Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකාව තෙවන වරටත් රග්බි ලෝක කුසලානය හිමිකර ගනියි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය පසුගිය සති අන්තයේ දී නිමාව දුටුවා. ජපානයේ ක්‍රීඩාංගණ 12ක් තුළ රටවල් 20ක් තරග වැදුණු මෙම තරගාවලිය දින 48ක් පුරාවට පැවැත්වුණා. එහි දී ප්‍රබල කණ්ඩායම් රැසක් අබිබවා, අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක යි. විශාල ජනකායක් ඉදිරියේ පැවැත්වුණු මෙම අවසන් තරගයේ දී සුපිරි තරග රටාවක නිරත වුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම, 32-12ක් ලෙසින් පහසු ජයක් හිමිකර ගත්තේ තෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයේ උරුමකරුවන් වෙමින්.

තරගාවලියේ එක් එක් කාණ්ඩවලට අයත් වුණු රටවල් 

තරගාවලිය සඳහා එක් වූ රටවල් 20 පහත දැක්වෙන ආකාරයට කාණ්ඩ 4කට වෙන් කර තිබුණා.

A කාණ්ඩය                                                        

ජපානය 

අයර්ලන්තය

සැමෝවා  

ස්කොට්ලන්තය 

රුසියාව 

B කාණ්ඩය 

නවසීලන්තය 

දකුණු අප්‍රිකාව 

ඉතාලිය   

නැම්බියාව  

කැනඩාව 

C කාණ්ඩය 

එංගලන්තය 

ප්‍රංශය  

ආජන්ටිනාව  

ටොංගා  

ඇමරිකාව 

D කාණ්ඩය  

වේල්ස් 

ඕස්ට්‍රේලියාව 

ෆිජී 

උරුගුවේ 

ජෝර්ජියාව  

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයේ සෑම රටක්ම අනෙක් රටවල් 4 සමග තරග වැදීමට නියමිතව තිබුණා.. ඉන්පසුව, සෑම කාණ්ඩයකම පළමු ස්ථාන ලබාගන්නා රටවල් 2ක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. අනතුරුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක් වුණා. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර, එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්ව, එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට කුසලානය හිමි වුණා.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 23ක් පුරාවට පැවැත්වුණු පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, ජපානය, අයර්ලන්තය,  නවසීලන්තය, ප්‍රංශය, එංගලන්තය, වේල්සය සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

මෙම කාණ්ඩය යටතේ තරග වැදුණු රටවල් අතුරින් අයර්ලන්තය, ජපානය, සහ ස්කොට්ලන්තය කාණ්ඩයේ පෙරමුණ ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වුණා. එහි දී සියලුම තරග ජයග්‍රහණය කළ ජපානය, කාණ්ඩයේ පෙරමුණා ගන්නා විට අයර්ලන්තය දෙවන ස්ථානය ලබාගත්තා. එසේම ජපානය රග්බි ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් මුල්ම රට බවටත් පත් වුණා. එම කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගවල ප්‍රතිඵල පහත රූපයේ දැක්වෙනවා.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල (Wikipedia)

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

B කාණ්ඩය යටතේ තරග කළ ප්‍රබලම රටවල් දෙක බවට පත් වුණු නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව, කිසිදු අභියෝගයකින් තොරව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. මෙම කාණ්ඩය යටතේ පැවැත්වුණු අවසන් තරග 2ම ජපානයට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය මත අතහැර දැමීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල (Wikipedia)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

එංගලන්තය, ප්‍රංශය, සහ ආජන්ටිනාව මෙම කාණ්ඩය යටතේ තරග වැදුණු ප්‍රබලම කණ්ඩායම් ත්‍රිත්වය වුණා. නමුත්, එම රටවල් අතුරින් ඉහළ දස්කම් දැක්වූ එංගලන්තය සහ ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. එහි දී ප්‍රංශය සහ එංගලන්ත අතර පැවැත්වීමට නියමිතව තිබුණු තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට හැකි වුණේ නැහැ. ඒ අනුව එංගලන්තය සහ ප්‍රංශය සමාන තරග ගණනක් ජයග්‍රහණය කර තිබුණත්, එංගලන්තය බෝනස් ලකුණු 3ක් ලබාගෙන තිබුණු නිසා  කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගත්තා.

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල (Wikipedia)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

මෙම කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගැනීම සඳහා සටන් වැදුණේ ඕස්ට්‍රේලියාව සහ වේල්සය යන ප්‍රබල රටවල් දෙක යි. එහි දී වේල්ස් කණ්ඩායම පළමු ස්ථානය ලබාගන්නා විට, ඕස්ට්‍රේලියාවට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවුණා.

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල (Wikipedia)

අර්ධ අවසන් පූර්ව වටය

පළමු තරගවටයේ ප්‍රතිඵලවලට අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, වේල්සය, අයර්ලන්තය සහ ජපානය යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. එලෙස  සුදුසුකම් ලැබූ රටවල් අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග වැදුණේ පහත ආකාරයට යි.

එංගලන්තය  සහ ඕස්ට්‍රේලියාව  

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙසින් පැවැත්වුණු මෙම තරගයේ පළමු භාගය අවසන් වුණේ එංගලන්ත කණ්ඩායම 17-9ක් ලෙස පෙරමුණේ තබමින්. ඉන්පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු එංගලන්ත ක්‍රීඩකයන් ලකුණු 23ක් ලබාගන්නා විට ඕස්ට්‍රේලියානුවන්ට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 7ක් පමණ යි. ඒ අනුව ලකුණු 40-16ක් ලෙස තරගය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. එහි දී ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර 4ක් සහ ප්‍රවර්තන 4ක් සාර්ථක කරගත් ඔවෙන් ෆැරල්, ලකුණු 20ක් සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කළා.

