Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකාවේ දී සංගාගෙන් අමතක නොවන ඉනිමක්

2011 ලෝක කුසලාන අවසන් මහා තරග පරාජයත් සමග කුමාර් සංගක්කාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර, ඊළඟට නායකත්වයට පත්වූයේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ තිලකරත්න ඩිල්ශාන්. ඔහුගේ නායකත්වය යටතේ ලැබුණු මුල් තරගාවලි කිහිපයම ඉතා අසීරු ඒවා වුණා. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත සංචාරය, ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය, සහ පකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති සියලු එක්දින හා ටෙස්ට් තරගාවලි පරාජයට පත්වුණා.

නායකත්වය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැවතියත්, දෙසැම්බර් මස ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ටෙස්ට් 3කට සහ එක්දින තරග 5කට සහභාගීවීමේ බලාපොරොත්තුවෙන්. ඒ අනුව පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා බිමේ දී ප්‍රථම වතාවට ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වුණා. කෙසේනමුත් ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස හා, එක්දින තරගාවලිය මුල් තරග 3 පමණක් අවසන් වන විට ජයග්‍රහණය කිරීමට ප්‍රබල දකුණු අප්‍රිකානුවන් සමත්වුණා. සිව්වන තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, තිසර පෙරේරාගේ හා නායක ඩිල්ශාන්ගේ විශිෂ්ට පිතිහරඹය නිසාවෙන් ලකුණු 300ක ඉලක්කය 49 වන පන්දුවාරයේ දී සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

කාසිය වාසිය දිනා ගත් ඩිල්ශාන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කරයි.

ඩිල්ශාන් පන්දු රැකීමට තීරණය කරයි.
ඩිල්ශාන් පන්දු රැකීමට තීරණය කරයි. (espncricinfo.com)

2012 වසරේ ජනවාරි 22 වන දින ජොහැනස්බර්ග් නුවර වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ පැවති පස්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ඩිල්ශාන් විසින් දිනාගත්තා. ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කෙරුනේ දිවා තරගවල දී වොන්ඩරර්ස් තණනිල්ල ලකුණු හඹායන්නන්ට නිතරම වාසිදායක වූ බැවින්.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාණු ආරම්භක පිතිකරු යුගලය වූ ග්‍රැහැම් ස්මිත් හා ඇල්වීරෝ පීටර්සන්හට පළමු කඩුල්ලට එක්කළ හැකි වූයේ ලකුණු 10ක් පමණ යි. පීටර්සන් පළමු කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබා සිටිය දී මාලිංගගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස්ට උඩ පන්දුවක් ලබාදෙමින් සිව්වන පන්දුවාරයේ දී දැවී ගියා. ඉන්පසුව පිටියට පිවිසි ෆැෆ් ඩු ප්ලෙසිස් සිය දෙවන තරගයට ක්‍රීඩා කරමින් සිටි සචිත්‍ර සේනානායකගේ පන්දුවක් හමුවේ ලකුණු 24කට දැවී ගියා. දෙවන කඩුල්ල දැවී යන විට පන්දුවාර 18ක දී දකුණු අප්‍රිකා කණ්ඩායම ලබාගෙන සිටියේ ලකුණු 70ක් පමණ යි.

ඒ.බී. ගෙන් කට් පහරක්
ඒ.බී. ගෙන් කට් පහරක් (espncricinfo.com)

තෙවන කඩුල්ල සඳහා ශක්තිමත් සබඳතාවක්

තෙවන කඩුල්ල සඳහා පිටියට පිවිසි නායක ඒ. බී. ඩි විලියර්ස් සමග එක්වූ හිටපු නායක ග්‍රැහැම් ස්මිත් 25වන පන්දුවාරය වන විට දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ලකුණු 100 දක්වා ගෙනයන්න සමත්වුණා. ඒ අතරතුර ස්මිත් සිය අර්ධ-ශතකය රැස් කළේ පන්දු 81කින්. ඒ වන විට තණතිල්ල කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ට වාසිදායක තත්තවයකට පත්වෙමින් තිබුණා. ඒ වන විට ස්ථාවරව සිටි ස්මිත්-ඒ.බී. පිතිකරු යුගලය 25වන පන්දුවාරයෙන් පසු ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ කළා. මේ අනුව 31 වන පන්දුවාරය අවසන් වන විට දකුණු අප්‍රිකා ලකුණු පුවරුව 138/2ක් ලෙස දැක්වුණු අතර 32වන පන්දුවාරයේ සිට පිතිකරුවන්ගේ පවර්ප්ලේ අවස්ථාව ලබාගැනීමට ස්මිත්-ඒ.බී. දෙපළ තීරණය කරනු ලැබුවා. 

