Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශේන් වෝන් හා බ්‍රයන් ලාරා මුල්මවරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ අයුරු

කැංගරු බිමේ දී කොදෙව්වන් අවසන් වරට ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලිය ලෙසින් ඉතිහාසගත වන 1992/ 1993 ෆ්රෑන්ක් වොරල් තරගාවලිය පිළිබඳ ව ඔබ වෙත ගෙන එන ලිපි පෙළේ පළමු කොටසින් අපි, ෆ්රෑන්ක් වොරල් කුසලානයේ ඉතිහාසය හා බ්‍රිස්බේන්හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන් පරාජයෙන් ගැලවුණු ආකාරය ගැන කතා කළා. අද එතැන් සිට මෙම අපූරු තරගාවලිය පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

මෙල්බෝර්න් පිටියෙන් මතු ව ආ දියමන්තිය

මෙල්බර්න් පිටියේ බොක්සිං දිනයේ දී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගය සඳහා නායක බෝඩර්ගේ ඉල්ලීම මත ඒවන විට ටෙස්ට් තරග 4ක දී ටෙස්ට් කඩුලු 4ක් පමණක් දවාගනිමින්, පන්දු යැවීමේ සාමාන්‍ය 96.50ක් ලෙස පවත්වාගෙන සිටි ශේන් වෝන් නම් තරුණ පාදඟ පන්දු යවන්නා ඕස්ට්‍රේලියානු පිලට ඇතුලත් වුණා. මෙම තරගයේදී ද කාසියේ වාසිය දිනූ බෝඩර් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකළ ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර එල්ල කරමින් එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 100/1 ලෙස ඔසවා තැබුවා. නමුත් මෙම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඇම්බ්‍රෝස් හා වොල්ෂ් යුගලය, ඩේවිඩ් බූන් ලකුණු 46කට හා ස්ටීව් වෝ ලකුණු 38කට දවාගැනීම ඕස්ට්‍රේලියානු පිලට පිරිමැසිය නොහැකි පාඩුවක් වූ අතර, ඉන් නොනැවතුණු ඇම්බ්‍රෝස් නවක ක්‍රීඩක ඩේමියන් මාටින්ව ද ලකුණු 7කට දවාගැනීමත් සමග ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව 115/4ක් බවට පත්වුණා. නමුත් මෙම අවස්ථාවේ පිටියට එක් වූ නායක බෝඩර් හා මාක් වෝ ඉතාමත් විශ්වාසවන්ත ආකාරයෙන් පිතිකරණයේ යෙදුණු අතර, අවසානයේ මොවුන් දෙදෙනා ගොඩනැඟූ නොබිදුණු ලකුණු 112ක සබඳතාවය නිසා දිනය නිමාවන විට කැංගරුවන් 227/4ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසුවුණා.

ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ලකුණු 112ක් ලබාගත් මාක් වෝ පන්දුවට පහරදෙමින් (gettyimages)

දෙවන දිනය ආරම්භයේ සිට ම බෝඩර් හා මාක් වෝ ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන් අතර, මාක් වෝ ලබාගත් ශතකය හා බෝඩර්ගේ ඉවසිලිවන්ත ඉනිම සමගින් ගොඩනැඟූ ලකුණු 204ක සබඳතාවය නිසා එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 319/4 ලෙස ඉතාමත් ප්‍රබල තත්ත්වයකට පත්වුණා. නමුත් මෙම අවස්ථාවේ නැවතත් ක්‍රියාත්මක වූ ඇම්බ්‍රෝස් මාක් වෝ ව ලකුණු 112කට දවාගැනීමත් සමග ම කැංගරු ඉනිමේ කඩාවැටීම ආරම්භ වූ අතර, අවසානයේ දී ඇලන් බෝඩර් ලබාගත් අගනා ලකුණු 110යේ දායකත්වය නිසා කැංගරු ඉනිම ලකුණු 395කට නිමාව දුටුවා. කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ වොල්ෂ් කඩුලු 4ක් ලබාගත් අතර, ඔහුට මනා සහායක් ලබාදුන් ඇම්බ්‍රෝස් හා බිෂොප් කඩුලු 3 බැගින් ලබාගත්තා. දෙවන දිනයේ තේ පානයෙන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව්වන් මර්ව් හියුස්ගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ අසරණ වූ අතර, ඔහු හේන්ස්, සිමන්ස්, හා නායක රිචඩ්සන්ව දවාගනිමින් කොදෙව් ලකුණු පුවරුව 33/3ක් බවට පත්කළා. අවසානයේ දී දිනය නිමාවන විට කොදෙව්වන් 62/3ක් ලෙස ලකුණු ලබාගනිමින් තරමක් අසීරු අඩියක යි පසුවුණේ.

