Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රිටි පැනීමෙන් ලොව වසඟ කළ – එලේනා ඉසින්බයේවා

2004 අගෝස්තු 24 වන දා රාත්‍රියේ ඇතැන්ස් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී එවර ඔලිම්පික් උළෙලේ විශිෂ්ටතම අවස්ථාවක් එළඹුණා කාන්තා රිටි පැනීමේ අවසන් තරගයේ දී. සමකාලීන කාන්තා රිටි පැනීමේ ක්ෂේත්‍රයේ ප්‍රබලම එදිරිවාදීන් දෙදෙනකු එහි දී රන් පදක්කම සඳහා ගැටුණා. එමෙන්ම එයින් එක් අයෙකු ලෝක ප්‍රසිද්ධ වීම සහ අනෙක් තැනැත්තිය බොහෝ දෙනාට අමතක වී යාම මෙම තරගයෙන් තීරණය වුණා.

ස්වෙත්ලානා ෆියොෆනෝවා රුසියානු ක්‍රීඩිකාවක්. එවකට 24 හැවිරිදි වූ ඇය කිහිපවිටක් ම රිටි පැනීමේ කාන්තා ලෝක වාර්තාවට ද හිමිකම් කියූ ක්‍රීඩිකාවක වුණා. අපේ කතා නායිකාව නොවන්නට ෆියොෆනෝවා ලෝක ප්‍රසිද්ධ වීමට හොඳට ම ඉඩකඩ තිබුණා.

ඔලිම්පික් රන් පදක්කම​

එදින රාත්‍රියේ ඇතැන්ස් හි දී ෆියොෆොනෝවා පැනීම ඇරඹූයේ මීටර 4.40කින්. කෙමෙන් කෙමෙන් උස වැඩි කරමින් ඇය මීටර් 4.75ට පැමිණි අතර දෙවන උත්සාහයේ දී එම උස ද තරණය කළා. ෆියොෆනෝවාගේ උපරිම දක්ෂතාවය වූයේ මීටර 4.88ක්. 2004 ජූලි මාසයේ දී දැක්වූ එම දස්කම දින 21ක් පැවති ලෝක වාර්තාවක් වුණා.

ස්වෙත්ලානා ෆියොෆනෝවා (Flickr – Mount Fuji Man)

ඇගෙන් එම ලෝක වාර්තාව උදුරාගත් එලේනා ඉසින්බයේවා එවකට 22 හැවිරිදි රුසියානු ක්‍රීඩිකාවක වුණා. ඔලිම්පික් උළෙලට පැමිණෙද්දී කාන්තා රිටි පැනීමේ එළිමහන් ලෝක වාර්තාව වූ මීටර් 4.90ට හිමිකම් කීවේ ඇය යි.

කෙසේ නමුත් මෙම තරගයේ දී ඉසින්බයේවා ද තම සුපුරුදු දස්කම්වලට නොඑන බවක් පෙනෙන්නට වුණා. තරගයේ මුල් උස ප්‍රමාණයන් ඇය තරණය කළ ද මීටර් 4.70 තරණය කිරීමට ගත් පළමු උත්සාහයේ දී ඇය අසාර්ථක වුණා.

ඇය එම උස නැවත උත්සාහ නොකර මීටර් 4.75 උත්සාහ කිරීමට තීරණය කළා. එම උත්සාහය ද අසාර්ථක වුණා.

මේ අනුව තීරණාත්මක අවසන් පැනීම අවස්ථාවේ ඉසින්බයේවා සිටියේ ලෝකඩ පදක්කම අබියස යි. මෙම පැනීම අසාර්ථක වූවා නම් ෆියොෆනෝවා රන් පදක්කම ලබා ගැනීමට නියමිත ව සිටියා.

ඉසින්බයේවා අභියෝගය භාරගත්තේ මීටර 4.80 දක්වා උස වැඩි කරමින්. මෙය ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් වුණා. ලොව වටා ක්‍රීඩා ලෝලීන් ඒ දෙස බලා සිටියේ මේ තරුණ ක්‍රීඩිකාවට මෙම අභියෝගය ජයගත හැකිවේ ද යන කුතුහලයෙන්. ඇය සිය පිම්ම සඳහා දිව යන විට ක්‍රීඩාලෝලීන් මීයට පිම්බාක් මෙන් බලා සිටියේ එදෙස යි.