පිතිකරුවන්ගේ පවර්ප්ලේ අවස්ථාව තුළ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළ පිතිකරු යුගලය එම පන්දුවාර 5 තුළ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 44ක් ලබා ගත්තේ ඉනිමේ අවසන් භාගයට හොඳ ආරම්භයක් ලබා දෙමින්. එහි දී ඩි විලියර්ස් තම අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 47කින්. මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම 40වන පන්දුවාරයේ දී ලකුණු 200 සීමාව කරා ළඟාවුණේ කඩුළු 2ක් පමණක් දැවී ගොස් තිබිය දී යි. තව ද එම පන්දුවාරයේ දීම ග්‍රැහැම් ස්මිත් සිය නමවන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළේ පන්දු 129කින්.

ග්‍රැහැම් ස්මිත් සිය 9වන එක්දින ශතකය වාර්තා කරයි.
ග්‍රැහැම් ස්මිත් සිය 9වන එක්දින ශතකය වාර්තා කරයි. (espncricinfo.com)

දකුණු අප්‍රිකානු ඉනිමට ප්‍රබල අවසානයක්

තව දුරටත් දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ ප්‍රහාරය දැඩි වූවත් ශ්‍රී ලංකා පිළට ඉමහත් සැනසිල්ලක් ගෙන දෙමින් 46වන පන්දුවාරයේ දී ලසිත් මාලිංග විසින් ග්‍රැහැම් ස්මිත්ව ලකුණු 125කට දවාගැනුනා. කෙසේවුවත් තම ප්‍රහාරය දැඩි කළ නායක ඒ.බී. ඩි විලියර්ස් පන්දු 88කින් සිය 12වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළා. ඔහු සමග එක් වූ ඇල්බී මෝකල් හා ජෝන් පෝල් ඩුමිනි පන්දුවාර 50 අවසානයේ දකුණු අප්‍රිකාව දැවැන්ත ලකුණු 312ක් දක්වා ගෙනගියා. ඒ.බී. නොදැවී ලකුණු 125ක් රැස් කළේ පන්දු 98කින්. මෙහි දී විශේෂත්වය වූයේ, දකුණු අප්‍රිකා කණ්ඩායම මුල් පන්දුවාර 25 දී ලකුණු 103ක් පමණක් ‍රැස් කළත්, අවසන් පන්දුවාර 25 තුළ දී ලකුණු 209ක් රැස්කිරීම යි.

ඒ.බී. ගෙන් හයේ පහරක්
ඒ.බී.ගෙන් හයේ පහරක් (espncricinfo.com)

ශ්‍රී ලංකාවෙන් වේගවත් ආරම්භයක්

ලකුණු 313 අසීරු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු යුගලය වූ නායක තිලකරත්න ඩිල්ශාන් හා උපුල් තරංග වේගවත් ආරම්භයක් ලබා දුන්නා. 10 වන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් උපුල් තරංග දැවී යන විට ඔහු පන්දු 39කින් ලකුණු 46ක් ලබා සිටියා. ඉන්පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමග එක් වූ ඩිල්ශාන් ලකුණු 47ක සබඳතාවක් ගොඩනගා ලකුණු 41කට දැවී ගියා. නවක පිතිකරු දිනේශ් චන්දිමාල් හා සංගක්කාර එක්ව දළ ලකුණු ලබා ගැනීමේ වේගය ප්‍රශස්ත අගයක පවත්වා ගැනීමට උත්සාහා කළා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150 සීමාව 25 වන පන්දුවාරයේ දී පසු කළේ, දළ ලකුණු ලබා ගැනීමේ වේගය 6ක අගයක් පවත්වා ගනිමින්. චන්දිමාල් 30 වන පන්දුවාරයේ ලකුණු 25කට දැවී ගියේ කඩුළු රකින ක්‍රීඩක ඩි විලියර්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඒ.බී. සිය 12වන එක්දින ශතකය සමරන අයුරු
ඒ.බී. සිය 12වන එක්දින ශතකය සමරන අයුරු (espncricinfo.com)

සංගක්කාර-තිරිමාන්න විශිෂ්ඨ සබඳතාවයක

ඉන්පසු ඇරඹුනේ තරගයේ ඉතාමත් තීරණාත්මකම සබඳතාවය යි. සංගක්කාර-තිරිමාන්න යුගලය ඉතාමත් දක්ශ ලෙස ලකුණු රැස් කළේ, පිතිකරුවන්ගේ පවර්ප්ලේ පන්දුවාර 5 තුළ ලකුණු 43ක් ලබා ගනිමින්. ඔවුන්ගේ පිතිහරඹය ඉතා දැකුම්කලු, කල්-යල් බලා එල්ල කළ පහරවල් රැසකින් සමන්විත වුණා. ලකුණු 200 සීමාව 34වන පන්දුවාරයේ දීත්, 250 සීමාව 40වන පන්දුවාරයේ දීත් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කුමාර් සංගක්කාර 43වන පන්දුවාරයේ දී සිය 12වන ශතකය වාර්තා කළේ පන්දු 96කින්. ඊළඟ පන්දුවාරයේ දී ලහිරු තිරිමාන්න පන්දු 49කින් සිය මංගල අර්ධ ශතකය වාර්තා කළා. කෙසේ නමුත් එම පන්දුවාරයේ දීම සංගක්කාර දැවී ගියත්, ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ පන්දු 30කින් ලකුණු 33ක් පමණ යි.

