Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෙස්ලින් ලෝකයට පා තැබූ රොන්ඩා රවුසි

රොන්ඩා රවුසි ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයට පූර්ණකාලීන රෙස්ලින් තරුවක් ලෙස එක්වීම සටන්කලා රසිකයන්ගේ ලෝකය කළඹන්නට සමත්වූ ප්‍රවෘත්තිය බවට පත්වී මාසයකට ආසන්න කාලයක් ගෙවී ගිහින්.

රොන්ඩා රවුසි, ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය විසින් අප්‍රේල් මාසයේ සංවිධානය කරන වාර්ෂික රෙස්ල්මේනියා උළෙලේ ටිකට්පත් අලෙවි කරන්නට ඇති ප්‍රධාන තුරුම්පුව වී තිබෙනවා. පිරිමින්ගේ ආධිපත්‍යයට යටත්ව තිබුණු ප්‍රොෆෙෂනල් රෙස්ලින් කලාව දිග්විජය කරන්නට කාන්තාවන් සමත්වීමම අපූරුයි. එය කැරැල්ලක්. එහෙත් සම්ප්‍රදායට එරෙහිව කැරළි ගැසීම රොන්ඩා රවුසිට අලුත් අත්දැකීමක් නෙවෙයි.

රෙස්ලින් ලෝකයේ කාන්තාවන්

වසර දහයකට එහා අතීතයේ සිට රෙස්ලින් රසිකයන් වූ අයට කාන්තා රෙස්ලින් යනු සටන් රසවිඳීමේ රසයක් වෙනුවට කාන්තාවන්ගේ රූපය රසවිඳීමට ලැබුණු අවස්ථාවක් පමණක් ලෙස මතකයේ රැඳී ඇතිවා නිසැකයි. කාන්තා රෙස්ලින් හෙවත් women’s wrestling යන්න වෙනුවට Diva’s wrestling යනුවෙන් එකල කාන්තා අංශය හැඳින්වුනා.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ ප්‍රධානී වින්සන්ට් මික්මෑන් වඩා කැමැත්තක් දැක්වුවේ රෙස්ලින් රූපවාහිනී වැඩසටහන්වලදී කාන්තාවන්ගේ සිරුර නිරාවරණය කරන්නට මිස ඔවුන්ගේ හැකියාවන් පෙන්වන්නට නෙවෙයි. කාන්තාවන්ගේ තරඟ සංවිධානය වුණේ වැඩි වශයෙන් මේ සිරුර පෙන්වීමේ අවශ්‍යතාවය වෙනුවෙන්.

කාන්තා රෙස්ලින්වලට වෙනසක් අවශ්‍ය වුණා. වසර පහකට පෙර ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුණේ women’s revolution සමඟයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවන්නට ඩේලි ඩී.ඩී.ටී. වෙබ් අඩවියේ පහත ලිපිය වෙත පිවිසිය හැකියි. එසේ නැතිනම් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ වෙබ් අඩවියෙන් පැරණි කාන්තා රෙස්ලින් වැඩසටහන් නැරඹිය හැකියි. යූටියුබ් වෙබ් අඩවියෙන්ද women’s revolution ගැන විස්තර දැනගත හැකියි.

wwe.com

ආයතනය විසින් හැකියාවෙන් පිරිපුන් කාන්තා රෙස්ලින් තරු හඳුන්වාදෙන්නට පටන්ගත්තා. චාලට් ෆ්ලෙයා, සාෂා බෑන්ක්ස්, බේලි සහ බෙකී ලින්ච් විසින් එන්.එක්ස්.ටී. නම් වූ ආයතනය සතු දෙවැනි පෙළ වැඩසටහන් මාලාවෙන් මේ පෙරළිය පටන්ගත්තා. ඉන්පසුව ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ රූපවාහිනී වැඩසහන්වලට women’s revolution පැමිණියේ ආබාධයකට ලක්වූ බේලි හැර අනෙක් කාන්තාවන් තිදෙනා සමඟින්.

2018 වසරේ පළමු වතාවට කාන්තා Royal Rumble තරඟයක් පැවැත්වුවා, කාන්තා elimination Chamber තරඟයක් පැවැත්වුවා. පසුගිය වසර කිහිපය තුළ කාන්තා මනී ඉන් ද බෑන්ක් (Money in the bank), hell in a cell වැනි ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. රසිකයන් අතර ප්‍රසිද්ධ ‘ගිමික්’ තරඟ රැසක් කාන්තාවන්ටත් විවෘත වුණා. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ හිමිකරුවාගේ දියණිය ස්ටෙෆනි මික්මෑන් පවසන අන්දමට ඇගේ ඊළඟ බලාපොරොත්තුව රෙස්ල්මේනියා උළෙලේ ‘මේන් ඉවෙන්ට්’ එකට කාන්තා තරඟයක් පත් කිරීමයි. ඉතින් අපේ කතානායිකාව රොන්ඩා රවුසි ඒ සිහිනයට ළඟාවෙන්නට සුදුසු ටිකට්පත විය හැකියි.

