Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකික හදවත් දිනූ බ්‍රසීලයේ සොඳුරු මැජික්කරුවන් දෙදෙනා – රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝ

ඔබගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා කවුද? යන පැනය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇසුවොත් අදටත් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ රොනාල්ඩෝ හෝ රොනාල්ඩීනියෝ යන්න සැක නැති කරුණකි. ඒ තරමටම රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය ක්‍රීඩකයින් දෙදෙනෙකි. 2002 පාපන්දු ලෝක කුසලානයේ දී දැක් වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් සහ නිතරම මුහුණු වල ඇති අව්‍යාජ සිනහව නිසා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ආදරය මෙම ක්‍රීඩකයින් දෙදෙනාට හිමිය. රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝ ඉතාමත් සමීප මිතුරන් දෙදෙනෙකි. එසේනම් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද අපි කතා කරන්නේ බ්‍රසීලයේ මෙම සොඳුරු මැජික්කරුවන් දෙදෙනා පිළිබඳවයි.

බ්‍රසීලයේ ක්‍රීඩා වැඩසටහනක් වන “Esporte Espetacular” වැඩසටහනේදී රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝ දැක්වූ අදහස් කිපියකින් ලිපිය ආරම්භ කරමු.

නිවේදක : රොනාල්ඩෝ, ඔබ රොනාල්ඩීනියෝට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් හිමිකරගත්තා. රොනාල්ඩීනියෝ ප්‍රථමයෙන්ම බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවේ දී ඔබ රොනාල්ඩීනියෝට පැවසුවේ කුමක්ද?

රොනාල්ඩෝ : මම රොනාල්ඩීනියෝට කීවා සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන්න කියලා. අපි ඉස්සර පාරවල් වල ක්‍රීඩා කරපු විදිය වගේම තමයි. ලොකු වෙනසක් නෑ කියලා කීවා.

නිවේදක : ඔබ දෙපළට මිනිසුන් මේ තරම් ආදරය කරන්නේ ඇයි?

රොනාල්ඩීනියෝ : ඒක හිතාගන්නවත් බැරි තරම් ආදරයක්. බ්‍රසීලයේ මිනිසුන් ආදරය කරන පාපන්දු ක්‍රීඩාව අපේ වෘත්තීය වීම අපේ වාසනාවක්.

රොනාල්ඩෝ : අපි දෙන්නාම පොඩි තැනක ඉඳලා අද මේ මේ තත්වෙට ආපු අය. මිනිස්සු අපි දිහා බලාගෙන ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න උත්සාහ කරනවා. මිනිස්සු අපිට ගොඩක් ආදරෙයි.

ඉන්පසු නිවේදකයා වූ ෆෙලිපේ අන්ඩ්‍රියෝලි, රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝගෙන් ඉතා රසවත් ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර එම ප්‍රශ්නවලට ඔවුන්ට දිය හැකි පිළිතුරු වූයේ ඔවුන් දෙදෙනාගේ නම් පමණකි. (මෙහිදී R9 ලෙසින් රොනාල්ඩෝගේ නමද R10 ලෙසින් රොනාල්ඩීනියෝගේ නමද නිරූපණය විය. මෙම අංක ඔවුන් වැඩි වශයෙන් භාවිතා කළ ජර්සි අංක වේ.)

රොනාල්ඩෝ සහ රොනාල්ඩීනියෝ “Esporte Espetacular” වැඩසටහන අතරතුරදී (libero.pe)

නිවේදක : වර්තමානයේ ශරීර යෝග්‍යතාවයෙන් ඔබ දෙදෙනාගෙන් ඉදිරියෙන් සිටින්නේ කවුද?

දෙදෙනාගේම පිළිතුර වූයේ රොනාල්ඩෝ බවයි.

නිවේදක : ඔබ දෙදෙනාම ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරා. ඔබ දෙදෙනාගෙන් බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් හොඳින්ම ක්‍රීඩා කරේ කවුද?

රොනාල්ඩීනියෝ : ඒ ප්‍රශ්නේදි නම් මම ඉස්සරහින් ඉන්නවා. මම තමයි බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරේ

රොනාල්ඩෝ : ඔව්. රොනාල්ඩීනියෝ.

නිවේදක : ඔබ දෙදෙනා අතරින් “ලොක්කා” කවුද?

දෙදෙනාම පැවසුවේ “රොනාල්ඩෝ” කියාය.

