරයන් ගේ සාපය වසර 12 කට පසු ව නිමා කිරීමට ද ප්‍රංශයට හැකියාව ලැබුණා.

ඩෙන්මාර්ක තරගය ජයග්‍රහණය කළ ඔවුන් ශූරයන්ගේ සාපය නිමා කළා – www.eurosport.com

කාණ්ඩ වටයේ තෙවන සහ අවසන් ටියුනීසියා තරගයට බොහෝ ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගැන්වීමට පුහුණුකරු ඩිඩියර් ඩෙශැම්ප්ස් කටයුතු කළා. එයට හේතුව වූයේ ඒ වන විටත් ඔවුන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබීම යි. මේ හේතුවෙන් වහ්බි කස්රි ලබා ගත් ගෝලය ටියුනීසියා ජයග්‍රහණය තහවුරු කළා. 1-0 ක පරාජයක් ලැබූව ද D කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් ප්‍රංශය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

පිළිමළුන් පිටු දැකීමේ වටය

C කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත් යුරෝපීය ප්‍රතිවාදීන් වූ පෝලන්තය සහ ප්‍රංශය 16 දෙනාගේ වටයේදී තරග වැදුණා. නැවත වතාවක් සාර්ථක වූ කිලියන් ම්බප්පේ සහ ඔලිවර් ජිරූඩ් ගේ ක්‍රීඩා රටාව හමුවේ පෝලන්තයට ජය ගැනීමේ කිසිදු අවස්ථාවක් ලැබුණේ නෑ. ජිරූඩ් එක් ගෝලයක් සහ කිලියන් ම්බප්පේ ගෝල 2 ක් රැස් කළා. තරගයේ අවසන් මොහොතේ දී රොබට් ලෙවන්ඩොස්කි ගෝලයක් ලබා ගත් නිසා ඉන් 3-1 ක ජයග්‍රහණයක් ප්‍රංශයට හිමි වුණා. ඔවුන් අපහසුවකින් තොර ව ම අර්ධ අවසන් පූර්ව වටයට ගමන් කළා.

ප්‍රංශය, එංගලන්තය පරාජය කිරීමේ සතුට සමරමින් – www.fifa.com

තරු ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත එංගලන්තය සහ ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග බිමට පිවිසියා. මෙම තරගයට පෙර සිට ම විශාල අවධානයක් හිමි ව තිබුණේ දෙපිලේ ම කණ්ඩායම් සතු ව තරු රැසක් ක්‍රීඩා කිරීම හේතුවෙන්. තරගයේ පළමු අර්ධයේදී ම අවුරෙලියන් ටුචුනෙමි ලබා ගත් ගෝලයෙන් ප්‍රංශය ඉදිරියට පැමිණියා. හැරී කේන් ලබා ගත් ගෝලයත් සමඟ තරගය නැවත 1-1 සම වුණා. ඔලිවර් ජිරූඩ් තවත් ගෝලයක් ප්‍රංශය වෙනුවෙන් ලබා ගනිද්දී එංගලන්තයට ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හැරී කේන් අපොහොසත් වුණා. මේ හේතුවෙන් ගෝල 2-1 ක ජයග්‍රහණයක් ලබා ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ලෝක කුසලානයේ පෙරළිකාරයන් වූ මොරොක්කෝව

2022 ලෝක කුසලානයේ පෙරළිකාරයන් වූ මොරොක්කෝව සහ ප්‍රංශය අවසන් පූර්ව වටයට එක් වුණා. මොරොක්කෝව ලෝක කුසලාන ඉතිහාසයේ ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් එක ම අප්‍රිකානු කණ්ඩායම වීම තරගාවලියේ සුවිශේෂී මතකයක් බවට පත් ව තිබුණා.