රොන්ඩා රවුසි

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ කාන්තාවන් කැරලි ගසන අතරේ රොන්ඩා රවුසි සිටියේ යූ.එෆ්.සී. ආයතනය සමඟ ගිවිසුම්ගතව එහි පළමු කාන්තා මිශ්‍ර සටන්කලා ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා ලෝකයම සියතට ගනිමින්.

Olympics 2008 ( NBC Sports )

රොන්ඩා තමන්ගේ ගමන පටන්ගන්නේ ජූඩෝ සටන්කලාවෙන්. ඇගේ මව ඇමෙරිකානු ජූඩෝ ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ ලොව පළමු ජූඩෝ ලෝකශූරිය බවට පත්වූ ඈන්මරියා ඩි මාස්. මව ගිය අඩිපාරේම ගිය රොන්ඩාද මුලින්ම ජූඩෝ ක්‍රීඩිකාවක්. ඇය 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී ජූඩෝ ක්‍රීඩාව වෙනුවෙන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළේ ජූඩෝ ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ලැබූ පළමු ඇමෙරිකානු ක්‍රීඩිකාව ලෙසයි.

වයස අවුරුදු 11 සිට මව සමඟ ජූඩෝ පුහුණුව ලද රොන්ඩා ඒ කාලයේ සිටම මිශ්‍ර සටන්කලා පුහුණුවද ලද බව කියනවා. එකල තමන්ට වඩා දැවැන්ත පිරිමින් සමඟ සටන් පුහුණු වූ ඇය එකල නිතර පිරිමින් විසින් ඔසවා විසිකළ බව ඇය කියනවා. ‘2002 සිට 2005 දක්වා හැම පුහුණු දිනයකම මම ඇඬුවා. මාව හැමෝම උස්සලා විසිකළත් මට ඒ දැවැන්ත පිරිමි එකෙක්වත් විසිකරන්න බැරිවුණා.’ ඇය කියන්නේ එලෙසයි. ඇය මිශ්‍ර සටන්කලාවලට ආදරය කළා. ඉතින් 2008 ඔලිම්පික්වලින් පසුව ජූඩෝ ක්‍රීඩාවෙන් සමුගත් ඇය මිශ්‍ර සටන්කලාවලට යොමුවෙන්නට සූදානම් වුණා.

ඇය ආධුනික ක්‍රීඩිකාවක් ලෙස 2010 දී මිශ්‍ර සටන්කලාවලට යොමුවුණා. එතැන් පටන් ඇය මුහුණ දුන්නේ ජයග්‍රහණවලට පමණයි. ඇය ආධුනික සටන්කාරියක් ලෙස මුහුණදුන් තරඟ තුනම අපරාජිතව ජයගත්තේ විනාඩි දෙකට අඩු සටන්වලින්. ඉන්පසුව 2011 මාර්තු 27  වැනිදා ඊඩේන් ගෝමස් සමඟ පළමු වෘත්තිය මිශ්‍ර සටන්කලා තරඟයට සහභාගී වුනා. තප්පර 25කින් ඇය ජයගත්තා.

දැවැන්ත යූ.එෆ්.සී. ආයතනය තමන්ගේ පළමු කාන්තා මිශ්‍ර සටන්කලා ක්‍රීඩිකාව ලෙස රොන්ඩා රවුසි සමඟ ගිවිසුම්ගත වුණා. යූඑෆ්සී ආයතනයේ පළමු Bantamweight  ශූරිය ලෙස ඇයව නම්කළා. ඇය 2013 සිට 2015 වනතෙක් අපරාජිතව ඒ ශූරතාවය තමා ළඟ තබාගත්තා. යූඑෆ්සී ආයතනයේ අන් කිසිම පිරිමි තරුවකට වඩා ඇය තරුවක් බවට පත්වුණා. එක් කලෙක ඇය එම ආයතනයේ වැඩිම වැටුපක් ලද ක්‍රීඩිකයා හෝ ක්‍රීඩිකාව වුණා.

එහෙත් නොසිතූ යමක් සිදුවුණා. 2015 නොවැම්බරයේ හෝල් හෝම්‍ වෙතින් රොන්ඩා විශ්මයජනක පරාජයක් ලැබුවා. රවුසිගේ හිස මතට එක්වරම පැමිණි හෝම්ගේ විශ්මයජනක පා පහරින් පසුව ඇදවැටුණු රවුසි එදින ලද පරාජය ලෝකයේ ඕනෑම ක්‍රීඩාවක ඉතිහාසයේ විශ්මයජනකම පරාජයන් අතර ඉදිරියෙන්ම තියෙනවා. එහෙත් එතෙක් ඇය නොකඩවා තරඟ 12ක් ජයගත්තා. ඒ තරඟ 11ක්ම පළමු වටයේදී ජයගනිමින්. මෙය මිශ්‍ර සටන්කලා ක්‍රීඩාවට අනුව විශ්මයජනක වාර්තාවක්.