නිවේදක : ඔබ දෙදෙනාගෙන් වැඩිපුරම සාද වලට කැමති කවුද?

මෙම ප්‍රශ්නය නම් දෙදෙනාටම පිළිතුරු දීමට ඉතාමත් අපහසු ප්‍රශ්නයක් විය. එයට හේතුව වූයේ දෙදෙනාම සාද වලට බොහෝ ප්‍රිය කරන බැවිනි. නමුත් අවසානයේ දී දෙදෙනාම ප්‍රකාශ කළේ “රොනාල්ඩෝ” ලෙසයි.

නිවේදක : මෙම ගෝල් ද්විත්වය අතරින් හොඳම ගෝලය කුමක්ද? රොනාල්ඩෝ වයස අවුරුදු 20 දී බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් කොම්පොස්ටෙලා කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ගෝලයද? එසේත් නැතිනත් රොනාල්ඩීනියෝ බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් 2005 වසරේ දී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ලබාගත් ගෝලයද?

මෙම ප්‍රශ්නය පෙර ප්‍රශ්නයටත් වඩා දෙදෙනාටම අපහසු වූ බවක් පෙනුණි. අවසානයේ දී සිය කටහඬ අවදි කළ රොනාල්ඩෝ පැවසුවේ “මගේ ගෝලය මම තෝරාගන්නවා. එය මගේ ප්‍රියතම ගෝලය. ඒ වගේම මගේ ජීවිතයේ මම වාර්තා කළ හොඳම ගෝලය එයයි.” යනුවෙනි.

රොනාල්ඩීනියෝ පැවසුවේ “මම මගේ ගෝලයට කැමතියි. බොහෝ දෙනෙක් ඒ ගෝලය ගැන මගෙන් අහනවා” යනුවෙනි.

වර්තමානයේ බ්‍රසීලයේ සිටින හොඳම පාපන්දු ක්‍රීඩකයා කවුදැයි නිවේදකයා ඇසූ විට දෙදෙනාම කීවේ “නෙයිමාර්” බවයි. “දක්ෂතාවය, විශ්වාසය ඇතුළු ක්‍රීඩාවට අවශ්‍ය හැමදේම නෙයිමාර් සතුව තියෙනවා. සමස්ත බ්‍රසීලයම ඔහු ක්‍රීඩා කරනවා බලන්න ඉතා කැමතියි.” දෙදෙනාගේම අදහස විය.

මෙම විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනාගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳව දැන් විමසා බලමු.

රොනාල්ඩීනියෝ

රොනාල්ඩෝ ඩි අසීස් මොරෙයිරා යනු රොනාල්ඩීනියෝගේ නමයි. නමුත් පාපන්දු ලෝකයේදී ඔහුව හැඳින්වූයේ රොනාල්ඩීනියෝ ගවුචෝ ලෙසින්ය. 1980 මාර්තු මස 21 වැනි දින උපත ලැබූ රොනාල්ඩීනියෝට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඔහුගේ සහෝදරයා රොනාල්ඩීනියෝගේ පාපන්දු නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර සහෝදරිය රොනාල්ඩීනියෝගේ මාධ්‍ය කටයුතු පිළිබඳ වගකීම දරයි. කුඩාකල රොනාල්ඩීනියෝගේ ප්‍රියතම ක්‍රීඩකයා වූයේ ආර්ජෙන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා ය. රොනල්ඩීනියෝ කුඩා කළ සිටම ෆුට්සාල් (ගෘහස්ත පාපන්දු) ක්‍රීඩා කළ අතර ඔහුට වයස අවුරුදු 13 දී ඔහුගේ කණ්ඩායම ගෝල 23-0 ක් ලෙස දැවැන්ත ජයක් ලැබුවේය. එහිදී ගෝල 23 ම ලබා ගත්තේ කුඩා රොනාල්ඩීනියෝ ය. 1997 වසරේ ඊජිප්තුවේ පැවති 17 න් පහළ පාපන්දු ලෝක කුසලානයේ දී තරුව වූයේ ද රොනාල්ඩීනියෝ ය. ඒ අනුව ඔහු පිළිබඳව සමස්ත පාපන්දු ලෝකයේම අවධානය යොමුවිය.