තියෝ හර්නැන්ඩස් සහ කෝලෝ මුආනි ලබා ගත් ගෝල ද්විත්වයෙන් ප්‍රංශය පහසු ජයක් ලබා ගෙන අවසන් මහා තරගයේ ඉඩකඩ වෙන් කර ගත්තා. එය ඉතාලිය, බ්‍රසීලය, ජර්මනිය සහ ආජන්ටිනාව යන කණ්ඩායම්වලින් පසු ව ලෝක කුසලාන අවසන් මහා තරගයට ප්‍රංශය පිට පිට ම සුදුසුකම් ලැබූ එක ම අවස්ථාව වීම ද විශේෂත්වයක්.

අවසන් පූර්ව වටයේ දෙවන ගෝලය සමරන ප්‍රංශය – www.timesofindia.com

ආජන්ටිනාවේ සුරුවිරුකම්

මෑත කාලීන ව 2014 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගත්ත ද ආජන්ටිනාවට 2018 ලෝක කුසලානයේ අවසන් 16 වටයෙන් ඔබ්බට ගමන් කිරීමට හැකියාව ලැබුණේ නෑ. 2015 සහ 2016 වර්ෂවලදී කොපා අමෙරිකා අවසන් මහා තරග පරාජයට පත් වීමේ අමිහිරි මතකය ද ඔවුන් සතු වුණා. කෙසේ වුවත් 2021 කොපා අමෙරිකා ශූරතාව දිනා ගනිමින් තරග 36 ක් අපරාජිත ව පැමිණ ආජන්ටිනාව 2022 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

2014 දි අවසන් වතාවට ආජන්ටිනාව ක්‍රීඩා කළ ලෝක කුසලාන අවසන් තරගය ඔවුන් පරාජය වුණා – www.newyorktimes.com

2018 ලෝක කුසලාන පරාජයෙන් අනතුරු ව ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු බවට පත් වූ ලොයොනල් ස්කැලෝනි යටතේ ඔවුන් ලෝක කුසලානයට සහභාගී වුණ. තරගාවලිය ආරම්භයට පෙර ම මැද පෙළ ක්‍රීඩක ජියොනි ලොසෙල්සෝ ගේ ආබාධය ආජන්ටිනා කඳවුරට එල්ල කළේ බරපතළ පාඩුවක්. නිකොලස් ගොන්සාලෙස් සහ වකීම් කොරේයා යන දෙපළ ද ලෝක කුසලානය තරගාවලියට ප්‍රථම ආබාධවලට ලක් වුණා. කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල මෙන් ම තීරණාත්මක සාධකයක් වන ඈන්හෙල් ඩි මරියා ද ලෝක කුසලානය අතරතුර දී සුළු ආබාධ තත්ත්වයකට මුහුණ දුන්නා.

මූලික වටයේ දස්කම්

C කාණ්ඩයෙන් ලෝක කුසලානයට එක් වූ ආජන්ටිනාව ප්‍රථමයෙන් ම සෞදි අරාබිය සමඟින් තරග වැදුණා. ලියොනල් මෙසී ලබා ගත් දඬුවම් පහරින් ඉදිරියට පැමිණිය ද දෙවන අර්ධයේදී ගෝල 2 ක් ලබා ගත් සෞදි අරාබිය 2-1 කින් ආජන්ටිනාව පරාජයට පත් කොට අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ආජන්ටිනාවට ඉතිරි තරග ද්විත්වය ම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වුණා. 2022 පාපන්දු ලෝක කුසලානයේ දී පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා වූ අතර ම එහි පළමුවැන්න වූයේ මේ සෞදි අරාබි ජයග්‍රහණය යි.

සෞදි අරාබි තරගය පරාජයට පත් වීම නිසා ආජන්ටිනාව අවදානමකට ලක් වුණා – www.notjustok.com

අතිශය තීරණාත්මක දෙවන වටයේ දී ආජන්ටිනාව සහ මෙක්සිකෝව එකිනෙක සටන් වැදුණා. ලෝක කුසලාන ඉතිහාසයේ ම අවස්ථා කිහිපයකදී ම මේ කණ්ඩායම් ද්විත්වය ක්‍රීඩා කළා. මෙවර ලියොනල් මෙසී සහ එන්සෝ ෆර්නැන්ඩස් දෙවන අර්ධයේ දී ලබා ගත් ගෝල ආජන්ටිනා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුණා. අතිශය තීරණාත්මක මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ ආජන්ටිනාවේ ලෝක කුසලාන බලාපොරොත්තු තවදුරටත් සුරක්ෂිත වී තිබුණා.