සංගාගෙන් පහරක්
සංගාගෙන් පහරක් (espncricinfo.com)

උද්වේගකර අවසානය

46 වන පන්දුවාරය යොමු කළ මූනි මෝකල්ට දැඩි ප්‍රහාරයක් එල්ලකළ තිරිමාන්න සහ මැතිව්ස් යුගලය, අවශ්‍ය ලකුණු ප්‍රමාණය පන්දු 24ක් තුළ ලකුණු 19ක් දක්වා ගෙන ආවා. කෙසේවුවත් මැතිව්ස් 47 වන පන්දුවාරයේ දී දැවී ගිය අතර (294/5, ඕවර 46.2), අවසන් පන්දුවාර 2 දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍යව තිබුණා. ඒ වන විට තිරිමාන්න හා තිසර පෙරේරා ක්‍රීඩා පිටියේ රැඳීසිටි නමුත් තිසර පෙරේරා 49වන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් දැවී ගියා (307/6 ඕවර 48.6). ඒ අනුව අවසන් පන්දුවාරයට ලකුණු 6ක් ලබාගත යුතුව තිබුණා.

රොබින් පීටර්සන් විසින් යොමු කෙරුණු අවසන් පන්දුවාරය පහත පරිදි සටහන් වුණා.

  • 1 වන පන්දුව – පීටර්සන්ගෙන් කුලසේකරට, කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී යයි.
  • 2 වන පන්දුව – පීටර්සන්ගෙන් හේරත්ට, බැක්වර්ඩ් පොයින්ට් කලාපයට 1 ලකුණ යි.
  • 3 වන පන්දුව – පීටර්සන්ගෙන් තිරිමාන්නට, මූනි මෝකල් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යයි.
නවක ක්‍රීඩක තිරිමාන්නගෙන් වේගවත් ඉනිමක්
නවක ක්‍රීඩක තිරිමාන්නගෙන් වේගවත් ඉනිමක් (espncricinfo.com)

තිරිමාන්නගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසෙන්නේ සිය දෙවන එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන, පළමු වතාවට එක්දින තරගයක දී පිතිකරණයේ නියලෙන සචිත්‍ර සේනානායක යි (ජයග්‍රහණයට පන්දු 3න් ලකුණු 6ක් අවශ්‍ය යි).

  • 4 වන පන්දුව – පීටර්සන්ගෙන් සචිත්‍රට, සචිත්‍රගෙන් ආරක්ශිත පහරක්, ලකුණු 0 යි.
  • 5 වන පන්දුව – පීටර්සන්ගෙන් සචිත්‍රට, මිඩ්-විකට් කලාපය හරහා දැවැන්ත 6යේ පහරක්!!

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය තවත් එක පන්දුවක් පමණක් අතැතිව කඩුළු 2කින් ජයග්‍රහණය කරනවා. සිය 12වන ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා ලෙස සම්මාන ලබනවා. මෙම ඉනිම ඔහුගේ හොඳම එක්දින ඉනිමක් ලෙස සැලකිය හැකියි. තව ද මෙම තරගාවලියේ පෙර තරගයේ දීත් ලකුණු 300ක ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් ජයග්‍රහණය කළ නිසා මෙය ඉතා විශේෂ අවස්ථාවක්.

සචිත්‍ර සේනානායක සහ රංගන හේරත් ජය සමරන අයුරු
සචිත්‍ර සේනානායක සහ රංගන හේරත් ජය සමරන අයුරු (espncricinfo.com)

 

මෑතක දී සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මෙම තරගය ගැන අදහස් දැක්වූ  සචිත්‍ර සේනානායක පැවසුවේ, තරගයට පෙර සිටම ජයග්‍රහණය කරන සේයාවක් තිබුණු බැවින් ඔහු නිදිබරව සිටි බව යි. පසුව අවසානයේ කඩුළු වැටීමට පටන්ගත් පසු යමෙකු ඔහුව ඇහැරවා ඇති අතර, “කීයක් ගහන්න තියනවා දැ”යි ඇසූ විට නායක ඩිල්ශාන්ගෙන් හොඳහැටි බැනුම් ඇසූ බව සිනහසෙමින් පවසා සිටියා.

කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව – 312/4 (ඕවර 50) – ඩි විලියර්ස් 125*, ස්මිත් 125, ඩු ප්ලෙසිස් 24, මාලිංග 2/79

ශ්‍රී ලංකාව – 313/8 (ඕවර 49.5) – සංගක්කාර 102, තිරිමාන්න 69, තරංග 46, පානෙල් 2/51

Cover image: Groundviews

References: espncricinfo.com

Related Articles