ක්‍රීඩා සමාජ වලදී දැක්වූ දක්ෂතා

රොනාල්ඩීනියෝ බැලෝන් ඩෝ’ර් සම්මානය අතැතිව (cnc3.co.tt)

ඉදිරිපෙළ සහ ප්‍රහාරක මැදපෙළ ක්‍රීඩකයෙකු වන රොනාල්ඩීනියෝ වයස අවුරුදු 18 දී බ්‍රසීලයේ ග්‍රෙමියෝ ක්‍රීඩා සමාජය හා එක්වන එහිදී වසර තුනක් තුළ ලීග් තරඟ 52 කදී ගෝල් 22 ක් ලබාගැනීමට සමත් වූයේය. 2001 වසරේ දී ප්‍රංශයේ පැරිස් සේන්ට් ජර්මාන් (PSG) ක්‍රීඩා සමාජය හා එක්වන රොනාල්ඩීනියෝ එහි වසර දෙකක් පමණ රැදී සිටිමින් තරඟ 76 ක් තුළ ගෝල 25 ක් ලබාගැනීමට සමත් වූයේය. නමුත් එවකට PSG කණ්ඩායම එතරම් ප්‍රබල කණ්ඩායමක් නොවූ බැවින් වැඩිකල් PSG කණ්ඩායමෙහි රැදී සිටීමට රොනාල්ඩීනියෝගේ ප්‍රසාදයක් නොවීය. ඉන්පසු 2003 වසරේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්,  ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් සහ බාර්සිලෝනා යන කණ්ඩායම් ත්‍රිත්වයෙහිම අවධානය රොනාල්ඩීනියෝ කෙරෙහි යොමුවිය.

2003 වසරේ දී රොනාල්ඩීනියෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟ එකතු වේ යැයි බොහෝ දෙනා සිතුවත් අවසාන මොහොතේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායම රොනාල්ඩීනියෝ සිය කණ්ඩායමට එකතු කරගැනීමේ අදහස අතහැර දැමුවේ රොනාල්ඩීනියෝගේ බාහිර පෙනුම එතරම් සුදුසු නැති යැයි පවසමිනි. ඒ අනුව රොනාල්ඩීනියෝ වෙනුවට රියල් මැඩ්රිඩ් කණ්ඩායම එවකට එංගලන්තයේ සුපිරි තරුව වූ ඩේවිඩ් බෙකම් (මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිට) සිය කණ්ඩායමට එකතු කරගත් අතර බාර්සිලෝනා කණ්ඩායම විසින් යූරෝ මිලියන 30 කට රොනාල්ඩීනියෝ සිය කණ්ඩායමට එකතු කරගන්නා ලදී. (රියල් මැඩ්රිඩ් වැනි කණ්ඩායම් සිය කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේදී බොහෝ දෑ පිළිබඳව සැලකිලිමත් වන අතර ඔවුන්ගේ කෝණයෙන් බලන විට එවකට එය ඉතා සාධාරණ තීරණයක් විය. බාර්සිලෝනා කණ්ඩායම ද ඩේවිඩ් බෙකම් පිළිබඳව උනන්දුවෙන් පසුවිය.) රොනාල්ඩීනියෝගේ ක්‍රීඩා ජීවිතයෙහි හොඳම කාලය උදාවූයේ බාර්සිලෝනා කණ්ඩායමේ සිටින විටදීය.

රොනාල්ඩීනියෝ 2005 වසරේ දී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ලබාගත් දෙවැනි ගෝලය ticotimes.net

බාර්සිලෝනා කණ්ඩායමට 2004-05 සහ 2005-06 යන තරඟ වාර ද්විත්වයේ දීම ස්පාඤ්ඤයේ ලා ලිගා ශූරතාවය හා  ස්පාඤ්ඤ සුපර්කප් ශූරතාවය දිනාදීමට රොනාල්ඩීනියෝගේ නොමඳ දායකත්වය හිමිවිය. යුරෝපයේ හොඳම කණ්ඩායම් තරඟ වදින, යුරෝපා මහාද්වීපයේ පැවැත්වෙන හොඳම පාපන්දු තරඟාවලිය ලෙසින් නම් කළ හැකි යුරෝපා චැම්පියන්ස් ලීග් ශූරතාවය 2006 වසරේ දී බාර්සිලෝනා කණ්ඩායමට දිනාදීමට ද රොනාල්ඩීනියෝ සිය උපරිම දායකත්වය දක්වන ලදී. යුරෝපයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානය 2005 වසරේ දී රෝනාල්ඩීනියෝ හට පිරිනැමුණි. එයට අමතරව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වසරේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන සම්මානය 2004 සහ 2005 යන වසර දෙකෙහිම රොනාල්ඩීනියෝට පිරිනැමුණි. 2005-06 තරඟ සමය සඳහා වූ යුරෝපයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයත් හිමිවූයේ රොනාල්ඩීනියෝටයි.

