Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් තරග 100 සමාජයට ඇතුළත් වුණු මැතිව්ස් 

2022 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ඊයේ (24) දිනයේ ආරම්භ වුණා. එය ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් තරුවක් වන ඇන්ජලෝ මැතිව්ස්ගේ 100 වන ටෙස්ට් තරගය බවට පත් වුණා.

එහි දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා. ඔහු මීට වසර 13කට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පාකිස්තානයට එරෙහිව ම සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සුවිශේෂී සිදුවීමක් ලෙස දක්වන්නට පුළුවන්.

100 වන ටෙස්ට් තරගයට අදාළ හිස්වැස්ම මැතිව්ස්ට ලැබුණු මොහොත – gettyimages.com

ටෙස්ට් තරග 100 සමාජයට ඇතුළත් වුණු මැතිව්ස් 

2009-2022 කාලය තුළ ටෙස්ට් තරග 100කට සහභාගි වුණු ඇන්ජලෝ මැතිව්ස් ඉනිම් 177ක දී පන්දුවට පහර දෙමින් අර්ධ ශතක 38ක් සහ ශතක 13ක් සමඟින් ලකුණු 6918ක් ලබා ගෙන තිබෙනවා. එහි දී ඔහු සිය ටෙස්ට් තරග දිවියේ වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස නොදැවී ලකුණු 200ක් රැස් කළේ  සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව යි.

ඊට අමතර ව 2022 දී බංග්ලාදේශයට එරෙහි ව ලබා ගත් ලකුණු 199, 2014 දී එංගලන්තයට එරෙහි ව ලබා ගත් ලකුණු 160, 2013 දී පාකිස්තානයට එදිරි ව නොදැවී ලබා ගත් ලකුණු 157 මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු අමතක නොවන ටෙස්ට් ඉනිම් 3ක්. පිත්තට අමතරව පන්දුවෙන් ද දස්කම් දැක්වූ මැතිව්ස් සිය ටෙස්ට් තරග දිවිය තුළ දී කඩුලු 33ක් දවා ගැනීමට සමත් ව සිටිනවා. 

එංගලන්තයට එරෙහිව ලකුණු 160ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

ඇන්ජලෝ මැතිව්ස්ට පෙර තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළා. ඒ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන් පස් දෙනා යි. මේ ඔවුන් සිය 100 වන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම්.

1). සනත් ජයසූරිය

සනත් ජයසූරිය තම 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2005 වසරේ දී යි. බංග්ලාදේශයට එරෙහිව පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 69ක ජයග්‍රහණයක් හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී පිත්තෙන් දස්කම් දැක්වීමට අසමත් වුණු ජයසූරිය ලබාගත්තේ ලකුණු 13ක් පමණ යි.

2). මුත්තයියා මුරලිදරන්

මුත්තයියා මුරලිදරන් තම 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ බංග්ලාදේශ කණ්ඩායමට  එරෙහි ව 2006 වසරේ දී යි. චිතගොං හිදී පැවැත්වුණු එම ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් පළමු ඉනිමේ දී 87/3ක් සහ දෙවන ඉනිමේ දී  54/6ක් ලෙස කඩුලු බිඳ දැමීමට සමත් වුණා.

3). චමින්ද වාස් 

චමින්ද වාස්  තම 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2007 වසරේ දී යි. එංගලන්තයට එරෙහි ව අස්ගිරිය  පිටියේ පැවති එම තරගයෙන් ලකුණු 88ක ජයග්‍රහණයක් හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී පන්දුවෙන් සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ වාස් පළමු ඉනිමේ දී 76/2ක් සහ දෙවන ඉනිමේ දී 56/3ක් ලෙසින් කඩුලු දවා ගත්තා. 

4). මහේල ජයවර්ධන

මහේල ජයවර්ධන 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව 2009 වසරේ දී යි. චිතගොං හිදී පැවැත්වුණු එම ටෙස්ට් තරගයෙන් ලකුණු 465ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එම තරගයේ දී අසාර්ථක වුණු මහේල, පළමු සහ දෙවන ඉනිම්වල දී පිළිවෙළින් ලකුණු 11ක් සහ ලකුණු 22ක් ලබා ගත්තා. 

5). කුමාර් සංගක්කාර 

කුමාර් සංගක්කාර සිය 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2011 වසරේ දී යි. ඕස්ට්‍රේලියාවට එරෙහි ව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති එම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුණා. එහි දී පළමු ඉනිමේ දී පමණක් පන්දුවට පහර දුන් සංගක්කාර ලකුණු 79ක් ලබා ගත්තා.

සිය 100 වන ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් – gettyimages.com

ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවන ටෙස්ට් තරගය

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ දිනයේ (24) ආරම්භ වුණා. එය ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් තරග දිවියේ 100 වන ටෙස්ට් තරගය ලෙසින් සටහන් වුණා.

මෙම තරගයේ දී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ටෙස්ට් වරම් හිමි වුණා. 

වෙල්ලාලගේට ටෙස්ට් වරම් හිමි වුණු අවස්ථාව – gettyimages.com

 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා ගෙන සිටියා. එහි දී දක්ෂ පිතිහරඹයක නිරත වුණු දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබා ගනිද්දී ඕෂධ ප්‍රනාන්දුගේ පිත්තෙන් ද ලකුණු 50ක් වාර්තා වුණා. 

දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදෙමින් = gettyimages.com

සිය ටෙස්ට් තරග දිවියේ 100 වන තරගයට සහභාගි වුණු ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 42ක් පමණ යි. ඔහු 2009 දී පාකිස්තානයට එරෙහි ව ගාලු පිටියේ දී ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දීත් ලකුණු 42කට දැවී ගොස් තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. තරගයේ දෙවන දිනයේ උදෑසන තරගයට අවතීර්ණ වුණු පාකිස්තාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378කට සීමා කළා. මේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාරාංශය යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 378/10 (100)

දිනේෂ් චන්දිමාල්- 80 (137)

නිරෝෂන් දික්වැල්ල- 51 (54)

ඕෂධ ප්‍රනාන්දු- 50 (70)

ඇන්ජලෝ මැතිව්ස්- 42 (106)

නසීම් ෂා- 58/3 (18)

යසිර් ෂා- 83/3 (22)

පන්දුවෙන් දස්කම් දැක්වූ නසීම් ෂා – gettyimages.com

 

ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව අමෙරිකාවට 

18 වන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අමෙරිකාවේ ඉයුජින් හි දී ඊයේ (24) දිනයේ දී නිමාවට පත් වුණා. රටවල් 192ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරග ඉසව් 49ක් ඇතුළත් වුණා. එම තරග ඉසව් යටතේ බෙදා දුන් රන් පදක්කම් 49ක් අතුරින් රන් පදක්කම් 13ක් දිනා ගත්තේ අමෙරිකාව යි.  මේ අමෙරිකාව රන් පදක්කම් 13 දිනා ගත් ආකාරය යි.

1). මීටර් 100 පිරිමි- ෆ්රෙඩ් කර්ලි 

2). රිටි පැනීම කාන්තා- පෝල් නැගෝටි 

3). මීටර් 110 කඩුලු පැනීම පිරිමි- ග්‍රාන්ට් හොලොවේ 

4). යගුලිය විසි කිරීම පිරිමි- රයන් කෘසර් 

5). යගුලිය විසි කිරීම කාන්තා- චේස් ඊලි 

ෆ්‍රෙඩ් කර්ලි – gettyimages.com

 

6). මිටිය විසි කිරීම කාන්තා- බෘක් ඇන්ඩර්සන් 

7). මීටර් 200 පිරිමි- නෝආ ලයිල්ස් 

8). මීටර් 400 පිරිමි- මයිකල් නෝර්මන් 

9). මීටර් 800 කාන්තා- ඇතින්ග් මූ 

10). මීටර් 400 කාන්තා කඩුලු- සිඩ්නි මැක්ලොක්ලින් 

සිඩ්නි මැක්ලොක්ලින් – gettyimages.com

 

11). 4×100 කාන්තා සහාය දිවීම 

12). 4×400 පිරිමි සහාය දිවීම  

13). 4×400 පිරිමි සහාය දිවීම  

කාන්තා මීටර් 400 සහාය දිවීම  රන් පදක්කම දිනා ගත් අමෙරිකා කණ්ඩායම – gettyimages.com

 

රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත් අමෙරිකාව ලකුණු 328ක් ලබා ගෙන තරගාවලියේ ශූරතාව දිනා ගනිද්දී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත් ඉතියෝපියාව ලකුණු 106ක් ලබා ගෙන පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගත්තා. ජැමයිකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 1ක් දිනා ගෙන ලකුණු 110 ලබාගෙන තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තා. තරගාවලියේ පදක්කම් සටහනයි මේ. 

තරගාවලියේ පදක්කම් සටහන – worldathletics.org

 

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 110ක්  

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය එංගලන්තයේ බර්මිංහැම් හිදී ජූලි 28 සිට අගෝස්තු 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත යි. එම ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක්  සහභාගි වීමට නියමිත යි. එහි දී මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජිම්නාස්ටික්, පිහිනුම්, බොක්සිං, ජූඩෝ, ස්කොෂ්, මල්ලවපොර, බැඩ්මින්ටන්, ක්‍රිකට්, රග්බි, පැසිපන්දු, වෙරළ වොලිබෝල් යන ක්‍රිඩා යටතේ තරග බිමට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානමින් සිටිනවා. 

2006 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී බර ඉසිලීම ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනාගත් චින්තන ගීතාල් විදානගේ, දකුණු ආසියාවේ වේගත්වම මිනිසා බවට පත්ව සිටින යුපුන් අබේකෝන්, 2020 ටෝකියෝ ඔලිම්පික් වරම් ලද ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන ප්‍රබලත ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙසින් නම් කරන්නට පුළුවන්. 

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් – gettyimages.com

 

ඉන්දු-කොදෙව් එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට 

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ මුල් තරග ද්විත්වය ජයග්‍රහණය කළ සංචාරක ඉන්දීය කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරි ව තිබිය දී තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. මේ එම තරගාවලියේ මුල් එක්දින තරග ද්විත්වයේ ප්‍රතිඵල යි.

1). පළමු එක්දින තරගය- ඉන්දියාවට ලකුණු 3ක ජයක් 

ඉන්දියාව- 308/7 (50)

කොදෙව්- 305/6 (50)

තරගයේ වීරයා- ෂිකර් ධවාන් (ඉන්දියාව)- 97 (99)

පිත්තෙන් දස්කම් දැක්වූ ෂිකර් ධවාන් – gettyimages.com

 

2). දෙවන එක්දින තරගය- ඉන්දියාවට කඩුලු 2ක ජයක් 

කොදෙව්- 311/6 (50)

ඉන්දියාව- 312/8 (49.4)

තරගයේ වීරයා- අක්සාර් පටෙල් (ඉන්දියාව)- 64* (35) සහ 40/1 (9)

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ අක්සාර් පටෙල් – gettyimages.com

කවරයේ ඡායාරූපය- තම 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

worldathletics.org

birmingham2022.com   

Related Articles