ඉසින්බයේවා ඉතා ම පහසුවෙන් එම උස ජය ගත්තේ කලින් වූ අසාර්ථකත්වයන් සම්පූර්ණයෙන් අමතක කරමින්.

ඇය එතැනින් නැවතුණේ ද නැහැ. මීටර් 4.85 උස ද ඇය ජය ගත්තා. මේ සමග රන් පදක්කම ලබාගැනීමට ෆියොෆනෝවාට තිබූ අභියෝගය තවත් ඉහළ ගියා. ඇත්තෙන්ම ඒ වන විට තරගය ඔවුන් දෙදෙනාගේ ද්වන්ධ සටනක් බවට පත් වුණා.

ඉසින්බයේවා (EFE)

ෆියොෆනෝවා මීටර් 4.80 දී අසාර්ථක වූ අතර ඉසින්බයේවා කළ පරිදි ම එම උස අතැර මීටර 4.85 උත්සාහ කළ ඇය එය ද අසාර්ථක වුණා. ඇයට ජය ගැනීමට නම් ඉසින්බයේවාගේ මීටර 4.85 ඉක්මවිය යුතු ව තිබූ අතර ඒ සඳහා ඇයට තිබුණේ එක පිම්මක් පමණයි. ෆියොෆනෝවා එම අභියෝගය බාර ගත්තේ මීටර 4.90ක පැනුමක් උත්සාහ කරමින්. එම පිම්ම අසාර්ථක වූ අතර ඉසින්බයේවා තරගය ජය ගත්තා.

ඉවරයි කිව්වට ඉවරම නෑ

නමුත් තරගය අවසන්යැ යි සිතූව ද එය අවසන් ව තිබුණේ නැහැ. ඉසිබ්නයේවාට එදින රාත්‍රිය සත්‍ය වශයෙන්ම අමතක නොවන රැයක් බවට පත් කිරීමට අවශ්‍ය වුණා. ඒ වන විට ලෝක වාර්තාව වූයේ මීටර් 4.90ක්. ෆියොෆනෝවා උත්සාහ කළේ ද එම උස යි. ඉසින්බයේවා එම උස සෙන්ටි මීටරයකින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියා.

ඇය එම උස පහසුවෙන්ම ළඟා කරගත්තේ ලෝක වාර්තාව තමා සතු කරගනිමින්. ඉසින්බයේවා 2004 අගෝස්තු 24 රාත්‍රිය ඔලිම්පික් මළල ක්‍රීඩා ඉතිහාසයේ අමතක නොවන රාත්‍රියක් බවට පත් කළා.

නැවතත්, නැවත නැවතත්

කාන්තා රිටි පැනීමේ ලෝක වාර්තාව යළි යළිත් තමා සතු කරගැනීම ඉසින්බයේවා ඇරඹුවේ එදින පටන්. ඊට පෙර​, ඇය පළමු වතාවට ලෝක වාර්තාවට හිමිකම් කීවේ 2003 ජූලි මාසයේ දී යි. ඒ මීටර් 4.82ක්. ඉනික්බිති ඇය සහ ෆියොෆනෝවා අතර කිහිපවිටක් ලෝක වාර්තාව හුවමාරු වුණා. 2004 ජූලි 25 වන දා මීටර් 4.89ක් උස පනිමින් ඉසින්බයේවා ලෝක වාර්තාව තමන් සතු කරගත් දින පටන් අද වන තුරු එම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වූ එක ම ක්‍රීඩිකාව ද එලේනා ඉසින්බයේවා ම පමණයි. එතරම් ම ඈ කාන්තා රිටි පැනීමේ ඉසව්ව තමා අතට පත් කරගත්තේ ලෝකය ම වසඟ කරගනිමින්.

ඉසින්බයේවා 2005 දී මීටර් 5 උස පැන්න පළමු රිටි පැනුම් ක්‍රීඩිකාව බවට පත්වූ අතර එම වසරේ දී ම මීටර් 5 ඉක්මවූ පළමු ක්‍රීඩිකාව බවට ද පත් වුණා. වර්තමාන කාන්තා රිටි පැනීමේ එළිමහන් ලෝක වාර්තාව වන මීටර් 5.06ක උස ඇය සතු යි. එම උස ඇය වාර්තා කළේ 2009 දී. සම්පූර්ණයෙන්ම ගත් කළ එලේනා මෙම ලෝක වාර්තාව 17 වතාවක් තමන් අතට ගැනීමට හෝ අලුත් කිරීමට හෝ සමත් වුණා.