2005 වසරේ නොවැම්බර් 19 වැනි දින රොනාල්ඩීනියෝගේ ක්‍රීඩා ජීවිතයෙහි අමතක නොවන දිනයක් විය. එදින තරඟය පැවැත්වුනේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම සහ බාර්සිලෝනා කණ්ඩායම අතර රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රීඩාංගනය වන සැන්ටියාගෝ බර්නබෙවූ හී දී ය. එහිදී තමන්ව ප්‍රතික්ෂේප කළ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ගෝල 2 ක් වාර්තා කිරීමට රොනාල්ඩීනියෝට හැකිවිය. එම ගෝල දෙකත් සමඟින් එම තරඟය ගෝල 3-0 ක් ලෙසින් බාර්සිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කරන ලද්දේ රොනාල්ඩෝ, ලුයිස් ෆිගෝ, රාවුල් ගොන්සාලෙස්, සිනෙඩින් සිඩෑන්, රොබර්ටෝ කාර්ලොස්, ඩේවිඩ් බෙකම් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් සිටියදීය. එම තරඟයේ දී රොනාල්ඩීනියෝ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් රියල් මැඩ්රිඩ් ප්‍රේක්ෂකයින් සිය ගෞරවය රොනාල්ඩීනියෝ හට දැක්වූ අතර ඊට පෙර රියල් මැඩ්රිඩ් ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය එලෙස දිනා ගැනීමට සමත්ව තිබූ එකම බාර්සිලෝනා ක්‍රීඩකයා වූයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා පමණි. වසර 5 ක් බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩීනියෝ එහිදී තරඟ 207 ක් තුළ ගෝල 94 ක් වාර්තා කිරීමට සමත්වූයේය.

රොනාල්ඩීනියෝ ඒසී මිලාන් කණ්ඩායම නියෝජනය කරමින් (goal.com)

2008 වසරේ දී රොනාල්ඩීනියෝ ඉතාලියේ ඒසී මිලාන් කණ්ඩායම හා එක්වන අතර ඒසී මිලාන් කණ්ඩායම නියෝජනය කරමින් 2010-11 තරඟ සමයේ ඉතාලියේ සීරී ආ ලීගය ජයග්‍රහණය කිරීමට රොනාල්ඩීනියෝට හැකියාව ලැබුණි. ඉන්පසු 2011 වසරේ සිට 2015 වසර දක්වා පිලිවෙලින් බ්‍රසීලයේ ෆ්ලැමෙන්ගෝ, බ්‍රසීලයේ ඇට්ලටිකෝ මිනෙයිරෝ, මෙක්සිකෝවේ ක්වෙරේටරෝ සහ බ්‍රසීලයේ ෆ්ලුමිනන්ස් ක්‍රීඩා සමාජ වලට එක්වන රොනාල්ඩීනියෝ 2013 වසරේ දී ඇට්ලටිකෝ මිනෙයිරෝ කණ්ඩායම සමඟින් කෝපා ලිබර්ටාඩෝරස් (දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ප්‍රධානම ශූරතාවය) ශූරතාවය හිමිකරගත් අතර ඒ අනුව ඔහුගේ ශූරතා ලැයිස්තුව පරිපූර්ණ එකක් බවට පත්වීය.

ජාත්‍යන්තර​ පිටියෙහි දැක්වූ දක්ෂතා

1999 වසරේ කෝපා ඇමරිකා තරඟාවලිය ( වසර 2 කට වරක් දකුණු ඇමරිකානු රටවල් අතර පැවැත්වෙන ප්‍රධානම පාපන්දු තරඟාවලිය) සඳහා 19 හැවිරිදි රොනාල්ඩීනියෝ නම් කරනු ලැබූ අතර එම තරඟාවලිය බ්‍රසීලය විසින් ජයග්‍රහණය කරන ලදී. ඉන්පසු 1999 වසරේ පැවති ෆිෆා කන්ෆෙඩරේෂන්ස් කුසලානය ( මෙය වසර 4 කට වරක් පැවැත්වේ. යුරෝපයේ, දකුණු ඇමරිකාවේ, ආසියාවේ ඇතුළු මහද්වීප 6 ක ශූරයින්, පසුගියවර පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම සහ ඉදිරියට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට යන කණ්ඩායම් 8 මෙම තරඟාවලිය සඳහා සහභාගී වේ. ) නියෝජනය කරන රොනාල්ඩීනියෝ එහිදී තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා සහ වැඩිම ගෝල ලාභියා සම්මාන දෙකම ලැබීය.

බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් (thenews.com.pk)

2002 වසරේ දී ජපානයේ සහ දකුණු කොරියාවේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට රොනාල්ඩීනියෝට හැකිවිය. එම තරඟමාලාවේ එංගලන්තය සමඟ පැවති අර්ධ අවසාන පූර්ව වටයේ තරඟයේ දී ගෝලයක්, ගෝලයක් ලබාගැනීමට සහය දැක්වීමක් සිදුකිරීමට රොනාල්ඩීනියෝට හැකිවූ අතර එම තරඟයේදී රතු කාඩ් පතක් ලබා තරඟයෙන් ඉවත්වීමටද ඔහුට සිදුවිය. එම තරඟයෙන් ගෝල 2-1 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ප්‍රබල බ්‍රසීලයට හැකිවිය. පසුකාලයේ දී රොනාල්ඩීනියෝ ප්‍රකාශ කළේ එංගලන්තය සමඟින් පැවති එම තරඟය ඔහුගේ ප්‍රියතම තරඟය බවයි.

රොනාල්ඩීනියෝ මෙම තරඟයේදී නිදහස් පහරකින් ලබාගත් ගෝලය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විස්මිත ගෝලවලින් එකකි.

රතු කාඩ්පත ලැබීම නිසා තුර්කිය සමඟ පැවති අවසන් පූර්ව වටයේ තරඟයට රොනාල්ඩීනියෝට සහභාගී වීමට නොහැකි වූ නමුත් එම තරඟය ගෝල 1-0 ක් ලෙසින් ජයගැනීමට බ්‍රසීලයට හැකිවිය. ජර්මනිය සමඟින් පැවති 2002 පාපන්දු ලෝක කුසලානයේ අවසාන තරඟයට ක්‍රීඩා කළ රොනාල්ඩීනියෝ එහිදී ද කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේය. එම තරඟයෙන් ගෝල 2-0 ක් ලෙසින් ජය ලැබූ බ්‍රසීලය 5 වැනි වතාවට පාපන්දු ලෝක ශූරයින් ලෙසින් අභිෂේක ලැබීය. මෙම තරඟාවලියේ දී රොනාල්ඩීනියෝ දැක්වූ දක්ෂතා වල සොඳුරු මතක අදටත් බොහෝ ක්‍රීඩා ලෝලීන් තුළ ඉතිරිව පවතී.

අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේ දී එංගලන්තයට එරෙහිව ගෝලය රොනාල්ඩීනියෝ ලබාගත්තේ නිදහස් පහරකිනි.  (fifa.com)

2005 වසරේ පැවති කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ දී බ්‍රසීලයේ නායකත්වය දැරූ රොනාල්ඩීනියෝ එහි ශූරතාවය බ්‍රසීලයට ලබාදීමට අතිමහත් වැඩකොටසක් සිදු කළේය. නමුත් 2006 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයට ඉතා ප්‍රබල කණ්ඩායමක් බ්‍රසීලය විසින් ඉදිරිපත් කළ නමුත් රොනාල්ඩීනියෝ ඇතුළු බොහෝ සුපිරි තරු රැසකට එහිදී සැලකිව යුතු දක්ෂතා දැක්වීමට නොහැකි විය​. අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රංශය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජය වූ බ්‍රසීලය තරඟාවලියෙන් ඉවතට විසිවිය.

ඉන්පසු වරින් වර බ්‍රසීල කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩීනියෝ 2010 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට රොනාල්ඩීනියෝ බලාපොරොත්තුවෙන් සිටියත් ඔහුට ඒ සඳහා අවස්තාව හිමිනොවීය. 2014 වසරේ බ්‍රසීලයේ පැවති පාපන්දු ලෝක කුසලානයේදීත් ඔහුට කණ්ඩායමේ ඉඩක් හිමිනොවීය. 2018 වසරේ දී පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත්වීමට රොනාල්ඩීනියෝ තීරණය කරන ලදී. බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 97 කදී ගෝල 33 ක් ලබාගැනීමට රොනාල්ඩීනියෝ සමත්විය.