තෙවන දිනය ආරම්භයේ දී බ්‍රයන් ලාරා හා කීත් අතර්ටන් ඉතා හොඳින් පන්දුවට පහරදෙමින් කොදෙව් ඉනිම 139/3ක් ලෙස ස්ථාවර තත්ත්වයකට පත් කළ ද මයික් විට්නි, ලාරාව ලකුණු 52කට දවාගැනීමත් සමග ම කොදෙව් ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. කීත් ඇතර්ටන් හා ජිමී ඇඩම්ස් පමණක් පිළිවෙළින් ලකුණු 71ක් හා ලකුණු 47ක් ලබා ගනිමින් කැංගරු පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කළ ද සෙසු පිතිකරුවන්, මැක්ඩර්මට්ගේ පන්දු හමුවේ අසරණ වුණා. අවසානයේ දී මැක්ඩර්මට් ලබාගත් කඩුලු 4 හා හියුස් ලබාගත් කඩුලු 3ත් සමග කොදෙව් ඉනිම 233කට නිමාව දුටුවේ ඕස්ට්‍රේලියානු මුල් ඉනිමට වඩා ලකුණු 162ක් පිටුපසින් සිටිමිනුයි. ඉන් අනතුරුව තෙවන දිනයේ හවස් භාගයේ සිය දෙවන ඉනිම ඇරැඹූ ඕස්ට්‍රේලියානු පිල 26/1ක් ලෙස දිනයේ නිමාව දුටුවා.

ශේන් වෝන් දෙවන ඉනිමේ  රිචඩ්සන්ව දවාගැනීමේ සතුට සමරමින් (foxsports.com)

සිව්වන දිනයේ උදෑසන සිට ම කොදෙව් පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වූ අතර, එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 102/6ක් ලෙස දිස් වූවත් තරුණ පිතිකරු ඩේමියන් මාටින් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් නොදැවී ලකුණු 67ක් ලබා ඕස්ට්‍රේලියානු ඉනිම 196ක් දක්වා ඔසවා තැබූවා. අනතුරුව ලකුණු 359ක් හඹා යාම ආරම්භ කළ කොදෙව්වන් දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා සිටියා. අවසන් දිනය ආරම්භයේ සිට ම සිමන්ස් හා නායක රිචඩ්සන් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්  අතර, එක් අවස්ථාවක කොදෙව්වන් 143/1ක් ලෙස ඉතා ස්ථාවර තත්ත්වයක පසුවෙමින් ඕස්ට්‍රේලියානුවන්ට යම් අනතුරු ඇඟවීමක් සිදුකළා. නමුත් මෙම අවස්ථාවේ ශේන් වෝන් නම් තරුණ පාදඟ පන්දු යවන්නා එක්වර ම ක්‍රියාත්මක වූ අතර, ඔහු විශිෂ්ඨ ෆ්ලිපර් පන්දුවක් යවමින් නායක රිචඩ්සන් ව ලකුණු 52කට දවාගැනීමත් සමග ම කොදෙව් ඉනිම කඩාවැටීම ආරම්භ වුණා. කොදෙව් ආරම්භක පිතිකරු ෆිල් සිමන්ස් ලකුණු 110ක් රැස් කළ ද, එය කොදෙව් පරාජය වැළැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ. අවසානයේ දී වෝන් 52/7ක් ලෙස කඩුලු ලබාගනිමින් කොදෙව් ඉනිම ලකුණු 219කට සීමාකරන ලද්දේ කැංගරුවන්ට ලකුණු 139ක ජයක් උරුමකර දෙමින්. ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වෝන්, මෙම තරගයේ වීරයා වූ අතර, ඕස්ට්‍රේලියානු පිල 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

