Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ක්‍රීඩා දෙකකින් ආසියාව ජය ගත් සතියක නිමාව

2022 සැප්තැම්බර් 11 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන දිනයක් වුණා. ඒ එදින ශ්‍රී ලංකාව ක්‍රිකට් සහ දැල්පන්දු යන ක්‍රීඩා දෙකෙන් ම ආසියානු කුසලාන අවසන් තරග සඳහා ක්‍රීඩා කරමින් ජයග්‍රහණ ලබා ගත් නිසා යි.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන අවසන් තරගයේ දී උරෙනුර ගැටුණේ ප්‍රබල පාකිස්තාන කණ්ඩායම සමඟ යි. එම තරගය ලකුණු 23කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 වන වරටත් ආසියා කුසලානය දිනා ගත්තා. 

ආසියා ක්‍රිකට් කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ඒ වාගේම ආසියානු කුසලාන දැල්පන්දු අවසන් තරගයේ දී සිංගප්පූරුවට එරෙහි ව තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු සටනකින් පසුව ලකුණු 63-53ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් 6 වන වතාවටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත්තා. 

ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම – newscutter.lk

 

ආසියාවේ බලවතුන් අභිබවා ආසියා ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රී ලංකාව 

2022 ආසියා කුසලානය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එය ජය ගනු ඇති බවට කිසිවෙක් අනාවැකි පළ කළේ නැහැ. බොහෝ දෙනකු පෙර සිට ම අනාවැකි පළ කළේ මෙවර ආසියා කුසලානය ඉන්දියාව හෝ පාකිස්තානය ජයගනු ඇති බව යි.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 8ක දරුණු පරාජයක් ලැබුවා. එහි දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 105කට සීමා වීම අමතක නොවන සිදුවීමක් වුණා. එම පරාජයෙන් පන්නරය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය යටතේ තරග කළ ඉතිරි තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් තරගය ජයග්‍රහණය කළා. 

බංග්ලාදේශ තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් සුපිරි කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකාව එම තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔවුන් ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 176ක ඉලක්කයක් හඹා ගොස් කඩුලු 4ක ජයග්‍රහණය ලබා ගෙන ඉන් නොනැවතී ඉන්දියාව හමුවේ ද ලකුණු 174ක ඉලක්කයක් සාර්ථක ව හඹා ගොස් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

එම ජයග්‍රහණය වාර්තා කිරීමත් සමඟින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් තරගයට පෙර පාකිස්තානය සමඟ පැවති තරගය ද කඩුලු 5කින් ජය ගත්තා. 

ඉන්දියාව හමුවේ ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව – gettyimages.com

 

සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ දී සිය අපරාජිත බව රැක ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි විශ්වාසයකින් ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් තරගයට අවතීර්ණ වුණා. එම තරගයේ කාසියේ වාසිය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට මුලින් ම පහරදීමට සිදු වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වරට පැවති 20/20 තරග 10න් 8ක් ජයග්‍රහණය කළේ දෙවනියට පන්දුවට පහර දුන් කණ්ඩායම යි. එවැනි වටපිටාවක ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ම ලකුණු 58ක් තුළ බිඳ වැටුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ 5 වන කඩුල්ල දැවීගිය අවස්ථාව – gettyimages.com

 

ශ්‍රී ලංකාව පරාජය කරා යමින් සිටි එම අවස්ථාවේ සටන්කාමී  ක්‍රීඩා රටාවක නිරත වුණු භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුවා.

එම සබඳතාව නිමා කරමින් වනිඳු ලකුණු 36කට දැවී ගිය ද ඉන් නොසැලුණු භානුක පන්දු 45කින් නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම 170/6 දක්වා ඔසවා තැබුවා. එහි දී භානුක හයේ පහරකින් ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම අමතක නොවන සිදුවීමක් වුණා. 

භානුකගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 13.1ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 93ක් ලබා ගෙන සිටියා. ඒ මොහොත වන විට කඩුලු 8ක් අතැති ව සිටි පාකිස්තානයට ජයග්‍රහණය සඳහා පන්දු 41කින් ලකුණු 78ක් අවශ්‍ය වුණා. 

පන්දුවෙන් දස්කම් පෑ ප්‍රමෝද් – gettyimages.com

තරගය දෙපිලට ම විවෘත ව පැවති එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 19ක් තුළ පාකිස්තාන කඩුලු 5ක් දවා ගත්තා. එහි දී වනිඳු එක ම පන්දු වාරයක දී කඩුලු 3ක් දවා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.