රොනාල්ඩෝ

රොනාල්ඩෝ විසින් ඔහුගේ ක්‍රීඩා ජීවිතයෙහි වාර්තා කරන ලද හොඳම ගෝල 10 ක්

රොනාල්ඩෝ ලුයීස් නසාරියෝ ඩි ලීමා උපත ලබන්නේ 1976 සැප්තැම්බර් 18 වැනි දිනයි. රොනාල්ඩෝට එක් සහෝදරයෙක් සිටී. රොනාල්ඩෝ සිය ප්‍රථම වෘත්තීය පාපන්දු තරඟයට සහභාගී වනවිට ඔහුගේ වයස අවුරුදු 16 ක් වූ අතර ඔහු සිය ප්‍රථම තරඟයට සහභාගී වූයේ බ්‍රසීලයේ කෘසෙයිරෝ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ය. කුඩා කළ රොනාල්ඩෝට නිදාගැනීම ඇඳක් නොතිබූ අතර කුඩා රොනාල්ඩෝ රාත්‍රියේ නිදාගෙන තිබෙන්නේ සෝපාවක් මතය. ප්‍රථමයෙන් වෘත්තීය පාපන්දු ක්‍රීඩා කර ඔහු ඉපැයූ මුදල සිය මව අතට දී ඇති රොනාල්ඩෝ මවගෙන් ඉල්ලා තිබෙන්නේ ඔහුගේ සෝපාව අලුත්වැඩියා කරදෙන ලෙසයි.

ක්‍රීඩා සමාජ වලදී දැක්වූ දක්ෂතා

රොනාල්ඩෝ බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් (barcablog.com)

වයස අවුරුදු 17 දී නෙදර්ලන්තයේ PSV කණ්ඩායම සමඟින් එක්වන රොනාල්ඩෝ වසර දෙකක පමණ කාලයක් එහි රැදී සිටිමින් තරඟ 54 කදී ගෝල 51 ක් ලබාගැනීමට සමත්විය. ප්‍රහාරක ක්‍රීඩකයෙකු ලෙසින් ආරම්භයේ සිටම ක්‍රීඩා කළ රොනාල්ඩෝ වයස අවුරුදු 20 දී PSV කණ්ඩායමේ සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම සමඟ එක්වූයේය. එම ක්‍රීඩක හුවමාරුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 19.5 ක් වූ අතර එම මුදල එවකට ක්‍රීඩකයෙකු කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ වැඩිම මුදල ලෙසින් වාර්තා අතරට එක්විය. එක් තරඟ සමයක් වෙනුවෙන් පමණක් බාර්සිලෝනා කණ්ඩායමෙහි රැදී සිටි රොනාල්ඩෝ එහිදී තරඟ 49 ක් තුළ ගෝල 47 ක් ලබා ගැනීමට සමත් වූයේය. එම කාලය තුළදී ස්පාඤ්ඤ කෝපා ඩෙල් රේ සහ ස්පාඤ්ඤ සුපර් කප් යන ශූරතා දෙකම බාර්සිලෝනා කණ්ඩායමට දිනාදීමට රොනාල්ඩෝ සිය දායකත්වය දැක්වූයේය. 1996 වසරේ දී කොම්පොස්ටෙලා කණ්ඩායමට එරෙහිව රොනාල්ඩෝ වාර්තා කළ ගෝලය ලොව පුරා ජනප්‍රිය ගෝලයක් බවට පත්විය.

1997 වසරේ දී බාර්සිලෝනා කණ්ඩායමේ සිට ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට රොනාල්ඩෝ හුවමාරු වූයේ ඩොලර් මිලියන 27 ක මුදලකටය. එම මුදල ද එවකට ක්‍රීඩකයෙකු කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ වැඩිම මුදල විය. ඒ අනුව ඩියේගෝ මැරඩෝනාගෙන් පසුව දෙවරක් වැඩිම මුදලකට කණ්ඩායම් දෙකක් අතර හුවමාරු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත්විය. මෙම සියල්ල සිදුවූයේ ඔහුට වයස අවුරුදු 21 වන්නටත් මත්තෙනි. ඉන්ටර් මිලාන් කණ්ඩායම වෙනුවෙන් තරඟ 99 කදී ගෝල 59 ක් ලබාගන්නා රොනාල්ඩෝට 1997 වසරේ දී UEFA Cup (UEFA Europa League) ශූරතාවය ඉන්ටර් මිලාන් කණ්ඩායම සමඟ දිනාගැනීමට හැකිවිය.