ආජන්ටිනාව අවසන් 16 දෙනාගේ වටයට

මූලික වටයේ අවසන් තරගයේ දී ආජන්ටිනාවට හමු වූයේ පෝලන්තය යි. තරගයේ පළමු අර්ධයේ දී ම දඬුවම් පහරක් ලැබුණ ද එය ලියොනල් මෙසී සාර්ථක කර ගත්තේ නෑ. දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ ඇලෙක්ස් මැක් ඇලිස්ටර් සහ හූලියන් අල්වාරෙස් ආජන්ටිනාව වෙනුවෙන් ගෝල රැස් කළා. ගෝල 2-0 කින් පෝලන්තය පරාජයට පත් කළ ආජන්ටිනාව අවසන් 16 දෙනාගේ වටයට ඉනික්බිති සුදුසුකම් ලබා ගත්තා.

ආජන්ටිනා මෙක්සිකෝ තරගය ආජන්ටිනාව ජයග්‍රහණය කළ අවස්ථාව – www.indianexpress.com

පිළිමළුන් පිටු දැකීමේ වටය

පිළිමළුන් පිටු දැකීමේ වටයේ ආරම්භය වූ අවසන් 16 දෙනාගේ වටයේ දී ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව එකිනෙක මුණ ගැසුණා. ඕස්ට්‍රේලියාව පෙරළිකාර කණ්ඩායමක් බවට පත් ව සිටියේ ඩෙන්මාර්කය පවා පරාජයට පත් කරමින්.

නැවත වතාවක් ක්‍රියාත්මක වූ ලියොනල් මෙසී සහ හූලියන් අල්වාරෙස් ගෝල දෙකක් වාර්තා කළේ ආජන්ටිනාවට ගෝල 2-1 ක ජයග්‍රහණයක් ලබා දෙමිනුයි. එම ජයග්‍රහණයෙන් පසු ව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ආජන්ටිනාව දඬුවම් පහර වටයකින් නෙදර්ලන්තය පරාජය කළා – www.thehindu.com

අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල නෙදර්ලන්තය සහ ආජන්ටිනාව ක්‍රීඩා කළා. මෙම තරගයට පෙර සිට ම මාධ්‍ය හමුවේ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ පුහුණුකරු දැක්වූ අදහස් නිසා තරගය ගැටුම්කාරී ස්භාවයක් ගත්තා. තරගය පුරාවට ක්‍රීඩකයන් අතර බෙදී ගිය කහ කාඩ්පත් සංඛ්‍යාව 15 ක් වීම එයට සාක්ෂි දරනවා. නොවෙල් මොලීනා සහ ලියොනල් මෙසී ලබා ගත් ගෝල ආජන්ටිනාව 2-0 කින් ඉදිරියට රැගෙන ආව ද වොට් වෙග්හෝර්ස්ට් ලබා ගත් ගෝල ද්විත්වයෙන් තරගය 2-2 බවට පත් වුණා.

වෙග්හෝර්ස්ට් ගේ විශිෂ්ට දස්කම්

වෙග්හෝර්ස්ට් ගේ විශිෂ්ට දස්කම් නිසා අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අතිරේක කාලය දක්වා ගමන් කළා. අතිරේක කාලයේ දී ද ගෝල වාර්තා නොවීම හේතුවෙන් ජයග්‍රාහකයා තේරීමට දඬුවම් පහර මාලාවකට ගමන් කිරීමට සිදු වුණා.

එහි දී ආජන්ටිනා දැල් රකින්නා වූ එමිලියානෝ මාර්ටිනෙස් ගේ විශිෂ්ට දක්ෂතා දඬුවම් පහර 4-3 කින් ආජන්ටිනා ජයග්‍රහණය තහවුරු වුණා. 21 වන ශතවර්ෂය තුළ පැවති ලෝක කුසලාන අතර ආජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු දෙවන අවස්ථාව ද මෙය යි.