එලෙස බිඳ වැටුණු පාකිස්තාන ඉනිම අවසානයේ දී ලකුණු 147කට සීමා වීමත් සමඟ ම ශ්‍රී ලංකාවට ලකුණු 23ක ජයක් හිමි වුණා. මේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

වනිඳු කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 170/6 (20), (භානුක- 71*, වනිඳු- 36, ධනංජය- 28, රවුෆ්- 29/3, ඉෆ්ටිකාර්- 21/1)

පාකිස්තානය- 147/10 (20), (රිස්වාන්- 55, ඉෆ්ටිකාර්- 32, ප්‍රමෝද්- 34/4, වනිඳු- 27/3, චාමික- 33/2)

ශ්‍රී ලංකාවට ලකුණු 23ක ජයක් 

තරගයේ වීරයා- භානුක රාජපක්ෂ

තරගාවලියේ වීරයා- වනිඳු හසරංග  

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

 

ශ්‍රී ලංකාව මීට පෙර 1986, 1997, 2004, 2008 සහ 2014 යන වසරවල ආසියා ක්‍රිකට් කුසලානය දිනා ගෙන තිබුණා. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව මෙරට ආසියා කුසලානය දිනා ගත්තේ 6 වන වරට යි.

ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ආසියා තරග ඉතිහාසයේ වැඩි ම තරග ප්‍රමාණයක් ජය ගත් කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වුණා. එහි දී ඔවුන් අභිබවා ගියේ ඉන්දීය කණ්ඩායම තරග 39ක් ජය ගෙන තබා තිබුණු වාර්තාව යි. 

2022 ආසියා කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

පිට පිට දෙවන වරටත් ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට 

2022 ආසියානු දැල්පන්දු තරගාවලිය සිංගප්පූරුවේ දී ඊයේ දිනයේ නිමාවට පත් වුණා. එම තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක සිංගප්පූරුව හමුවේ ලකුණු 63-53ක් ලෙසින් තියුණු ජයක් ලබාගෙන 6 වන වරටත් ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත්තා.

ඔවුන් ඊට පෙර 1989, 1997, 2001, 2009, සහ 2018 වසරවල දී ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගෙන තිබුණා. ඒ අතුරින් 1989, 2001, 2009 සහ 2018 අවසන් තරගවල දී ඔවුන් හමුවේ පරාජය වී තිබුණේ සිංගප්පූරුව යි. 

තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම – ft.lk

 

පසුගිය ආසියානු දැල්පන්දු ශූරියන් ලෙසින් මෙවර තරගාවලිය සඳහා අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික තරග වටයේ දී ඉන්දියාව හමුවේ 102-14ක් සහ පිලිපීනය හමුවේ 99-37ක් ලෙස පහසු ජයග්‍රහණ ලබා ගත්තා. 

 ඉන්දු-ශ්‍රී ලංකා මූලික තරගයේ අවස්ථාවක් -facebook.com/Sports Images SG

 

එම රිද්මය අඛණ්ඩව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවන වටයේ දී මැලේසියාව හමුවේ 55- 53, සිංගප්පූරුව හමුවේ 67-49, සහ හොංකොං හමුවේ 62-51 ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා.

ඉන් අනතුරු ව අවසන් පූර්ව තරගයේ දී යළි හොංකොං කණ්ඩායම හමුවේ 67-43ක් ලෙස ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව 10 වන වතාවටත් ආසියානු කුසලාන දැල්පන්දු අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව තරගයේ දී දස්කම් දක්වමින් – facebook.com/Sports Images SG

 

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී සිංගප්පූරුව ලකුණු 19-13ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියා. තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල සටනක් ලබා දුන්නත් එම අර්ධය නිමාවෙද්දීත් ලකුණු 30-27ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියේ සිංගප්පූරුව යි.

තරගයේ තෙවන අර්ධයේ දී තරගය කණපිට පෙරළූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 46-38ක් ලෙස සිංගප්පූරුව අභිබවා ඉදිරියට පැමිණියා. 

අවසන් තරගයේ තීරණාත්මක අවස්ථාවක් –  www.thepapare.com

 

එම රිද්මය අවසන් වටයේ දීත් එලෙස ම පවත්වා ගෙන ගිය අපේ ක්‍රීඩිකාවන් අවසානයේ දී ලකුණු 63-53ක් ලෙස තරගය ජයග්‍රහණය කළා.

එසේ ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාව 2023 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – ceylontoday.lk

 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් 

2022 Road Safety World Series ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ කාන්පූර් හි දී මේ දිනවල පැවැත්වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රීඩකයන් ඒ සඳහා සහභාගි වෙනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සහ බංග්ලාදේශය යන රටවල් නියෝජනය කරමින් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වෙනවා. 

ඒ සඳහා තිලකරත්න දිල්ෂාන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට සනත් ජයසූරිය, චමින්ද වාස්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, උපුල් තරංග, දිල්ෂාන් මුණවීර, චාමර සිල්වා, අසේල ගුණරත්න, චාමර කපුගෙදර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක් ව සිටිනවා. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි ව ඊයේ පැවැත්වුණා. 

එම තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ තිලකරත්න දිල්ෂාන් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 56කින් ලකුණු 107ක් ලබා ගත්තා.

ඔහුට අනගි සහායක් ලබා දුන් දිල්ෂාන් මුණවීර පන්දු 63කින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා. එම ඉනිමේ දී ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 208ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැඟීම අමතක නොවන සිදුවීමක් වුණා.  