රියල් මැඩ්රිඩ් පිල නියෝජනය කරන අතරතුර (tribuna.com)

2002 වසරේ දී ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එකතුවන රොනාල්ඩෝ වසර 4 ක කාලයක් එහි රැදී සිටිමින් 2002 වසරේ ඉන්ටර්කොන්ටිනන්ටල් කුසලානය (මෙය දකුණු ඇමරිකානු කලාපයේ ක්‍රීඩා සමාජ ශූරයින් සහ යුරෝපානු කලාපයේ ක්‍රීඩා සමාජ ශූරයින් අතර පැවත්වුනි. 2004 වසරේ දී මෙම කුසලානය අවලංගු කරන ලදී.), 2003 වසරේ ස්පාන් සුපර්කප් ශූරතාවය, 2002-03 සහ 2006-07 යන තරඟ වාර වල ස්පාඤ්ඤ ලා ලීගා ලීගය රියල් මැඩ්රිඩ් කණ්ඩායමට දිනාදීමට සුවිශේෂී මෙහෙවරක් සිදුකරන ලදී. රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් තරඟ 107 කදී ගෝල 104 ක් වාර්තා කිරීමට මෙම සුවිශේෂී ප්‍රහාරක ක්‍රීඩකයාට හැකිවිය.

2007 වසරේ ජනවාරි මාසයේ දී ඉතාලියේ ඒසී මිලාන් කණ්ඩායම විසින් රොනාල්ඩෝ සිය කණ්ඩායමට එකතුකරගත් අතර 2008 වසරේ දී ගිවිසුම් කාලය අවසන් විය. ඉන්පසු රොනාල්ඩෝ බ්‍රසීලයේ කොරින්තියන්ස් කණ්ඩායම සමඟින් 2009 වසරේදී එකතු වූයේය. 2011 වසරේ දී පාපන්දුවෙන් සමුගන්නා තෙක්ම රොනාල්ඩෝ කොරින්තියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ජාත්‍යන්තර​ පිටියෙහි දැක්වූ දක්ෂතා

1998 වසරේ ලෝක කුසලානයේ අවසාන මහා තරනග්යේ පරාජයෙන් අනතුරුව රොනාල්ඩෝ (sportskeeda.com)

වයස අවුරුදු 17 දී බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූ රොනාල්ඩෝ බ්‍රසීලය ශූරතාවය දිනූ 1994 ලෝක කුසලානයේදී බ්‍රසීල කණ්ඩායම නියෝජනය කළේය. (නමුත් ඔහු එකදු තරඟයකට හෝ ක්‍රීඩා නොකළේය.) 1997 සහ 1999 වසරවලදී පැවති කෝපා ඇමරිකා ශූරතා ද්විත්වයම බ්‍රසීල කණ්ඩායමට දිනාදීමට මූලිකත්වය ගත් රොනාල්ඩෝ 1997 තරඟාවලියේදී දෙවැනි වැඩිම ගෝල ලාභියා සහ 1999 තරඟාවලියේ දී වැඩිම ගෝල ලාභියා බවට පත්විය.1997 වසරේ දී කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ දී ද තරඟාවලියේ තෙවැනි වැඩිම ගෝල ලාභියා බවට පත්වූ රොනාල්ඩෝ එම කුසලානයද බ්‍රසීලනයට දිනාදීමට මූලිකත්වය ගන්නා ලදී.

එවකට ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් ප්‍රංශයේ පැවති 1998 පාපන්දු ලෝක කුසලානයට​ රොනාල්ඩෝ සහභාගී විය. එම තරඟාවලියේ දී බ්‍රසීල කණ්ඩායම අනුශූරතාවය දිනාගත් අතර තරඟාවලියේ දී ගෝල 4 ක් සහ සහය දැක්වීම් 3 ක් වාර්තා කළ රොනාල්ඩෝ තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකරගන්නා ලදී. කෙසේවෙතත් ප්‍රංශය සමඟ පැවති අවසාන මහා තරඟයේ දී රොනාල්ඩෝ දැඩි ලෙස අසනීපයෙන් සිටියදී ක්‍රීඩා කළේය. බෙහෙත්වල ආධාරයෙන් එම අවසාන මහා තරඟය ක්‍රීඩා කළද සිය සුපුරුදු දක්ෂතා වලට ආසන්නයෙන් හෝ ක්‍රීඩා කිරීමට රොනාල්ඩෝට නොහැකිවිය. තරඟයෙන් ගෝල 3-0 ක් ලෙසින් සිනෙඩින් සිඩෑන් ප්‍රමුඛ ප්‍රංශය ජය ලැබීය.