ආජන්ටිනා ක්‍රොඒෂියා තරගයේ අවස්ථාවක් – www.skysports.com

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ආජන්ටිනාවේ ප්‍රතිවාදීන් වූයේ අනෙක් අන්තයෙන් ප්‍රබල බ්‍රසීලය පරාජයට පත් කරමින් ඉදිරියට පැමිණි ක්‍රොඒෂියාව යි. මෙම තරගය ආරම්භයේ දී ම නැවත ක්‍රියාත්මක වූ ලියොනල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කර ගෙන තරගය 1-0 කින් ආජන්ටිනාව ඉදිරියට රැගෙන ආවා. අනතුරු ව ක්‍රියාත්මක වූ හූලියන් අල්වාරෙස් ගෝල 2ක් වාර්තා කළේ අවසන් මහා තරගයේ ආජන්ටිනා සහභාගීත්වය තවත් තහවුරු කරමින්. 2018 ලෝක කුසලාන අනුශූරතාව දිනාගත් ක්‍රොඒෂියාවට තරගාවලියෙන් ඉවත් වීමට ඉනික්බිති සිදු වුණා.

අවසන් මහා තරගයට පෙර

ප්‍රංශය මීට ප්‍රථම ව 1998, 2006 සහ 2018 ලෝක කුසලාන අවසන් මහා තරගවලදී ක්‍රීඩා කළා. ඔවුන් එහි දී 1998 දී සහ 2018 දී ශූරතා දිනා ගැනීමට සමත් වූ අතර 2006 අවසන් මහා තරගය පරාජයට පත් වුණා. පිට පිට ම පාපන්දු ලෝක කුසලාන ශූරතාව ජයග්‍රහණය කිරීමට මෙතෙක් සමත් වී ඇත්තේ 1934 දී සහ 1938 දී ඉතාලිය හා 1958 දී සහ 1962 දී බ්‍රසීලය පමණ යි. 2022 පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රංශය සමත් වුවහොත් එය වසර 60 කට පසුව කණ්ඩායමක් පිට පිට ම ලෝක ශූරතාව දිනූ එක ම අවස්ථාව බවට පත් වනවා.

1930 මංගල ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ආජන්ටිනාව ඉන් පසු ව 1978, 1986, 1990 සහ 2014 වර්ෂවල දී ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගත්තා. 1978 සහ 1986 වර්ෂවල ලැබූ ජයග්‍රහණ සමඟින් ආජන්ටිනාව දිනා ගත් පාපන්දු ලෝක කුසලාන සංඛ්‍යාව 2 ක්. දියේගෝ මැරඩෝනා 1986 ලෝක කුසලානය දිනා ගෙන වසර 36 කට පසුව ලෝක ශූරයන් වීමේ අවස්ථාව ආජන්ටිනාව ට උදා වී තිබෙනවා.

ප්‍රංශයේ තීරණාත්මක සාධකය බවට පත්ව සිටින ම්බාප්පේ – www.theindianexpress.com

කණ්ඩායම් ද්විත්වයේ ම ක්‍රීඩකයන් සැලකූ විට ප්‍රංශයේ වඩාත් තීරණාත්මක සාධකය වන්නේ කිලියන් ම්බප්පේ බව ප්‍රකාශ කිරීම නිවැරැදියි. ඔහු මේ වන විට මෙවර තරගාවලිය පුරාවට ගෝල 5 ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 3 ක් වාර්තා කර ගෙන සිටිනවා. ඔලිවර් ජිරූඩ් ද ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 4ක්. කණ්ඩායමේ හදවත බවට පත් ව සිටිනා ඇන්ටොයින් ග්‍රීස්මාන් ගෝල ලබා ගැනීමට සහාය වීම් 3 ක් වාර්තා කර ගෙන සිටිනවා. ඔහු අවසන් පූර්ව වටයේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