ජෙනිෆර් සූර් (Getty Images)

මේ අතර කාන්තා රිටි පැනීමේ ගෘහස්ත ලෝක වාර්තාව ද ඇය සතු වූ අතර එය මීටර 5.02ක්. නමුත් 2016 දී ඇමෙරිකානු ක්‍රීඩිකා ජෙනිෆර් සූර් මීටර් 5.03ක් වාර්තා කරමින් ඉසින්බයේවාගෙන් ලෝක වාර්තාව උදුරා ගත්තා.

කවුද මේ එලේනා?

එලේනා ගඩ්සියෙව්නා ඉසින්බයේවා උපන්නේ 1982 ජූනි 3 වන දා. ඇගේ පියා ටබසරන් නම් වූ ජනවර්ගයකට අයත් වූවෙක්. රුසියාවේ ඩගෙස්ථානයේ ජීවත්වන ඔවුන් බොහෝකොට ම සුන්නි මුස්ලිම්වරුන් වනවා. එලේනාගේ මව රුසියානු ජාතික කාන්තාවක්.

කුඩා කල එලේනා ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වූ නමුත් ඇගේ උස වැඩි වීම නිසා එයින් රිටි පැනීමට යොමු වුණා. එවිට ඇයගේ වයස අවුරුදු 15ක්. වසරක් තුළ ඇය සිය පළමු  ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කළේ 1998 ලෝක තරුණ​ ක්‍රීඩා උළෙලේ දී. ඊළඟ වසරේ දී ද ඇය එම උළෙලේ දී ජයග්‍රහණය වාර්තා කළා. ඇගේ ජයග්‍රාහී ගමනේ ඇරඹුම වූයේ එය යි. එතැන් පටන් ලෝක කණිෂ්ඨ ශූරතාව​, යුරෝපා කණිෂ්ඨ ශූරතාව​, ලෝක ශූරතාව​, යුරෝපා ශූරතාව, සහ ඔලිම්පික් උළෙල ආදී එළිමහන් තරග අවස්ථා මෙන්ම ගෘහස්ථ තරගාවලිවල දී ද ඇය ලැබූ ජයග්‍රහණ සංඛ්‍යාව ඉතා විශාල යි.

එලේනා 2008 බීජිංවල දී ද රන් පදක්කම දිනාගත් නමුත් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඇයට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

2016 රියෝ ඔලිම්පික් උළෙල ඇයට අහිමි කෙරුණේ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවන ලද තහනම හේතුවෙන්. එලේනා ඉසින්බයේවාට එරෙහිව තහනම් උත්තේජක චෝදනා නොවූ නමුත් රුසියාවට එරෙහිව පනවන ලද පොදු තහනම හේතුවෙන් ඇයට එම උළෙලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා. ඇය ඒ පිළිබඳ ඉතා ම අප්‍රසාදයෙන් කරුණු දැක්වූ අතර අන්තර්ජාතික තරගවලින් විශ්‍රාම ගන්නට තීරණය කළා.

පවුල

එලේනා ඉසින්බයේවා දෙදරු මවක වනවා. ඇගේ දියණිය ඊවා උපන්නේ 2014 දී. ඇගේ පුත්‍රයා උපන්නේ 2018 පෙබරවාරියේ දී යි. 28 හැවිරිදි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක නිකිතා පෙටිනොව් එලේනාගේ සැමියා වනවා. ඔවුන් විවාහ වූයේ 2014 වසර අවසානයේ දී, එනම් ඔවුනගේ දියණිය ඉපදී මාස කිහිපයකට පසු යි.

එලේනාට ඉනෙස්සා නම් බාල සොයුරියක ද සිටිනවා.

එලේනා සහ බාල සොයුරිය (Twitter/@isinbaevayelena)

2016 දී එලේනා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක කමිටුවට තෝරාගන්නා ලද්දේ වසර 8ක ධූර කාලයක් සඳහා යි. එලේනා විශ්වාස කරන්නේ කාන්තාවන්ට රිටි පැනීමෙන් මීටර 5.15 ඉක්මවීමේ හැකියාව ඇති බව යි.

තවදුරටත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්නට නොමැති වුවත් එලේනා ඉසින්බයේවා දිනාගත් නම සහ ප්‍රසිද්ධිය ලැබූ ක්‍රීඩිකාවන් සිටින්නේ අතළොස්සක් පමණයි.

කවරයේ පින්තූරය: එලේනා ඉසින්බයේවා (Getty Images)

 

Related Articles