මලල ක්‍රීඩා වාර්තා අලුත් කළ යුපුන්ගේ විශිෂ්ට ධාවනය

පසුගිය කාලයේ දී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය බැබළ වූ ක්‍රීඩකයන් අතර යුපුන් අබේකෝන්ගේ නම ඉදිරියෙන් ම තිබුණා. ඒ ඔහු මීටර් 100 ඉසව්වෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි.

එම ඉසව්ව යටතේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පවා නියෝජනය කළ යුපුන් ගෙවුණු කාලයේ දී කිහිප වරක් මීටර් 100 දකුණු ආසියාතික වාර්තාව අලුත් කළා. 

ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ යුපුන් – gettyimages.com

 

එලෙස මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ යුපුන් ස්විට්සර්ලන්තයේ ඊයේ (03)  දිනයේ පැවති මලල ක්‍රීඩා උළෙලක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් නිමා කරමින් යළිත් වරක් එම ඉසව්වේ දකුණු ආසියාතික වාර්තාව බිඳ දැමුවා. එහි දී ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිමා කළ මුල් ම දකුණු ආසියාතික ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා. 

ස්විට්සර්ලන්තයේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම 

42 වන Resisprint International Championship මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ස්විට්සර්ලන්තයේ දී පසුගිය දිනවල පැවැත්වුණා. යුපුන් අබේකෝන් නව දකුණු ආසියාතික වාර්තාවක් බිහි කළේ එම තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්පර 9.96ක කාලයකින් නිමා කරමින්.  

යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා තරගයක දී – gettyimages.com

 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.95ක කාලයකින් නිම කළ අමෙරිකාවේ ජිම් හයින්ස් රන් පදක්කම දිනා ගත්තා. එය පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩුවෙන් අවසන් කළ මුල් ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා.

එදා සිට අද දක්වා ක්‍රීඩකයන් 169 දෙනෙක් පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිම කර තිබෙනවා. එහි දී රටවල් 32ක ක්‍රීඩකයන් එම දස්කම දක්වා තිබෙනවා. අමෙරිකානු ක්‍රීඩකයන් 77ක් සහ ජැමෙයිකානු ක්‍රීඩකයන් 26ක් එම කඩඉම අභිබවා ගොස් තිබීම විශේෂත්වයක්.

මුල්ම වරට තත්පර 10ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිමා කළ ජිම් හයින්ස් – gettyimages.com

 

චීනයේ සූ බින්ෂියෑන් 2015 දී මීටර් 100 ඉසව්ව තත්පර 9.99කින් නිම කරමින් එවැනි දස්කමක් දැක්වූ මුල් ම ආසියාතික ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා. එදා සිට අද දක්වා ආසියාතික ක්‍රීඩකයන් 10 දෙනෙක් මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් අවසන් කර තිබෙනවා.

එහි දී චීන ක්‍රීඩක සූ බින්ෂියෑන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.83ක කාලයකින් නිම කර එම තරග ඉසව්වේ ආසියානු වාර්තාව බිහි කළා. 

 චීනයේ සූ බින්ෂියෑන් – gettyimages.com

 

යුපුන් වාර්තා කළ තත්පර 9.96ක කාලය එදා මෙදාතුර ආසියානු ක්‍රීඩකයෙක් මීටර් 100 ඉසව්ව නිම කළ 6 වන හොඳ ම කාලය ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. එදා මෙදා තුර ආසියානු මීටර් 100 ඉසව්වේ දී වාර්තා කළ හොඳ ම දක්ෂතා පහතින් දක්වා තිබෙනවා.