එංගලන්ත-ඕස්ට්‍රේලියා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

නවසීලන්තය  සහ අයර්ලන්තය

නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වුණු මෙම තරගය උද්වේගකර එකක් වනු ඇතැ යි බොහෝ දෙනෙකු අපේක්ෂා කළා. නමුත්, ආරම්භයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වුණු නවසීලන්ත කණ්ඩායම පළමු භාගය අවසන් වන විට ලකුණු 22-0ක ලෙසින් ඉදිරියෙන් සිටියා. පළමු භාගයේ දී මෙන්ම දෙවන භාගයේ දීත් ප්‍රතිවාදී කණ්ඩායමට කිසිදු බුරුලක් ලබා නොදුන් නවසීලන්ත ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කළේ 46-14ක් ලෙස ලකුණු ලබා ගනිමින්.

නවසීලන්ත-අයර්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ප්‍රංශය සහ වේල්සය 

අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග 4 අතුරින් තියුණුම තරගය බවට පත් වුණේ මෙය යි. මෙම  තරගය ආරම්භයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වුණු ප්‍රංශ කණ්ඩායම පළමු භාගය අවසන් වන විට ලකුණු 19-10 ලෙස පෙරමුණේ පසු වුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී කණ්ඩායම් 2ම කරට කර සටනක නිරත වුණත්, 74 වැනි විනාඩිය වන විටත් ප්‍රංශය 19-13 ලෙසින් පෙරමුණේ සිටියා. නමුත් තරගයේ 74 වැනි විනාඩියේ දී වේල්ස් ක්‍රීඩක රොස් මොරියාටි වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඩැනියල් බිගර් විසින් සාර්ථක කරගැනීමත් සමගින් වේල්සය 20-19ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන් අනතුරුව දෙපිලටම ලකුණු ලබා ගැනීමට නොහැකි වුණු නිසා වේල්ස් කණ්ඩායමට 20-19ක තියුණු ජයක් හිමි වුණා.

වේල්ස්-ප්‍රංශ අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ජපානය සහ දකුණු අප්‍රිකාව 

ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට දකුණු අප්‍රිකාව 5-3 ලෙස ඉදිරියෙන් සිටියා. ඉන්පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දී ප්‍රබල තරග රටාවක නිරත වුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්  26-3ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබාගත්තා.

දකුණු අප්‍රිකා-ජපන් අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

අවසන් පූර්ව වටය 

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵලවලට අනුව නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, සහ වේල්සය යන රටවල් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. 

පළමු අවසන් පූර්ව තරගය 

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්ත කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණා. මෙම තරගය ආරම්භයේ සිටම ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට කිසිදු බුරුලක් ලබා නොදුන් එංගලන්ත ක්‍රීඩකයන් පළමු භාගය අවසන් වන විට 10-0 ලෙස ඉදිරියෙන් සිටියා. එලෙස පළමු භාගයේ දී සුපිරි දස්කම් දැක්වූ එංගලන්ත ක්‍රීඩකයන් දෙවන භාගයේ දීත් සිය රිද්මය මැනවින් පවත්වා ගත් නිසා 19-7ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිමින්. 

එංගලන්ත-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දෙවන අවසන් පූර්ව තරගය

දකුණු අප්‍රිකාව සහ වේල්සය තරග වැදුණු මෙම තරගය ආරම්භයේ සිටම කරට කර සටනක් බවට පත් වුණා. එම නිසාම පළමු භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 9-6 ලෙසින් සටහන් වුණේ දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ තබමින්. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දීත් කරට කර සටනක් පැවති මෙම අවසන් පූර්ව තරගය, දකුණු අප්‍රිකානුවන් 19-16ක් ලෙසින් ජයග්‍රහණය කළේ හැන්ඩ්‍රේ පොලාර්ඩ් ලබාගත් ලකුණු 14 මඟින් ලැබුණු සවිය නිසා යි.

දකුණු අප්‍රිකා-වේල්ස්  අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමට

තරගාවලියේ තෙවන ස්ථානය තේරීමේ තරගය සඳහා සහභාගි වුණේ වේල්සය සහ නවසීලන්තය යි. මෙම තරගයේ පළමු භාගයේ දී ප්‍රවේගකාරී තරග රටාවක නිරත වුණු නවසීලන්ත ක්‍රීඩකයන් එම අර්ධය අවසන් වන විට 28-10 ලෙස ඉදිරියෙන් සිටියා. පළමු භාගයේ දී මෙන්ම දෙවන භාගයේ දීත් කිසිදු අපහසුවකින් තොරව ලකුණු ලබාගත් නවසීලන්ත ක්‍රීඩකයන් 40-17 ලෙසින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකාව තෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත් වුණා 

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානුවන් පළමු භාගය අවසන් වන විට 12-6ක් ලෙස ඉදිරියෙන් පසු වුණා. තරගයේ දෙවන අර්ධයේ දීත් එංගලන්ත ක්‍රීඩකයන්ට කිසිදු බුරුලක් ලබා නොදුන් දකුණු අප්‍රිකානුවන්, 32-12ක් ලෙසින් පහසු ජයක් ලැබුවේ තෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත් වෙමින්. එහි දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි තරුව වුණු හැන්ඩ්‍රේ පොලාර්ඩ්, සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 22ක් ලබා දීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පොලාර්ඩ් අවසන් තරගයේ දී ක්‍රීඩා කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- දකුණු අප්‍රිකාව තෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත් වී (gettyimage)

Related Articles