Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL පිටිය වර්ණවත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග 46ක් මේ වන විට අවසන්. එම තරගවල දී අති විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, ඔවුන් සහභාගි වුණු තරග 9කින් 8ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා. ඔවුන් සමඟ කරට කර සටනක නියැළෙමින් සිටින ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. 

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම (thesportsrush.com)

 

ගෙවුණු සතියේ පැවති IPL තරගවල දී වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, සහ භානුක රාජපක්ෂ යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී වනිඳුගේ සහ චමීරගේ පන්දු යැවීම පිළිබඳ ක්‍රිකට් විස්තර විචාරකයන් පවා ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් IPL තරග බිමේ පෑ දස්කම් පිළිබඳ තොරතුරු ද සමඟින් නිමා වුණු සතියේ ක්‍රීඩා පිටියෙන් ඇසුණු සුවිශේෂී පුවත් කිහිපයක් මෙම ලිපියේ ඇතුළත්. 

IPL පිටිය වර්ණවත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

පසුගිය සතියේ පැවති IPL තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණේ වනිඳු හසරංග යි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන වනිඳු, ගෙවුණු සතියේ සහභාගි වුණු තරග 2 දී කඩුලු 4ක් බිඳ දැමුවා.

එහි දී ඔහු රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ පන්දු වාර 4ක් යවමින් ලකුණු 23කට කඩුලු 2ක් ද, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ පන්දු වාර 4ක් යවමින් ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ කණ්ඩායම එම තරග ද්විත්වය ම පරාජයට පත්වීම කනගාටුදායක සිදුවීමක් වුණා. 

වනිඳු, කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – cricketcountry.com

 

මෙවර IPL තරගාවලියේ 42 වන තරගය ලක්නව් සුපර්ජයන්ට්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර පසුගිය සිකුරාදා පැවැත්වුණා. එම තරගයේ දී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු දුෂ්මන්ත චමීර පන්දුවාර 4ක් යවමින් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

එහි දී මයන්ක් අගර්වාල් සහ ජොනී බෙයාස්ට්‍රෝ යන ප්‍රබල පිතිකරු යුගළය ඔහුගේ පන්දු හමුවේ දැවී ගියා. එම තරගයේ දී පිත්තෙන් ද සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ චමීර හයේ පහරවල් 2ක් එල්ල කරමින් ලකුණු 17ක් ලබා ගත්තා.

චමීර, කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – sportscafe.in

 

වනිඳු සහ චමීර IPL පිටියේ පන්දුවෙන් දස්කම් දක්වද්දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ පිත්තෙන් සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා.

එහි දී භානුක චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහි ව පසුගිය සතියේ පැවති තරගයක දී පන්දු 32කින් ලකුණු 42ක් වාර්තා කළා. එම ඉනිමේ දී ඔහු ෂිකර් ධවාන් සමඟ එක් ව ලකුණු 110ක සබඳතාවක් ගොඩනැඟීම සුවිශේෂී සිදුවීමක් වුණා.

භානුක පිත්තෙන් දස්කම් දක්වමින් – circleofcricket.com

 

IPL තරගාවලියේ තරග තොරතුරු 

IPL තරගාවලියේ මූලික වටයේ තරග 9ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් වාර්තා කළා. ගෙවුණු සතියේ පැවති IPL තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරයයි මේ.  

1). 38 වන තරගය- පංජාබ් කිංග්ස්  සහ චෙන්නායි සුපර් කිංග්ස් – පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 11ක ජයක් 

2). 39 වන තරගය- රාජස්තාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 29ක ජයක් 

3). 40 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද්- ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

4). 41 වන තරගය- දිල්ලි කැපිටල්ස්  සහ කොල්කටා නයිට් රයිඩර්ස්- දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

5). 42 වන තරගය- ලක්නව් සුපර්ජයන්ට්ස් සහ පංජාබ් කිංග්ස් – ලක්නව් සුපර්ජයන්ට්ස්   කණ්ඩායමට ලකුණු 20ක ජයක් 

6). 43 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ගුජරාට් ටයිටන්ස්  කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

7). 44 වන තරගය- මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්තාන් රෝයල්ස්- මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

8). 45 වන තරගය- ලක්නව් සුපර්ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් – ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 6ක ජයක් 

9). 46 වන තරගය- චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසන් හයිද්‍රාබාද්- චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 13ක ජයක් 

ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම – crictracker.com

 

2022 IPL තරගාවලියේ මුල් තරග 46 අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා ලෙසින් තවදුරටත් වැජඹෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩි ම කඩුලු සහ ලකුණු ලබා ගෙන සිටින ක්‍රීඩකයන් පිළිබඳව යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 566 (ඉනිම්- 9)

2). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 451 (ඉනිම්- 10)

3). අභිෂේක් ෂර්මා (සන්රයිසස් හයිද්‍රාබාද්)- ලකුණු 324 (ඉනිම්- 9)

4). හාර්ඩික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයින්ටන්ස්)- ලකුණු 308 (ඉනිම්- 8)

ලෝකේෂ් රාහුල් (huntdailynews.in)

වැඩි ම කඩුලු ලාභීහු 

1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 19 (ඉනිම්- 9)

2). කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 17 (ඉනිම්- 9)

3). තංගරාසු නටරාජන් (සන්රයිසස් හයිද්‍රාබාද්)- කඩුලු 17 (ඉනිම්- 9)

4). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 15 (ඉනිම්- 10)

කුල්දීප් යාදව් – listenzaheer.com

 

සුරංග ලක්මාල්ගෙන් ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහි ව කඩුලු 5ක් 

2022 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ තරග මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ඩර්බිෂයර් සහ ග්ලැමෝගන් ප්‍රාන්ත අතර පැවති තරගය පසුගිය ඉරිදා ජය පැරදුමෙන් තොර ව නිමාවට පත් වුණා. එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සුරංග ලක්මාල් ග්ලැමෝගන් පළමු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 82කට බිඳ දැමුවා.

ඉන් නොනැවතුණු ලක්මාල් දෙවන ඉනිමේ දි ලකුණු 65කට තවත් කඩුලු 2ක් දවා ගත්තා. ඒ අනුව ඔහු සමස්ත තරගයේ දී ලකුණු 147කට කඩුලු 7ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. 

ලක්මාල් කඩුලු 5ක් දවාගැනීමෙන් පසුව – sportspavilion.lk

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තොරතුරු

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු අර්ධයේ තරගය ගෙවුණු සතියේ දී නිමාවට පත්වුණා. එහි දී එංගලන්තයේ ලිවර්පූල් සහ එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. එම තරගවල ප්‍රතිඵල සටහන් වුණේ  පහත පරිදි යි.

1). ලිවර්පූල් සහ විලාරියල්- 2-0  

2). මැන්චෙස්ටර් සිටි සහ රියාල් මැඩ්‍රිඩ්- 4-3

මැන්චෙස්ටර් සිටි රියාල් මැඩ්‍රිඩ් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ට 

පසුගිය වසර කිහිපය තුළ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජෝ රූට් නම් සුපිරි තරුව යි. ගෙවුණු වසරක පමණ කාලය තුළ පැවති ටෙස්ට් තරගාවලිවල දී එංගලන්ත කණ්ඩායම දිගින් දිගට ම පරාජයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි පිරිසක් රූට්ගේ නායකත්වය විවේචනය කරන්නට පටන් ගත්තා.

 මීට සති දෙකකට පෙර රූට් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වුණා. ඒ සමඟින් පුරප්පාඩු වුණු එම තනතුර සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට ලබාදීමට පසුගිය සතියේ දී තීරණය වුණා. 

බෙන් ස්ටෝක්ස් – gettyimages.com

 

ස්ටෝක්ස් මීට පෙර එක් ටෙස්ට් තරගයක දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එම තරගයේ දී එංගලන්ත කණ්ඩායම කොදෙව්වන් හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වුණා. ගෙවුණු දශකය තුළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් බෙන් ස්ටෝක්ස් නම් ක්‍රීඩකයා සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා.

ඔහුගේ සටන්කාමී ක්‍රීඩා විලාසය නිසා එංගලන්ත කණ්ඩායම පරාජය වන්නට ගිය තරග පවා නොසිතූ ලෙසින් ජයග්‍රහණය කළා. එනිසා බෙන් ස්ටෝක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යනු ඇති බවට ක්‍රිකට් විස්තර විචාරකයන් අනාවැකි පළ කරනවා. 

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග IPL තරග බිමේ දස්කම් දක්වමින්  - cricketaddictor.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

uefa.com

Related Articles