Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මීටර හය​ තරණය කළ පළමු රිටි පනින්නා – සර්ගි බුබ්කා

රිටි පැනීමේ ක්‍රීඩාවෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වූ එලේනා ඉසින්බයේවා පිළිබඳ ළඟ දී අපි ලිපියක් පළ කළා ඔබට මතකත් ඇති. ඉසින්බයේවාට කලින්, රිටි පැනීමේ ක්‍රීඩාව පිළිබඳ කියද්දී නොවැරදීම මතකයට නැඟෙන ක්‍රීඩකයෙකු සිටියා. ඔහු සෝවියට් දේශය සහ යුක්‍රේනය නියෝජනය කළ සර්ගි බුබ්කා යි. ඉසින්බයේවා මීටර 5 උස තරණය කළ මුල්ම කාන්තාව ලෙසත්, බුබ්කා මීටර 6 තරණය කළ මුල්ම පිරිමියා ලෙසත් රිටි පැනීමේ ක්ෂේත්‍රය තුළ බිඳිය නොහැකි වාර්තාවක් තබා තිබෙනවා.

ඔහුගේ අන්තර්ජාතික ක්‍රීඩා දිවිය වසර 20ක් දිගු වූ අතර, 1981 සිට 1991 දක්වා සෝවියට් දේශය නියෝජනය කළ ඔහු එතැන් පටන් 2001 වන තුරු යුක්‍රේනය නියෝජනය කළා.

අනතුරින් දිවි ගලවාගත් දරුවා

බුබ්කාගේ පියා රුසියානු රතු හමුදාවේ නිලධාරියෙකු වුණා. එවකට වොරොෂිලොව්ග්‍රාද් ලෙස හඳුන්වන ලද ලුහාන්ස්ක් ප්‍රදේශයේ දී 1963 දෙසැම්බර් 4 වන දා සර්ගි බුබ්කා උපත ලැබුවා.

වයස අවුරුදු හතරක් ව සිටිය දී ඔහු හදිසි අනතුරකින් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වුණා. ගෝවාවලට ලුණු දැමීම සඳහා පුරවන ලද ජලය බැරලයකට වැටුණ ඔහු දියේ ගිලීමට පෙර ගලවාගෙන තිබෙනවා.

බුබ්කා මුලින්ම මලල ක්‍රීඩා සඳහා පිවිස ඇත්තේ කෙටි දුර දිවීම සහ දුර පැනීම ඉසව්වලින්. නමුත් පසුකාලීන ව ඔහු රිටි පැනීමට යොමු ව තිබෙනවා. මෙය ද සිදු ව ඇත්තේ අහම්බයෙන්. ඒ ඔහුට වයස අවුරුදු 9ක් ව තිබිය දී යි.

ඔහුගේ පස්වැනි ලෝක ශූරතා රන් පදක්කම දිනාගත් අවස්ථාව. 1995. ස්වීඩනයේ ගොතෙන්බර්ග් (sergeybubka.com)

ඒ වන තෙක් බුබ්කා රිටි පැනීම ඉසව්ව ගැන අසා තිබුණේ ද නැහැ. නමුත් ඔහුගේ අසල්වාසී වැඩිමහල් ළමයෙකු එම ක්‍රීඩාවට පිවිසියා. බුබ්කාට ක්‍රීඩාව හඳුන්වා දී ඇත්තේ ඔහු යි. පසු ව එම අසල්වාසියා බුබ්කා ද පුහුණු කිරීම සඳහා යොමු කරවූවා. මේ අයුරින් රිටි පැනීමට යොමු වූ බුබ්කා තමන්ට එය ඉතා ම සුදුසු බව තේරුම් ගත්තා. ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා දිවිය ඇරඹුණේ එතැනින්.

බුබ්කා 1981 සිට අන්තර්ජාතික තරග සඳහා සහභාගී වුණා. සිය පළමු තරගාවලිය වූ 1981 යුරෝපා කණිෂ්ඨ ශූරතාවයේ දී ඔහුට පදක්කමක් හිමි වූයේ නැහැ.