1). සූ බින්ෂියෑන් (චීනය)- තත්පර 9.83 (2021 වසරේ දී)

2).  ෆෙමී ඔගුනෝඩ් (කටාර්)- තත්පර 9.91 (2015 වසරේ දී)

3). සූ බින්ෂියෑන් (චීනය)- තත්පර 9.91 (2018 වසරේ දී)

4). ෆෙමී ඔගුනෝඩ් (කටාර්)- තත්පර 9.93 (2014 වසරේ දී)

5). යෝටා යමගාටා (ජපානය)- තත්පර 9.95 (2021 වසරේ දී)

6). යුපුන් අබේකෝන් (ශ්‍රී ලංකාව)- තත්පර 9.96 (2022 වසරේ දී)

කටාර් රාජ්‍යයේ ෆෙමී ඔගුනෝඩ් – gettyimages.com

 

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග පරාජයක් 

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී ආරම්භ වූ එම පළමු ටෙස්ට් තරගය, මාස කිහිපයකට පෙර මෙලොවින් සමුගත් ෂේන් වෝන්ට ගෞරවයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දඟ පන්දු යවන්නන්ට උචිත අයුරින් සකසා තිබුණු ගාල්ල තණතීරුවේ පන්දුවට මුලින් පහරදීමට තීරණය කළා. 

ශ්‍රී ලංකා නායක දිමුත් ඉනිම ආරම්භ කරමින් – gettyimages.com

 

සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට එහිදී හැකියාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 59ක දී ලකුණු 212කට සීමා වුණා. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 212 සඳහා නිරෝෂන් දික්වැල්ල ලකුණු 58කින් දායකත්වය ලබාදුන්නා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නේතන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් දවා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් මිචෙල් ස්වෙප්සන් ලකුණු 55කට කඩුලු 3ක් බිඳ දැමුවා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ලයන් – gettyimages.com

 

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට ම පන්දුවට වේගයෙන් පහර දුන්නා. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් නිසි එල්ලයක් නොමැතිව, තණතීරුවේ නිසි තැන්වල පන්දුව පතිත නොකරමින් සිදු කළ දුර්වල පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට රිසිසේ ලකුණු ලබා ගැනීමට හැකි වුණා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු ලබාගනිමින් – gettyimages.com

එහි දී රමේෂ් මෙන්ඩිස් යම් තරමකට පාලනයකින් යුතුව පන්දු යවමින් කඩුලු ලබාගත්ත ද එම පීඩනය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 321ක් ලබා ගත්තා. එහි දී ඕස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ කැමරන් ග්‍රීන් සහ උස්මාන් කවාජා පිළිවෙළින් ලකුණු 77ක් සහ 71ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 112කට කඩුලු 4ක් දවා ගත්තා. 

දක්ෂ පිතිහරඹයක නිරත වුණු කැමරන් ග්‍රීන් – gettyimages.com

 

ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කොරෝනා ආසාදිතයෙක් බව ඔප්පු වුණා. එනිසා ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ආදේශ කළා. මේ දිනවල ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින මැතිව්ස්ගේ සේවය අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. 

එවැනි වටපිටාවක ප්‍රතිවාදී කණ්ඩායමට වඩා ලකුණු 109ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් මුල සිට ම පන්දුවට වේගයෙන්  පහර දුන්නා. ඒ ඉක්මනින් ලකුණු ලබා ගෙන පීඩනය යළි ඕස්ට්‍රේලියානුවන් දෙසට එල්ල කිරීම සඳහා යි.

නමුත් ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන්ගෙන් ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ. ඔවුන් දක්ෂ අයුරින් පන්දුව දඟ කවමින් පන්දුවාර 22.5කදී ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 113කට සීමා කළා. එහි දී ට්‍රැවිස් හෙඩ් සහ නේතන් ලයන් කඩුලු 4 බැගින් දවා ගත්තා. 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ට්‍රැවිස් හෙඩ් – gettyimages.com

 

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දී ක්‍රීඩා කළ අඩු ම පන්දුවාර ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඊට පෙර 2012 වසරේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි ව මෙල්බර්න් පිටියේ පැවැත්වුණු  ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 24.2ක් තුළ අවසන් වුණා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 113කට අවසන් වීමෙන් පසු ව ලකුණු 5ක පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කළා. මේ  තරගයේ කෙටි ලකුණු පුවරුව යි.   