මෙසීට මෙවර ලෝක කුසලානයේ තරගයේ වීරයා සම්මාන 4 ක්

මීට අමතර ව ප්‍රංශ දැල් රකින්නා මෙන්ම නායකයා ද වන හියුගෝ ලොරිස් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වී සිටිනවා. පොග්බා, කාන්ටේ ගේ අඩුව පුරවන නවක ක්‍රීඩක අවුරෙලියන් ටුචුනෙමි, වේගවත් පන්දු පාලනයක් සහිත ඔස්මාන් ඩෙම්බෙලේ, ආරක්ෂක ක්‍රීඩකයන් අතරේ රෆායෙල් වෙරානේ සහ තියෝ හර්නැන්ඩස් මෙවර අවසක් මහා තරගයේ දී ආජන්ටිනාවට දරුණු තර්ජනයක් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයන්. ඔවුන් ගේ සාර්ථක වීම, පිට පිට ම තවත් ලෝක ශූරතාවක් දිනා ගැනීමේ හැකියාව ප්‍රංශය සතු වනවා.

ආජන්ටිනාව වෙනුවෙන් තම අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කරන ලියොනල් මෙසී සුපිරි ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා. ඔහු මේ වන විට තරගාවලියේ වාර්තා කර ගෙන ඇති ගෝල සංඛ්‍යාව 5ක්. ඔහු ගෝල ලබා ගැනීමට සහාය වීම් 3ක් ද වාර්තා කළා.

මෙසී මෙවර ලෝක කුසලානයේ තරගයේ වීරයා සම්මාන 4 ක් දිනා ගැනීමට ද සමත් වුණා. තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට විශාල සහායක් ලබා දෙන නවක ක්‍රීඩක හූලියන් අල්වාරෙස් ද ගෝල 4 ක් ලබා සිටිනවා.

තරගාවලිය පුරාවටම දක්ෂතා දක්වන ලියොනල් මෙසී – www.cnn.com

ඔවුන් දෙදෙනාට අමතර ව මැදපෙළ නවක තරුවක් ව මතු ව ආ එන්සො ෆර්නැන්ඩස්, රොද්රිගෝ ඩි පෝල් මෙන් ම ආජන්ටිනා ආරක්ෂාවේ වගකීම දරන ක්‍රිස්ටියන් රොමේරෝ, නිකොලස් ඔටමෙන්ඩි සහ ලිසන්ඩ්‍රෝ මාර්ටිනෙස් අවසන් මහා තරගයේ දී අතිශය තීරණාත්මක වනවා.

එමිලියානෝ මාර්ටිනෙස් ගේ ක්‍රීඩා රටාව

නෙදර්ලන්තය සමඟ පැවති දඬුවම් පහර වටයේ දී ආජන්ටිනාව ගලවා ගත් එමිලියානෝ මාර්ටිනෙස් ගේ ක්‍රීඩා රටාව ද තරග තීරණයට විශාල බලපෑමක් එල්ල කරනු ඇති. ආබාධයේ සුව වීම මත ඈන්හෙල් ඩි මරියා ද අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිත යි. ප්‍රංශය ජයග්‍රහණය කළ ද ආජන්ටිනාව ජයග්‍රහණය කළ ද එය ඉතිහාසයේ ඔවුන් ලබා ගන්නා තුන්වන ලෝක කුසලාන ජයග්‍රහණය බවට නම් වීමට සූදානම් ව පවතිනවා.

*මෙම ලිපියේ ක්‍රීඩකයන්ගේ නම් සඳහන් කිරීමේදී ඔවුන්ගේ රටේ භාෂාවට අනුව කෙරෙන උච්චාරණය අනුව සටහන් කළ බව කරුණාවෙන් සලකන්න.

ඡායාරූප: FIFA/FIFA via Getty Images

කවරයේ ඡායාරූපය - ආජන්ටිනාවේ ලියොනල් මෙසී සහ ප්‍රංශයේ කිලියන් ම්බාප්පේ - FIFA/FIFA via Getty Images
මූලාශ්‍ර:
www.fifa.com
www.allfootball.com

Related Articles