ලෝක ශූරයාගේ ඔලිම්පික් ශාපය

1983 හෙල්සිංකි ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වන විට සර්ගි බුබ්කා එතරම් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු වූයේ නැහැ. එම උළෙලේ දී ඔහු රිටි පැනීමේ පිරිමි ඉසව්ව ජය ගත්තේ බොහෝ දෙනා පුදුමයට පත් කරමින්. ඒ ඔහුගේ අතිසාර්ථක ලෝක ශූරතා වාර්තාවක ඇරඹුම වුණා. බුබ්කා පිටපිට ම ලෝක ශූරතා තරගාවලි 6ක් ජයගත්තා. මේ අනුව 1983 සිට 1997 දක්වා පවත්වන ලද සියලුම ලෝක ශූරතා තරගාවලීන් හි දී රිටි පැනීමේ පිරිමි ඉසව්ව ජයගත්තේ බුබ්කා යි.

1987 රෝම ලෝක ශූරතාවයේ දී රන් පදක්කම දිනා (Getty Images)

ලෝක ශූරතාවලීන් හි දී කෙතරම් දක්ෂතා දැක්වූව ද ඔලිම්පික් උළෙලවල දී සර්ගි බුබ්කා එතරම් සාර්ථක වූයේ නැහැ. 1984 දී ඔහුට තරග කිරීමට නොහැකි වූයේ සෝවියට් දේශය ඇතුළු රටවල් කිහිපයක් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම හේතුවෙන්. මේ පිළිබඳ ව ඔහු බෙහෙවින් කණගාටුවට පත් වූ බව සඳහන් වෙනවා. බුබ්කා 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනාගත්තේ ඔලිම්පික් වාර්තාව ද තමා සතු කරගනිමින්. නමුත් 1992 දී ඔහු මුල් වටයෙන් ම ඉවතට විසි වුණා. ඒ, සාමාන්‍යයෙන් ඔහු ඒ වන විට ළඟා කරගත් උසට වඩා බෙහෙවින් අඩු උස පැනීමට කරන ලද උත්සාහයන් අසාර්ථක වීමෙන් වීම විශේෂත්වයක් වුණා. මීළඟ ඔලිම්පික් උළෙලවල දී ද ඔහු සාර්ථක වූයේ නැහැ. 2000 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ද මීටර් 5.70ක් පැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් ඔහු තරගයෙන් ඉවත් වුණා.

බුබ්කා 2001 දී නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගත්තා. ඩොනෙට්ස්ක් හි පවත්වන ලද උත්සවයක් අවස්ථාවේ දී ඔහු ඒ බව නිවේදනය කළා.

ලෝක වාර්තා

සර්ගි බුබ්කා තම ජීවිත කාලය තුළ 35 වතාවක් රිටි පැනීමේ ලෝක වාර්තා පිහිටුවා තිබෙනවා. ඒ එළිමහන් පිටියේ ලෝක වාර්තාව 17 වතාවක් සහ ගෘහස්ථ ලෝක වාර්තාව 18 වතාවක් වශයෙන්. අදටත් එළිමහන් ලෝක වාර්තාව ඔහු සතු වෙනවා. එය මීටර 6.14ක්. ඔහුගේ ගෘහස්ථ ලෝක වාර්තාව වූ මීටර 6.15ක උස 2014 දී ප්‍රංශ ක්‍රීඩක රෙනෝල්ඩ් ලවිලෙනි විසින් පසු කරනු ලැබුණා.