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 212/10, (දික්වැල්ල- 58, මැතිව්ස්- 39, ලයන්- 90/5, ස්වෙප්සන්- 55/3)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 321/10, (ග්‍රීන්- 77, කවාජා- 71, කේරි- 45, රමේෂ්- 112/4, අසිත- 37/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 113/10, (දිමුත්- 23, හෙඩ්- 10/4, ලයන්- 31/4, ස්වෙප්සන්- 34/2)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 10/0, (වෝනර්- 10*)

ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- කැමරන් ග්‍රීන් 

ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක් 

2022 පැරා ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලියේ F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයට සහභාගි වුණු සමිත දුලාන් කොඩිතුවක්කු මීටර් 66.60ක දුරකට හෙල්ලය විසි කරමින් නව ලෝක වාර්තාවක් බිහිකිරීමට සමත් වුණ.

එහි දී ඔහු අභිබවා ගියේ 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවේ මයිකල් බුරියන් මීටර් 66.29ක් තරම් දුරකට හෙල්ලය විසි කරමින් තබා තිබුණු ලෝක වාර්තාව යි. පසුගිය කාලයේ දී දස්කම් අතර අඛණ්ඩ ව සිටි සමිත 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දීත් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. 

සමිත දුලාන් (adaderana.lk)

 

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තාවක් බිඳ වැටෙයි 

2021-2022 ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ 5 වන ටෙස්ට් තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 416ක් ලබා ගත්තා. එහි දී ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉනිමේ 84 වන පන්දු වාරයේ දී ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

එම අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් සිටි ජස්ප්‍රිට් බූම්රා හයේ පහර 2ක්, හතරේ පහර 4ක් සහ තවත් ලකුණක් සමඟින් ලකුණු 29ක් රැස් කළා. නිපන්දුවක් සහ වයිඩ් පන්දුවක් මඟින් තවත් අමතර ලකුණු 6ක් ලැබුණු නිසා අවසානයේ දී පන්දුවාරය තුළ ලකුණු 35ක් වාර්තා වුණා. 

බ්‍රෝඩ්ගේ පන්දු හමුවේ බූම්රා ලකුණු රැස් කරමින් – gettyimages.com

 

එය ටෙස්ට් තරග ඉතිහාසය තුළ යම් පන්දුවාරයක දී වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා වුණා. පහතින් දක්වා තිබෙන්නේ ටෙස්ට් තරග ඉතිහාසයේ පන්දුවාරයක දී ඉහළ ම ලකුණු වාර්තා වුණු අවස්ථා 5 යි.

1). ජස්ප්‍රිට් බූම්රා (ඉන්දියාව)- එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් හමුවේ- ලකුණු 35 (2022 දී)

2). බ්‍රයන් ලාරා (කොදෙව්)- දකුණු අප්‍රිකාවේ රොබින් පීටර්සන් හමුවේ- ලකුණු 28 (2003 දී)

3). ජෝර්ජ් බේලි (ඕස්ට්‍රේලියාව)- එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් හමුවේ- ලකුණු 28 (2013 දී)

4). කේශව් මහරාජ් (දකුණු අප්‍රිකාව)- එංගලන්තයේ ජෝ රූට් හමුවේ- ලකුණු 28 (2020 දී)

5). ෂහිඩ් අෆ්රිඩී (පාකිස්තානය)- ඉන්දියාවේ හර්බජාන් සිං හමුවේ- ලකුණු 27 (2006 දී) 

බ්‍රෝඩ් ලබා දුන් 35 ඩිජිටල් පුවරුවේ සටහන් වුණු අයුරු – gettyimages.com

 

 

කවරයේ ඡායාරූපය- යුපුන් අබේකෝන් ධාවන තරගයක දී - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

worldathletics.org

sportstar.thehindu.com

Related Articles

Exit mobile version