සිඩ්නි පිටියට පෑයූ සුපිරි තරුව

තරගාවලියේ තෙවන තරගය සිඩ්නි පිටියේ දී ආරම්භ වූ අතර, එම තරගයේ ද කාසියේ  වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙවර ද, සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකළ ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දිනය ආරම්භයේ සිට ම ඉතා හොඳින් පන්දුවට පහරදුන්නා. ඩේවිඩ් බූන් ලබාගත් ලකුණු 76ත්, ස්ටීව් වෝ හා මාක් වෝ පිළිවෙලින් ලබාගත් ලකුණු 100 හා 57ත් නිසා එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු පිල 254/2 ලෙස ප්‍රබල තත්ත්වයක පසුවුව ද, දිනය නිමාවීමට මොහොතකට පෙර කඩුලු 3ක් ඉක්මනින් දැවීයාම නිසා දිනය නිමාවන විට කැංගරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 272ක් ලබා සිටියා.

දෙවන දිනයේ බෝඩර් ලකුණු 74ක් හා ග්‍රේග් මැතිව්ස් ලකුණු 79ක් ලබාගනිමින් ගොඩනැඟූ ලකුණු 155ක සබඳතාවය නිසා අවසානයේ දී 503/9ක් ලෙස ඉනිම අත්හිටවූ කැංගරුවන්, කොදෙව්වන්ට දිනයේ අවසන් පන්දුවාර කිහිපය පන්දුවට පහරදීමට ආරාධනා කළා. එම ආරාධනය පිළිගෙන පිටියට පිවිසි කොදෙව්වන් දිනය නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාසිටියා. තෙවන දිනයේ උදෑසන ම ලකුණු 31කට කඩුලු 2ක් දැවීගොස් තිබූ අවස්ථාවේ පිටියට එක් වූ ලාරා හා රිචඩ්සන්, දිනය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටියේ කොදෙව් ඉනිම 248/2ක් ලෙස ඔසවා තබමින්. දිනය නිමාවන විට ලාරා නොදැවී ලකුණු 121ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ අතර, රිචඩ්සන් නොදැවී ලකුණු 94ක් ලබා සිටියා.

ලකුණු 277 ලබාගත් ලාරා දුවද්දී දැවීගිය ආකාරය (gettyimages)

තරගයේ සිව්වන දිනයේ ලාරා හා රිචඩ්සන්ගේ සබඳතාවය ලකුණු 293කට සීමා කරමින් රිචඩ්සන් ලකුණු 109කට දැවී ගිය ද, අනතුරුව බ්‍රයන් චාල්ස් ලාරා නම් තරුණ ක්‍රීඩකයා කැංගරු පන්දු යවන්නන් සිඩ්නි පිටියේ දී අසරණ කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් කරා ගෙනගියා. අවසානයේ දී දිනය නිමාවීමට ආසන්නයේ දී ලාරා අවාසනාවන්ත ආකාරයට ලකුණු 277කට දුවද්දී දැවී ගියේ කොදෙව් ක්‍රිකට් රසිකයන් කණගාටුවට පත්කරමින්. මෙම ඉනිම ලාරාට කෙතරම් සුවිශේෂී වූවා ද කිවහොත් පසුකලෙක ඔහු සිය දියණියට තැබූ නම වුණේ ‘සිඩ්නි’. ලාරාගේ ඉනිමෙන් හැඩ වූ කොදෙව් ඉනිම, සිව්වන දිනය අවසන් වන විට 488/5ක් ලෙස සටහන් වුණා. තරගයේ අවසන් දිනයේ දී ජිමී ඇඩම්ස් නොදැවී ලබාගත් 77 නිසා කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා ම දැවී ලකුණු 606ක් ලබාගත්තේ කැංගරුවන්ට වඩා මුල් ඉනිමේ ලකුණු 103ක් ඉදිරියෙන් සිටිමින්. අවසන් දිනයේ, අවසන් හෝරා කිහිපය තුළ සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කැංගරුවන් තරගය ජය පරාජයෙන් තොර ව නිමාව දකින විට, කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා සිටියා. සිය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලාරා, මෙම තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අතර, තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් කොදෙව්වන්ට ඉතිරි තරග 2ක ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණා.

කොදෙව්වන් තරගාවලිය ජයග්‍රහණය කළ ආකාරය ඊළඟ ලිපියෙන්…  

 

කවරයේ ඡායාරූපය: ලකුණු 277ක් ලබාගත් ලාරාගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රය: Espncricinfo

Related Articles