බුබ්කා එළිමහන් රිටි පැනීමේ ලෝක වාර්තාව මුලින්ම තමන් සතු කරගත්තේ 1984 මැයි මාසයේ දී යි. එම වසරේ ම අගෝස්තුවේ දී රෝමයේ පවත්වන ලද ක්‍රීඩා උළෙලක දී ප්‍රංශයේ තියෙරි විනෙරොන් බුබ්කාගේ ලෝක වාර්තාවක් බිඳ දැමුවා. නමුත් විනාඩි ගණනක් තුළ බුබ්කා එම වාර්තාව යළි තමන් සතු කරගත්තා. 1984 මැයි 26 වන දා සිට මේ දක්වා බුබ්කාට රිටි පැනීමේ රිටි පැනීමේ එළිමහන් ලෝක වාර්තාව අහිමි වී තිබුණේ එම විනාඩි ගණන පමණයි.

ක්‍රීඩා පරිපාලනය

සර්ගි බුබ්කා මුලින්ම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හා සම්බන්ධ වූයේ 1996 දී ක්‍රීඩක කමිටු සාමාජිකයෙකු ලෙස යි. 1999 සිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයෙකු වන බුබ්කා 2005 සිට යුක්‍රේන ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා. බුබ්කා යටතේ එම කමිටුව බොහෝ සෙයින් ක්‍රියාකාරී කමිටුවක් බවට පත් ව ඇති අතර, අංකුර ක්‍රීඩකයන් හඳුනාගැනීමේ සිට ඔලිම්පික් හර පද්ධතීන් ළමා පරපුරට හඳුන්වාදීම දක්වා විවිධ අරමුණු සහිත ව එය කටයුතු කරනවා.

සර්ගි බුබ්කා ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස​ (sergeybubka.com)

“ජාතික ඔලිම්පික් කමිටු ක්‍රීඩකයන් තෝරාගෙන ඔලිම්පික් උළෙල කරා යැවීමට වඩා වැඩි දෙයක් කළ යුතු යි. බාල පරම්පරාව දැනුවත් කිරීම, ඔවුනට ක්‍රීඩාවට පිවිසීමේ අවස්ථා විවර කිරීම, සහ සෞඛ්‍ය සම්පන්න ජීවන ක්‍රමයක් ගොඩනගා ගැනීමට උපකාර කිරීම යන අරමුණු සඳහා විශාල කාර්යභාරයක් ඔවුනට කළ හැකියි. ඒ සඳහා අප ගෝලීය ව එක්ව කටයුතු කළ යුතු අතර, එසේ නොමැති නම් අප අපේ බාල පරම්පරාව අහිමි කරගැනීමේ අවදානමට පත් වේ” යනුවෙන් බුබ්කා වරක් සඳහන් කළා​.

ක්‍රීඩා පවුලක්

වමේ සිට​: සර්ගි බුබ්කා (කනිෂ්ඨ​), සර්ගි බුබ්කා (ජ්‍යෙෂ්ඨ​), ලිලියා සහ වයිටලි (sergeybubka.com)

සර්ගි බුබ්කාගේ බිරිඳ සහ දරුවන් ද ක්‍රීඩාවට සම්බන්ධ වූවන් වනවා. බුබ්කා විවාහ වූයේ 1984 දී. ඒ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වූ ලිලියා ටුටුනික් සමග යි. ඔවුනගේ පුතුන් වන වයිටලි 1985 දීත්, සර්ගි (කනිෂ්ඨ​) 1987 දීත් උපන්නා. මේ දෙදෙනා ම ටෙනිස් ක්‍රීඩාවට යොමු වූ අතර වයිටලි කෙටි කලකින් ව්‍යාපාර කටයුතුවලට යොමු වූවත්, සර්ගි (කනිෂ්ඨ​) දිගටම එම ක්‍රීඩාවෙහි නියැලෙනවා.

කවරයේ පින්තූරය: සර්ගි බුබ්කා (sergeybubka.com)

මූලාශ්‍රයයන්:

  1. නිල වෙබ් අඩවිය​
  2. Sergey Bubka relives his Olympic Record at Seoul 1988 | Olympic Rewind

 

Related Articles