හෝම්ගේ පා පහර (UFC)

බිස්නස් ඉන්සයිඩර් සඟරාව විසින් 2015 දී ඇයව ලොව සියළු ක්‍රීඩාවල පිරිමි සහ ගැහැණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ජීවත්ව සිටින සාර්ථකම ක්‍රීඩිකාව ලෙස නම්කළා. ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාවද 2015 මැයි මාසයේ සඟරාවේ කවරයේ කතාවට ඇයව එක් කරගත්තේ ලෝකයේ දැනට ක්‍රියාකාරී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සාර්ථකම ක්‍රීඩිකාව ලෙස ඇය නම් කරමින්.

ඇය ක්‍රීඩාව තුළ මෙන්ම පිටතද තරු ගුණය නිර්මාණය කරගත් අන්දම ගැන නිමක් නැතිව කතාකළ හැකියි. එහෙත් එයට වඩා සුදුසු ඇගේ තරඟ නැරඹීමයි.

රෙස්ලින් ආගමනය

රොන්ඩා කුඩා කාලයේ සිට රෙස්ලින් රසිකාවියක්. රෙස්ලින් කියන්නේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් මිස සැබෑ සටන්කලාවක් නොවුණත් රෙස්ලින්වලටද ඇය ගරු කළා. සජීවී ප්‍රේක්ෂකාගාරයක රෙස්ලින් තරඟයකට සහභාගී වීමේ අසීරුව ඇය දැන සිටියා. ඇය තමන්ගේ නමට ඉදිරියෙන් පාවිච්චි කළ ‘රවුඩි’ යන අන්වර්ථනාමය හිටපු රෙස්ලින් තරුවක් වන රොඩී පයිපර් විසින් පාවිච්චි කළ නාමයක්. ඇය ‘රවුඩි’ නාමය පාවිච්චි කරන්නට පෙර රොඩී පයිපර්ගේ අවසරයත් ලබාගත් බව කියනවා.

wwe.com

ඇය ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය සමඟ ඉතිහාසය පුරා සම්බන්ධතාවයක් තියාගත්තා. 2015 රෙස්ල්මේනියා උළෙලේදී ඇය ‘ද රොක්’ සමඟ කෙටි ආරාධිත අංගයකට එක් වුණේද ඒ නිසායි. ඉන්පසුව කිහිපවතාවක්ම ඇය ආයතනයේ ප්‍රසංගවලට පැමිණ තිබුණා. ඇය 2018 ජනවාරි මාසයේ අග පැවති ඓතිහාසික පළමු කාන්තා Royal Rumble තරඟාවලියට පැමිණෙන බවත් ඇය එය ජයග්‍රහණය කිරීමට නියමිත බවත් කටකතා පැතිරෙන්න ගත්තා. එහෙත් කාන්තා Royal Rumble තරඟය අවසාන වනතෙක් ඇය පැමිණියේ නැහැ. දින දෙකකට පෙර මාධ්‍ය සමඟ ඇය කියා තිබුණේ ඇය සහභාගී නොවන බවයි. ඇගේ පැමිණීම ගැන බලාපොරොත්තු අත්හැරගත් රසිකයන් කාන්තා රෝයල් Royal rumble ඇය නැතිවම අවසාන වූ පසුව එක්වරම ඇය පැමිණියා. ඒ තම තමන්ගේ අසුන්වලින් සියළුදෙනාවම නැඟිටවමින්. එසේ පැමිණි ඇය මේ වෙද්දී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය සමඟ පූර්ණකාලීන ගිවිසුමක්ද අත්සන් කර තියෙනවා. ඒ අනුව දැන් ඇය නිල වශයෙන් ප්‍රෝ රෙස්ලින් තරුවක්.

රවුසිගේ පැමිණීම ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ කාන්තා අංශයේ තරු ගුණය දෙතුන් ගුණයකින් ඉහළ දමනු ඇති. ඉතින්, ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනය සමඟ පූර්ණකාලීන ගිවිසුමක සිටින දැවැන්තම තරුව බවට ඇය නිතැතින් පත්වෙනවා. ජෝන් සීනා, අන්ඩර්ටේකර්, බ්රොක් ලෙස්නර් වැනි තරු අර්ධකාලීන ගිවිසුම්වල සිටියදී රොන්ඩා පූර්ණකාලීනව පැමිණීම ආයතනයේ භූමි සිතියම වෙනස් කරන්නට සමත් සිදුවීමක්.

Cover – KTLA

Related Articles