Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් තරග 300 කඩඉම පසු කළ ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට 1982 පෙබරවාරි 17 වැනිදා ක්‍රීඩා කළා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක් උරුම වුණා. එදා සිට ගෙවුණු වසර 40ක කාලය තුළ ශ්‍රී ලංකාව සහභාගි වුණු 300 වන ටෙස්ට් තරගය මොහාලි හි දී පසුගිය දා නිමාව දුටුවා.

එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 222ක දරුණු පරාජයක් හිමිවීම කනගාටුදායක සිදුවීමක් වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමේ විත්ති මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 300 කඩඉම පසු කරයි 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 300 වන තරගය මොහාලි හිදී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. එය විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය ද වීම සුවිශේෂී යි. ගෙවුණු වසර 40ක කාලය තුළ සහභාගි වුණු ටෙස්ට් තරගවලින් ජයග්‍රහණ 95ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. එහි දී ශ්‍රී ලංකාව එක් එක් රට හමුවේ ලබා ගත් ජයග්‍රහණ ප්‍රමාණයයි මේ.

1) බංග්ලාදේශයට එරෙහිව- ජයග්‍රහණ 17 

2) පාකිස්තානයට එරෙහිව- ජයග්‍රහණ 16

3) සිම්බාබ්වේට එරෙහිව- ජයග්‍රහණ 14 

4) කොදෙව්වන්ට එරෙහිව- ජයග්‍රහණ 11

5) නවසීලන්තයට එරෙහිව- ජයග්‍රහණ 9 

6) දකුණු අප්‍රිකාවට එරෙහිව- ජයග්‍රහණ 9 

7) එංගලන්තයට එරෙහිව- ජයග්‍රහණ 8 

8) ඉන්දියාවට එරෙහිව- ජයග්‍රහණ 7

9) ඕස්ට්‍රේලියාවට එරෙහිව- ජයග්‍රහණ 4

ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් ජය ලබාගත් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා පැමිණි ගමනේ දී කඩඉම් ටෙස්ට් තරගවල දී ලබාගත් ප්‍රතිඵල පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

* 1 වන ටෙස්ට් තරගය- එංගලන්තයට එරෙහිව 1982 දී- කඩුලු 7ක පරාජයක් 

* 50 වන ටෙස්ට් තරගය- කොදෙව්වන්ට එරෙහිව 1993 දී- ජය පැරදුමෙන් තොරව නිමා වුණා 

* 100 වන ටෙස්ට් තරගය- පාකිස්තානයට එරෙහිව 2000 දී- කඩුලු 5ක පරාජයක් 

* 150 වන ටෙස්ට් තරගය- කොදෙව්වන්ට එරෙහිව 2005 දී- කඩුලු 6ක ජයක් 

* 200 වන ටෙස්ට් තරගය- එංගලන්තයට එරෙහිව 2011 දී- ජය පැරදුමෙන් තොරව නිමා වුණා 

* 250 වන ටෙස්ට් තරගය- ඕස්ට්‍රේලියාවට එරෙහිව 2016 දී- ලකුණු 229ක ජයක් 

* 300 වන ටෙස්ට් තරගය- ඉන්දියාවට එරෙහිව 2022 දී- ඉනිමක සහ ලකුණු 222ක ජයක් 

ශ්‍රී ලංකාව සහභාගි වුණු 150 වන ටෙස්ට් තරගයේ ජයග්‍රාහී මොහොත – gettyimages.com

 

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තොරතුරු 

තරග දෙකකින් සමන්විත ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මොහාලි හි දී නිමාවට පත්වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 574ක් ලබා ගත්තා.

එහි දී ඉන්දීය ඉනිම වර්ණවත් කළ රවීන්ද්‍ර ජඩේජා හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 228කින් ලකුණු 175ක් ලබා ගත්තා. රිෂ්බා පන්ට් පන්දු 97කින් ලබා ගත් ලකුණු 96 ද ඉන්දීය ඉනිම ශක්තිමත් කළා. 

ජඩේජා සිය ශතකය වාර්තා කළ මොහොත – espncricinfo.com

 

ඉන් පසු සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 174කට සීමා වුණා.

එක් අවස්ථාවක 161/4 ලෙසින් පැවති ශ්‍රී ලංකා ඉනිම 174කට සීමා වීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වුණා. එම ඉනිමේ දී ලකුණු අතරට පිවිසි පැතුම් නිස්සංක සටන්කාමී ව නොදැවී ලකුණු 61ක් රැස් කරද්දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 41කට කඩුලු 5ක් බිඳ දැමුවා. 

පැතුම් නිස්සංක පන්දුවට පහරදෙමින් – espncricinfo.com

 

ඉන් අනතුරුව පිට පිටම දෙවන වරටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 178ක් පමණ යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය යම් තරමකට බේරා ගත් නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා දෙවන ඉනිම සුණුවිසුණු කළ රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම- 574/8, (ජඩේජා- 175*, පන්ට්- 96, අශ්වින්- 61, විහාරි- 58, ලක්මාල්- 90/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 174/10, (නිස්සංක- 61*,  ජඩේජා- 41/5, බූම්රා- 36/2, අශ්වින්- 49/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 178/10, (දික්වැල්ල- 51*, ජඩේජා- 46/4, අශ්වින්- 47/4, ෂමී- 48/2)

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 222ක ජයක්

තරගයේ වීරයා- රවීන්ද්‍ර ජඩේජා  

ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළ මොහොත (espncricinfo.com)

 

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 222ක දැවැන්ත පරාජයක් හිමි වුණා. එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු තෙවන දැවැන්ත ම පරාජය ලෙස සටහන් වුණා. පහතින් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු දැවැන්තම ටෙස්ට් තරග පරාජයන් 5 පිළිබඳව යි.  

1) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2017 දී- ඉනිමක සහ ලකුණු 239ක පරාජයක් 

2) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 2001 දී- ඉනිමක සහ ලකුණු 229ක පරාජයක් 

3) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2022 දී- ඉනිමක සහ ලකුණු 222ක පරාජයක් 

4) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 1993 දී- ඉනිමක සහ ලකුණු 208ක පරාජයක් 

5) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2012 දී- ඉනිමක සහ ලකුණු 201ක පරාජයක් 

2017 දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගයේ අවස්ථාවක් – espncricinfo.com

 

නවසීලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය නිමා වෙයි 

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග දෙකකින් සමන්විත වුණු ටෙස්ට් තරගාවලියපසුගිය සතියේ  ක්‍රයිස්චර්ච් හි දී නිමාවට පත්වුණා. කණ්ඩායම් දෙක ම කරට කර සටනක නිරත වුණු එම තරගාවලිය 1-1ක් ලෙසින් අවසන් වුණා.

එහි දී නවසීලන්ත කණ්ඩායම 18 වසරකට පසු ව දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් නිමා වුණු තරගාවලිය යටතේ පැවති ටෙස්ට් තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම- 95/10, (හම්සා- 25, හෙන්රි- 23/7, වැග්නර්- 102/4, හෙන්රි- 19/1)

නවසීලන්ත පළමු ඉනිම- 482/10, (නිකොල්ස්- 105, බ්ල්න්ඩල්- 96, හෙන්රි- 58*, ඔලිවියර්- 100/3)

දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 111/10, (බවුමා- 41, සවුති- 35/5, වැග්නර්- 19/2, හෙන්රි- 32/2)

නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 276ක ජයක් 

තරගයේ වීරයා- මැට් හෙන්රි 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු හෙන්රි – gettyimages.com

 

දෙවන ටෙස්ට් තරගය 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම- 364/10, (සරේල්- 108, මාක්‍රම්- 42, වැග්නර්- 11/1, ජේමිසන්- 90/3)

නවසීලන්ත පළමු ඉනිම- 293/10, (ග්‍රෑන්ඩ්හෝම්- 120, මිචෙල්- 60, රබාඩා- 60/5, යැන්සන්- 98/4)

දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 354/9/, (වෙරෙයින්- 136*, රබාඩා- 47, වැග්නර්- 81/2, හෙන්රි- 81/2)

නවසීලන්ත දෙවන ඉනිම- 227/10, (කොන්වේ- 92, රබාඩා- 46/3, යැන්සන්- 63/3, මහරාජ්- 75/3)

දකුණු අප්‍රිකාවට ලකුණු 198ක ජයක් 

තරගයේ වීරයා- කගීසෝ රබාඩා 

තරගාවලියේ වීරයා- මැට් හෙන්රි 

රබාඩා පන්දුවෙන් දස්කම් දක්වමින්  – espncricinfo.com

 

රුසියා-යුක්‍රේන ගැටුම අතරේ රුසියානු ෆෝමියුලා ධාවකයෙක් ඉවතට 

Haas, F1 ෆෝමියුලා මෝටර් රථ තරග සඳහා සහභාගි වන අමෙරිකානු කණ්ඩායමක්. 2016 සිට තරග බිමට පිවිසි එම කණ්ඩායමට 2021 දී රුසියානු ක්‍රීඩක නිකිටා මැසෙපින් එකතු වුණා. එම තරගවාරයේ දී ඔහු ප්‍රසිද්ධ ෆෝමියුලා 1 ලෝක ශූරයකු වන මයිකල් ෂූමාකර්ගේ පුත් මික් ෂූමාකර් සමඟින් තරග වැදුණා. නිකිටාගේ පියා වන දිමිත්‍රි මැසෙපින් යුරල්කලි නම් සුප්‍රකට රුසියානු පොහොර නිෂ්පාදන සමාගමේ කොටස් හිමිකරුවෙක්. එනිසා ඔහු Haas F1 ෆෝමියුලා මෝටර් රථ කණ්ඩායමට යුරල්කලි සමාගමේ අනුග්‍රහය ලබා දුන්නා.

නිකිටා මැසෙපින් – gettyimages.com

 

පසුගිය දිනවල රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමක් ආරම්භ වුණා. එහි දී අමෙරිකානු රජයේ සහාය යුක්‍රේනයට හිමි ව තිබෙනවා. යුරල්කලි සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවකු වන දිමිත්‍රි මැසෙපින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සමඟින් සමීප සබඳතා පවත්වන බව ප්‍රසිද්ධ කරුණක්.

එහි ප්‍රතිඵලයක් වශයෙන් Haas F1 ෆෝමියුලා කණ්ඩායම සහ යුරල්කලි සමාගම අතර අත්සන් කර තිබුණු අනුග්‍රාහක ගිවිසුම අහෝසි කිරීමට Haas F1 කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළා. ඒ වාගේම දිමිත්‍රි මැසෙපින්ගේ පුත් නිකිටා මැසෙපින් ද Haas F1 කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. 

දිමිත්‍රි මැසෙපින් සහ ව්ලැඩ්මිර් පුටින් – uralchem.com

කවරයේ ඡායාරූපය - 1982 පැවති ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගය - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

euronews.com 

Related Articles