2002 ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේ දී ජර්මනියට එරෙහිව ලබාගත් පළමු ගෝලයෙන් අනතුරුව (sportskeeda.com)

ඉන්පසු බ්‍රසීලය විසින් ජයග්‍රහණය කළ 2002 පාපන්දු ලෝක කුසලානයේ දී නැවතත් විශිෂ්ට දස්කම් දැක්වීමට රොනාල්ඩෝට හැකිවිය. එම තරඟාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයේ එංගලන්තය සමඟ පැවති තරඟයේ හැර අනෙකුත් සියලුම තරඟ වලදී ගෝල වාර්තා කළ රොනාල්ඩෝ අවසාන මහා තරඟයේ වීරයා බවට පත්වෙමින් එහිදී ජර්මනියට එරෙහිව ගෝල දෙකක් රැස් කරන ලදී. එම තරඟාවලියේ දී ගෝල 8 ක් වාර්තා කළ රොනාල්ඩෝ තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව හිමිකරගන්නා ලදී. එයට අමතරව තරඟාවලියේ දෙවැනි වටිනාම ක්‍රීඩකයා බවටද පත්විය. රොනාල්ඩෝ ලෝක ප්‍රසිද්ධ වූයේ 2002 පාපන්දු ලෝක කුසලානයෙන් පසුවය.

2006 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ගෝල 10 ක් වාර්තා කරමින් දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම ගෝල ලාභියා බවට පත්වීමට රොනාල්ඩෝට හැකිවිය. 2006 පාපන්දු ලෝක කුසලානයේදී තවත් ගෝල 3 ක් වාර්තා කරමින් පාපන්දු ලෝක කුසලාන තරඟවලදී ගෝල 15 ක් ලැබූ රොනාල්ඩෝ එවකට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්විය. (2014 පාපන්දු ලෝක කුසලානයේ දී ජර්මනියේ මිරස්ලව් ක්ලෝස විසින් මෙම වාර්තාව බිඳහෙලන ලදී. ඒ අනුව වර්තමානයේදී රොනාල්ඩෝ මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ.)

රොනාල්ඩෝ 2002 පාපන්දු ලෝක කුසලානය අතැතිව (lajmi.net)

2006 වසරෙන් පසුව රොනාල්ඩෝ බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද්දේ 2011 ජූනි මස 7 වැනිදා රුමේනියාවට එරෙහිව ඔහුගේ සමුගැනීමේ තරඟය වෙනුවෙනුයි. රොනාල්ඩෝ බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලයේ දී තරඟ 98 ක් තුළ ගෝල 62 ක් වාර්තා කරමින් බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවෙහි දෙවැනි ස්ථානයෙහි සිටී. මෙහි පළමු ස්ථානයෙහි සිටින්නේ සුපිරි ක්‍රීඩක පේලේ ය. වේගය, වේගයෙන් පන්දුව ක්‍රීඩකයින් අතරින් ගෙනයාම, ගෝල වාර්තා කිරීමේ හැකියාව අතින් ඉදිරියෙන්ම සිටි රොනාල්ඩෝ 1999-2002 දක්වා වසර 3 කට ආසන්න කාලයක් ආබාධ නිසා ක්‍රීඩා නොකළේය. ඉන්පසුද වරින් වර මතු වූ ආබාධ නොවන්නට එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වීමේ හැකියාව රොනාල්ඩෝ සතුවූ බව බොහෝ දෙනාගේ අදහසයි. නමුත් තවදුරටත් පාපන්දු ඉතිහාසයේ බිහිවූ සුපිරිතම ක්‍රීඩකයෙකු ලෙසින් සැලකිය හැකි රොනාල්ඩෝ 1997 සහ 2002 වසරවලදී යුරෝපයේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානය හිමිකරගත් අතර 1996,1997 සහ 2002 වසර වලදී අන්තර්ජාතික පාපන්දු සම්මානය විසින් ප්‍රධානය කරනු ලබන ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකරගන්නා ලදී.

Cover : රොනාල්ඩෝ (වමේ) සහ රොනාල්ඩීනියෝ (Getty Images/Remezcla.com)

Related Articles