දිල්ෂාන් සහ මුණවීර පන්දුවට පහරදෙමින් – facebook.com/Road safety world series

 

ඉන් අනතුරුව ලකුණු 219ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සාර්ථක තරග ආරම්භයක් ලබා දුන් ෂේන් වොට්සන් සහ කැමරන් වයිට් පන්දු 42කින් ලකුණු 75ක් එකතු කළා. ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයේ පාලනය සියතට ගනිමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු චතුරංග ද සිල්වා ලකුණු 39ක් ලබා ගෙන සිටි වොට්සන්ගේ කඩුල්ල දවා ගත්තා.

එතැන් සිට ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් ඉනිම ක්‍රම ක්‍රමයෙන් කඩා වැටෙන්නට පටන් ගත්තා. එහි කිසිම පිතිකරුවකුට ලකුණු 50 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියා ඉනිම, පන්දුවාර 18ක් තුළ ලකුණු 180කට සීමා වුණා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් කුලසේකර ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත්තා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නුවන් කුලසේකර – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්- 218/1 (20), (දිල්ෂාන්- 107, මුණවීර- 95*, ලී- 45/1)

ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්- 180/10, (18), (රියර්ඩොන්- 46*, වොට්සන්- 39, කුලසේකර- 36/4, ජීවන් 14/2)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට ලකුණු 38ක ජයක් 

තරගයේ වීරයා- තිලකරත්න දිල්ෂාන්  

ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ දී යුපුන්ගෙන් දස්කම් 

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් තරගය ස්විට්සර්ලන්තයේ සූරිච් හි දී පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි වුණා.

එහි දී ලෝකයේ ප්‍රබලත ම කෙටි දුර ධාවන ශූරයන්ට අභියෝගයක් එල්ල කළ යුපුන් තත්පර 10.14ක කාලයකින් තරගය නිම කර 5 වන ස්ථානය දිනා ගත්තා. මේ එම තරගයේ අවසන් ප්‍රතිඵලය යි. 

1). ට්‍රෙවොන් බ්‍රොමෙල් (අමෙරිකාව)- තත්පර 9.94

2). යොහාන් බ්ලේක් (ජැමයිකාව)- තත්පර 10.05

3). ඒරොන් බ්‍රවුන් (කැනඩාව)- තත්පර 10.06

4). අකානි සිම්බිනේ (දකුණු අප්‍රිකාව)- තත්පර 10.07

5). යුපුන් අබේකෝන් (ශ්‍රී ලංකාව)- තත්පර 10.14 

6). රීස් ප්‍රෙස්කොඩ් (මහා බ්‍රිතාන්‍ය)- තත්පර 10.16

7). කයිරී කිංග් (අමෙරිකාව)- තත්පර 10.18

8). ඇන්ඩ්‍රේ ඩි ග්‍රාසි (කැනඩාව)- තත්පර 10.21

යුපුන් අබේකෝන් – gettyimages.com

2022 රග්බි සත් සාමාජික ලෝක කුසලාන තරගාවලිය

2022 රග්බි සත් සාමාජික ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී ඊයේ දිනයේ නිමාවට පත් වුණා. ඒ යටතේ පැවති පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් සහභාගි වුණා. එම කණ්ඩායම් අතර පැවති මූලික තරග වට අවසානයේ නවසීලන්තය, ෆිජී, අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම තරග වටයේ දී නවසීලන්තය 17-10ක් ලෙස අයර්ලන්තය පරාජය කරද්දී, ෆිජී කණ්ඩායම ලකුණු 38-14ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කළා. ඉන් පසුව පැවති අවසන් තරගයේ දී ලකුණු 29-12ක් ලෙසින් නවසීලන්තය පරාජය කළ ෆිජී කණ්ඩායම තෙවන වරටත් සත් සාමාජික රග්බි ලෝක කුසලානය දිනා ගත්තා. ඔවුන් ඊට පෙර 1997 සහ 2005 වසරවල එම කුසලානය ජයග්‍රහණය කළා. 

ජයග්‍රාහී ෆිජී කණ්ඩායම – gettyimages.com

 

මෙවර සත් සාමාජික කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වුණා. එම කණ්ඩායම් අතර පැවති මූලික තරග වට අවසානයේ දී නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ ප්‍රංශය අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 38- 7 ලෙස ප්‍රංශය හමුවේ ජයග්‍රහණය ලබා ගනිද්දී, ඕස්ට්‍රේලියා කණ්ඩායම අමෙරිකාව හමුවේ 17-7 ලෙස තරගය ජයග්‍රහණය කළා.

ඉන් අනතුරුව නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අවසන් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා. එම තරගය ලකුණු 24-22ක් ලෙස ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව දෙවන වරට කාන්තා සත් සාමාජික රග්බි ලෝක කුසලානය දිනා ගත්තා. ඒ  2009 වසරෙන් පසුව වීම විශේෂත්වයක්. 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියා කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- දසුන් ශානක 2022 ආසියා කුසලානය සමඟ - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

Howstat.com

cricbuzz.com

diamondleague.com

rwcsevans.com ticketmaster.sg

Related Articles