Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දසුන් ශානක සමඟ අලුත් වුණු 20/20 ක්‍රිකට් වාර්තා

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ තෙවන තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය සෙනසුරාදා නිමාවට පත් වුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සිය කණ්ඩායමට නොසිතූ ජයක් උරුම කර දුන්නා.

එපමණක් නොව සිය නාමය 20/20 ක්‍රිකට් වාර්තා පොත්වල සටහන් කරන්නට ද ඔහුට හැකි වුණා. ඒ අයුරින් දසුන් දැක්වූ සුපිරි දස්කම් ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරුයි මේ.

දසුන් ශානක කැංගරුවන්ට එරෙහි ව පෑ සුපිරි දස්කම 

නිමා වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තෙවන 20/20 තරගයේ දී ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 16 වන පන්දු වාරය නිමාවෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා. ජයග්‍රහණය සඳහා පන්දු 24කින් ලකුණු 65ක් අවශ්‍ය වුණු එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දසුන් ශානක හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 25කින් නොදැවී ලකුණු 54ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහි දී දසුන් අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 50ක් රැස් කරමින් විශිෂ්ට දස්කමක් දැක්වීමට සමත් වුණා. 

දසුන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

එසේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දසුන් 20/20 තරගාවලි ඉතිහාසයේ ඉලක්කයක් හඹා ගිය අවස්ථාවල අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 50ක් ලබා ගත් එක ම පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණා. ඊට පෙර එම වාර්තාවේ සම හිමිකරුවන් වුණු ඕස්ට්‍රේලියාවේ මයික් හසී සහ දකුණු අප්‍රිකාවේ රාසී වෑන් ඩූසන් අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 45 බැගින් ලබා තිබුණා.

ඊට අමතරව එම තරගයේ දී ශ්‍රී ලංකාව තවත් සුවිශේෂී වාර්තාවක් බිහි කළා. ඒ 20/20 තරගයක අවසන් පන්දුවාර 3 තුළ ලකුණු 50කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කළ එකම කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වීම යි. 

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

ශ්‍රී ලංකාව එහි දී  අවසන් පන්දුවාර තුනේ දී ලකුණු 59ක ඉලක්කයක් හඹා ගියා. ඊට පෙර එම වාර්තාව හිමි කර ගෙන සිටි ඕස්ට්‍රේලියාව 2010 T20 ලෝක කුසලාන දෙවන  අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානයට එරෙහි ව අවසන් පන්දුවාර තුනේ දී ලකුණු 48ක ඉලක්කයක් සාර්ථක ව හඹා ගොස් තිබුණා.

එහි දී මයික් හසී අවසන් පන්දුවාර තුනේ දී ලකුණු 44ක් ලබා ගැනීම විශේෂත්වයක් වුණා.

මයික් හසීගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

 20/20 තරගාවලියේ ජය ඕස්ට්‍රේලියානුවන්ට 

පසුගිය සතියේ දී එලෙසින් නිමාව දුටු තරග 3කින් සමන්විත වුණු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය තරග 2-1ක් ලෙසින් තරගාවලි ජයග්‍රහණය හිමි කර ගත්තේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි.

එම තරගාවලිය යටතේ පැවති මුල් තරග දෙකේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වුණා. එනිසා මුල් තරග දෙකේ ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානුවන් තරගයක් ඉතිරි ව තිබිය දී තරගාවලියේ ජය තමන් සතු කර ගත්තා.

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

 

තෙවන තරගයේ දී දස්කම් අතරට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක්  හඹා යමින් තරගය ජයග්‍රහණය කළා. එසේ නිමාවට පත් වුණු තරගාවලියේ තරග ප්‍රතිඵලයි මේ.

පළමු තරගය 

ශ්‍රී ලංකාව- 128/10 (19.3), (අසලංක- 38, නිස්සංක- 36, හේසල්වුඩ්- 16/4, ස්ටාක්- 26/3)

ඕස්ට්‍රේලියාව- 134/0 (14), (වෝනර්- 70*, ෆින්ච්- 61*)

ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- ජෝෂ් හේසල්වුඩ් 

පන්දුවෙන් සුපිරි  දස්කම් දැක්වූ ජෝෂ් හේසල්වුඩ් – gettyimages.com

 

දෙවන තරගය 

ශ්‍රී ලංකාව- 124/9 (20), (අසලංක- 39, මෙන්ඩිස්- 36, කේන්- 30/4, ජේයි- 26/3, මැක්ස්වෙල්- 18/2)

ඕස්ට්‍රේලියාව- 126/7 (17.5), (වේඩ්- 26*, ෆින්ච්- 24, හසරංග- 33/4, තුෂාර- 18/1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- මැතිව් වේඩ් 

 දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග (gettyimages.com)

තෙවන තරගය 

ඕස්ට්‍රේලියාව- 176/5 (20), (වෝනර්- 39, ස්ටොයිනිස්- 38, ස්මිත්- 37*, තීක්ෂණ- 25/2, හසරංග- 33/1)

ශ්‍රී ලංකාව- 177/6 (19.5), (දසුන්- 54*, නිස්සංක- 27, අසලංක- 26, ස්ටොයිනිස්- 8/2, හේසල්වුඩ්- 25/2)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- දසුන් ශානක 

තරගාවලියේ වීරයා- ඇරොන් ෆින්ච් 

දසුන් ශානකගේ ප්‍රවේගකාරී ඉනිමේ අවස්ථාවක්  – gettyimages.com

 

දකුණු අප්‍රිකාවෙන් ඉන්දීය කණ්ඩායමට අමතක නොවන ප්‍රහාරයක් 

තරග 5කින් සමන්විත ඉන්දු – දකුණු අප්‍රිකා 20/20 තරගාවලිය දිල්ලි නුවර අරුන් ජෙට්ලි පිටියේ දී පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වුණා. එම තරගාවලිය යටතේ ගෙවුණු සතියේ දී පැවති තරග ද්විත්වය ම ජයග්‍රහණය කළ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 2-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. එහි දී දකුණු අප්‍රිකානුවන් පළමු 20/20 තරගයේ දී ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය කාගේත් අවධානයට ලක් වුණා. නිමා වුණු තරග ද්විත්වයේ කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

පළමු තරගය 

ඉන්දියාව- 211/4 (20), (කිශාන්- 76, ෂ්‍රෙයාස්- 36, හාර්ඩික්- 31*, පානෙල්- 32/1)

දකුණු අප්‍රිකාව- 212/3 (19.1), (ඩූසන්- 75*, මිලර්- 64*, ප්‍රිටෝරියස්- 29, අක්සාර්- 40/1)

දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- ඩේවිඩ් මිලර්  

මිලර් සහ ඩූසන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමෙන් පසුව – gettyimages.com

දෙවන තරගය 

ඉන්දියාව- 148/6 (20), (ෂ්‍රෙයාස්- 40, කිශාන්- 34, නොකියා- 36/2, මහරාජ්- 12/1, රබාඩා- 15/1)

දකුණු අප්‍රිකාව- 149/6 (18.2), (ක්ලාසන්- 81, බවුමා- 35, බුවනේෂ්වර්- 13/4, හර්ෂාල්- 17/1)

දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- හෙන්රික් ක්ලාසන් 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රික් ක්ලාසන්  – indnewsfocus.com

 

මිතාලි රාජ් වසර 23ක ක්‍රිකට් දිවියට සමු දෙයි 

Lady Tendulkar යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මිතාලි රාජ් නම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් පසුගිය සතියේ දී සමු ගත්තා. 1999 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මිතාලි ජාත්‍යන්තර තරග 333ක දී ඉන්දියාව නියෝජනය කළා. එහි දී ඇය එක්දින ලකුණු 7805ක්, 20/20 ලකුණු 2364ක් සහ ටෙස්ට් ලකුණු 699ක් ලබා ගැනීමට සමත් වුණා.

වර්තමානය වන විට ලොව වැඩි ම එක්දින ලකුණු ප්‍රමාණයක් ලබා සිටින කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් වැජඹෙන මිතාලි 2004-2022 කාලයේ දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ඇයගේ නායකත්වය යටතේ ඉන්දියාව 2005 සහ 2017 වසරවල එක්දින ලෝක කුසලාන අනුශූරතාව දිනා ගත්තා. එනිසා මිතාලිගේ නික්ම යාම ඉන්දීය කාන්තා ක්‍රිකට් ඇණියට වූ බලවත් පාඩුවක් බව විචාරකයන් පවසනවා. 

මිතාලි රාජ් – gettyimages.com

 

ස්විට්සර්ලන්තයේ දී රන් පදක්කමක් දිනූ සාරංගි 

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වුණු ATHLETICA GENEVE – EAP ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩිකාවක් වන සාරංගි සිල්වා සමත් වුණා.

එහි දී ඇය මීටර් 6.33ක දුරක් පනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඒ අයුරින් සාරංගි රන් පදක්කම දිනා ගනිද්දී චිලී සහ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් රිදී සහ ලෝකඩ පදක්කම් හිමි කර ගත්තා.

සාරංගි සිල්වා – ft.lk

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරාජය කිරීමෙන් පසුව - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

eap-circuit.eu

Related Articles